Skip to content

පටුනට යන්න

මිය යන මොහොතේ සැනසීම

මිය යන මොහොතේ සැනසීම

මිය යන මොහොතේ සැනසීම

“අම්මාගේ රෝගය සුව කරන්න බැරි හින්දා අම්මා මැරෙයි කියලා දැනගත්තහම මට ඒක දරාගන්න බැරි වුණා.”—කැනඩාවේ ග්‍රේස්.

සුව කළ නොහැකි රෝගයක් නිසා යම් කෙනෙක් මිය යන බව දැනගත් විට පවුලේ අය සහ මිතුරන් දැඩි වේදනාවක් අද්දකිනවා. එවැනි අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේද කියා ඔවුන් නොදන්නවා විය හැකියි. රෝගයේ බරපතළකම ගැන රෝගියාට පවසනවාද නැද්ද කියා සමහරු සිතන්න පුළුවන්. තවත් අයට රෝගියා දුක්විඳිනවා දැකීම දරාගත නොහැකි දෙයක්. රෝගියාගේ අවසන් පැය කිහිපයේදී කිව යුතු සහ කළ යුතු දේවල් ගැන ඔවුන්ට ඒ හැටි වැටහීමක් නැහැ.

එවැනි අවස්ථාවකදී ක්‍රියා කරන ආකාරය ඔබ දන්නවාද? වේදනාකාරී අවස්ථාවක සැනසීම හා උපකාර සපයමින් “සැබෑ මිතුරෙක්” ලෙස ක්‍රියා කරන්න ඔබට හැක්කේ කෙසේද?—හිතෝපදේශ 17:17, නව ලොව පරිවර්තනය, NW.

දුකක් දැනීම සාමාන්‍ය දෙයක්

තමන් ආදරය කරන කෙනෙක් බරපතළ අසනීපයකින් දුක් විඳිනවා දකිද්දී වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. මරණය සම්බන්ධයෙන් රෝගීන් සමඟ කතා කරන වෛද්‍යවරුන් පවා එවැනි රෝගියෙකුගේ ශාරීරික හා මානසික අවශ්‍යතාවන් ඉටු කර දෙන්නේ කෙසේද කියන කාරණයේදී අසරණ තත්වයකට පත් වෙනවා.

ඔබ ආදරය කරන කෙනෙක් දුක් විඳිනවා දකිද්දී ඔබටත් ඔබේ හැඟීම් පාලනය කරගන්න අමාරු විය හැකියි. තම සහෝදරියට වැලඳී තිබෙන සුව කළ නොහැකි රෝගය ගැන බ්‍රසීලයේ කාන්තාවක් පැවසුවේ “තමන් ආදරය කරන කෙනෙක් දුක් විඳිනවා බලාගෙන ඉන්න එක හරිම අමාරු දෙයක්” කියායි. තම සහෝදරියට ලාදුරු රෝගය වැලඳුණු විට ඇදහිලිවන්ත පුද්ගලයෙක් වූ මෝසෙස් පවා “අනේ දෙවියනි, ඇයට සුවය ලබා දෙන මෙන් ඉල්ලමි” කියා දෙවිට ආයාචනා කළා.—ගණන් කතාව 12:12, 13NW.

යෙහෝවා දෙවිගේ ගුණාංග ඇතුව අපව නිර්මාණය කර තිබෙන නිසයි එවන් අවස්ථාවකදී අපට දුකක් ඇති වෙන්නේ. (උත්පත්ති 1:27; යෙසායා 63:9) මිනිසුන් දුක් විඳීම ගැන යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය තේරුම්ගැනීමට ඔහුගේ ගුණාංග පිළිබිඹු කළ යේසුස්ගේ ආදර්ශය ගැන මොහොතකට සිතන්න. (යොහන් 14:9) අසනීප නිසා මිනිසුන් දුක් විඳිනවා දකිද්දී ඔහු “අනුකම්පාවෙන් පෙලඹී” ක්‍රියා කළා. (මතෙව් 20:29-34; මාක් 1:40, 41) මෙම සඟරාවේ වෙනත් ලිපියක සාකච්ඡා කළ පරිදි ලාසරුස්ගේ මරණය නිසා ඔහුගේ පවුලේ අය සහ මිත්‍රයන් වැලපෙනවා දුටු යේසුස් මහත් සේ සුසුම්ලමින් “කඳුළු සැලුවා.” (යොහන් 11:32-35) බයිබලයේ මරණය සතුරෙකුට සමාන කර තිබෙන අතර ළඟදීම අසනීප හා මරණය නැති කර දමන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා.—1 කොරින්ති 15:26; එළිදරව් 21:3, 4.

