Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

කතෝලික ආගමේ මුල් බැස සිටි සහ නීතිය ගැන හසළ දැනුමක් තිබූ කෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණේ ඇයි? ත්‍රස්තවාදියෙක් ප්‍රචණ්ඩ ක්‍රියා අත්හැර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න තීරණය කළේ ඇයි? ඒ ගැන ඔවුන් පවසන දේවල් බලන්න.

“හරි වැරැද්ද මොකක්ද කියලා මට අවබෝධ වුණා.”—සෙබස්ටියෝ අල්විස් ජන්කියුරා

උපත ලැබූ වසර: 1946

රට: බ්‍රසීලය

අතීතයේදී: ආගමේ මුල් බැස සිටි කෙනෙක්

මගේ අතීතය: අපි ජීවත් වුණේ පුංචි නගරෙක. අපිට පොඩි ගොවිපොළක් තිබුණා. ඒකෙන් ලැබුණ සල්ලිවලින් තමයි අපි ජීවත් වුණේ. මගේ ඉස්කෝලේ තිබුණේ ගෙදර ඉඳලා කිලෝමීටර් හයක් විතර දුරකින් නිසා මං ඉස්කෝලේ ගියේ බයිසිකලයකින්. අපේ නගරේ හිටිය මිනිස්සු හුඟක් දුප්පත්. හැබැයි නගරේ හරිම පිරිසිදුයි. අපරාධ සිද්ධ වුණේ නැති තරම්. හමුදාවට අවිආයුධ හදපු ෆැක්ටරියක තමයි නගරේ හුඟක් අය වැඩ කළේ.

මං ඉගෙනගන්න දක්ෂ නිසා ගුවන් නියමුවන් සඳහා තිබුණ හමුදා පාසැලකට ඇතුල් වෙන්න මට පුළුවන් වුණා. වර්ෂ 1966දී මං සාජන්ට් කෙනෙක් වුණා. පස්සේ මං නීති විද්‍යාලයකට ගිහින් ඒ උපාධියත් ගත්තා. ඊටපස්සේ පොලිස් ප්‍රධානියෙක් විදිහට සේවය කරන්න මං අයදුම්පතක් දැම්මා. වර්ෂ 1976දී ඒ විභාගේ පාස් වුණ නිසා ඒ රස්සාව මට ලැබුණා. සමහර වෙලාවට බන්ධනාගාරයේ පරිපාලකයෙක් විදිහට වැඩ කරන්නත් මට සිද්ධ වුණා. ඒ කාලෙදී තමයි මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණේ. හිරේ ඉන්න අයට දේශනා කරන්න අවසර ඉල්ලගෙන සාක්ෂිකරුවන් නිතරම එහේ ආවා. ඒ හැම වතාවකදීම බයිබලයේ තියෙන දේවල් ගැන ඒ අය මාත් එක්කත් කතා කළා. පුංචි කාලේ ඉඳලම මං දෙවියන්ට ගෞරව කළා. දෙවිගේ නම යෙහෝවා කියලත් ඔහු එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් කියලත් දැනගත්තම මට පුදුම හිතුණා.

නීතිය පැත්තෙන් තවත් ඉහළට යන්න ආස හිතුණ නිසා මං 1981දී තව විභාගයක් කළා. ඒක පාස් වුණ නිසා මං විනිශ්චයකරුවෙක් වුණා. පස්සේ 2005දී සඕ පවුලෝ උසාවියේ අභියාචනාධිකරණ විනිශ්චයකරුවෙක් විදිහට මාව පත් කළා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: නීති විද්‍යාලයෙන් උපාධිය ලැබුණු දවසේ ඉඳලා මං බයිබලය කියවන්න පටන්ගත්තා. මං කතෝලික ආගමට හුඟක් ළැදි කෙනෙක්. බිෂොප්වරයෙකුත් පූජකයන් කිහිපදෙනෙකුත් අපේ නෑදෑයන් අතරේ හිටියා. පල්ලියේ පූජාව පවත්වද්දී මං පූජකයාට උදව් කළා. දේශනය පටන්ගන්න කලින් යාච්ඤා පොතකින් කොටසක් කියවන්න නියමිත වෙලා තිබුණේ මටයි. සාමාන්‍යයෙන් කතෝලික ගෙවල්වල බයිබලය කියවන්නේ නැහැ. ඒත් මං බයිබලය කියවනවා කියලා දැනගත්තාම අම්මා හුඟක් කලබල වුණා. බයිබලය කියෙව්වොත් මං පිස්සෙක් වෙයි කියලා අම්මා කිව්වා. හැබැයි බයිබලය කියවන එකේ වරදක් නැහැ කියලා මට හිතුණ නිසා මං ඒක කියවන එක නතර කළේ නැහැ.

