Skip to content

පටුනට යන්න

නිර්දෝෂව ජීවත් වෙන්න

නිර්දෝෂව ජීවත් වෙන්න

නිර්දෝෂව ජීවත් වෙන්න

“මම වනාහි සත්‍යවාදිකමින්, [හෙවත් නිර්දෝෂව] හැසිරෙන්නෙමි.”—ගීතාවලිය 26:11.

1, 2. (අ) මිනිසා දෙවිට විශ්වාසවන්ත වෙමින් තම නිර්දෝෂකම ඔප්පු කරනවාද නැද්ද යන්න යෙහෝවාගේ පාලන අයිතිය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීමට සම්බන්ධ වන්නේ මන්ද? (ආ) තමන් යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගන්නා බව මිනිසුන්ට හා දේවදූතයන්ට පෙන්විය හැක්කේ කෙසේද?

සාතන් ඒදන් උයනේ කැරලි ගැසූ අවස්ථාවේදී මුළු විශ්වයේ සියලු මැවිලි පාලනය කිරීමට දෙවි සතු අයිතිය ගැන ඔහු ප්‍රශ්න කළේය. ඉන් යම් කලකට පසුව, ඔහු චෝදනා කළේ මිනිසුන් දෙවිට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන තකා පමණක් බවයි. (යෝබ් 1:9-11; 2:4) ඒ නිසා මිනිසා දෙවිට විශ්වාසවන්ත වෙමින් තම නිර්දෝෂකම ඔප්පු කරනවාද නැද්ද යන්න යෙහෝවාගේ පාලන අයිතිය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීමට සම්බන්ධ වී තිබේ.

2 දෙවි වනාහි විශ්වයේ සදාකාලික පරමාධිපතියාණෝය. මිනිසුන් දෙවිට විශ්වාසවන්ත වෙමින් නිර්දෝෂව සිටියත් නැතත් එය වෙනස් වන්නේ නැත. එහෙත්, මිනිසුන්ට මෙන්ම ස්වර්ගයේ සිටින දේවදූතයන්ටද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය පෙන්විය හැකියි. ඒ කෙසේද? දෙවිට විශ්වාසවන්ත වෙමින් නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමෙන් හෝ නොකිරීමෙනි. එසේනම්, මෙය ස්වර්ගයේ හෝ වේවා පොළොවේ හෝ වේවා වෙසෙන ඕනෑම කෙනෙකුගේ ස්ථාවරය විනිශ්චය කිරීමට හොඳ පදනමක් සපයයි.

3. (අ) යෝබ් සහ දාවිත් යෙහෝවාගෙන් ඉල්ලා සිටියේ තමන් සම්බන්ධයෙන් කුමක් පරීක්ෂා කරන මෙන් සහ විනිශ්චය කරන මෙන්ද? (ආ) නිර්දෝෂකම සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න මොනවාද?

3 යෝබ් මහත් නිසැකකමින් යුතුව පැවසුවේ මෙසේයි. “[යෙහෝවා] මාගේ අවංකකම [හෙවත් නිර්දෝෂකම] දැනගන්නා පිණිස හරි තරාදියෙන් මම කිරනු ලබම්වා.” (යෝබ් 31:6) ඉපැරණි ඊශ්‍රායෙලයේ දාවිත් රජු, විශේෂයෙන් යෙහෝවාගෙන් ඉල්ලා සිටියේ තමන් දෙවිට විශ්වාසවන්ත වෙමින් නිර්දෝෂව සිටිනවාද යන්න පරීක්ෂා කරන මෙන්ය. ඔහු යාච්ඤා කළේ මෙසේයි. “යෙහෝවා, මා විනිශ්චය කළ මැනව, මක්නිසාද මම සත්‍යවාදිකමින් [හෙවත් නිර්දෝෂව] හැසුරුණෙමි. මම නොසෙල්වී යෙහෝවා කෙරෙහි විශ්වාස කළෙමි.” (ගීතාවලිය 26:1) එසේනම්, අපත් දෙවිට විශ්වාසවන්ත වෙමින් නිර්දෝෂව ජීවත් වීම මොන තරම් වැදගත්ද! එහෙත්, නිර්දෝෂකම යනු කුමක්ද? දෙවිට විශ්වාසවන්ත වෙමින් නිර්දෝෂව ජීවත් වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? නිර්දෝෂ ජීවිතයක් දිගටම ගත කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

‘මම නිර්දෝෂව ජීවත් වුණෙමි’

