Skip to content

පටුනට යන්න

කෲර මෙහෙකාර සේවය දෙවි අනුමත කරනවාද?

කෲර මෙහෙකාර සේවය දෙවි අනුමත කරනවාද?

බයිබලයෙන් පිළිතුරක්

කෲර මෙහෙකාර සේවය දෙවි අනුමත කරනවාද?

බයිබලයේ සඳහන් වන ප්‍රධාන ඉගැන්වීම්වලින් එකක් වන්නේ අසල්වැසියාට ප්‍රේම කිරීමයි. ඒත් එක්කම මිනිසුන්ව දාසයන් ලෙස තබාගැනීම ගැනත් එහි කතා කරනවා. ඒ නිසා සමහර අය මෙය දකින්නේ එකිනෙකට පටහැනි අදහස් දෙකක් ලෙසයි.

අතීතයේදී දෙවිගේ සෙනඟ අතර දාසයන් සිටියා. (උත්පත්ති 14:14, 15) ඒ වගේම මුල් ක්‍රිස්තියානීන් අතර පවා සමහර අය ස්වාමිවරුන් ලෙසද තවත් සමහර අය දාසයන් ලෙසද සේවය කර තිබෙනවා. (ෆිලෙමොන් 15, 16) ඉන් අදහස් කරන්නේ කෲර මෙහෙකාර සේවය දෙවි අනුමත කරන බවද?

දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනි සමාජයක්

බයිබලය ලිවීමට පෙර සිටම මිනිසුන් තමන් කැමති ආකාරයට කටයුතු කිරීමට පුරුදු වී සිටියා. ඉන් එක් දෙයක් වුණේ අනිසි ලෙස අන් අයව පාලනය කිරීමයි. දෙවි මෙයට අකමැති වුණත් ඔහු ඊට ඉඩහැරියා.

දෙවි එසේ ඉඩහැරියත් ඔහුගේ සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුන් අතර තිබූ තත්වය ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “වැන්දඹුවන්ගෙන්, දිලිඳුන්ගෙන් හා දෙමාපියන් නැති දරුවන්ගෙන් අනිසි ප්‍රයෝජන ගැනීමට ඊශ්‍රායෙල්වරුන්ට කිසිම ඉඩක් ලැබුණේ නැහැ.” දාසයන්ව තබාගැනීමට දෙවි ඉඩහැරියත් ඔවුන්ට සැලකිය යුතු ආකාරය ගැන යම් නීති ලබා දුන්නා. ඒ නීතිවලට අනුව දාසයෙකුට සැලකිය යුතු වුණේ කාරුණික හා සාධාරණ ලෙසයි.—එම විශ්වකෝෂය The International Standard Bible Encyclopedia.

දෙවි දුන් නීති

දාසයෙකුව තබාගැනීම සම්බන්ධව දෙවි දුන් නීති කිහිපයක් දැන් අපි සලකා බලමු.

කෙනෙකුව පැහැරගෙන ගොස් ඔහුව දාසයෙකු ලෙස විකිණීම මරණ දඬුවම ලැබිය යුතු වරදක් වුණා. (නික්මයාම 21:16) නමුත් යම් හේතුවක් නිසා ඊශ්‍රායෙල්වරයෙකු ණය වී සිටියා නම්, එම ණය පියවීම සඳහා කැමැත්තෙන්ම ඔහුට දාසයෙකු වීමට හැකියාව තිබුණා. ඒ අතර කාලයේදී ඔහුට යම් මුදලක් උපයාගැනීමට හැකි වුණොත් එම ණය පියවා නිදහස් වීමට ඔහුට හැකියි.—ලෙවී කතාව 25:47-52.

එදා ඊශ්‍රායෙල්වරුන් අවට සිටි ජාතීන් දාසයන්ට සැලකුවේ කෲර ආකාරයටයි. නමුත් දෙවි එය අනුමත කළේ නැහැ. ඒ නිසා දෙවි මෙසේ පැවසුවා. “යම් ඊශ්‍රායෙල් ජාතිකයෙකු දුගී තත්වයට වැටී ඔබ ළඟට ඇවිත් තමාවම දාසකමට විකුණුවොත් ඔබ ඔහුට කුරිරු ලෙස නොසැලකිය යුතුයි. ඔබ සමඟ සිටින කුලීකාරයෙකුට හෝ විදේශිකයෙකුට හෝ සලකන ආකාරයට ඔබ ඔහුට සැලකිය යුතුයි.” (ලෙවී කතාව 25:39, 40) දිලිඳු අය ගැනත් දෙවි සැලකිලිමත් බව එයින් පැහැදිලියි.

