Skip to content

පටුනට යන්න

මුතු කැට වන් දත් මවයි සුන්දර සිනහ

මුතු කැට වන් දත් මවයි සුන්දර සිනහ

මුතු කැට වන් දත් මවයි සුන්දර සිනහ

කැනඩාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබ කැඩපතකින් මුහුණ බලන විට ඔබ දකින්නේ මොනවගේ අඩු පාඩුද? ඔබේ හිසකෙස් සකසන්න අවශ්‍යද? නැතහොත් වෙනයම් දෙයක්ද? ඒත් ඔබේ සිනහව ගැන ඔබ මොහොතකට හිතුවාද? ඔබේ දත් පියකරු සිනහවක් මැවීමට දායක වන අයුරු දුටුවද? එම සිනහව හැමදාටම තබාගැනීමට නම් ඔබේ දත් ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය දෙයක්. ඔබේ ස්ථිර දත් ජීවිත කාලයටම පවතින්න නම් ඊට විශේෂ අවධානයක් දිය යුතුයි. ආහාර සැපීමට හා කතා කිරීමට උපකාරවත් වෙන ඔබේ දත් ඔබේ තොල්වලට හා කම්මුලේ පියකරු පෙනුමටත්, සුන්දර සිනහවකටත් දායක වෙනවා. මේ කාරණා සලකා බලන කල ඔබේ දත් කොතරම් වටිනවාද!

ඔබේ දත් රැකගැනීමට කුමක් කළ හැකිද?

නිරෝගී දත් දෙපළකට පෝෂ්‍යදායී ආහාර ගත යුතුයි. කැල්සියම් මෙන්ම විටමින් A, C, හා D ඇතුළත් සමබර ආහාර වේලක් ගැනීම ළදරු කාලයේ පටන් දත්වල වර්ධනයටත් ඉන්පසු ස්ථිර දත් ඒමටත් දායක වෙනවා. * හොඳ ආහාර පුරුදු නිරෝගී දත් පෙළක් සඳහා උපකාරී වෙයි. ඒත් සීනි අඩංගු ආහාර නම් වැඩිපුර ගන්න එපා. එය දත්වල කුහර සෑදීමේ අවදානම වැඩි කරනවා. පැණි රස කෑමේ අවදානම ගැන නිතර අනතුරු ඇඟෙව්වත් උතුරු අමෙරිකාවේ වැසියෙක් සාමාන්‍යයෙන් වසරකට සීනි කිලෝ ග්‍රෑම් 50ත් 60ත් අතර ප්‍රමාණයක් අනුභව කරනවා! ඒත් කියන තරමටම දත්වලට සීනි අගුණද?

දත් දිරා යෑමට මූලික හේතුව දතේ බැඳෙන මැලියම්. මැලියම් සෑදෙන්නේ විශේෂ බැක්ටීරියා වර්ග දෙකක් (ඒවා නම් mutans streptococci සහ lactobocili) හා දතේ රැඳෙන ආහාර කැබලිවලිනුයි. එම බැක්ටීරියාවන් සීනි හානිදායක අම්ල බවට හරවනවා. එම අම්ල නිසා දත දිරා යනවා. සමහර සීනි වර්ග ඉතා පහසුවෙන් අම්ල බවට හැරෙන්නත් ඉක්මනින්ම දතේ ඇලෙන්නත් ඉඩ තිබෙන නිසා පහසුවෙන් දත් දිරා යා හැකියි. * දත් බුරුසුවෙන් නිසි ලෙස මැලියම් ඉවත් නොකිරීමෙන් එය ඝන වී ටාටා (Tartar) සෑදෙනවා. මෙය විදුරුමසත් දතත් අතර බැඳෙනවා.