4. නිර්දෝෂව ජීවත් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 නිර්දෝෂව ජීවත් වීම කියා පරිවර්තනය කර ඇති මුල් හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු ප්‍රතිපත්ති ගරුක, අවංක, ධර්මිෂ්ඨ සහ සත්‍යවාදී කෙනෙකු ලෙස ජීවත් වීමයි. එහෙත්, හරි දෙය කිරීමට වඩා වැඩි දෙයක් නිර්දෝෂව ජීවත් වීමට ඇතුළත්ය. ඉන් අදහස් කරන්නේ පුද්ගලයෙකු සදාචාර ගතිපැවතුම් අතින් නිකැළැල්ව සිටීම හෝ හෘදයාංගම භක්තියකින් දෙවිට සේවය කිරීමයි. සාතන් යෝබ් ගැන දෙවිට පැවසුවේ මෙසේයි. “ඔබගේ හස්තය දිගු කර [යෝබ්ගේ] ඇටවලටත් මාංසයටත් ගසන්නේ නම් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරින්නේය.” මෙහිදී සාතන් චෝදනා කළේ යෝබ් දෙවිට වැරදි චේතනාවෙන් සේවය කරන බවයි. (යෝබ් 2:5) මේ අනුව පෙනී යන කාරණයක් වන්නේ, නිර්දෝෂ කෙනෙකු හරි දෙය කරනවාට අමතරව ඔහු ඒ සඳහා හරි චේතනාවෙන් පෙලඹිය යුතු බවයි.

5. නිර්දෝෂව ජීවත් වෙනවායයි පවසද්දී, අප කිසිම වරදක් නොකරන සම්පූර්ණ පුද්ගලයන් වීම අවශ්‍ය නැති බව කුමකින් පෙනී යයිද?

5 එහෙත්, නිර්දෝෂව ජීවත් වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කිසිම වරදක් නොකර සම්පූර්ණ මිනිසෙකු ලෙස ක්‍රියා කිරීම නොවේ. දාවිත් රජ අසම්පූර්ණ මිනිසෙකු වූ අතර, ඔහුගේ ජීවිත කාලය තුළ බරපතළ පව් කිහිපයක්ම කළේය. එහෙත් බයිබලයේ ඔහුව විස්තර කර තිබෙන්නේ “ඒකාන්ත සිතින් [හෙවත් නිර්දෝෂව]” ජීවත් වුණු පුද්ගලයෙකු ලෙසයි. (1 රාජාවලිය 9:4) ඒ මන්ද? දාවිත් යෙහෝවාට ප්‍රේම කළ නිසාය. ඔහුට යෙහෝවා කෙරෙහි තිබුණේ හෘදයාංගම භක්තියකි. ඔහු කැමැත්තෙන්ම තමා කළ වැරදි පිළිගත්තේය. ඔහුට අවවාද කළ විට ඒවා සිතට ගත්තේය. ප්‍රතිඵලයක් ලෙස ඔහු තම ක්‍රියා නිවැරදි කරගත්තේය. ඇත්තෙන්ම දාවිත් නිර්දෝෂව සිටි බවට තම දෙවි යෙහෝවා කෙරෙහි ඔහුට තිබූ හෘදයාංගම ප්‍රේමයෙන් සහ භක්තියෙන් ඔප්පු වේ.—ද්විතීය කතාව 6:5, 6.

6, 7. නිර්දෝෂව ජීවත් වීමට ඇතුළත් වන්නේ කුමක්ද?

6 නිර්දෝෂව ජීවත් වීම යනු, ආගමික කටයුතුවලදී පමණක් පෙන්වන භක්තියකට සීමා වූ දෙයක් නොවෙයි. එය මිනිසෙකුගේ ජීවිතයේ සෑම පැත්තකින්ම පිළිබිඹු විය යුතු දෙයකි. දාවිත් නිර්දෝෂකමෙන් ‘හැසිරුණේය’ හෙවත් ජීවත් වුණේය. ‘හැසිරුණේය’ යන වචනයට කෙනෙකුගේ මුළු ‘ජීවන රටාවම’ සම්බන්ධ වේ. (The New Interpreter’s Bible) ‘තම මාර්ගයේ නිර්දෝෂ වූ’ අය ගැන කතා කරමින් ගීතිකාකරු මෙසේ ගායනා කළේය. “දෙවිගේ සාක්ෂි [හෙවත් සිහිගැන්වීම්] පවත්වන්නාවූ මුළු සිතින් ඔහු සොයන්නාවූ තැනැත්තෝ ආශීර්වාද ලද්දෝය. ඔවුහු කිසි අධර්මිෂ්ඨකමක් නොකරති. ඔහුගේ මාර්ගවල හැසිරෙති.” (ගීතාවලිය 119:1-3) නිර්දෝෂව ජීවත් වන කෙනෙක් නිතරම දෙවිගේ කැමැත්ත විමසා බලා ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරයි.

