Skip to content

පටුනට යන්න

“අපේ ඉගෙනීම සඳහා ලියා ඇත”

“අපේ ඉගෙනීම සඳහා ලියා ඇත”

“අපේ ඉගෙනීම සඳහා ලියා ඇත”

“පොත් සෑදීමේ කෙළවරක් නැත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 12:12, නව ලොව පරිවර්තනය, NW) අද දින මුද්‍රණය කර තිබෙන පොත් කන්දරාව ගැන සිතා බලන විට ඒ වචන කොතරම් සත්‍යයක්ද කියා පැහැදිලියි. එසේනම් තමන් කියවිය යුත්තේ කුමන පොත්ද කියා කෙනෙකුට තීරණය කළ හැක්කේ කෙසේද?

බොහෝ මිනිසුන් යම් පොතක් කියවීමට කලින් එහි කර්තෘ ගැන දැනගැනීමට ආශාවක් දක්වනවා. ඒ නිසාම බොහෝ ලේඛකයන් තමන්ගේ නම, මීට කලින් තමන් ලියා ඇති පොත්වල නම් ආදි විස්තර තම කෘතිවල සඳහන් කරනවා. අතීතයේ සිටි බොහෝ ලේඛිකාවන් තම කෘතිවල වෙනත් ලේඛකයෙකුගේ නමක් සඳහන් කළා. එයට හේතුව වුණේ පොත් කියවීමට ලැදිකමක් දැක්වූ අය අතුරින් බොහෝදෙනෙක් ලේඛිකාවන්ගේ කෘතිවලට වඩා ලේඛකයන්ගේ කෘතිවලට ඇලුම් කිරීමයි. මෙයින් පෙනී යන්නේ ඕනෑම පොතක් කියවීමට පෙර එහි කර්තෘ සම්බන්ධයෙන් විස්තර දැනගැනීම වැදගත් බවයි.

කනගාටුවට කරුණක් වන්නේ කලින් ලිපියේ සඳහන් පරිදි අද දින බොහෝ මනුෂ්‍යයන් පරණ ගිවිසුම හෙවත් හෙබ්‍රෙව් ලියවිලි කියවීම ප්‍රතික්ෂේප කිරීමයි. * ඔවුන් විශ්වාස කරන්නේ ඒ ලියවිලිවල සඳහන් දෙවි, කිසිම කරුණාවක් දක්වන්නේ නැතුව තම සතුරන්ව ඉතාමත් කෲර ලෙස විනාශ කර දමා ඇති බවයි. දැන් අපි හෙබ්‍රෙව් ලියවිල්ලේ හා ග්‍රීක් ලියවිල්ලේ කර්තෘ ගැන බයිබලයේ පවසා තිබෙන්නේ මොනවාද කියා සලකා බලමු.

කර්තෘ පිළිබඳ තොරතුරු බිඳක්

හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් වී ඇති පරිදි යෙහෝවා දෙවි තමා ගැන ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ පැවසුවා. “මම යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි.” (මලාකි 3:6, NW) ඉන් වසර 500කට පමණ පසු ග්‍රීක් ලියවිල්ලේ ලේඛකයෙක් වූ යාකොබ් යෙහෝවා දෙවි ගැන පැවසුවේ මෙසේයි. “වෙනස් වන ඡායාවක් මෙන් ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.” (යාකොබ් 1:17) එසේනම් හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් දෙවි සහ ග්‍රීක් ලියවිල්ලේ සඳහන් දෙවි අතර වෙනසක් තිබෙනවා කියා ඇතමුන් පවසන්නේ ඇයි?

එයට හේතුව යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති බයිබලයේ විස්තර කර තිබීමයි. උදාහරණයකට උත්පත්ති පොතේ පමණක් දෙවිව, “මිනිසුන් ගැන කනගාටු” වූ කෙනෙක් ලෙසත් “අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි” සහ “මුළු පොළොවේම විනිශ්චයකාරයාණන්” ලෙසත් හඳුන්වා තිබෙනවා. (උත්පත්ති 6:6; 14:22; 18:25, NW) එලෙස විවිධ ආකාරයෙන් හඳුන්වා තිබෙන්නේ එක දෙවි කෙනෙකුවද? ඇත්තෙන්ම ඔව්.

නිදසුනකට, උසාවියක සිටින විනිසුරුවරයෙකු ගැන සිතන්න. ඔහු නීතිය අකුරටම ක්‍රියාත්මක කරන කෙනෙක් ලෙස පෙනී සිටියත් ඔහුම තම දරුවන් වෙනුවෙන් ප්‍රේමණීය පියෙක් වෙන අතර මිතුරන් ඉදිරියේ සුහදශීලී මිත්‍රයෙක්ද වෙනවා. ඒ ආකාරයට විනිසුරුවරයෙක්, පියෙක් හා මිතුරෙක් බවට පත් වුණේ එකම පුද්ගලයායි. නමුත් විවිධ අවස්ථාවලදී ඔහු කටයුතු කරන ආකාරයෙන් ඔහුගේ පෞද්ගලිකත්වයේ නොයෙක් පැති දැකගන්න පුළුවන්.