ඔබ ප්‍රේම කරන කෙනෙක් මිය යන බව දැනගත් විට ඇති වන වේදනාව නිසා ඕනෑම කෙනෙකුට බැන වදින්න පවා ඔබ පෙලඹෙන්න පුළුවන්. නමුත් වෛද්‍යවරියක වන මාර්ටි ඔර්ටීස් ලියූ දෙයක් සලකා බලන්න. “රෝගියාගේ තත්වය නිසා වෛද්‍යවරුන්ට, හෙදියන්ට හෝ ඔබටම දොස් පවරාගන්න එපා. එසේ කිරීමෙන් සිදු වෙන්නේ රෝගියාට ලැබිය යුතු අවධානය නොලැබීමයි. එවිට රෝගියාගේ අවශ්‍යතාවන් ඉටු කර දෙන්න බැරි වෙයි.” එවැනි කෙනෙකුට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද?

රෝගය ගැන නොව රෝගියා ගැන සිතන්න

රෝගියාගේ බාහිර තත්වයට වඩා ඔහුගේ ඇතුළාන්තය දකින්න උත්සාහ කරන්න. එය කළ හැකි ආකාරය ගැන හෙදියක් වන සාරා මෙසේ පවසනවා. “රෝගියා එයාගේ අතීතය ගැන කියද්දී මම හොඳින් අහගෙන ඉන්නවා. රෝගියා කලින් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඒක මට ලොකු උපකාරයක්.”

තවත් හෙදියක් වන ඈන් කැත්රින් පැවසුවේ මෙසේයි. “මම රෝගියාගේ ඇස් දිහා බලනවා. එතකොට රෝගියාගේ හැඟීම් තේරුම් අරගෙන උදව් කළ හැකි ආකාරය ගැන මට හිතන්න පුළුවන්.” එක් පොතක ඒ ගැන මෙලෙස සඳහන් වෙනවා. “දරුණු රෝගයක් හෝ අනතුරක් නිසා අපි ආදරය කරන කෙනෙක් දුක් විඳිනවා දකින එක හරිම අමාරු දෙයක්. ඒ නිසා හොඳම දේ තමයි අසනීපය ගැන නොව පුද්ගලයා ගැන සිතන එකයි.”—The Needs of The Dying –A Guide for Bringing Hope, Comfort, and Love to Life’s Final Chapter.

එලෙස ක්‍රියා කිරීමට තමාගේ හැඟීම් පාලනය කරගැනීම හා ධෛර්යය අවශ්‍යයි. මාරාන්තික රෝගයකින් පෙළෙන කෙනෙකුව නිතර නිතර බලන්න ගිය ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් වූ ජොර්ජ් මෙසේ පැවසුවා. “රෝගියා ඉන්න තත්වය නිසා අපි අපහසුතාවට පත් නොවී ඔහුට ගොඩක් ආදරේ කරන්න ඕනේ.” එසේ කිරීමෙන් ඔබත් රෝගියාත් ප්‍රයෝජන ලබනවා. පිළිකා රෝගය වැලඳුණු දරුවන්ව බලාගත් ඉවෝන් පවසන්නේ “රෝගීන්ගේ කැමැත්තට ඉඩ දෙන්න පුළුවන් බව වටහාගන්න එක ඔහුගේ හෝ ඇයගේ ශාරීරික දුර්වලකම් එක්ක කටයුතු කරන්න උදව්වක් වෙනවා” කියායි.

සවන් දෙන්න

තමන් බෙහෙවින් ආදරය කරන කෙනෙක් මියැදෙමින් සිටින බව දැනගත් විට ඔහු හෝ ඇය ළඟට ගොස් කතා කිරීම පහසු දෙයක් නොවෙයි. එයට හේතුව ඒ අවස්ථාවේ කුමක් පවසන්නද කියා හරි අවබෝධයක් නොතිබීමයි. මාරාන්තික රෝගයක් වැලඳුණු තම මිතුරියකට උදව් කළ ඈන් කැත්රින් නිහඬව සිටීමේ වැදගත්කම ගැන මෙවැනි දෙයක් පැවසුවා. “හැම වෙලාවෙම රෝගියාට කතා කරන්න ඕනේ නැහැ. රෝගියා ළඟින් ඉඳගෙන, එයාගේ අත් දෙක අල්ලන් ඉන්න එක වගේම එයාට හැඟෙන දේ ගැන කියද්දී අඬන එකෙන් රෝගියා ගැන ලොකු සැලකිල්ලක් දක්වන බව පෙන්වන්න අපිට පුළුවන්.”