7 නිර්දෝෂව ජීවත් වීමට ඇතුළත් වන තවත් දෙයක් නම්, දුෂ්කර තත්වයන් යටතේදී පවා දෙවිට පක්ෂපාතව ලැදිව සිටීමය. අප නොයෙක් පීඩා දරාගන්නා විට, විපත්තිවලට මුහුණ දෙමින් ඇදහිල්ලේ ස්ථිරව සිටින විට, අපව වරදට හසු කරගැනීමට මේ අභක්තික ලෝකය දරන ප්‍රයත්නයට එරෙහි වන විට, අප නිර්දෝෂව ජීවත් වන බව පැහැදිලිව දක්නට ලැබේ. මෙමගින් යෙහෝවාට නින්දා කරන්නා වන සාතන්ට උත්තරයක් දීමට යෙහෝවාට හැකි වන නිසා අපි ‘ඔහුගේ සිත ප්‍රීති කරන්නෙමු.’ (හිතෝපදේශ 27:11) එසේනම්, යෝබ් මෙන් අපටද හොඳ හේතු ඇතිව මෙසේ අධිෂ්ඨාන කරගත හැකියි. “මා නසින තෙක් මාගේ අවංකකම [හෙවත් නිර්දෝෂකම] පහ නොකරන්නෙමි.” (යෝබ් 27:5) විසි හයවන ගීතිකාවේ අපට පෙන්වන්නේ නිර්දෝෂව ජීවත් වීම සඳහා අපට උපකාරවත් වන දේවල්ය.

‘මාගේ හෘදයත් සිතත් පිරිසිදු කළ මැනව’

8. තමාගේ හෘදය හා සිත පරීක්ෂා කර බලන මෙන් දාවිත් යෙහෝවාට කළ ආයාචනයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

8 දාවිත් මෙසේ යාච්ඤා කළේය. “යෙහෝවා, මා විභාග කොට පරීක්ෂා කළ මැනව. මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව.” (ගීතාවලිය 26:2) “හෘදය” ලෙසට පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් නියෝජනය වන්නේ යම් පුද්ගලයෙකුගේ ගැඹුරු සිතිවිලි හා චිත්තවේගී හැඟීම්ය. තවද සිත යනු අභ්‍යන්තර පුද්ගලයායි. එනම්, ඔහුගේ චේතනා, හැඟීම්, යමක් වටහාගැනීමේ හැකියාවය. තමාව විමසා බලන මෙන් දාවිත් යෙහෝවාගෙන් ආයාචනා කළ විට, ඔහු අදහස් කළේ, තමාගේ ඇතුළාන්ත සිතිවිලි හා ගැඹුරු හැඟීම් හොඳින් පරීක්ෂා කර බලන ලෙසයි.

9. යෙහෝවා අපගේ හෘදය සහ සිත පිරිසිදු කරන්නේ කිනම් ආකාරයෙන්ද?

9 දාවිත් තම හෘදය හා සිත විමසා බලා පිරිසිදු කරන මෙන් ආයාචනා කළේය. යෙහෝවා අපගේ ඇතුළාන්තය පිරිසිදු කරන්නේ කෙසේද? දාවිත් ගායනා කළේ මෙසේයි. “මට දැනමිතිකම් දුන්නාවූ යෙහෝවාට ආශීර්වාද [හෙවත් ප්‍රශංසා] කරන්නෙමි. එසේය, රාත්‍රි භාගයේදී මාගේ සිතිවිලිවලින් මට ගුරුකම් ලැබේ.” (ගීතාවලිය 16:7) ඉන් අදහස් කරන්නේ කුමක්ද? දෙවි දුන් උපදෙස් දාවිත්ගේ ඇතුළාන්තයටම කිඳාබැස ඔහුගේ ගැඹුරු සිතිවිලි හා හැඟීම් නිවැරදි කළ බවයි. අපට දේවවචනයෙන්, දෙවිගේ නියෝජිතයන්ගෙන් සහ ඔහුගේ සංවිධානයෙන් ලැබෙන උපදෙස් අප අගය කිරීමෙන් යුතුව මෙනෙහි කරනවා නම්, අප තුළත් එවැනි බලපෑමක් ඇති වේ. අපගේ සිතිවිලි මෙයාකාරයෙන් පිරිසිදු කරන මෙන් යෙහෝවාට නිතිපතා යාච්ඤා කිරීම නිර්දෝෂව ජීවත් වීමට අපට උපකාරවත් වේ.