ඒ හා සමානව හෙබ්‍රෙව් ලියවිලිවල යෙහෝවා දෙවිව ‘දයාන්විත, කරුණාවන්ත, කෝපවීමට ඉක්මන් නොවන, මහත් සේ කරුණාව පෙන්වන, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන’ කෙනෙක් ලෙස හඳුන්වා තිබෙනවා. තවත් අවස්ථාවක ‘වරදකරුවන්ට දිය යුතු දඬුවමින් කිසි විටෙක ඔවුන්ව නිදහස් නොකරන’ කෙනෙක් ලෙසත් දෙවිව හඳුන්වා තිබෙනවා. (නික්මයාම 34:6, 7, NW) එම අවස්ථා දෙකේදිම කාවද්දන්නේ දෙවිගේ නාමයේ අර්ථයයි. “යෙහෝවා” යන නාමයේ අර්ථය නම් “තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තා” යන්නයි. එනම් තම සේවකයන්ට වූ පොරොන්දු ඉටු කිරීම සඳහා දෙවිට අවශ්‍ය ඕනෑම තත්වයකට හැඩගැහෙන්න පුළුවන් බවයි. (නික්මයාම 3:13-15, NW) ඉන් අදහස් වන්නේ ඔහු වෙනස් වන දෙවි කෙනෙක් බව නොවෙයි. “අපේ දෙවි වන යෙහෝවා, එකම යෙහෝවාය” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—මාක් 12:29.

පරණ ගිවිසුම යල් පැන ගොස් ඇද්ද?

අලුත්ම තොරතුරුවලින් යුත් පොත් නිකුත් වෙද්දී පරණ පොත් ඉබේම යල් පැනීම සාමාන්‍ය දෙයක්. නමුත් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල නිකුත් වූ විට හෙබ්‍රෙව් ලියවිල්ල යල් පැන ගිය තත්වයට පත් වුණාද? කොහෙත්ම නැහැ.

ග්‍රීක් ලියවිල්ල නිකුත් වූ පසු හෙබ්‍රෙව් ලියවිල්ලට එවැනි දෙයක් සිදුවීමට නියමිතව තිබුණා නම් යේසුස් කල් ඇතුව ඒ බව තම ගෝලයන්ට පවසනවා. කොහොමවුණත් යේසුස් නැවත නැඟිටීමෙන් පසු ස්වර්ගයට යෑමට පෙර ‘මෝසෙස්ගෙන් පටන්ගෙන [හෙබ්‍රෙව් ලියවිල්ලේ] සියලු අනාගතවක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ [ගෝලයන් දෙදෙනෙකුට] තෝරා දුන්නා’ කියා ලූක් වාර්තා කර තිබෙනවා. තවත් අවස්ථාවකදී යේසුස් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට හා වෙනත් අයට පැවසූ දේ එම වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ මාගේ වදන් මේය. එනම් මෝසෙස්ගේ නීතියෙත් අනාගතවාක්‍යයෙත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුය.” (ලූක් 24:27, 44) හෙබ්‍රෙව් ලියවිල්ල යල් පැන තිබුණා නම් යේසුස් එය භාවිත කළේ ඇයි?

ක්‍රිස්තියානි සභාව පිහිටුවීමෙන් පසුව පවා යේසුස්ගේ ගෝලයන් හෙබ්‍රෙව් ලියවිලි භාවිත කළා. ඔවුන් ඉටුවීමට නියමිත අනාවැකි ගැන පැවසීමටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුළ තිබූ වටිනා පාඩම් ඉගැන්වීමටත් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වීමටත් එය යොදාගත්තා. (ක්‍රියා 2:16-21; 1 කොරින්ති 9:9, 10; හෙබ්‍රෙව් 11:1–12:1) පාවුල් පැවසුවේ “මුළු ශුද්ධ ලියවිල්ලම” “දේවානුභාවයෙන්ය, ප්‍රයෝජනවත්ය” කියායි. * (2 තිමෝති 3:16) එසේනම් හෙබ්‍රෙව් ලියවිල්ල අද දිනට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

එදිනෙදා ජීවිතයට වටිනා උපදෙස්

අද දින දස දෙසින් ඇසීමට ලැබෙන ජාති භේද ගැන මදකට සිතන්න. එක් යුරෝපීය රටක 21ක් හැවිරිදි ඉතියෝපියානු ජාතිකයෙක් මෙසේ පවසනවා. “අපේ හමේ පාට වෙනස් නිසා අපිට තනියම කොහේවත් යන්න බැරි තත්වයක් තිබුණා. ඒ නිසා අපි ගමන් බිමන් ගියේ කණ්ඩායමක් හැටියටයි. එතකොට අපිට වැඩි කරදරයක් වුණේ නැහැ. ඒත් හැන්දෑවේ හයෙන් පස්සේ විශේෂයෙන්ම කෝච්චියෙන් ගමන් යන එක හරිම අවදානම් දෙයක් වුණා.” මෙවන් තත්වයකදී අදාළ කරගත හැකි වටිනා ප්‍රතිපත්ති හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් වෙනවාද?