රෝගයකින් පීඩා විඳින කෙනෙක් තමන්ගේ දුක තව කෙනෙකුට පැවසිය යුතුයි. නමුත් බොහෝවිට සිදු වන්නේ තමන්ට ප්‍රේම කරන අය දුක් වෙයි කියා සිතමින් තමන්ගේ පෞද්ගලික කාරණා නොකියා සිටීමයි. එමෙන්ම පවුලේ අය සහ මිතුරන්ද රෝගියාගේ තත්වය ගැන සෑම දෙයක්ම රෝගියා සමඟ කතා නොකිරීමට ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය කුමක්ද? වෛද්‍යවරයෙක් පවසන පරිදි “රෝගියා තමන්ගේ සැබෑ තත්වය ගැන කතා නොකර එය සැඟවීමට උත්සාහ කිරීම පීඩනයක්. ඒ නිසා හොඳම දේ වන්නේ රෝගියා තමන්ගේ තත්වය හෙළි කර එයට මුහුණ දෙන එකයි.” මේ අනුව රෝගියා කැමති නම් තමන්ගේ තත්වය ගැන හෝ මරණය ගැන විවෘතව කතා කිරීමට ඉඩහැරිය යුතුයි.

තමන් වැඩි කල් නොගොස් මිය යන බව දැනගත් විට පුරාණයේ සිටි සමහර ඇදහිලිවන්තයන් ඔවුන්ගේ දුක නොසඟවා දෙවිට පැවසුවා. උදාරහණයකට වයස අවුරුදු 39ක් වූ හෙසකියා රජ එවන් තත්වයකට මුහුණ දුන් අවස්ථාවේ තම හැඟීම් දෙවිට දැන්නුවා. (යෙසායා 38:9-12, 18-20) ඒ හා සමානව නොසිතූ ලෙස තමන්ගේ ජීවිතය අවසන් වීම ගැන රෝගියාට දැනෙන දුක කියන්න ඉඩහැරිය යුතුයි. විවාහ වී දරුවන් හදා වඩා ගැනීමට නොහැකි වීම, දරුවන්ගේ දරුවන්ද උස් මහත් වෙනවා දකින්න නොලැබීම හෝ හැකි උපරිමයෙන් දෙවිට සේවය කිරීමට නොහැකි වීම ගැන ඔවුන් දුක් විය හැකියි. ඇතැම්විට රෝගී තත්වය සමඟ ක්‍රියා කළ යුතු ආකාරය නොදන්නා නිසා පවුලේ අය සහ මිතුරන් තමන්ගෙන් ඈත් වෙයි කියා ඔවුන් කනස්සල්ලෙන් සිටින්න පුළුවන්. (යෝබ් 19:16-18) ශරීරය දුර්වල වී දුක් විඳීමට සිදුවීම ගැන සිතමින් රෝගියා මානසිකව වේදනා විඳිය හැකියි.

ඈන් කැත්රින් මෙසේද පැවසුවා. “රෝගියා තම හැඟීම් පළ කරද්දී ඔහුව නිවැරදි කරන්න හෝ ඊට බාධා කරන්න හෝ එපා. රෝගියාට එලෙස හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩහැරීමෙන් ඔහුගේ සිතුවිලි, හැඟීම් සහ ඔහු භයෙන් සිටින්නේ කුමක් ගැනද කියා දැනගත හැකියි.”

මූලික අවශ්‍යතා තේරුම්ගන්න

යම් ප්‍රතිකාරවලින් රෝගියාට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. එවිට රෝගියාට ඇති වන වේදනාව ගැන වුවමනාවට වඩා අවධානය යොමු කිරීමෙන් රෝගියාගේ මූලික අවශ්‍යතාවක් වන තීරණ ගැනීමේ අයිතිය ගැන ඔබට අමතක විය හැකියි.