‘ඔබගේ කරුණාව මා ඉදිරියෙහිය’

10. දෙවිගේ සැබෑකමෙහි හැසිරීමට දාවිත්ට උපකාරවත් වූයේ කුමක්ද?

10 “ඔබගේ කරුණාව මාගේ ඇස් හමුයෙහිය. ඔබගේ සැබෑකමෙහි හැසුරුණෙමි” යයි දාවිත් තවදුරටත් පැවසීය. (ගීතාවලිය 26:3) දෙවි තම සෙනඟ සමඟ ප්‍රේමණීය කරුණාවෙන් ක්‍රියා කළ ආකාරය දාවිත් හොඳින් දැන සිටි අතර, ඔහු ඒවා ගැන මෙනෙහි කළේ ඉතා ගැඹුරු අගය කිරීමකින් යුතුවය. “මාගේ ආත්මය, යෙහෝවාට ආශීර්වාද [හෙවත් ප්‍රශංසා] කරන්න. ඔහුගේ උපකාර සියල්ල මතක නැති නොකරන්න” යයි ඔහු පැවසීය. දෙවිගේ ‘ක්‍රියාවලින්’ එකක් සිහියට නංවමින් දාවිත් තවදුරටත් පැවසුවේ මෙසේයි. “යෙහෝවා පීඩා විඳින සියල්ලන්ට ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ට කරන්නේය. ස්වකීය මාර්ග මෝසෙස්ටත් ස්වකීය ක්‍රියා ඊශ්‍රායෙල් පුත්‍රයන්ටත් දැන්වූවේය.” (ගීතාවලිය 103:2, 6, 7) මෙහිදී සමහරවිට දාවිත් කල්පනා කරමින් සිටියේ මෝසෙස් විසූ කාලයේදී ඊජිප්තුවරුන් ඊශ්‍රායෙල් ජනයාට කළ දුක් පීඩා ගැන විය හැකියි. ඒ අවස්ථාවේදී තම සෙනඟව ගලවාගන්නා ආකාරය ගැන යෙහෝවා මෝසෙස්ව දැනුවත් කළේය. මෙම සිදුවීම් ගැන මෙනෙහි කිරීම දාවිත්ගේ සිතට තදින් කාවදින්නට ඇත. එමෙන්ම දෙවිගේ සැබෑකමෙහි හැසිරීමට ඔහු තුළ වූ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වන්නට ඇත.

11. නිර්දෝෂව ජීවත් වීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

11 නිර්දෝෂව ජීවත් වීමට අපටත් උපකාරවත් වන්නේ නිතිපතා දේවවචනය අධ්‍යයනය කිරීම සහ ඒ ගැන මෙනෙහි කිරීමය. නිදසුනක් වශයෙන්, පොතිපර්ගේ භාර්යාව යෝසෙප්ව දුරාචාරයට පොලඹවාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පලා ගිය ආකාරය ගැන මතක් කරගැනීම, අපටත් අපගේ රැකියා ස්ථානයේදී, පාසැලේදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී එවන් පෙලඹීම් ඇති වන විට ඒවාට හසු නොවී පලා යෑමට මහත් දිරිගැන්වීමක් වෙනවා නියතය. (උත්පත්ති 39:7-12) මේ ලෝකයේ වස්තුව දේපොළ අත් කරගැනීමට හෝ සමාජයේ යම් ප්‍රසිද්ධියක් හා සමාජ තත්වයක් අත් කරගැනීමට පෙලඹීම් ඇති වන විට අපට කුමක් ගැන කල්පනා කළ හැකිද? මෝසෙස්ගේ ආදර්ශය අපට තිබේ. ඔහු ඊජිප්තුවේ යස ඉසුරු ප්‍රතික්ෂේප කළ කෙනෙකි. (හෙබ්‍රෙව් 11:24-26) අපි යෝබ්ගේ විඳදරාගැනීම මතක තබාගන්නවා නම්, අසනීප හා විවිධ විපත්ති මැද යෙහෝවාට පක්ෂපාතව සිටීමට අප තුළ ඇති අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමට එය මහෝපකාරී වෙන බවට කිසිදු සැකයක් නැත. (යාකොබ් 5:11) අපට දරුණු පීඩාවලට මුහුණ දීමට සිදු වන විට කුමකින් අපට උපකාර ලැබිය හැකිද? සිංහ ගුහාවේ සිටි දානියෙල් ලත් අද්දැකීම ගැන කල්පනා කිරීම මගින් අප තුළ මහත් ධෛර්යයක් ඇති වෙනවා නියතය.—දානියෙල් 6:16-22.

“බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි”

12, 13. අප වැළකිය යුත්තේ කිනම් ආකාරයේ අයව ඇසුරු කිරීමෙන්ද?

12 නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට දාවිත් තුළ වූ අධිෂ්ඨානය ශක්තිමත් කිරීමට හේතු වූ තවත් කාරණයක් ගැන ඔහු පැවසුවේ මෙසේයි. “බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි. රැවටිලිකාරයන් සමඟද ප්‍රවිෂ්ට නොවන්නෙමි. නපුරුකම් කරන්නන්ගේ සමාගමට වෛර වෙමි. දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි.” (ගීතාවලිය 26:4, 5) දාවිත් කොහෙත්ම දුෂ්ටයන් සමඟ හිඳගත්තේ නැත. නපුරු ආශ්‍රය ඔහු පිළිකුල් කළේය.

13 අප ගැන කුමක් කිව හැකිද? අප රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ පට, චිත්‍රපට, අන්තර්ජාලයේ වෙබ් අඩවි සහ වෙනත් ක්‍රම ඔස්සේ බොරුකාර මිනිසුන් සමඟ හිඳගන්නවාද? රැවටිලිකාරයන් හෙවත් තමන් ඇත්තටම කවුදැයි සඟවන පුද්ගලයන්ගෙන් අප ඈත්ව සිටිනවාද? පාසැලේදී හෝ අපගේ රැකියා ස්ථානයේදී ඇතමුන් බොරු යාළුකමක් පෙන්වා අපව සටකපට ලෙස නරක දේවලට හසු කරගන්නට ඉඩ තිබේ. දෙවිගේ සැබෑකමේ නොහැසිරෙන අය සමඟ එවන් කිට්ටු සම්බන්ධකම් ඇති කරගැනීමට ඇත්තටම අපට ඕනෑද? ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අය අහිංසක ලෙස පෙනී සිටිමින් යෙහෝවාට අප කරන සේවයෙන් අපව ඈත් කිරීමට උත්සාහ කළ හැක. ක්‍රිස්තියානි සභාවේ සිටිමින් දෙබිඩි ජීවිත ගත කරන ඇතැමුන් ගැන කුමක් කියන්නට පුළුවන්ද? ඔවුන්ද කරන්නේ තමන් ඇත්තටම කවුද කියා සැඟවීමයි. දැන් සභා සේවකයෙකු ලෙස සේවය කරන ජේසන්ට තරුණ වියේදී ඒ හා සමාන මිතුරන් සිටියේය. ඔවුන් ගැන ඔහු පවසන්නේ මෙසේයි. “එක දවසක් එක්කෙනෙක් මට මෙහෙම කිව්වා. ‘දැන් මොනවා කළත් කමක් නැහැනේ. අලුත් ලෝකය එනකොට අපි මැරිලා ඉඳියි. ඊට වඩා දෙයක් අපිට වෙන්නේ නැහැනේ. එහෙනම්, දැන් මොනවා කළත් මොකද?’ ඒ වගේ කතාවක් ඇහිලා තමයි මගේ ඇස් ඇරුණේ. නව ලෝකය එන කොට මැරිලා ඉන්න මට වුවමනා නැහැ.” ජේසන් එවන් අයගෙන් ඉතා ඥානවන්ත ලෙස ඈත් විය. ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේ මෙසේයි. “මුළා නොවන්න. නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.” (1 කොරින්ති 15:33) එසේනම්, එවන් අයගේ ඇසුරෙන් වැළකී සිටීම මොන තරම් අත්‍යවශ්‍ය දෙයක්ද!

‘ඔබගේ සියලු ආශ්චර්යවත් ක්‍රියා ගැන කියන්නෙමි’

14, 15. යෙහෝවාගේ ‘පූජාසනය වටා යෑමට’ අපට හැක්කේ කෙසේද?

14 “යෙහෝවා, . . . නිදොස්කමින් මාගේ අත් සෝදා ඔබගේ පූජාසනය වට කොට යන්නෙමි” යයි දාවිත් තවදුරටත් කීවේය. ඒ කුමකටද? “ස්තුති ශබ්දය මා විසින් ඇසෙන්ට සලස්වන පිණිසද ඔබගේ සියලු ආශ්චර්යවත් ක්‍රියා ගැන කියන පිණිසද” යයි ඔහු කීවේය. (ගීතාවලිය 26:6, 7) දාවිත්ට වුවමනා වූයේ සදාචාරමය වශයෙන් නිකැළැල්ව සිටීමටයි. ඒ මන්ද? එවිට ඔහුට යෙහෝවාට නමස්කාර කිරීමටත් ඔහුගේ භක්තිය ගැන ප්‍රකාශ කිරීමටත් හැකි වන නිසාය.