සොරෙකුට නීතියෙන් නියම කළ වන්දිය ගෙවිය නොහැකි නම් වන්දියක් වශයෙන් ඔහුව දාසයෙකු ලෙස විකිණීමට අවසර තිබුණා. (නික්මයාම 22:3) නමුත් වන්දියට සරිලන සේවයක් කළ පසුව ඔහුට නිදහස් වී යෑමට හැකියි.

දාසයෙක් යම් වරදක් කළා නම් ඔහුට දඬුවම් කිරීමට ස්වාමියාට අයිතියක් තිබුණා. නමුත් කුරිරු ආකාරයෙන් සැලකීමට නීතියෙන් කිසිම ඉඩක් ලැබුණේ නැහැ. ස්වාමියෙකුගේ අතින් දාසයෙකුගේ ඇසකට හෝ දතකට යම් හානියක් සිදු වුණා නම් ඊට වන්දියක් ලෙස දාසයාව නිදහස් කළ යුතු වුණා. (නික්මයාම 21:26, 27) නමුත් ස්වාමියාගේ පහරකින් දාසයා මිය ගියා නම් ඒ සඳහා වන්දි ගෙවීමක් ලෙස ස්වාමියාට මරණ දණ්ඩනය හිමි වීමට ඉඩ තිබුණා.—නික්මයාම 21:20.

ඊශ්‍රායෙල්වරුන්ට හෙබ්‍රෙව් ජාතික දාසයෙකුව තබාගත හැකි උපරිම කාලය වුණේ අවුරුදු හයයි. හත්වන අවුරුද්දේදී ඔහුව නිදහස් කළ යුතු වුණා. (නික්මයාම 21:2) නමුත් සෑම වසර 50කට වරක් පැමිණෙන ජුබිලි වර්ෂයේදී සියලුම දාසයන්ට නිදහස දිය යුතු වුණා. ඒ වසර පැමිණෙන විට දාසයෙක් වසර හයකට වඩා අඩුවෙන් සේවය කර තිබුණත් ඔහුවත් නිදහස් කළ යුතු වුණා.—ලෙවී කතාව 25:40, 41.

දාසයෙකුව නිදහස් කරන විට ස්වාමිවරුන් මෙම නීතිය අදාළ කරගත යුතු වුණා. “ඔබ ඔහුව නිදහස් කර යවන විට හිස් අතින් යවන්න එපා. ඔහුව නිදහස් කර යවන විට ඔබේ රැළෙන් සතුන් කිහිපදෙනෙකුත් ධාන්‍ය, වයින් සහ තෙල් යනාදියත් ඔහුට ලබා දෙන්න.”—ද්විතීය කතාව 15:13, 14.

යේසුස් මේ පොළොව මත සිටින කාලයේදී පැවතියේ රෝම අධිරාජ්‍යයයි. දාසයන්ව තබාගැනීම එදා සමාජයේ සාමාන්‍ය දෙයක් වී තිබුණා. යේසුස් සහ ඔහුගේ මුල් අනුගාමිකයන් එම සමාජය වෙනස් කිරීමට උත්සාහ කළේ නැහැ. නමුත් යේසුස් පැවසුවේ කෙනෙක් දාසයෙක් වුණත් ස්වාමියෙක් වුණත් දෙවිගේ ඉගැන්වීම් පිළිපදිනවා නම් එකිනෙකාට සහෝදරයන් මෙන් ප්‍රේම කළ යුතු බවයි.—කොලොස්සි 4:1; 1 තිමෝති 6:2.

සියලුදෙනාට නිදහසක්

බයිබලය අධ්‍යයනය කරන විට අපට පැහැදිලි වන්නේ මිනිසුන්ට අමානුෂික ලෙස සැලකීම දෙවි හෙළාදකින බවයි.

දෙවිගේ සෙනඟ අතර දාසයන් සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් ඔවුන් එම සේවකයන්ට අමානුෂික ලෙස සැලකුවේ නැහැ. ඊට හේතුව කෲර ක්‍රියා දෙවි අනුමත නොකරන බව ඔවුන් දැන සිටීමයි. කෙසේවෙතත් අනාගතයේදී කිසිම කෙනෙක් තවත් කෙනෙකුට දාසයන් ලෙස සේවය නොකරන බව බයිබලයේ සඳහන් වෙනවා. එදාට සියලුදෙනාටම සැබෑ නිදහස අද්දැකීමට හැකි වෙයි.—යෙසායා 65:21, 22.

මේ ගැන ඔබ සිතුවාද?

● සේවකයෙකුට කුරිරු ලෙස සැලකීම දෙවි අනුමත කරනවාද?—ලෙවී කතාව 25:39, 40.

● ක්‍රිස්තියානීන්, සේවකයන්ට සැලකිය යුතු වුණේ කෙසේද?—කොලොස්සි 4:1.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිනිසුන්ට අමානුෂික ලෙස සැලකීම දෙවි හෙළාදකිනවා

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© G.M.B. Akash/​Panos Pictures