Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි අසරණයන්ට සරණක් වෙයි

යෙහෝවා දෙවි අසරණයන්ට සරණක් වෙයි

යෙහෝවා දෙවි අසරණයන්ට සරණක් වෙයි

ප්‍රඥාවන්ත සලමොන් රජ වරක් මෙසේ පැවසුවා. ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැකියි.’ (දේශ. 9:11) වේදනාකාරී සිදුවීමක් හෝ පීඩාවක් නිසා අපගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති විය හැකියි. උදාහරණයකට, පවුලේ කෙනෙකුගේ වියෝව නිසා අපට ලොකු වේදනාවක් දැනෙනවා. සති හා මාස ගණන් යන විට ඒ දුක තව තවත් වැඩි විය හැකියි. එවැනි අවස්ථාවලදී මනස කොතරම් වියවුල් වෙනවාද කියනවා නම් තමන් දෙවිට යාච්ඤා කිරීමට තරම් වටින්නේ නැති කෙනෙක් කියා හැඟෙන්න පුළුවන්.

එවැනි තත්වයක සිටින කෙනෙකුට දිරිගැන්වීම, සැලකිල්ල හා ප්‍රේමය අවශ්‍යයි. දෙවි එවැනි අයට උපකාර කරන අයුරු දාවිත් මෙසේ පැවසුවා. “වැටී සිටින සියල්ලන්ට නැඟී සිටීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය. හෙම්බත්ව නැමී සිටින සියල්ලන්ට කෙළින් සිටගැනීමට ඔහු උදව් කරන්නේය.” (ගීතා. 145:14) එමෙන්ම “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි” කියා බයිබලයේ පවසනවා. (2 ලේක. 16:9) යෙහෝවා දෙවිද මෙසේ පවසා තිබෙනවා. “යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි. මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.” (යෙසා. 57:15) දෙවි, අසරණව හා පීඩිතව සිටින අයට අවශ්‍ය උපකාරය හා සැනසීම ලබා දෙන්නේ කොහොමද?

“සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන”

දෙවි අසරණ අයට උපකාර කිරීම සඳහා ක්‍රිස්තියානි සභාවේ සිටින සහෝදර සහෝදරියන්ව යොදාගන්නවා. “කලකිරී සිටින අයව සනසවන්න” කියා දෙවි ඔවුන්ට දිරිගන්වා තිබෙනවා. (1 තෙස. 5:14) ප්‍රේමණීය සහෝදරයෙක් හෝ සහෝදරියක් දුකෙන් හා වේදනාවෙන් සිටින සෙසු ක්‍රිස්තියානියෙකුට දක්වන කරුණාව හා සැලකිල්ල ඔවුන්ට මහත් ශක්තියක් වෙනවා. ටික වේලාවක් හෝ එලෙස කතා කිරීමෙන් වේදනාවෙන් සිටින ඔහුට හෝ ඇයට ඉන් සහනයක් ලැබෙනවා. එලෙස කතා කරන්නේ කලින් ඒ හා සමාන තත්වයකට මුහුණ දී විඳදරාගත් කෙනෙකු විය හැකියි. එසේත් නැත්නම් එවැනි අසරණ තත්වයකදී මිතුරෙක් ක්‍රියා කළ ආකාරය ගැන අවබෝධයක් තිබුණු කෙනෙකු විය හැකියි. එවැනි අයව යොදාගෙන අසරණ වී සිටින කෙනෙකුට ශක්තියක් ලබා දීමට යෙහෝවා දෙවිට හැකියි.