15 කලින් මණ්ඩපයේ හා පසුව දේවමාලිගාවෙහි සිදු වූ සහ තිබුණාවූ සැබෑ නමස්කාරයට සම්බන්ධ සෑම දෙයක්ම ‘ස්වර්ගයේ දේවල් සංකේතවත්’ කළේය. (හෙබ්‍රෙව් 8:5; 9:23) යෙහෝවාගේ කැමැත්ත වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාව තුළින් මිනිස් වර්ගයාට ගැලවීම ලබා දීමයි. පූජාසනයෙන් සංකේතවත් කළේ එම කැමැත්තයි. (හෙබ්‍රෙව් 10:5-10) අපි අපගේ අත් නිදොස්කමින් සෝදාගෙන, යෙහෝවාගේ ‘පූජාසනය වටා යන්නේ’ එම පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම මගිනි.—යොහන් 3:16-18.

16. දෙවිගේ පුදුමාකාර ක්‍රියා ගැන අන්‍යයන්ට කියා දීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ කෙසේද?

16 මිදීමේ මිලයෙන් ගත හැකි ප්‍රයෝජන ගැන අප කල්පනා කරන විට, යෙහෝවා කෙරෙහිත් ඔහුගේ ඒකජාතක පුත්‍රයාණන් කෙරෙහිත් දැඩි කෘතඥතාවකින් අපගේ හදවත පිරී යන්නේ නැද්ද? එසේනම්, අපද අපගේ හද තුළ පිරි කෘතඥතාවකින් යුතුව, දෙවිගේ පුදුමාකාර ක්‍රියා ගැන, එනම් ඒදන් උයනේදී මිනිසාව මැවීමේ සිට දෙවිගේ නව ලෝකයේදී සියලු දේවල් සම්පූර්ණයෙන්ම නැවත පිහිටුවීම දක්වා සියලුම කාරණා අපි අන්‍යයන්ට කියා දෙමු. (උත්පත්ති 2:7; ක්‍රියා 3:21) ඇරත්, රාජ්‍යය ගැන දේශනා කිරීම හා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් බවට පත්වීමට උපකාර කිරීමෙන් ලැබෙන ආත්මික ආරක්ෂාව මොන තරම්ද! (මතෙව් 24:14; 28:19, 20) මෙම කාර්යය තුළ ඉතා කඩිසර ලෙස නියැලීමෙන්, අනාගතය සම්බන්ධයෙන් අපට තිබෙන බලාපොරොත්තුව ස්ථිර වෙයි. දෙවිගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙයි. එමෙන්ම යෙහෝවා සහ සෙසු මිනිසුන් කෙරෙහි අපගේ ප්‍රේමයද දිගටම පවතී.

‘ඔබගේ ගෘහයට ආදරේ වෙමි’

17, 18. ක්‍රිස්තියානි රැස්වීම් සම්බන්ධයෙන් අපගේ ආකල්පය විය යුත්තේ කුමක්ද?

17 ඊශ්‍රායෙල් ජාතිය උදෙසා යෙහෝවාගේ නමස්කාරයේ මධ්‍යස්ථානය වූයේ පූජා ඔප්පු කිරීම සඳහා තිබූ පූජාසනයක් සහිත මණ්ඩපයයි. එම ස්ථානයට දාවිත් කොතරම් ඇලුම් කළාද කියතොත් ඔහු යාච්ඤා කළේ මෙසේයි. “යෙහෝවා, ඔබගේ ගෘහය නම් නිවාසයට හා ඔබගේ තේජස පවතින ස්ථානයට ආදරේ වෙමි.”ගීතාවලිය 26:8.

