Skip to content

පටුනට යන්න

සංවාද කුටි—අනතුරු වළක්වාගන්නේ කොහොමද?

සංවාද කුටි—අනතුරු වළක්වාගන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

සංවාද කුටි—අනතුරු වළක්වාගන්නේ කොහොමද?

“සාමාන්‍යයෙන් මම දවසකට පැය තුනක් හෝ හතරක් පණිවිඩ හුවමාරු කරගත්තා. සමහර දවස්වල එක දිගට පැය හය හතක්ම එහි රැඳෙනවා.”—හොසේ. *

සංවාද කුටිවලින් සිදු විය හැකි අනතුරු ගැන ඔබ දැනුවත් විය යුතුයි. ඊට හේතුව නාඳුනන අය එහි ගැවසීමයි. නිදසුනකට ඔබ විශාල නගරයක සංචාරයේ යෙදෙනවා නම් ඔබේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලයන් හෝ දේවල් ගැන කල්පනාකාරී වී ආරක්ෂක පියවර ගැනීමට ඔබට සිදු වෙයි.

ඔබ සංවාද කුටිවලට යන විටත් මේ දේ අදාළ වෙනවා. ගිය මාසේ පිබිදෙව්! සඟරාවේ බොහෝ සංවාද කුටිවල දක්නට තිබෙන අන්තරායන් දෙකක් ගැන සාකච්ඡා කෙරුවා. එම අන්තරායන් දෙක නම් ඔබ කාමාතුරයන්ට ගොදුරු වීමට හා ඔබ වංචාකාරයෙක් වීමට තිබෙන ඉඩ කඩයි. සලකා බැලිය යුතු තවත් අනතුරු තිබෙනවා. ඒත් මුලින්ම, සංවාද කුටි සැලසුම් කර ඇති ආකාරය සලකා බලමු.

අරමුණක් ඉටු කරගැනීමට

සංවාද කුටි සැලසුම් කර තිබෙන්නේ විවිධ විෂයන් යටතේයි. එම විෂයන්ට කැමති පුද්ගලයන් ඊට ආකර්ෂණය වෙයි. සමහර ඒවා සැලසුම් කර තිබෙන්නේ ක්‍රීඩාවක් හෝ විනෝදාංශයක් වෙනුවෙනුයි. තවත් ඒවා රූපවාහිනි වැඩසටහන් ගැන සාකච්ඡා කිරීමටයි. එක් එක් ආගම්වලට අයත්යයි කියා සිටින පුද්ගලයන් වෙනුවෙන්ද සංවාද කුටි තිබෙනවා.

ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නම් සංවාද කුටියකට පිවිස ලෝකයේ වෙනත් පැතිවල සිටින සාක්ෂිකාර යෞවනයන්ව හඳුනාගැනීමට ඔබ තුළ ආශාවක් ඇති වෙන්න පුළුවන්. ඔබේ ආගමේ ඉන්න තරුණයන්ව මිතුරන් කරගැනීමට තිබෙන ආශාව හොඳ දෙයක්. ඒත් ප්‍රශ්නය වෙන්නේ සංවාද කුටිවල ඔබ නොසිතන අන්තරායන් තිබීමයි. මොන වගේ අන්තරායන්ද තිබෙන්නේ?

ගුණධර්ම විනාශ කරයි

“යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කියලා හිතුව පුද්ගලයන් කාණ්ඩයක් එක්ක මම සංවාද කුටියකින් අදහස් හුවමාරු කරගත්තා. ඒත් ටික වේලාවක් යනකොට සමහරුන් අපේ විශ්වාසයන් සුළු කරන්න පටන්ගත්තා. ඔවුන් ඇදහිල්ල අත් හැර ගිය අය කියලා තේරුම්ගන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ.” එය ටයිලර් නමැති යෞවනයාගේ අද්දැකීමයි. ඔවුන් සිටින්නේ එකම ආගමේ කියා කීවත් ඔවුන් හිතාමතාම අනුන්ගේ ප්‍රතිපත්ති සුළු කිරීමට උත්සාහ දරන අය බව පෙනේ.

යේසුස් ක්‍රිස්තුස් අනතුරු ඇඟෙව්වේ තමන්ව අනුගමනය කළ සමහරුන් සෙසු ක්‍රිස්තියානීන්ව නොමඟ යැවීමට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවයි. (මතෙව් 24:48-51; ක්‍රියා 20:29, 30) මෙම පුද්ගලයන්ව ප්‍රේරිත පාවුල් හැඳින්වූවේ ක්‍රිස්තියානි සභාවේ සිටින අයට අනතුරු කිරීමට “රහසින් රිංගාගත්තාවූ” බොරු සහෝදරයන් කියායි. (ගලාති 2:4) බයිබල් ලේඛකයෙක් වන යූද් එවැනි පුද්ගලයන්ව හඳුන්වන්නේ ‘අපේ දෙවිගේ මහත් කරුණාව, නින්දිත හැසිරීමේ නියැලීමට මඟක් කරගැනීමේ’ අරමුණින් “රහසින් ඇතුල් වී” සිටින අය හැටියටයි. (යූද් 4) ඔවුන්ව ‘දියෙහි සැඟවී තිබෙන ගල්පර’ ලෙසත් ඔහු හඳුන්වනවා.—යූද් 12.

ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අයගේ කපටි ක්‍රම ගැන පාවුල් සහ යූද් පැහැදිලි කරනවා. එවැනි අය ක්‍රිස්තියානි සභාවේ සිටින්නන්ගේ යහපත් ගුණ ධර්ම විනාශ කිරීමේ අරමුණින් ‘රහසින් රිංගා ගන්නවා’ හෝ ‘රහසින් ඇතුල් වෙනවා’ කියා මෙම බයිබල් ලේඛකයන් සඳහන් කරනවා. මෙවැනි කපටි පුද්ගලයන්ට සංවාද කුටිවලින් තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට කදිම අවස්ථාවක් ලැබෙනවා. මෙම බොරු ක්‍රිස්තියානීන් හරියට දිය යට සැඟවී තිබෙන ගල්පර වගේ තම නියම ස්වභාවය සඟවාගෙන සාක්ෂිකාර තරුණයන් ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වයි. නමුත් ඔවුන්ගේ එකම ඉලක්කය අද්දැකීම් අඩු යෞවනයන්ගේ ඇදහිල්ල නමැති නැව මුහුදුබත් කර දැමීමයි.—1 තිමෝති 1:19, 20.

මෙම සඟරාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අනෙකුත් ප්‍රකාශන නිරතුරුවම මෙම විශේෂ අන්තරාය ගැන අනතුරු අඟවා තිබෙනවා. * ඒ නිසා ඔබට සංවාද කුටියකින් යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් යැයි පවසන කෙනෙකුව හඳුනාගන්න ලැබුණොත් ඇත්තෙන්ම එම පුද්ගලයා අනතුරු ඇඟවීම් සුළු කරන කෙනෙක්. බයිබලයේ උපදෙස් නොතකන මෙවන් කෙනෙක් සමඟ ඔබට මිත්‍රත්වයක් ඇතිකර ගන්න ඕනෙද?—හිතෝපදේශ 3:5, 6; 15:5.

තනිවීම විපතකට මඟක්

සංවාද කුටි ගැන කතා කිරීමේදී සැලකිය යුතු තවත් දෙයක් තමයි ඒ සඳහා ඔබ ගත කරන කාලය. මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ හොසේ මෙසේ පවසනවා. “මම සමහර වෙලාවලට සංවාද කුටිවලට කොච්චර වහල් වුණාද කිව්වොත් මට කෑම කන්නත් අමතක වුණා.”

ඔබ හොසේ තරම් වහල් වෙලා නැතුව ඇති. කොහොමවුණත් ඔබ සංවාද කුටියේ වැඩි කාලයක් ගත කළොත් වෙනත් වැඩ කටයුතු අතපසු වෙයි. මුලින්ම බාධා සිදු වෙන්නේ ඔබේ පාසැලෙන් දෙන ගෙදර වැඩ හෝ නිවසේ වැඩවලට නෙමෙයි. නමුත් පවුලේ අය සමඟ කරන අදහස් හුවමාරුවටයි. ස්පාඤ්ඤයේ ජීවත් වන ඒඩ්‍රියන් මෙසේ පවසනවා. “මම කෑම කාපු ගමන්ම පරිගණකය ළඟට යනවා. සංවාද කුටිවලට කොයිතරම් ඇබ්බැහි වුණාද කියනවා නම් ගෙදර අයත් එක්ක කතා කරන එකත් මම නැවැත්තුවා.”

ඔබේ වටිනා කාලය සංවාද කුටිවලට කැප කරනවා නම් ඔබේ ජීවිතයට වැදගත් වන අයගෙන් ඔබ ඈත් වෙනවා. එවිට ඔවුන් සමඟ ගත කරන්න ඔබට කාලය ඉතිරි වෙන්නේ නැහැ. බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව සොයමින් සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙයි.” (හිතෝපදේශ 18:1) සංවාද කුටිවලින් හමු වෙන අය බයිබලයේ ප්‍රඥාවන්ත උපදෙස් අනුව ජීවත් වෙන්න ඔබව දිරිගන්වයි කියලා හිතන්න අමාරුයි. පුළුවන් නම් එවැනි අය ආත්මාර්ථකාමී දේවල් පස්සේ යන්න සහ බයිබල් ප්‍රතිපත්ති කඩන්න ඔබට උනන්දු කරයි.