අලුත විවාහ වූ වැඩිමහල්ලෙක් වන ඇලෙක්ස්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ බිරිඳ සුව කළ නොහැකි රෝගයක් නිසා මිය ගියා. සංචාරක සේවයේ යෙදෙන සහෝදරයෙක් ඇලෙක්ස් සමඟ ඔහුගේ දුක බෙදාගත්තා. සංචාරක සේවකයාගේ බිරිඳත් මිය ගොස් සිටි අතර ඔහු නැවත විවාහ වූ සහෝදරයෙක්. තමන්ට ඇති වුණු දුක මොන තරම්ද කියා සංචාරක සේවකයා ඇලෙක්ස්ට පැවසුවා. දේවසේවයේ යන විට හා රැස්වීම්වලට සහභාගි වන විට යම් සහනයක් දැනුණත් නිවසට පැමිණි විට ඔහුට මහත් පාළුවක් දැනුණ බව එම සහෝදරයා ඇලෙක්ස්ට පැවසුවා. “මට දැනුණ හැඟීම් තවත් අයට දැනිලා තියෙනවා කියලත් ඒවා සාමාන්‍යයෙන් ඇති වන ඒවා කියලත් දැනගත්තාම මට ලොකු සහනයක් දැනුණා” කියා ඇලෙක්ස් පැවසුවා. “සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන” අසරණ කෙනෙකුට මොන තරම් සහනයක්ද!—හිතෝ. 15:23.

තමන්ගේ සහකරු හෝ සහකාරියගේ මරණය නිසා දුකෙන් සිටි සහෝදර සහෝදරියන් කිහිපදෙනකුව හොඳින් හඳුනන තවත් වැඩිමහල්ලෙක් ඇලෙක්ස් සමඟ කතාබහ කළා. අපට හැඟෙන ආකාරයත් අපට අවශ්‍ය මොනවාද කියාත් දෙවි හොඳින්ම දන්නා බව එම වැඩිමහල්ලා ඇලෙක්ස්ට පැවසුවා. “කාලයක් යන කොට අපේ සහයට කවුරු හරි ඕනේ කියලා අපිට දැනෙනවා. ඒ නිසයි නැවත විවාහ වෙන්න දෙවි අපිට අවස්ථාව දීලා තියෙන්නේ” කියා ඔහු පැවසුවා. නමුත් තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව මිය ගිය සමහර අයට නැවත විවාහ වීමට කැමැත්තක් තිබුණත් විවිධ තත්වයන් නිසා ඔවුන්ට එය කිරීමට නොහැකි වී තිබෙනවා. කෙසේවෙතත් එම සහෝදරයා පැවසූ දේ ගැන ඇලෙක්ස් මෙසේ පැවසුවා. “නැවත විවාහ වෙන්න දෙවි අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා දැනගෙන ඉන්න එක ලොකු සහනයක්. මොකද එතකොට ඒ වගේ කෙනෙක් අනාගතයේදී නැවත විවාහ වෙන්න අදහස් කළත් ඒක තම සහකරුට හෝ සහකාරියට ද්‍රෝහි වීමක් නොවන බවත් විවාහය සම්බන්ධයෙන් දෙවිගේ සැලැස්මට එය විරුද්ධ දෙයක් නොවන බවත් ඒ අය දන්නවා.”—1 කොරි. 7:8, 9, 39.

විවිධ පීඩා හා කරදරවලට මුහුණ දුන් දාවිත් මේ දේ තේරුම්ගත්තා. “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.” (ගීතා. 34:15) අසරණ වී සිටින කෙනෙකුගේ දුක දරාගන්න ඔහුට උපකාර කිරීමට යෙහෝවා දෙවි කාරුණික, සැලකිලිමත් සෙසු සේවකයන්ව යොදාගන්නා බව අපට සහතික විය හැකියි. එය ඉතා වටිනා මෙන්ම ප්‍රයෝජනවත් සැපයුමක්.