පූජකයන් ගැනත් ඒ අයගේ වගකීම් ගැනත් පැහැදිලි තොරතුරු දැනගන්න මට ඕන වුණා. ඒ නිසා ආගමික නිදහස ගැන තියෙන පල්ලියේ පොතක් මං කියෙව්වා. හැබැයි ඒ පොතේ තිබුණ තොරතුරු පැහැදිලි නැහැ.

ඒ කාලෙදීම වගේ මගේ දත් දොස්තර එයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලැබුණ පොතක් මට දුන්නා. ඒ පොතේ තිබුණේ මිනිස්සු බිහි වුණේ පරිණාමයෙන්ද නැද්ද කියන එක ගැනයි. පරිණාමය ගැන චාල්ස් ඩාවින් ලිව්ව පොතකුත් මං ගාව තිබුණ නිසා දොස්තර දීපු පොතත් මං ගත්තා. ඒ පොතේ තිබුණ තොරතුරු නම් හරිම පැහැදිලියි. ඒ පොත කියවලා ඉවර වුණාට පස්සේ පරිණාමය පිළිගන්න සාක්ෂි නැහැ කියලා මං තේරුම්ගත්තා.

සාක්ෂිකරුවන්ගේ තවත් පොත් කියවන්න මට ආස හිතුණා. ගුවන් නියමුවන් සඳහා තිබුණ පාසැලේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා මං ගිහින් එයාව මුණගැහුණා. එයා මට තවත් පොත් කීපයක් දුන්නා. හැබැයි සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න නම් මං කැමති වුණේ නැහැ. මං හිතුවා මට ඒක තනියම කරන්න පුළුවන් කියලා.

ඒ වෙද්දී මං විවාහ වෙලා හිටිය නිසා මං හිතුවා පවුලේ කට්ටිය එක්ක එකතු වෙලා බයිබලය කියවන්න ඕනේ කියලා. ඒ නිසා අපි හැම සතියෙම එකතු වෙලා බයිබලය පාඩම් කළා. කතෝලිකයන් විදිහට අපි පූජකයනුත් බිෂොප්වරුනුත් කිව්ව දේවල්වලට හුඟක් ගරු කළා. හැබැයි යොහන් 14:6 මෙහෙම තිබුණා. “යේසුස් [තෝමස්ට] මෙසේ කීවේය. ‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.’” ඒ බයිබල් පදෙන් අදහස් කරන දේ ගැන හොයලා බැලුවට පස්සේ මට තේරුණා දෙවි අපිට ගැලවීම දෙන්නේ යේසුස් මාර්ගයෙන් කියලා. අපි කවදාවත් ඒ වගේ දෙයක් අහලා තිබුණේ නැහැ. මොකද පල්ලියෙන් අපිට ඉගැන්නුවේ අපිට ගැලවීම ලැබෙන්නේ පූජකයන්ගෙන් කියලා.

තව බයිබල් පද දෙකක් මගේ හිතට තදින්ම කාවැදුණා. එකක් තමයි හිතෝපදේශ 1:7. එතන මෙහෙම කියනවා. “දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි. එහෙත් අඥානයෝ ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.” යාකොබ් 1:5 කියන මේ අදහසත් මගේ හිතට කාවැදුණා. “තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.” බයිබලය ගැන ඉගෙනගන්න මට තිබුණ ආසාව පල්ලියෙන් ඉටු වුණේ නැති නිසා මං පල්ලි යන එක නතර කළා.