දත් දිරා යෑම වැළැක්වීමට මැලියම් බැඳීම හා විශේෂයෙන්ම මියුටන්ස් ස්ට්‍රෙප්ටොකොක්සි (mutans strepcocci) බැක්ටීරියාව වර්ධනය නවතාගැනීම ඉතා වැදගත්. ඔබේ සුන්දර සිනහව රැකගැනීමට දිනපතා මුඛය පිරිසිදුව තබාගැනීම අත්‍යවශ්‍යයි. දන්ත හා මුඛ සැත්කම් පිළිබඳ කොලොම්බියා සරසවිය විසින් මෙසේ සඳහන් කරනවා. “ඔබේ දත්වල හා පටකවල නිරෝගිකම හා ශක්තිමත්කම රැකගැනීමට කළ යුතු පළමු දෙය නම් [දත් මැදීම] හා නූලකින් දත් පිරිසිදු කිරීමයි.” බුරුසුවෙන් හා නූලෙන් දත් පිරිසිදු කරන සාර්ථක ක්‍රම මෙම පිටුවේ හා ඊළඟ පිටුවේ පෙන්වා තිබෙනවා. ඔබේ දත් හොඳින් පිරිසිදු කරගැනීමටත් ඔබේ සුන්දර සිනහව රැකගැනීමටත් උපකාරවත් වන වෙනත් උපකරණ හා ක්‍රම ඔබේ දන්ත වෛද්‍යවරයා විසින් නිර්දේශ කරාවි.

නිතර නිතර අම්ල දතේ බැඳී තිබීම නිසා දතේ එනැමලය දියවීමට පටන්ගනියි. ඒත් සිදු වන එවැනි හානි සෑම දිනකම නැවත යථා තත්වයට පත් කරගත හැකියි. එය සිදු වෙන්නේ කොහොමද? ෆ්ලෝරයිඩ් මගින් දතේ එනැමලය අලුත් වැඩියා කරන නිසයි. දිරා යෑම දිගින් දිගටම සිදු වන දෙයක් වුණත් ෆ්ලෝරයිඩ් වැනි දේවලින් එනැමලය නැවත වර්ධනය වෙනවා. දතටම හැකියාවක් තිබෙනවා යථා තත්වයට පත් වෙන්න.

දන්ත වෛද්‍යවරයා ඔබේ මිතුරෙක්

පුද්ගලයන් බියක් දක්වන දේවල් මොනවාද කියා සොයා බැලීමට සමීක්ෂණයක් සිදු කළා. එහි දී දන්ත වෛද්‍යවරයෙකුව හමුවීම ප්‍රසිද්ධියේ කතාවක් දෙනවා හා සමාන බිය උපදවන දෙයක් බව පුද්ගලයන් පැවසුවා. එසේ බියවීමට සාධාරණ හේතු තිබෙනවාද? ධනවත් රටවල අධි වේගී දත් විදිනයන් සහ හිරි වැට්ටවීම සඳහා යම් ක්‍රම භාවිත කරන නිසා වෛද්‍යවරුන් එතරම් වේදනාවක් නොදැනෙන අයුරින් රෝගියාට ප්‍රතිකාර ලබා දෙනවා. ඔබ ගනු ලබන ප්‍රතිකාරය ගැන දැනුවත් වීමෙන් ඔබේ බිය අඩු කරගත හැකියි.

ඔබ දන්ත සායනයකට ගිය විට ඔබේ දත් පිරිසිදු කිරීමට ඉඩ තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නේ දන්ත වෛද්‍යවරයෙකු හෝ සුදුසුකම් ලත් කෙනෙකු විසින්. එවිට දත්වල බැඳී තිබෙන ටාටා හා මැලියම් ඉවත් කරනවා. ඉන්පසු දත්වල මැලියම් බැඳීම අඩු කිරීමට දත් හොඳින් මැද ඔබේ සිනහවට බාධා කරන පැල්ලම්ද ඉවත් කරනවා.

ෆ්ලෝරයිඩ් දත් දිරා යෑමේ අවදානම අඩු කරන නිසා එය ද්‍රාවණයක්, ජල්ලියක් හෝ ආලේපනයක් ලෙස දන්ත සායනවලදී දරුවන්ගේ දත්වල ගල්වනවා. බොහෝ රටවල පොදු ජල සැපයුම්වලට ෆ්ලෝරයිඩ් මිශ්‍ර කර තිබෙන අතර සෑම දන්තාලේපනයකම වගේ දත් දිරා යෑම වළක්වන අමතර ආරක්ෂාවක් හැටියට ෆ්ලෝරයිඩ් අඩංගු කර තිබෙනවා.

