එසකියෙල් 8:1-18

8  හයවන අවුරුද්දේ හයවන මාසයේ පස්වන දින, මා යූදාහි වැඩිමහල්ලන් සමඟ මාගේ නිවසේ සිටියදී+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මා කෙරෙහි ක්‍රියාත්මක විය.+  මම බැලූ විට මිනිසෙකුගේ පෙනුම ඇති තැනැත්තෙකු සිටිනවා දුටිමි. ගින්නකට සමාන දීප්තියක්+ ඔහුගේ ඉණෙන් පහළ කොටසෙන් විහිදුණේය.+ ඔහුගේ ඉණට ඉහළින් රන් රිදී මිශ්‍ර ලෝහයක තිබෙන කාන්තියට සමාන දීප්තියක් විහිදී ගියේය.+  ඔහු අතක් වැනි වූ දෙයක්+ දිගු කොට මගේ හිසකෙස්වලින් මාව අල්ලාගත්තේය. පසුව දෙවිගෙන් ලැබුණු එම දර්ශනයේදී යම් බලයක්*+ මාව අහසත් පොළොවත් මැද්දෙන් උසුලාගෙන යෙරුසලමට ගෙන ගියේය.+ මාව ගෙන ගියේ දේවමාලිගාවේ උතුරු දෙසින් පිහිටා ඇති අභ්‍යන්තර දොරටුවට පිවිසෙන ස්ථානයටයි.+ දෙවිව උදහසට පත් කරවන රූපයක් එහි පිහිටා තිබුණේය.+  මම තැනිතලාවේ දුටු ලෙසම ඒ අවස්ථාවේද ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස දුටුවෙමි.+  ඉන්පසුව ඔහු මට මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, උතුර දෙස බලන්න.” මමද ඒ දෙස බැලුවෙමි. එවිට පූජාසනයට පිවිසෙන ඒ දොරටුවට උතුරින් ඇතුල් වන ස්ථානයෙහිම දෙවිව උදහසට පත් කරවන ඒ රූපය+ මම දුටුවෙමි.  ඔහු මට මෙසේද පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන ඉතා පිළිකුල්සහගත දේවල් ඔබට පෙනෙනවාද?+ මාගේ ශුද්ධස්ථානයෙන් මාව ඈත් කරන පිණිස ඊශ්‍රායෙල් ජනයා කරන මේ දේවල් ඔබ දුටුවාද?+ ඔවුන් කරන තවත් පිළිකුල්සහගත දේවල්ද ඔබ දකිනු ඇත.”  එහෙයින් ඔහු මාව දේවමාලිගාවේ මළුවට ඇතුල් වන ස්ථානය අසලට ගෙනාවේය. මම ඒ දෙස බැලූ විට එහි තාප්පයේ සිදුරක් තිබෙනවා දුටුවෙමි.  ඊළඟට ඔහු මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඒ සිදුර තවත් විශාල කරන්න.”+ මා තාප්පයේ තිබූ ඒ සිදුර තවත් විශාල කළ විට දොරටුවක් දක්නට ලැබිණ.  ඔහු මට තවදුරටත් මෙසේ පැවසීය. “ඇතුළට ගොස් ඔවුන් කරන දුෂ්ට, පිළිකුල්සහගත දේවල් දෙස බලන්න.”+ 10  මම ඇතුල් වී බැලූ විට, බඩ ගා යන සතුන්ගේද පිළිකුල්සහගත තිරිසනුන්ගේද+ ඊශ්‍රායෙල්වරුන් වැඳුම්පිදුම් කළ පිළිකුල්සහගත දෙවිවරුන්ගේද+ රූප බිත්තිය වටේටම කැටයම් කර තිබූ ආකාරය දුටුවෙමි.+ 11  ෂාපාන්ගේ+ පුත්‍ර වූ යයෂනියා ඇතුළු ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙක්+ සුවඳ දුම් ඔප්පු කරන භාජන අතැතිව ඒ රූප ඉදිරියේ සිටගෙන සිටියෝය. එම භාජනවල තිබූ ද්‍රව්‍යවල සුවඳ සෑම තැනටම විහිදුණේය.+ 12  එවිට ඔහු මට මේ දේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන් ඇතුල් කාමරවලට ගොස් තම තමන්ගේ කැටයම් රූප ඉදිරියේ කරන දේවල් ඔබ දුටුවාද? ‘යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ.+ යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්’ යයි කියමින් ඔවුන් අඳුරේ කරන දේවල් ඔබට පෙනෙනවාද?”+ 13  ඔහු මට මෙසේද පැවසීය. “ඔවුන් තවත් පිළිකුල්සහගත දේවල් කරන බව ඔබට දකින්න ලැබෙයි.”+ 14  පසුව යෙහෝවා දෙවිගේ ගෘහයේ උතුරු දෙසින් පිහිටා ඇති දොරටුව අසලට මාව ගෙන යන ලදි. එහි ස්ත්‍රීන් තම්මුස් නම් දෙවියා ගැන වැලපෙමින් සිටි ආකාරය මම දුටුවෙමි. 15  ඔහු මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ මේ දේවල් දුටුවාද? මීටත් වඩා දරුණු, පිළිකුල්සහගත දේවල් ඔබ දකිනවා ඇත.”+ 16  ඊළඟට යෙහෝවා දෙවිගේ ගෘහයේ අභ්‍යන්තර මළුවට+ මාව ගෙන ගියේය. යෙහෝවා දෙවිගේ මාලිගාවට පිවිසෙන ස්ථානයෙහිම ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව හා පූජාසනය+ අතර පුරුෂයෝ විසිපස්දෙනෙක් සිටියෝය.+ යෙහෝවා දෙවිගේ මාලිගාවට පිටුපස හරවාගෙන සිටි ඔවුහු+ නැඟෙනහිර දෙසට හැරී හිරුට වන්දනාමාන කරමින් සිටියෝය.+ 17  ඔහු මට මෙසේද පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ මේ දේවල් දුටුවාද? යූදාහි වැසියන් මෙහි කරන පිළිකුල්සහගත දේවල් සැහැල්ලුවට ගත හැකිද? ඔවුන් මුළු දේශයම සැහැසියාවෙන් පුරවා තිබේ.+ ඔවුහු මාගේ මුහුණ ඉදිරියෙහිම අශික්ෂිත දේ* තබමින් නැවත නැවතත් මාව උදහස් කරති. 18  ඒ නිසා මම මහත් කෝපයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ මට ඔවුන් ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ ඔවුන් මහත් හඬින් මට මොරගැසුවද මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි.”+

පාදසටහන්

එස 3:12හි පාදසටහන බලන්න.
මූ.අ., “රිකිල්ලක් හෝ අත්තක්.” මෙම සංකේතය රූප වන්දනාවේදී භාවිත කරන්න ඇත.