Skip to content

පටුනට යන්න

අනාවැකියේ දෙවෙනි ඉටු වීමේදී තීන්ත කූඩුවක් ඇති මිනිසාගෙන් නියෝජනය වෙන්නේ යේසුස්. ගැලවෙන අයව ලකුණු කරන්නේ ඔහුයි

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එසකියෙල්ගේ දර්ශනයේ සඳහන් තීන්ත කූඩුවක් ඇති පුරුෂයාගෙන් සහ ආයුධ අතැති පුරුෂයන් 6දෙනාගෙන් නියෝජනය වෙන්නේ කාවද?

යෙරුසලම විනාශ කරන්න සම්බන්ධ වුණු සහ හර්–මගෙදොන් යුද්ධයේදී සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කරන්න හවුල් වෙන ස්වර්ගයේ ඉන්න සේනාවන් ඒ අයගෙන් නියෝජනය වෙනවා. ඒක අපේ අවබෝධය තවත් පැහැදිලි වීමක්. එහෙම කියන්නේ ඇයි?

ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ කරන්න කලින් එහේ සිද්ධ වෙන දෙයක් ගැන දර්ශනයක් එසකියෙල් දැක්කා. යෙරුසලමේ සිද්ධ වෙන පිළිකුල්සහගත දේවල් දැක්කට පස්සේ ‘මහත් විනාශයක් ඇති කළ හැකි ආයුධ අතැති’ මිනිසුන් 6දෙනෙකුව ඔහු ඒ දර්ශනයෙන් දකිනවා. ඒ අය එක්ක ‘සිහින් ලිනන් රෙද්දෙන් මැසූ වස්ත්‍රයක් ඇඳගෙන, ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක්’ ඇති මිනිසෙක් ඉන්නවත් ඔහු දකිනවා. (එස. 8:6-12; 9:2, 3) නගරය පුරාම ගිහින් “එහි සිදු වන සියලුම පිළිකුල්සහගත දේවල් ගැන දුක් වෙමින් සුසුම්ලන මිනිසුන්ගේ නළල්වල ලකුණක් දමන්න” කියලා ඒ මිනිසාට කියනවා. ඊළඟට ඒ ලකුණ නැති හැමෝවම මරලා දාන්න කියලා ආයුධ අතැතිව ඉන්න මිනිසුන් 6දෙනාට අණක් ලැබෙනවා. (එස. 9:4-7) ඒ දර්ශනයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක් ඇති මිනිසා කවුද?

එසකියෙල් ඒ දර්ශනය දැක්කේ ක්‍රි.පූ. 612දියි. ඒක අනාවැකියක්. ඒ අනාවැකියේ මුල් ඉටු වීම වුණේ ඊට අවුරුදු පහකට පස්සේ යෙරුසලම විනාශ කරන්න යෙහෝවා දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරීමත් එක්කමයි. තමන්ගේ අකීකරු සෙනඟට දඬුවම් කරන්න දෙවි බැබිලෝනිවරුන්ව යොදාගත්තා. (යෙරෙ. 25:9, 15-18) ඒත් නගරයේ සිද්ධ වුණු නරක දේවලට හවුල් නොවුණු ධර්මිෂ්ඨ යුදෙව්වන්ට මොකද වුණේ? දෙවි ඒ අයව ගලවගන්න වගබලා ගත්තා.

නළල්වල ලකුණක් දාන කාර්යයටවත් විනාශ කරන කාර්යයටවත් එසකියෙල් හවුල් වුණේ නැහැ. ඒ වෙනුවට යෙරුසලම විනාශ කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නේ දේවදූතයන්. මේ අනාවැකිය අපිට උදව් වෙන්නේ ස්වර්ගයේ සිද්ධ වෙන දේවල් තේරුම්ගන්නයි. නපුරු අයව විනාශ කරන්න අවශ්‍ය සැලසුම් යොදන්න කියලා විතරක් නෙමෙයි ධර්මිෂ්ඨ අයව ගලවගන්න අවශ්‍ය පියවර ගන්නත් දෙවි දේවදූතයන්ට පවරලා තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. *

මේ අනාවැකියේ දෙවෙනි ඉටුවීම වෙන්නේ අනාගතයේදියි. අපි කලින් අවබෝධ කරගෙන හිටියේ තීන්ත කූඩුවක් ඇතුව හිටිය මිනිසාගෙන් නියෝජනය වෙන්නේ තවමත් පොළොවේ ඉන්න අභිෂේක ලත් අය කියලයි. ශුභාරංචියට හොඳින් සවන් දීලා ඒක පිළිගන්න අයව ගැලවීම සඳහා දැන් ලකුණු කරනවා කියලත් අපි හිතුවා. ඒත් ඒ අනාවැකිය පැහැදිලි කරපු විදිහේ යම් වෙනස්කමක් කරන්න ඕනෙ කියලා මෑතකදී අපිට තේරුණා. මතෙව් 25:31-33 සඳහන් දෙයින් අපි ඉගෙනගත්තා මිනිසුන්ව විනිශ්චය කරන්නේ යේසුස් කියලා. ඔහු ඒක කරන්නේ අනාගතයේදී මහත් පීඩාව අතරතුරේදියි. එදාට බැටළුවන් හැටියට විනිශ්චය ලැබෙන අයට ගැලවීමත් එළුවන් හැටියට විනිශ්චය ලැබෙන අයට විනාශයත් අත් වෙනවා කියලා අපි දැන් දන්නවා.