ඔබේ පවුලේ අයට වඩා සංවාද කුටිවලින් හමු වන අය සමඟ අදහස් හුවමාරු කරගැනීම පහසු විය හැකි නිසා ඔබ ඊට වැඩි කැමැත්තක් දක්වන ඉඩ තිබෙනවා. යම් කාරණා සම්බන්ධයෙන් ඔබ දරන අදහස් ඔබේ නාඳුනන මිතුරන් පිළිගන්නවා වගේම ඔවුන්ගේ අදහස්ද විවෘතව ප්‍රකාශ කරනවාත් ඇති. ඒත් ඔබේ පවුලේ අයට ඔබ උනන්දුව දක්වන දේවලට අවධානය යොමු කරන්න හෝ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තරම් වෙලාවක් නැතුව ඇති.

කොහොමවුණත්, මෙසේ ඔබෙන්ම අසාගන්න. ‘මගේ පරිගණක මිතුරන් දන්නවාද මම කවුද කියලා? ඇත්තටම ඒ අය මං ගැන දක්වන්නේ අවංක උනන්දුවක්ද?’ ඔබේ පවුලේ අය බොහෝදුරට උනන්දු වෙන්නේ ඔබේ ශුභසිද්ධිය හා දෙවි සමඟ තිබෙන ඔබේ සබඳතාව ගැනයි. ඔබේ දෙමාපියන් බයිබල් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න උත්සාහ දරනවා නම් ඔබ සමඟ අදහස් හුවමාරු කරගැනීමට ඔවුන් අවංක උනන්දුවක් දක්වයි. (එෆීස 6:4) ගෞරවාන්විත ලෙස ඔබේ අදහස් හා හැඟීම් ප්‍රකාශ කරනවා නම් ඔබ හිතනවාට වඩා යහපත් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබේවි.—ලූක් 11:11-13.

අන්තරායන් වළක්වාගැනීම

ඔබේ පාසැලේ ව්‍යාපෘතියක් සඳහා සංවාද කුටිවලට පිවිසීමට ඔබට අත්‍යවශ්‍ය උවමනාවක් තිබිය හැකියි. * එවැනි අවස්ථාවල සංවාද කුටිවලින් සිදු විය හැකි අහිතකර බලපෑම් වළක්වාගැනීමට පහත සඳහන් සරල යෝජනා අනුගමනය කරන්න.

මුලින්ම, අන්තර්ජාල පහසුකම් ඇති පරිගණකය නිවසේ පොදු ස්ථානයක තබන්න. ඔබේ කාමරයේ තනි වී අන්තර්ජාලයට පිවිසීම හරියට නොදන්නා නගරයක අඳුරු මාර්ගයක තනියම ගමන් කරනවා වගේයි. අනිවාර්යයෙන්ම ගැටලුවලට මුහුණ දෙයි.

දෙවනුව, ඔබ පිවිසෙන සංවාද කුටි ඔබේ දෙමාපියන්ට පෙන්වීමෙන් හා ඔබ එය භාවිත කරන්නේ ඇයි කියා පැහැදිලි කිරීමෙන් ඔවුන් සමඟ හොඳ අදහස් හුවමාරුවකට මඟ සකසාගන්න. ඒ වගේම කොයි තරම් වෙලාවක් පරිගණකය භාවිත කරනවාද කියා තීරණය කර ඊට ඇලී සිටින්න.

තුන්වනුව, පරිගණකයෙන් සිදු විය හැකි ලිංගික හිරිහැර ගැන අනතුරු අඟවන ආකාරයට ඔබේ පරිගණකය සකස් කරන්න. ඔබ අන්තර්ජාලය භාවිත කරන විට ලිංගිකත්වය හුවා දක්වන යම් පණිවිඩ ආ විගස ඒ බව දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට දන්වන්න. ඔබ දරුවෙකු කියා දැනගෙනත් වැඩිහිටියන් විසින් ලිංගික කාරණා හෝ කාමුක දර්ශන ඔබට එවීම සමහර රටවල සාපරාධී ක්‍රියාවක් ලෙසට සලකනවා. එවැනි පුද්ගලයන් ගැන පොලිසියට වාර්තා කළ යුතුයි.

ඊට අමතරව, සංවාද කුටි තුළින් හමු වන පුද්ගලයන්ට ඔබේ නම, ලිපිනය, පාසැලේ නම හෝ ඔබේ දුරකථන අංකය දෙන්න එපා. මුණගැසීමට ආරාධනා කළොත් එය පිළිගන්න එපා!

අවුරුදු දහස් ගණනකට පෙර ලියූවත් නැණවත් සලමොන් රජු කියූ දේ සංවාද කුටිවලින් එල්ල වන අනතුරුවලින් ගැලවීමට උපකාරවත් වෙයි. “බුද්ධිමත් අය නපුර දැක සැඟ වෙයි; එහෙත් නුවණ නැත්තෝ ගොස් එයින් දුක් විඳිති.”—හිතෝපදේශ 22:3.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

[30වන පිටුවේ පින්තූරය]

ඔබ පිවිසෙන සංවාද කුටි දෙමාපියන්ට පෙන්වීම නැණවත්