මගේ බිරිඳ 1980දී සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මාත් ඉඳලා හිටලා ඒ පාඩමට හිටියා. කාලයක් ගියාට පස්සේ මාත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. හැබැයි බව්තීස්ම වෙන්න නම් අපිට සෑහෙන කාලයක් ගියා. මගේ බිරිඳ 1994දී බව්තීස්ම වුණා. මං බව්තීස්ම වුණේ 1998දීයි.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: අපේ දරුවන්ටත් අපි යෙහෝවා දෙවි ගැන කියලා දුන්නා. (එෆීස 6:4) දැන් අපේ පුත්තු දෙන්නා සභාවේ වැඩවලට ගොඩක් උදව් කරනවා. දුවලා දෙන්නා හරිම උනන්දුවෙන් ශුභාරංචිය ගැන කතා කරනවා. මගේ බිරිඳ හැම මාසෙකම එයාගේ උපරිමයෙන් බයිබලයේ තියෙන දේවල් ගැන අනික් අයට කියලා දෙනවා. මං සභාවේ වගකීම් දරන සහෝදරයෙක් විදිහට සතුටින් සේවය කරනවා.

මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණාට පස්සේ හරි වැරැද්ද මොකක්ද කියලා මට අවබෝධ වුණා. මං විනිශ්චයකරුවෙක් විදිහට වැඩ කරද්දී සාධාරණ වෙන්න, කාරුණික වෙන්න, තත්වයන් හොඳින් තේරුම්ගන්න හැම වෙලාවේම උත්සාහ කරනවා. මොකද යෙහෝවා දෙවි ක්‍රියා කරන්නෙත් ඒ විදිහටයි.

ප්‍රචණ්ඩකාරී දේවල්, අපරාධ, බාල අපචාර වගේ තවත් බරපතළ වැරදි කළ අයට විනිශ්චයන් ලබා දෙන්න මට සිද්ධ වුණා. ප්‍රවෘත්ති බලද්දීත් ලෝකේ වටේ සිද්ධ වෙන අපරාධ මං දකිනවා. ඒ හැම දේකටම හේතුව මොකක්ද කියලා තේරුම් අරගෙන ඉන්න නිසා ඒ දේවල් ගැන මං ඕනෑවට වඩා තැවෙන්නේ නැහැ. මං දන්නවා ළඟදීම යෙහෝවා දෙවි ඒ හැම දේකටම නිමාවක් ගේනවා කියලා.

“හිරේ ගිහින් හිටියත් මගේ කිසිම වෙනසක් වුණේ නැහැ.”—කේත් වුඩ්ස්

උපත ලැබූ වසර: 1961

රට: උතුරු අයර්ලන්තය

අතීතයේදී: ත්‍රස්තවාදියෙක්

මගේ අතීතය: මං ඉපදුණේ 1961 පොර්ටඩෑන්වල. එහේ හුඟක් මිනිස්සු ඉන්නවා. අපේ පවුලේ හැමෝම රෙපරමාදු භක්තිකයන්. අපි හිටිය නිවාස සංකීර්ණයේ කතෝලික අයත් හිටියා. හුඟක් අය හරිම දුප්පත්. හැබැයි අපි හැමෝම එකමුතුව හිටියා.

මං 1974දී කල්ලියකට බැඳුණා. ඒ කාලෙදී මෙහේ හුඟක් කලබල ඇති වෙන්න පටන්ගත්තා. අපේ තාත්තා කාපට් ෆැක්ටරියක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කළා. දවසක් තාත්තා ගෙවල් ළඟ හිටපු කතෝලික පිරිමි ළමයි දෙන්නෙක්ට වැඩ පුහුණු කරකර ඉද්දී කවුදෝ කෙනෙක් ඒ ළමයින්ගේ ගෙදරට බෝම්බයක් දාලා. ඒ නිසා ඒ ළමයින්ගේ අම්මයි, තාත්තයි, මල්ලියි මැරුණා.