සමහර සංස්කෘතීන්වල රෝගියාගේ පවුලේ අය රෝගියාගේ සැබෑ තත්වය ගැන හෙළි කරන්නේවත්, ලබාගත යුතු ප්‍රතිකාර සම්බන්ධව තීරණයක් ගැනීමට රෝගියාට ඉඩ දෙන්නේවත් නැහැ. තවත් සංස්කෘතීන්වල සිදු කරන දෙයක් ගැන හෙද සේවකයෙකු වන ජෙරී පවසන්නේ “රෝගියාව බලන්න එන අය ඇඳ ළඟ හිටගෙන කිසිම තැකීමක් නොකර රෝගියා ගැන කතා නොකළ යතු දේවල් ගැන පවා කතා කරනවා” කියායි. මේ දෙයාකාරයෙන්ම සිදු වන්නේ රෝගියාගේ අයිතිය පැහැරගැනීමයි.

මාරාන්තික රෝගයකින් පෙළෙන කෙනෙකුට අවශ්‍ය තවත් මූලික දෙයක් නම් බලාපොරොත්තුවයි. ඇතැම් රටවල දියුණු ප්‍රතිකාර ක්‍රම තිබෙන නිසා රෝගියෙකුට යම් බලාපොරොත්තුවක් තබාගත හැකියි. පිළිකා රෝගයෙන් පෙළුණු තම මව ගැන මිෂෙල් මෙසේ පැවසුවා. “වෙන වෛද්‍ය ක්‍රම අත්හදා බලන්න හරි, විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න හරි අම්මා කැමති වුණාම මම ඒකට උදව් කළා. ඒකෙන් ක්ෂණික සුවයක් ලැබෙන්නේ නැති වුණත් අම්මව අධෛර්යයට පත් කරන දෙයක් කියන්න මම කැමති වුණේ නැහැ.”

සුවයක් නොලැබෙන බව දන්නවා නම් තත්වය කුමක්ද? රෝගියාගේ තත්වය බරපතළ නම් ඔහු හෝ ඇය සමඟ මරණය ගැන කතා කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් කලින් අදහස් දැක්වූ ජෝර්ජ් මෙසේද පැවසුවා. “රෝගියාගේ මරණය ගැන නොසඟවා රෝගියා සමඟ කතා කරන්න. එසේ කිරීමෙන් යම් කාරණා සැලසුම් කරන්නත් මරණයට මුහුණ දෙන්න අවශ්‍ය මානසික ශක්තිය ඇති කරගන්නත් රෝගියාට හැකි වෙනවා.” මේ තුළින් තමන් අනිත් අයට බරක් කියා සිතමින් තැවෙන්න රෝගියාට සිදු වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් එවැනි දේ රෝගියා සමඟ කතා කිරීම පහසු නැහැ. නමුත් විවෘතව අදහස් හුවමාරු කිරීමෙන් ඔබට රෝගියා කෙරෙහි ඇති හැඟීම් අවංකව ප්‍රකාශ කළ හැකියි. එසේ කිරීමෙන් කලින් තිබූ අමනාපකම් නැති කරගෙන තමන් අතින් සිදු වූ වැරදිවලට සමාව ඉල්ලන්නත් මරණාසන්නව සිටින පුද්ගලයාට හැකි වෙනවා. ප්‍රතිඵලයක් ලෙස පෙරටත් වඩා ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති විය හැකියි.

අවසන් දින කිහිපය තුළ සහනය සපයන්න

මරණාසන්නව සිටින පුද්ගලයෙකුට සහනය සපයන්න ඔබට හැක්කේ කෙසේද? කලින් සඳහන් කළ වෛද්‍ය මාර්ටි ඔර්ටීස් මෙවැනි දෙයක් පැවසුවා. “රෝගියාට තම අවසාන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ඉඩ දෙමින් ඔහුට හොඳින් සවන් දෙන්න. ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට උත්සාහ කරන්න. එය ඉටු කළ නොහැකි නම් ඒ බව කාරුණිකව ඔහුට දැනුම් දෙන්න.”

රෝගියාගේ අවසන් කාලයේදී තමන් කිට්ටුවෙන් ආශ්‍රය කළ හා ආදරය කළ අයව දැකීමටත් කතා කිරීමටත් ආශාවක් තිබෙන්න පුළුවන්. ජෝර්ජ් ඒ පිළිබඳව පවසන්නේ “රෝගියා දුර්වල නිසා වැඩිපුර කතා කරන්න බැරි වෙයි. ඒත් ඒ අය එක්ක කතා කරන්න රෝගියාට ඉඩ සලසා දෙන්න” කියායි. දුරකථනයෙන් ඇමතීමෙනුත් ශක්තිය සැපයිය හැකි අතර එකතු වී යාච්ඤා කිරීමටත් හැකියි. තමන් ප්‍රේම කළ තිදෙනෙකුගේ මරණය එක පිට එක අද්දුටු කැනඩාවේ ජීවත් වන ක්‍රිස්ටිනා ඊට මුහුණ දුන් ආකාරය ගැන මෙසේ පැවසුවා. “තමන් ළඟදීම මැරෙනවා කියලා දැනගත්තාම ක්‍රිස්තියානි මිතුරන්ගේ යාච්ඤාවලට සවන් දෙන්න ඒගොල්ලන්ට ලොකු උවමනාවක් තිබුණා.”