රැස්වීම්වලින් ලැබෙන උපකාරය

දුක දරාගත නොහැකිව අසරණ වී සිටින කෙනෙකු නිතරම සිතන්නේ තමන්වම අධෛර්යයට පත් කරන දේවල් ගැනයි. ඒ නිසා එවැනි කෙනෙක් නිතරම තනිව සිටීමට උත්සාහ කළ හැකියි. එහි ඇති භයානකකම ගැන හිතෝපදේශ 18:1හි මෙසේ අනතුරු අඟවනවා. “නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.” ඒ ගැන ඇලෙක්ස් මෙසේ පවසනවා. “බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මිය ගියාම අධෛර්යය කරවන සිතුවිලි ඇති වෙනවා. ‘මට මීට වඩා මොනවා හරි කරන්න තිබුණා. මම සැලකිලිමත් වුණා මදි’ කියලා හිතුණු අවස්ථාත් තිබුණා. මම කවදාවත් හිතුවේ නැහැ මම තනිවෙයි කියලා. මේ වගේ අවස්ථාවකදී ඒ වගේ හිතෙන එක වළක්වන්නත් බැහැ.”

එවැනි කෙනෙකුට වෙනදට වඩා අන් අයගේ ආශ්‍රය අවශ්‍යයි. රැස්වීම්වලදී එම අවශ්‍යතාව සපුරගන්න පුළුවන්. එහිදී දෙවිගේ සිතුවිලි ගැන අපට අවබෝධයක් ලැබෙන නිසා එය අපට දිරිගැන්වීමක් හා ශක්තියක්.

අප සිටින තත්වය ගැන සමබරව හිතන්න රැස්වීම් අපට උපකාර කරනවා. බයිබලය යොදාගෙන කරන සාකච්ඡාවලට සවන් දෙන විට හා ඒ ගැන කල්පනා කරන විට වඩා වැදගත් දේ කුමක්ද කියා අවබෝධ කරගන්න පුළුවන්. එනම්, වඩා වැදගත් වන්නේ අප අත්විඳින තත්වය ගැන සිත සිතා අනවශ්‍ය ලෙස කනගාටු වීම නොව නමුත් පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කිරීම හා දෙවිගේ නාමයට සිදු වී තිබෙන කැළැල ඉවත් කිරීමට දායක වීම බව අප තේරුම්ගන්නවා. ඒ වගේම අප අද්දකින වේදනාව අන් අය නොදැන සිටියත් දෙවි ඒ ගැන දන්නා බව රැස්වීම්වලදී අපට තවත් තහවුරු වෙනවා. ‘සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වන’ බව දෙවි දන්නවා. (හිතෝ. 15:13) දුක දරාගන්න අවශ්‍ය ශක්තිය ලබා දීමෙන් අපට උපකාර කිරීමට ඔහුට ආශාවක් තිබෙනවා.—ගීතා. 27:14.

තම සතුරන්ගෙන් බොහෝ පීඩා පැමිණි විට දාවිත් යෙහෝවා දෙවිට මෙසේ ආයාචනා කළා. “මාගේ ශක්තිය හීන වී මම මලානික වී ඇත. මාගේ සිත දුකින් වෙළී ඇත.” (ගීතා. 143:4) කෙනෙකු අද්දකින පීඩා නිසා ඔහුගේ මානසික හා ශාරීරික ශක්තිය හීන වී යා හැකියි. තාවකාලිකව හෝ දිගු කාලීනව අපට බලපාන අසනීපයක් නිසා අප දුකෙන් සිටින්න පුළුවන්. එය දරාගන්න දෙවි අපට උපකාර කරන බව ස්ථිරයි. (ගීතා. 41:1-3) අද දින දෙවි ආශ්චර්යවත් ලෙස කිසි කෙනෙකුව සුව නොකළත් එය දරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු ලබා දෙනවා. පීඩාවලට මුහුණ දෙන අවස්ථාවලදී දාවිත් දෙවි මත රඳා සිටි බව අමතක කරන්න එපා. ඔහු මෙසේ පැවසුවා. “අතීතය ගැන මම සිහි කළෙමි. ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි. ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.”—ගීතා. 143:5.