දන්ත වෛද්‍යවරයෙකුට කළ හැකි දේ

දතේ එනැමලය දියවීම වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දන්ත වෛද්‍යවරුන්ට පුහුණුව හා දැනුම තිබෙනවා. එමනිසා මුල් අවදියේදීම යම් ප්‍රතිකාරයක් කර දත් රැකගැනීමට හැකියි. දත් දිරා යෑම වැළැක්වීමට කල් ඇතුව වෛද්‍යවරයෙකු වෙත යා යුතු අතර එය බියවීමට කාරණයක් නොවෙයි.

ඒත් මැලියම් මගින් ඇති කරන අම්ල දත්වල රැඳී තිබීමෙන් දත දිරා යනවා. දිරා යෑම නතර නොවුණොත් කුහරයක් සෑදීමට ඉඩ තිබෙනවා. මෙම අවස්ථාවේදී දතට යම් ප්‍රතිකර්මයක් කළ යුතුයි. දත් මුල් තිබෙන කල්ක කුහරය දක්වා දිරා නැත්නම් දත පුරවා ශක්තිමත් කරගත හැකියි.

දත පිරවීම සඳහා කුහරය පිරිසිදු කිරීමට හා නිසි ලෙස සැකසීමට දන්ත වෛද්‍යවරයෙක් දත් විදිනයක් භාවිත කරයි. කුහරය පිරිසිදු කළ පසු පුරවන ද්‍රව්‍ය ඊට ඇතුල් කරනවා. පිරවුම සඳහා භාවිත කරන ලෝහ මිශ්‍රණය ඉක්මනින් ඝන තත්වයට පත් වන අතර තමන්ට ඕනෑ කරන හැඩයටද ගත හැකියි. ලෝහ නොවන ද්‍රව්‍යයක් භාවිත කරන විට එය ඝන තත්වයට ගෙන ඒම සඳහා විශේෂ ආලෝකයක් ඒ වෙත අල්ලනවා. කුහරයට යම් ප්‍රතිකර්මයක් නොකිරීමෙන් දිරා යෑම කල්ක කුහරය දක්වා පැතිරෙයි. එවැනි තත්වයකදී ස්නායු පිරවුමක් කිරීමට හෝ දත උගුලා දැමීමට සිදු විය හැකියි. ස්නායු පිරවුමකදී දතේ මුල දක්වා පිරවිය යුතුයි. දැඩි ලෙස දිරාපත් වී ඇත්නම් එයට අලුතින් කොටසක් දමනු ලබනවා. එසේ නැතහොත් බොරු දත් දමනු ලබනවා. *

වෑයම වටියි

සමහරවිට තවමත් ප්‍රතිකාර ගැනීමට ඔබ තුළ බියක් තිබෙන්න පුළුවන්. එසේනම්, ඒ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ප්‍රතිකාර ඇරඹීමට පෙර ඔබට වේදනාවක් දැනුණොත් ඔබ කරනු ලබන සංඥාව (අත උඩට එසවීම වැනි) ගැන ඔහුට පවසන්න. ඔබට දෙනු ලබන ප්‍රතිකාර ක්‍රම පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටින්න. ඔබට දරුවෝ සිටී නම් වෛද්‍යවරයෙක් ළඟට ගෙන යන්නේ දඬුවමක් ලෙස නොව ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය රැකගැනීමට කියා පැහැදිලි කරන්න.

මොන්ට්‍රියෙල් විශ්වවිද්‍යාලයේ මුඛ සෞඛ්‍ය අංශයේ මහාචාර්යවරයෙක් වන වෛද්‍ය ඩැනියෙල් කැන්ඩල්මන් මෙසේ සඳහන් කරනවා. “මුඛ සෞඛ්‍ය රැකගන්න දැන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. ඔබේ මුවේ සුන්දර සිනහව දිගටම තියාගැනීමට නිරෝගී දත් දෙපළ රැකගන්න.” ඒ සඳහා ඔබ දරන වෑයමත් වටිනවා!