රෝගියා ඉදිරියේ කදුළු සැලීම වැරදිද? නැහැ. එසේ කිරීමෙන් ඔබව සනසවන්න රෝගියාට අවස්ථාවක් ලැබෙනවා. එක් පොතක ඒ ගැන සඳහන් වුණේ මෙසේයි. “මිය යමින් සිටින කෙනෙකුගෙන් දිරිගැන්වීමක් ලැබීම හැඟීම් දනවන අස්ථාවක්. රෝගියෙකුට සනසවන්නෙක් වෙන්න ලැබීම ඉතා වැදගත්.” එසේ කිරීමෙන් රෝගියාට තමන් හොඳ මිතුරෙක්, පියෙක් හෝ මවක් යන හැඟීම ඇති වෙනවා.—The Needs of the Dying.

සමහරවිට, රෝගියාගේ අවසන් පැය කිහිපයේදී ඔහු හෝ ඇය සමඟ සිටීමට ඔබට නොහැකි වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබට අවස්ථාව ලැබුණොත් අවසන් හුස්ම හෙළන තෙක්ම රෝගියාගේ අත අල්ලාගෙන සිටින්න. මියැදෙමින් සිටින කෙනා කෙරෙහි ඔබට ඇති හැඟීම් නොසඟවා ප්‍රකාශ කරන්න. රෝගියා කතා කරන්න බැරි තත්වයක සිටියත් ඔබ ඔහුට හෝ ඇයට ප්‍රේම කරන බවත් පරාදීස පොළොවේදී යළි දකින්න ආශාවෙන් සිටින බවත් පවසන්න.—යෝබ් 14:14, 15; ක්‍රියා 24:15.

රෝගියාගේ අවසන් පැය කිහිපයේදී කළ යුතු දේවල් ඔබ කළා නම් පසු කාලයකදී තැවෙන්න සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට අනාගතයේදී ඒ ගැන සිතෙන විට ඔබට යම් සහනයක් දැනෙයි. එසේ කළා නම් ඔබ ඔප්පු කර තිබෙන්නේ ඔබ ‘විපතකදී උපකාර කරන’ සැබෑ මිත්‍රයෙක් බවයි.—හිතෝපදේශ 17:17, NW.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

රෝගය ගැන නොව රෝගියා ගැන සිතීමෙන් ඔහු වගේම ඔබත් ප්‍රයෝජන ලබනවා

[29වන පිටුවේ කොටුව/පින්තූරය]

රෝගියාගේ කැමැත්තට ගරු කිරීම

මාරාන්තික රෝගයකින් පෙළෙන කෙනෙක් ගන්න තීරණවලට ගරු කළ යුතු බව බොහෝ රටවල පිළිගන්නවා. එම තීරණ ගැන සඳහන් ලියවිල්ලක් තිබීම රෝගියා රෝහලක සිටියත් නිවසේ සිටියත් ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට ගරු කිරීමට පිටුවහලක් වෙනවා.

එවැනි ලියවිල්ලකින් ලැබෙන ප්‍රයෝජන

• වෛද්‍යවරුන් හා පවුලේ අය අතර හොඳින් අදහස් හුවමාරු කිරීමට දායක වෙයි

• තීරණ ගැනීමේ වගකීම පවුලේ අය මත පැටවෙන්නේ නැහැ

• ඉතා සැර, මිල අධික, ප්‍රයෝජනයක් නැති ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාව අවම කරනවා

එවැනි ලියවිල්ලක ඇතුළත් වෙන කාරණා

• තමා වෙනුවෙන් කටයුතු කිරීමට රෝගියා පත් කරන පුද්ගලයාගේ නම

• රෝගය සුව වෙන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරන හා පිළිගන්නා ප්‍රතිකාර ක්‍රම

• ඔබේ තීරණ ගැන දන්නා වෛද්‍යවරයාගේ නම

[26වන පිටුවේ පින්තූරය]

රෝගියා දැන් සිටින තත්වය නොව අසනීප වෙන්න කලින් සිටි තත්වය ගැන සිතන්න