දෙවිගේ සේවකයන්ගේ හැඟීම් බයිබලයේ වාර්තා වී තිබීමෙන් පැහැදිලි වන්නේ අප සිටින තත්වය යෙහෝවා දෙවි හොඳින් අවබෝධ කරගෙන සිටින බවයි. උපකාරය පතා අප කරන අයැදීම්වලට ඔහු ඇහුම්කන් දෙන බවට එය අපට සහතිකයක්. අපි යෙහෝවා දෙවිගේ උපකාරය පිළිගන්නවා නම් ‘ඔහු අපව ශක්තිමත් කරනවා.’—ගීතා. 55:22.

“නොකඩවා යාච්ඤා කරන්න”

යාකොබ් 4:8හි මෙසේ පවසනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” දෙවිට ළං විය හැකි එක් ආකාරයක් වන්නේ ඔහුට යාච්ඤා කිරීමයි. පාවුල් අපට උනන්දු කළේත් “නොකඩවා යාච්ඤා කරන්න” කියායි. (1 තෙස. 5:17) යාච්ඤාවෙන් අපගේ හැඟීම් දෙවිට පැවසීමට අමාරුයි කියා හැඟෙන විට “දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් ඒවා එළිදරව්” කරනවා. (රෝම 8:26, 27) අපගේ හැඟීම් වටහාගන්න දෙවිට හැකි බව අපට සහතිකයි.

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින මොනිකා මෙසේ පවසනවා. “යාච්ඤාව, බයිබලය කියවීම හා අධ්‍යයනයෙන් මම දෙවිව මගේ කිට්ටු මිතුරා කරගෙන තියෙනවා. ඔහු මට සැබෑ පුද්ගලයෙක් නිසා මගේ ජීවිතයේ සෑම කාරණයකදීම ඔහුගේ උපකාරය තියෙන බව මට දැනෙනවා. මට හැඟෙන විදිහ කියන්න බැරි අවස්ථාවලදීත් දෙවි මාව තේරුම්ගන්නවා කියලා දැනගෙන ඉන්න එක මට ලොකු සහනයක්. දෙවිගේ කරුණාවටත් ආශීර්වාදවලටත් නිමක් නැති බව මම දන්නවා.”

එසේනම් සෙසු සහෝදර සහෝදරියන් අපට උපකාර කරන විට අපි ඒවා පිළිගනිමු. රැස්වීම්වලදී ලැබෙන දිරිගැන්වීම්වලින් ශක්තියක් ලබමු. අපගේ හදවතේ තිබෙන සෑම දෙයක්ම දෙවිට යාච්ඤාවෙන් පවසමු. සුදුසු වෙලාවට ලැබෙන ඒ සැපයුම්වලින් දෙවි අප ගැන සැලකිලිමත් වන බව පෙන්වනවා. අද්දැකීමෙන්ම ඇලෙක්ස් මෙසේ පවසනවා. “දෙවි සමඟ තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න ඔහු අපට ලබා දීලා තියෙන සෑම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න අපට හැකි සෑම දෙයක්ම අපි කරනවා නම් අපට ඇති වන පීඩා විඳදරාගන්න ‘සාමාන්‍යය ඉක්මවූ බලය’ ලැබෙන බවට නම් කිසිම සැකයක් නැහැ.”—2 කොරි. 4:7.

[18වන පිටුවේ කොටුව/පින්තූරය]

අසරණයන්ට සැනසීම

අසරණ අය උපකාරය පතා යෙහෝවා දෙවිට කරන කන්නලව් ගැනත් එම කන්නලව්වලට දෙවි සවන් දුන් බවත් ගීතාවලිය පොත පුරාම දැකගන්න පුළුවන්. ඊට උදාහරණ කිහිපයක් පහත සඳහන් වෙනවා.

“මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි. උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි. තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ. මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.”—ගීතා. 18:6.

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතා. 34:18.

“බිඳුණු සිත් ඇත්තන්ට [දෙවි] සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.”—ගීතා. 147:3.

[17වන පිටුවේ පින්තූරය]

“සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන” අසරණ කෙනෙකුට මොන තරම් සහනයක්ද!