[පාදසටහන්වල]

^ 5 ඡේ. දත් වැඩෙන්නේ විදුරු මසේ අභ්‍යන්තරයේ නිසා මවක් ගර්භිණී සමයේ ලබන පෝෂණයත් ළදරු වියේදී දෙන ආහාරත් දරුවෙකුගේ නිරෝගී දත් දෙපළකට දායක වෙනවා. දරුවාගේ නහඹර වියේ අග භාගයේ හෝ අවුරුදු විසි ගණන්වල මුල් කාලයේදී දත් ඒම නතර වෙයි.

^ 6 ඡේ. දන්ත වෛද්‍යවරුන් සොයාගෙන තිබෙන ආකාරයට ස්වාභාවික සීනි වර්ගයක් වන සයිලිටෝල් (xylitol) දත් දීරා යෑමට හේතු වන මැලියම්වල තිබෙන හානිකර බැක්ටීරියා මර්දනය කිරීමට උපකාවත් වෙනවා. සමහර චූයිංගම්වලටත් සයිලිටෝල් එක් කර තිබෙනවා.

^ 16 ඡේ. බොරු දත් ගැන වැඩි තොරතුරු දැනගැනීමට 1993 මැයි 8 පිබිදෙව්! සඟරාවේ 20-22 පිටුවල ඇති “ඔබට බොරු දත් අවශ්‍යද? යන ලිපිය බලන්න.

[12වන පිටුවේ කොටුව⁄පින්තූර]

දත් මැදීම

දත් මදින ක්‍රම කිහිපයක් තිබුණත් පාවිච්චි කරන දන්තාලේපන “දතේ එනැමලයට වඩා සිය ගුණයකින් ගොරෝසු” නිසා දන්තාලේපන ස්වල්පයක් පමණක් භාවිත කිරීමට කල්පනාකාරී වන්න.

1 විදුරුමස හා දත සම්බන්ධ වන ස්ථානයේ සිට දත් බුරුසුවේ කෙඳි අංශක 45ක පමණ ඇලයකට තබන්න.විදුරුමසේ සිට දතේ කෑම විකන ස්ථානය දක්වා කිහිප වතාවක් මදින්න. සෑම දතකම පිටත හා ඇතුළත පිරිසිදු කිරීමට වගබලා ගන්න.

2 දතේ කෑම විකන ස්ථාන පිරිසිදු කිරීමට දෙපැත්තට කිහිපවතාවක් මදින්න

3 ඉදිරි දත් පෙළ ඇතුළ පිරිසිදු කිරීමට බුරුසුව සිරස් අතට අල්ලන්න. විදුරුමසේ සිට කෑම විකන ස්ථානය දක්වා මදින්න.

4 ඔබේ දිව සහ තල්ල දෙපැත්තට කිහිපවතාවක් මදින්න.

[හිමිකම් විස්තර]

Steps 1-4: Courtesy www.OralB.com

[13වන පිටුවේ කොටුව⁄පින්තූර]

නූලෙන් දත් පිරිසිදු කිරීම

දිනපතාම නූලෙන් පිරිසිදු කරන්න කියාත් ආහාර ගත් පසු දත් මදින්න කියාත් දන්ත වෛද්‍යවරු නිර්දේශ කරනවා.

1 නූල් කෑල්ලක් ගෙන එහි කොන් දෙක, මැද ඇඟිලි දෙකේ ඔතාගන්න.

2 එක අතක මාපට ඇඟිල්ලෙන් හා අනෙක් අතේ දබර ඇඟිල්ලෙන් නූලේ මැද කොටස තද කරගෙන දත් දෙක අතරින් ඉදිරියට හා පස්සට අදින්න.

3 දත් දෙක අතර තිබෙන නූල එක දතක පැත්තට ඇදගෙන විදුරුමස සිට කෑම විකන ස්ථානය දක්වා ඉහළට පහළට යවන්න. ඉන්පසු අනෙක් දතටද එලෙසම කරන්න. සෑම දතක්ම මෙලෙස මැදගන්න. නූල විදුරුමසේ තබාගෙන අදින්න එපා.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: The Columbia University School of Dental and Oral Surgery’s Guide to Family Dental Care

ක්‍රම 1-3: www.OralB.com අනුග්‍රහයෙනි