තත්වේ තවත් උග්‍ර වුණා. කතෝලික අය රෙපරමාදු අයව එළවලා දැම්මා. රෙපරමාදු අය කතෝලික අයව එළවලා දැම්මා. අපි හිටපු ප්‍රදේශයේ ඉතුරු වුණේ රෙපරමාදු අය විතරයි. මං බෝම්බ ගහන්න සම්බන්ධ වුණ නිසා මාව අවුරුදු තුනකට හිරේ දැම්මා.

එක්සත් රාජධානියත් උතුරු අයර්ලන්තයත් අතර සම්බන්ධකම් තියාගන්නවට කැමති දේශපාලන කණ්ඩායමක කෙනෙක් හිරේදී මට මුණගැහුණා. එයා මගේ හොඳ යාළුවෙක් වුණා. කාලයකට පස්සේ අපිව හිරෙන් නිදහස් කළා. එයා බඳිද්දී මං තමයි එයාගේ දෙවෙනි මනමාලයා. ඊටපස්සේ අපි ආයෙත් කලින් සම්බන්ධ වෙලා හිටිය කල්ලිවලට එකතු වුණා. හිරේ ගිහින් හිටියත් මගේ කිසිම වෙනසක් වුණේ නැහැ. ඉස්සරටත් වඩා වැඩියෙන් මං කල්ලියේ වැඩවලට හවුල් වුණා. හැබැයි වැඩි කල් යන්න කලින් මගේ යාළුවාව ආයෙත් හිරේට දැම්මා. එහෙදී එයාව මැරුවා.

මාවත් මරන්න හෙව්වා. දවසක් මගේ වාහනේටත් බෝම්බයක් දැම්මා. හැබැයි ඒ දේවල්වලින් වුණේ මගේ කේන්තිය තවත් වැඩි වුණ එක විතරයි. ඒ නිසා කල්ලියේ වැඩවලට මං වැඩි වැඩියෙන් සම්බන්ධ වුණා.

මේ කාලෙදී බ්‍රිතාන්‍යයේ පෙන්නපු වාර්තා වැඩසටහනක් හදන්න මං උදව් වුණා. ඒකේ පෙන්නුවේ අපේ දේශපාලන කල්ලියේ තොරතුරු. ඒකෙන් පස්සේ මට හුඟක් ප්‍රශ්න ඇති වුණා. දවසක් හවස මං ගෙදර එද්දී මගේ බිරිඳ මාව දාලා ගිහින් තිබුණා. ඒ වැඩසටහන නිසා මගේ පුතාවත් අරන් ගියා. මට මතකයි එදා මං කණ්ණාඩිය දිහා බලාගෙන මෙහෙම කියනවා. “අනේ, දෙවි කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න.”

ඊළඟ සෙනසුරාදා මට යාළුවෙක්ව මුණගැහුණා. එයාගේ නම පෝල්. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. එදා එයා මට බයිබලයේ තියෙන තොරතුරු ටිකක් කිව්වා. දවස් දෙකකට පස්සේ එයා මට මුරටැඹ සඟරාවක් එව්වා. යොහන් 18:36 යේසුස් කිව්ව මේ දේ ඒ සඟරාවේ තිබුණා. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” ඒක කියෙව්වට පස්සේ මං හිතුවා බයිබලයේ තියෙන දේවල් ගැන තව හොයලා බලන්න ඕනේ කියලා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මං පෝල් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඊටපස්සේ ඒ පාඩම කළේ බිල්. පාඩම කරගෙන යද්දී මට හුඟක් ප්‍රශ්න මතු වුණා. මං පූජකයන්ව ගෙන්නලා බිල් වැරදියි කියලා ඔප්පු කරන්න උත්සාහ කළා. අන්තිමේදී ඇත්ත උගන්වන්නේ කවුද කියලා මට තේරුණා.

