Skip to content

පටුනට යන්න

දුකෙන් තොර හෙටක්!

දුකෙන් තොර හෙටක්!

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.

ඉහත සඳහන් පොරොන්දුව ඉටු වෙයි කියා විශ්වාස කළ හැකිද? ඔව්! දෙවි පවසන කිසිම දෙයක් බොරු වන්නේ නැහැ. ඊට කදිම උදාහරණයක් වන්නේ යෙහෝවා දෙවි ආදම්ට පැවසූ මේ දෙයයි. දෙවි පැවසුවේ ඔහු අකීකරු වුණොත් ‘අනිවාර්යයෙන්ම මැරෙන’ බවයි. (උත්පත්ති 2:17) එය ඒ ආකාරයෙන්ම ඉටු වුණා. මිනිසාගේ දුක් කරදර නැති කර පාරාදීස පොළොවක් ඇති කරන බවටත් දෙවි පොරොන්දු වී තිබෙනවා. එයද ඔහු ඒ ආකාරයෙන්ම ඉටු කරන බව ස්ථිරයි.

දෙවි සතු ගුණාංග ගැන අපි කලින් ලිපියේ සාකච්ඡා කළා. එම ගුණාංග අප සතුවත් තිබෙනවා. යම් කෙනෙකුගේ දුකක් දකින විට ඊට පිහිට වීමට අප උත්සාහ කරන්නේ ඒ නිසයි. දෙවිගේ දයාව, කරුණාව හා ප්‍රේමය නිසා මිනිස් වර්ගයාට සතුටින් ජීවත් විය හැකි කාලයක් ලබා දීමට වූ පොරොන්දුව ඔහු ඉටු කරනවා. ලොව පුරා සිදු වන සිදුවීම්වලින් අපට පෙනී යන්නේ දුක් කරදර අවසන් කිරීමට දෙවි නියම කර ඇති කාලය ඉතා ළඟ බවයි.— “ඒ දේ සිදු වන්නේ කවදාද?” නමැති කොටුව බලන්න.

මිනිසාගේ දුක් කරදරවලට හේතු වන ප්‍රධාන කාරණා තුනක් අප කලින් සාකච්ඡා කළා. ඉන් අපි ඉගෙනගත්තේ මිනිසා විඳින දුක් කරදරවලට හේතුව දෙවි නොවන බවයි. නමුත් යෙහෝවා දෙවි යේසුස් මාර්ගයෙන් ඒ ප්‍රධාන හේතු තුන ඉවත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

මිනිසාගේ වැරදි ක්‍රියා.

මුල් මිනිසා වූ ආදම්ගේ අඥාන ක්‍රියාව නිසා අපි සියලුදෙනාම දුක් විඳිනවා. ඒ ගැන බයිබල් ලේඛකයෙකු වූ පාවුල් පැවසුවේ ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා’ කියායි. (රෝම 8:22) ඒ තත්වයෙන් දෙවි අපව බේරාගන්නේ කෙසේද? ඊට බයිබලයේ මෙසේ පිළිතුරු දෙනවා. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”—රෝම 6:23.

යේසුස් සෑම අවස්ථාවේදීම දෙවිට කීකරු වුණා. ඔහු තම ජීවිතය පූජා කිරීම තුළින් මුළු මිනිස් වර්ගයාටම දෙවිගෙන් සමාව ලබාගැනීමට මාර්ගය විවෘත කළා. පාරාදීස පොළොවක සදාකාල ජීවනයක් ලබාගැනීමට අපට අවස්ථාව තිබෙන්නේ ඒ නිසයි. ඒ වගේම ‘දුෂ්ටයන් විනාශ කරනු ලබන’ නිසා එදාට අන් අයට කරදර හිරිහැර කරන කිසිවෙක් සිටින්නේ නැහැ.—ගීතාවලිය 37:9.

අනපේක්ෂිත සිදුවීම්.

ස්වභාවික බලයන් පාලනය කිරීම සඳහා දෙවි, යේසුස්ට බලය ලබා දී තිබෙනවා. ඊට එක් උදාහරණයක් බලමු. එක් අවස්ථාවක ඔහු ගෝලයන් සමඟ මසුන් අල්ලන ඔරුවක සිටියා. එවිට ඉතා බිහිසුණු කුණාටුවකට  ඔවුන් හසු වුණා. ඒ අවස්ථාවේදී යේසුස් සුළඟටත් මුහුදටත් තදින් කතා කරමින් පැවසුවේ “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න” කියායි. එක පාරටම මහත් නිශ්චලතාවක් ඇති වුණා. එය දුටු ගෝලයන් “සුළඟත් මුහුදත් ඔහුට කීකරු වෙනවා” කියා පුදුම වුණා.—මාක් 4:37-41.

යේසුස්, දෙවිගේ රාජ්‍යයේ රජයි. ඔහුගේ පාලනයට කීකරු වන සියලු වැසියන් “කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 1:33) ඒ වගේම පරිසර දූෂණය හා අනාරක්ෂිත ඉදි කිරීම් වැනි අන් අයට හානි වන දේවල් කිසිවෙකු නොකරන නිසා අනපේක්ෂිත අනතුරුවලින් මිනිසාට තවදුරටත් දුක් විඳීමට සිදු වන්නේ නැහැ.

අනපේක්ෂිත සිදුවීම්වලින් බොහෝදෙනෙකුට තම ජීවිත අහිමි වී තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් තමා කිරීමට බලාපොරොත්තු වන දේ යේසුස් මෙසේ විස්තර කළා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.” (යොහන් 11:25) මිය ගිය කෙනෙකුට නැවත ජීවිතය දීමට බලය පමණක් නොව එසේ කිරීමට ආශාවක්ද ඔහු තුළ තිබෙනවා. ඇත්තටම යේසුස් එසේ කරයිද? ඔව්. ඔහු මේ පොළොව මත සිටින විට මිනිසුන්ව නැවත නැඟිටෙව්වා. එවැනි අවස්ථා තුනක් ගැන බයිබලයේ වාර්තා වී තිබෙනවා.—මාක් 5:38-43; ලූක් 7:11-15; යොහන් 11:38-44.

“මේ ලෝකයේ පාලකයා.”

යෙහෝවා දෙවි යේසුස්ව පත් කර තිබෙන්නේ ‘මරණය ගෙන ඒමට බලය ඇති යක්ෂයාව නැති කර දැමීමටයි.’ (හෙබ්‍රෙව් 2:14) ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මේ ලෝකය දැන් විනිශ්චයට ලක් වෙනවා. මේ ලෝකයේ පාලකයාව නෙරපා දමනු ලබනවා.” (යොහන් 12:31; 1 යොහන් 3:8) ළඟදීම උදා වන දුක් කරදරවලින් තොර ඒ ප්‍රීතිමත් කාලයේ ඔබත් සිටීම අපේ ආශාවයි.