හෙබ්‍රෙව් ලියවිල්ල තුළ ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පවසා තිබුණා. “ඔබ සමඟ විජාතිකයෙකු ජීවත් වන්නේ නම් ඔහුට අයුතු ලෙස නොසලකන්න. ඔබ සමඟ ජීවත් වන විජාතිකයාට ඔබ සැලකිය යුත්තේ ඔබේම ජාතියේ කෙනෙකුට මෙනි. ඔබ ඔබට මෙන් ඔහුටත් ප්‍රේම කළ යුතුයි. මන්ද ඔබත් ඊජිප්තු දේශයේ විජාතිකයන් ලෙස ජීවත් වූහ.” (ලෙවී කතාව 19:33, 34, NW) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ ‘විජාතිකයන්ට’ ගෞරවයෙන් සැලකිය යුතු බව පවසා තිබුණා. එම නීතිය ඇතුළත් වී තිබෙන්නේ හෙබ්‍රෙව් ලියවිල්ල තුළයි. එවැනි නීතියකින් අද පවතින ජාති භේදවලට විසඳුමක් ලැබෙයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

මූල්‍යමය කාරණා ගැන සවිස්තරාත්මක උපදෙස් හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් නොවුණත් මුදල් ඥානවන්තව පාවිච්චි කළ හැකි ආකාරය ගැන වටිනා උපදෙස් එහි සඳහන් වෙනවා. උදාහරණයකට හිතෝපදේශ 22:7හි [NW] මෙසේ පවසනවා. “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.” අඥාන ලෙස ණයට ගැනීම ආර්ථික පරිහානියකට මඟ පෑදිය හැකි බව ආර්ථික උපදේශකයන් පවා පිළිගන්නවා.

ඕනෑම දෙයක් පරිත්‍යාග කර ධන සම්පත් ලබාගන්න අද දින සිටින මිනිසුන් ලොකු ආශාවක් දක්වනවා. එම ආකල්පය ගැන පුරාණයේ සිටි ධනවත් රජෙක් වූ සලමොන් පැවසුවේ මෙයයි. “රිදීවලට ඇලුම් වන්නා රිදී ලැබුණු පමණින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් සෑහීමට පත් නොවෙයි. මෙයින්ද කිසි පලක් නැත.” (දේශනාකාරයා 5:10, NW) එය මොන තරම් වටිනා උපදෙසක්ද!

අනාගතයට බලාපොරොත්තුවක්

මුළු බයිබලයටම තිබෙන්නේ එකම තේමාවක්. එනම් යේසුස්ගේ රාජ්‍යය යොදාගෙන දෙවිගේ නමට සිදු වී තිබෙන කැළල ඉවත් කර පොළොව පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය තහවුරු කිරීමයි.—දානියෙල් 2:44; එළිදරව් 11:15.

එම රාජ්‍යය මගින් කිරීමට නියමිත දේවල් හෙබ්‍රෙව් ලියවිල්ල තුළ සඳහන් වෙනවා. උදාහරණයකට ඉදිරියේදී මිනිසුන් සහ සතුන් අතර තිබීමට යන එකමුතුකම ගැන අනාගතවක්තෘ යෙසායා මෙසේ පැවසුවා. “ඒ කාලයේදී බැටළුවාට වෘකයා සමඟත්, එළු පැටවාට දිවියා සමඟත් බියක් නැතිව ජීවත් වෙන්න හැකි වෙයි. වසු පැටියත් තරුණ සිංහයාත් තර වස්සාත් එකට ලගින්නේය. කුඩා දරුවෙක් උන්ව බලාගන්නේය.” (යෙසායා 11:6-8, NW) එය කොතරම් කදිම බලාපොරොත්තුවක්ද!

වාර්ගික ප්‍රශ්න, දරුණු ලෙඩ රෝග සහ ආර්ථික ගැටලු ආදියෙන් මිරිකී සිටින මිනිසුන්ට හෙබ්‍රෙව් ලියවිල්ල තුළ සපයා ඇති දිරිගැන්වීම් මොනවාද? එම ලියවිල්ලේ යේසුස් ක්‍රිස්තුස් ගැන සඳහන් වන්නේ මෙසේයි. “උපකාරය පතා හඬනඟන දුප්පතාව ඔහු ගලවන්නේය. පීඩිතයාවද කිසි හව්හරනයක් නැත්තාවද ඔහු ගලවන්නේය. යටහත් පහත් තැනැත්තාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරයි. ඔහු දිලිඳුන්ව බේරාගනියි.” (ගීතාවලිය 72:12, 13, NW) එම පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන අයට මහත් බලාපොරොත්තුවකින් අනාගතය දෙස බැලීමට හැකි වෙනවා.—හෙබ්‍රෙව් 11:6.