අපි හිටපු ගමේ හැම තැනම මාර්ග බාධක දාලා තිබුණ දවසක බිල්ට පාඩමට එන්න එපා කියලා මං කිව්වා. මොකද එයා කාර් එකෙන් ආවොත් අනිවාර්යයෙන්ම කාර් එක ගිනි තියනවා. ඒ වුණත් බිල් සුපුරුදු විදිහටම පාඩමට ආවා. හැබැයි එදා එයා ආවේ බයිසිකලේ. ඒක ගිනි තියනවටත් පාඩුයි. තවත් දවසක මං බිල් එක්ක බයිබල් පාඩම කරගෙන ඉද්දී පොලීසියෙනුයි, හමුදාවෙනුයි ඇවිල්ලා මාව අල්ලගෙන ගියා. ඒ වෙලාවේ බිල් මට කිව්වා යෙහෝවා දෙවිව විශ්වාස කරන්න කියලා. ඒ සිද්ධීන් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මං පළවෙනි වතාවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගිය වෙලාවේ හැමෝම මං දිහා පුදුමෙන් බලන්න ඇති. මොකද මං කොණ්ඩේ දිගට වවාගෙන කරාබුවකුත් දාලයි හිටියේ. ඒ මදිවට මං ඇඳගෙන ගිය ජැකට් එකේ අපේ කල්ලියේ ලාංඡනෙත් තිබුණා. ඒ වුණත් එයාලා මට කිසිම වෙනසක් කළේ නැහැ. මාත් එක්ක සුහදව කතා කළා.

මං බයිබලය පාඩම් කරන්න පටන්ගත්තත් මගේ පරණ යාළුවන්ව ආශ්‍රය කරන එක නතර කළේ නැහැ. හැබැයි යෙහෝවා දෙවි ගැන වැඩියෙන් ඉගෙනගනිද්දී මං තේරුම්ගත්තා දේශපාලනයට හවුල් වෙන එකයි නරක යාළුවන්ව ආශ්‍රය කරන එකයි සුදුසු නැහැ කියලා. ඒත් ඒ දේවල් සම්පූර්ණයෙන් නතර කරන්න මට ලේසි වුණේ නැහැ. හැබැයි යෙහෝවා දෙවිගේ උදව්වෙන් මට ඒ හැම දෙයක්ම නතර කරන්න පුළුවන් වුණා. මං මගේ කොණ්ඩේ කපලා කරාබුවත් ගලවලා දැම්මා. අලුත් ඇඳුනුත් ගත්තා. මිනිසුන්ට ආදරෙන් සලකන්නත් මං පුරුදු වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මං කලින් හැසිරුණු විදිහ නිසා පොලීසියේ අය මාව හොඳට අඳුරනවා. මං මුල් වතාවට සාක්ෂිකරුවන්ගේ සමුළුවට යද්දීත් එද්දීත් පොලීසිය මගේ ළඟින් හෙල්ලුනේවත් නැහැ. මොකද පොලීසිය මාව විශ්වාස කළේ නැහැ. හැබැයි දැන් නම් මං කිසිම ප්‍රශ්නයක් නැතුව සමුළුවලට යනවා. ඒ විතරක් නෙමෙයි දැන් මං ගෙයින් ගෙට ගිහිල්ලා ශුභාරංචිය ගැන අනික් මිනිසුන්ට කියලා දෙනවා.

මගේ ජීවිතේ මං වෙනස් කරගත්ත නිසා සභාවේ වැඩ සතුටින් කරන්න මට පුළුවන් වුණා. ටික කාලෙකට පස්සේ මට ලුයිස්ව මුණගැහුණා. එයා හරිම හොඳ කෙනෙක්. අපි දෙන්නා විවාහ වුණා. මගෙන් ඈත් කරපු පුතත් මාව හොයාගෙන ආවා.

කලින් මං ගත කරපු ජීවිතය ගැන මතක් වෙන කොටත් මට දුකයි. ඉස්සර මං හුඟක් දරුණු විදිහටයි මිනිසුන්ට සැලකුවේ. කොයි තරම් නරක වැඩ කරන කෙනෙකුට වුණත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තොත් වෙනස් වෙන්න පුළුවන් කියලා මට දැන් ස්ථිරවම කියන්න පුළුවන්.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මං බයිබලය කියවනවා කියලා දැනගත්තම අම්මා හුඟක් කලබල වුණා