එහෙමනම් එසකියෙල්ගේ දර්ශනයෙන් අපි ඉගෙනගන්නේ මොනවද? දේවල් 5ක් බලමු.

  1. යෙරුසලම විනාශ කරන්න කලින් එසකියෙල්, යෙරෙමියා, යෙසායා වගේ අය විනාශය ගැන මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා. එයාලා හරියට මුරකරුවන් වගේ. අදත් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උගන්වන්නත් මහත් පීඩාවට කලින් ඒ ගැන මිනිසුන්ට අනතුරු අඟවන්නත් අභිෂේක ලත් අයගෙන් සෑදුණු කුඩා කණ්ඩායමක් යොදාගන්නවා. ක්‍රිස්තුස්ගේ මෙහෙකරුවන් වන දෙවිගේ හැම සේවකයෙක්ම ඒ අනතුරු ඇඟවීමේ කාර්යය කරන්න ඒ අයට සහය දෙනවා.—මතෙ. 24:45-47.

  2. ගැලවීම ලබන අයව ලකුණු කරන කාර්යයට එසකියෙල් සම්බන්ධ වුණේ නැහැ. අද ඉන්න දෙවිගේ සෙනඟත් ඒ කාර්යයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ අය කරන්නේ දේශනා කරන සහ අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන අනතුරු අඟවන කාර්යය විතරයි. ලෝකෙ පුරාම ඒ කාර්යය කරන්න දේවදූතයන්ගේ සහය ඒ අයට ලැබෙනවා.—එළි. 14:6.

  3. එසකියෙල්ගේ කාලයේ විනාශයෙන් බේරුණු අයගේ නළල්වල ඇත්තටම ලකුණක් තිබුණේ නැහැ. අනාගතයේ විනාශයෙන් බේරෙන අයගේ නළල්වලත් ඇත්තටම ලකුණක් තියෙන්න යන්නේ නැහැ. මහත් පීඩාවෙන් ගැලවෙන්න මිනිසුන් මොනවද කරන්න ඕනේ? ශුභාරංචිය පිළි අරන් යේසුස් වගේ වෙන්න ඉගෙනගන්න ඕනේ. ජීවිත දෙවිට කැප කරලා, දේශනා කරන කාර්යයට හවුල් වෙලා යේසුස්ගේ සහෝදරයන්ට සහය දෙන්න ඕනේ. (මතෙ. 25:35-40) එතකොට මහත් පීඩාව අතරතුරේදී ඒ අයව බේරෙන අය විදිහට ලකුණු කරනවා.

  4. අනාවැකියේ දෙවෙනි ඉටු වීමේදී තීන්ත කූඩුව ඇති මිනිසාගෙන් නියෝජනය කරන්නේ යේසුස්වයි. ඔහු මහත් පීඩාව අතරතුරේදී මහත් සමූහයට අයිති අයව බැටළුවන් විදිහට විනිශ්චය කළාට පස්සේ ඒ අයට ලකුණ ලැබෙනවා. පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න ඒ අයට අවස්ථාව ලැබෙන්නේ එතකොටයි.—මතෙ. 25:34, 46. *

  5. අනාවැකියේ දෙවෙනි ඉටු වීමේදී ආයුධ අතැතිව හිටිය මිනිසුන් 6දෙනාගෙන් නියෝජනය කරන්නේ යේසුස් සහ ඔහුගේ නායකත්වය යටතේ ඉන්න ස්වර්ගයේ සේනාවන්. ළඟදීම ඔවුන් දෙවිට විරුද්ධ වෙන සියලුම ජාතීන්ව විනාශ කරලා දුෂ්ටකම් සම්පූර්ණයෙන්ම පොළොවෙන් ඉවත් කරනවා.—එස. 9:2, 6, 7; එළි. 19:11-21.

යෙහෝවා දෙවි දුෂ්ටයන්ව විනාශ කරද්දී ඒ අය එක්ක ධර්මිෂ්ඨයන්ව විනාශ කරන්නේ නැහැ කියලා ඒ දර්ශනය නිසා අපි තුළ ලොකු නිසැකකමක් ඇති වෙනවා. (2 පේතෘ. 2:9; 3:9) අද කාලයේ ලොව පුරා කරන දේශනා සේවය කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්නත් ඒ දර්ශනය අපිට උදව් වෙනවා. මොකද අවසානය එන්න කලින් හැම කෙනෙක්ම ළඟ එන විනාශය ගැන දැනගන්න ඕනේ.—මතෙ. 24:14.

^ 6 ඡේ. බාරුක්, ඉතියෝපිය ජාතික ඒබෙද්-මෙලෙක්, රේකාබ්වරු වගේ එදා ඒ විනාශයෙන් බේරුණු අයගේ නළල්වල ඇත්තටම ලකුණක් තිබුණේ නැහැ. (යෙරෙ. 35:1-19; 39:15-18; 45:1-5) ඒ ලකුණ සංකේතවත් එකක්. ඒකෙන් අදහස් කළේ ඒ අය ගැලවෙනවා කියන එකයි.

^ 12 ඡේ. ගැලවීම සඳහා අභිෂේක ලත් අයට ඒ ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ අය මිය යන්න කලින් නැත්නම් මහත් පීඩාව පටන්ගන්න කලින් ඒ අයට අවසන් මුද්‍රාව ලැබෙනවා.—එළි. 7:1, 3.