පාවුල් මෙසේ පැවසීම පුදුමයක් නෙවෙයි. “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.” (රෝම 15:4) හෙබ්‍රෙව් ලියවිල්ල බයිබලයට අයත් ඉතා වටිනා කොටසක්. එයින් අද දින සිටින අපිටත් ප්‍රයෝජන ලබාගත හැකියි. එමනිසා ඔබත් බයිබලය හොඳින් අධ්‍යයනය කර එහි කර්තෘ වන යෙහෝවා දෙවිට ළං වෙන්න අධිෂ්ඨාන කරගන්න.—ගීතාවලිය 119:111, 112.

[පාදසටහන]

^ 4 ඡේ. මෙම ලිපිය තුළ පරණ ගිවිසුම හඳුන්වා ඇත්තේ හෙබ්‍රෙව් ලියවිලි ලෙසයි.(මෙහි 6වන පිටුවේ සඳහන් “පරණ ගිවිසුමද නැත්නම් හෙබ්‍රෙව් ලියවිලිද?” නමැති කොටුව බලන්න.) ඒ හා සමානව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අලුත් ගිවිසුම හඳුන්වන්නේ ග්‍රීක් ලියවිලි ලෙසයි.

^ 13 ඡේ. අද දිනට ප්‍රයෝජනවත් වන ප්‍රතිපත්ති බොහොමයක් හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇතුළත් වුණත් දෙවි, මෝසෙස් මගින් ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතියට ක්‍රිස්තියානීන් අද යටත් නැති බව මතක තබාගත යුතුයි.

[6වන පිටුවේ කොටුව]

පරණ ගිවිසුමද නැත්නම් හෙබ්‍රෙව් ලියවිලිද?

“පරණ ගිවිසුම” යන යෙදුම බයිබලයේ දෙවෙනි කොරින්ති 3:14හි සොයාගත හැකියි. නමුත් එම බයිබල් පදයේ ඇති “ගිවිසුම” යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද? එක් බයිබල් විශාරදයෙක් වන එඩ්වඩ් රොබින්සන් පවසන ආකාරයට ‘ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් නීතිය ඇතුළත් වී තිබෙන්නේ මෝසෙස් ලියූ පොත් තුළයි.’ දෙවෙනි කොරින්ති 3:14හි පාවුල්ද ගිවිසුම යන වචනය යොදාගත්තේ දෙවි මෝසෙස්ට දුන් නීතියට යොමු දක්වන්නයි. බයිබලයේ මෝසෙස්ගේ නීතිය ඇතුළත් වන්නේ පොත් කිහිපයක පමණයි.

එසේනම් බයිබලයේ ඇතුළත් වී තිබෙන මුල් පොත් 39 හැඳින්විය හැකි උචිතම ආකාරය කුමක්ද? යේසුස් ඇතුළු ඔහුගේ ගෝලයන් එම පොත් යල් පැන ගිය ඒවා ලෙස සැලකුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඒවා ‘ශුද්ධ ලියවිලි’ ලෙස හැඳින්වූවා. (මතෙව් 21:42; රෝම 1:2) ඒ හා සමානව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද පරණ ගිවිසුම හඳුන්වන්නේ හෙබ්‍රෙව් ලියවිලි ලෙසයි. එයට හේතුව ඒ පොත් ලිවීමට වැඩි වශයෙන් හෙබ්‍රෙව් බස යොදාගැනීමයි. එමෙන්ම අලුත් ගිවිසුමට අයත් පොත් මුලින්ම ලියැවුණේ ග්‍රීක් භාෂාවෙන් නිසා ඔවුන් එය ග්‍රීක් ලියවිලි ලෙස හඳුන්වනවා.

[4වන පිටුවේ පින්තූර]

පුද්ගලයෙකුට යම් විටක විනිසුරුවරයෙක්, ප්‍රේමණීය පියෙක් සහ කිට්ටු මිතුරෙකුද විය හැකියි

[5වන පිටුවේ පින්තූරය]

තම සේවා කාලය පුරාම යේසුස් හෙබ්‍රෙව් ලියවිලි යොදාගත්තා

[7වන පිටුවේ පින්තූර]

කෙනෙකුට නිවැරදි තීරණ ගැනීමට උපකාරවත් විය හැක්කේ කුමන බයිබල් ප්‍රතිපත්තිද?