18 යෙහෝවා ගැන උගන්වන ස්ථානවල රැස්වීමට අප ඇලුම්කමක් දක්වනවාද? අප සිටින ප්‍රජාව තුළ සැබෑ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වන්නේ ආත්මික උපදෙස් සහිත නිතිපතා රැස්වීම් තිබෙන අපගේ රාජ්‍ය ශාලාවයි. මීට අමතරව, අපට දිස්ත්‍රික් සමුළු, චාරිකා එක්රැස්වීම් සහ විශේෂ එක්රැස්වීම්වලට සහභාගි වීමට තිබේ. යෙහෝවාගේ “සාක්ෂි” හෙවත් සිහිගැන්වීම් ගැන මෙම රැස්වීම්වලදී සාකච්ඡා කරනු ලැබේ. අප ඒවාට “බොහෝ සෙයින් ප්‍රිය” වෙනවා නම්, අපි ඉතා උනන්දුවෙන් මෙම රැස්වීම්වලට සහභාගි වී ඉතා හොඳින් අපගේ සවන් යොමු කරන්නෙමු. (ගීතාවලිය 119:167) තවද අපගේ දුක සැප ගැන උනන්දු වෙන සහ නිර්දෝෂ ජීවිතයක් දිගටම ගත කිරීමට අපට උපකාර කරන්නාවූ සෙසු ඇදහිලිවන්තයන් සමඟ සිටීමට ලැබීම මොන තරම් ප්‍රබෝධයක්ද!—හෙබ්‍රෙව් 10:24, 25.

‘පව්කාරයන් සමඟ මගේ ආත්මය එක් නොකළ මැනව’

19. තමාව වරදකරුවෙකු ලෙස ගණන් ගනු ලබනවාට දාවිත් අකමැති වූයේ කිනම් පාප සම්බන්ධයෙන්ද?

19 දෙවිගේ සත්‍යතාවේ මාර්ගයෙන් ඉවත් වීමෙන් ඇති විය හැකි ඵලවිපාක ගැන හොඳින් දැන සිටි දාවිත් ආයාචනා කළේ මෙසේයි. “පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ආත්මයත් එක් නොකළ මැනව. ඔවුන්ගේ අත්වල නපුරුකම ඇත. ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරී තිබේ.” (ගීතාවලිය 26:9, 10) නින්දිතව හැසිරුණු, අල්ලස් ගත්, අභක්තික මිනිසුන් සමඟ තමාව ගණන් ගනු ලබනවාට දාවිත් කොහෙත්ම කැමති වූයේ නැත.

20, 21. අභක්තිකයන්ගේ ජීවන රටාව අනුගමනය කිරීමට අප පෙලඹිය හැක්කේ කෙසේද?

20 අද දින ලෝකය තුළ බැලූ බැලූ හැම තැන දක්නට ලැබෙන්නේ දුරාචාර ක්‍රියායි. රූපවාහිනිය, සඟරා සහ චිත්‍රපට, දුරාචාරයට හෙවත් “වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම” යනාදියට අනුබල දෙයි. (ගලාති 5:19) ඇතැම්හු කාමුක පොත් පත් ආදියට වහල් වී සිටිති. මෙය බොහෝවිට පොලඹවන්නේ දුරාචාරයටය. විශේෂයෙන්ම එවන් බලපෑම්වලට හසු වෙන්නේ යෞවනයන්ය. ඇතැම් රටවල, ගැහැනු පිරිමි විවාහ වීමේ අරමුණක් නැතුව එකට ආශ්‍රය කරති. නහඹර වියේ පසු වන අය අතරත් මෙලෙස ආශ්‍රය කිරීමට පෙලඹීමක් ඇති වේ. බොහෝ නහඹරයෝ විවාහ වීමට තව බොහෝ කල් තිබුණද ආලයෙන් බැඳෙති. තමන් තුළ ඇති වන ලිංගික ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා මොවුන් දුරාචාරයේ යෙදෙන අතර සමහරු වේශ්‍යාකම් කරති.

21 වැඩිහිටියන්ද නොයෙක් ආකාරයේ නරක බලපෑම්වලට හසු නොවෙනවා නොවේ. වංචනික ව්‍යාපාර කටයුතු සහ ඔවුන්ගේ ආත්මාර්ථකාමී චේතනා පෙරදැරි කරගෙන ඔවුන් ගන්නා තීරණවලින් පෙනෙන්නේ ඔවුන් නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට අපොහොසත් වී ඇති බවයි. මේ ලෝකයේ ක්‍රමයට ජීවත් වීමට යෑමෙන් සිදු වෙන්නේ යෙහෝවාගෙන් තව තවත් ඈත්වීම පමණි. එම නිසා, අපි ‘නපුරට ද්වේෂ කර, යහපතට ප්‍රේම කරමු.’ තවද, එසේ කර අපි දිගටම නිර්දෝෂව ජීවත් වෙමු.—ආමොස් 5:15.

“මා මුදා මට කරුණා කළ මැනව”

22-24. (අ) විසි හයවෙනි ගීතිකාවේ අවසන් වචනවලින් ඔබට ලැබුණේ කිනම් දිරිගැන්වීමක්ද? (ආ) ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනු ලබන්නේ කිනම් උගුල ගැනද?

22 දාවිත් තමාගේ ගීතිකාව අවසන් කළේ මෙසේ කියමිනි. “මම වනාහි සත්‍යවාදිකමින් [හෙවත් නිර්දෝෂව] හැසිරෙන්නෙමි. මා මුදා මට කරුණා කළ මැනව. මාගේ පය සමභූමියෙහි පිහිටා තිබේ. සභාවලදී යෙහෝවාට ආශීර්වාද [හෙවත් ප්‍රශංසා] කරන්නෙමි.” (ගීතාවලිය 26:11, 12) නිර්දෝෂව ජීවත් වීමට දාවිත්ට අධිෂ්ඨානයක් තිබුණත්, තමාගේ පව්කාරකම නිසා යෙහෝවාගේ කරුණාව තමාට අවශ්‍ය බවත් ඔහු වටහාගෙන සිටියේය. මෙය අපට මොන තරම් දිරිගැන්වීමක්ද! අප පව්කාර තත්වයක සිටියද, දිගටම නිර්දෝෂව ජීවත් වීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා නම් යෙහෝවා අපට උපකාර කරනවා නියතය.

23 අපගේ ජීවිතයේ සෑම අංගයකදීම අපි දෙවිගේ පරමාධිපත්‍යයට ගෞරව කරන බව අපගේ ජීවිත රටාවෙන් පෙන්වමු. අපගේ අභ්‍යන්තර සිතිවිලි හා ගැඹුරු හැඟීම් පරීක්ෂා කර ඒවා පිරිසිදු කරන ලෙසට අප සෑම කෙනෙකුටම යෙහෝවාගෙන් අයැද සිටිය හැකියි. දෙවිගේ වචනය ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ සත්‍යතාවන් නිතරම මතක් කරගැනීමටද අපට හැකිය. එසේනම්, අපි නරක ආශ්‍රයෙන් වැළකී, සභාව මැද යෙහෝවාට ප්‍රශංසා කරමු. අප රාජ්‍ය ගැන දේශනා කිරීමේ හා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමේ කාර්යය තුළ ඉතා උද්‍යෝගයෙන් නියැලෙමු. දෙවි සමඟ අපට තිබෙන වටිනා සම්බන්ධතාවට හානි කිරීමට මේ ලෝකයට කිසිවිටෙකත් ඉඩ නොදෙමු. අප දිගටම නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට අපගේ උපරිමය කරත්ම, යෙහෝවා අපට කරුණාව දක්වන බවට නිසැක විය හැකියි.

24 නිර්දෝෂව සිටීම ජීවිතයේ සියලුම පැතිවලට බලපාන නිසා, එක්තරා දරුණු උගුලකින් අප ආරක්ෂා විය යුතුයි. එය නම් අධික මත්පැන් පානයයි. අපි මේ ගැන ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු.

ඔබට මතකද?

• මිනිසුන් හා දේවදූතයන් දෙවිට විශ්වාසවන්ත වෙමින් සිය නිර්දෝෂකම ඔප්පු කරනවාද නැද්ද යන කාරණය මත ඔවුන්ව විනිශ්චය කිරීම සාධාරණ වන්නේ මන්ද?

• නිර්දෝෂකම යනු කුමක්ද? නිර්දෝෂව ජීවත් වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• නිර්දෝෂව ජීවත් වීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

• නිර්දෝෂ ජීවිතයක් ගත කිරීම සඳහා අප සෝදිසියෙන් සිට කුමන අන්තරාවන්ගෙන් වැළකී සිටිය යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූරය]

ඔබගේ ඇතුළාන්ත සිතිවිලි පරීක්ෂා කරන මෙන් ඔබ නිතිපතා යෙහෝවාගෙන් ඉල්ලා සිටිනවාද?

[14වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ප්‍රේමණීය කරුණාවෙන් කරන ක්‍රියා ඔබ නිතරම මතකයේ තබාගන්නවාද?

[15වන පිටුවේ පින්තූර]

අප පරීක්ෂා මැද දෙවිට විශ්වාසවන්තව නිර්දෝෂව සිටින විට යෙහෝවාගේ සිත සතුටු වෙයි

[17වන පිටුවේ පින්තූර]

නිර්දෝෂ ජීවිතයක් ගත කිරීම සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දී ඇති සැපයුම්වලින් ඔබ ප්‍රයෝජන ගන්නවාද?