Skip to content

පටුනට යන්න

සතුට පිරුණ යුග දිවියකට ඔවදන්

සතුට පිරුණ යුග දිවියකට ඔවදන්

“ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”—එෆී. 5:33.

ගීතිකා: 87, 3

1. විවාහ වෙන අය බලාපොරොත්තු වෙන්න ඕනෙ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

මනාලයෙක් එයාගේ ලස්සන මනාලියව දකිද්දී හිතේ ඇති වෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්. විවාහයට කලින් දෙන්නට දෙන්නා හොඳින් අඳුරගත්තා. ආදරේ දවසින් දවස වැඩි වුණා. එයාලට ඕනෙ වුණේ විවාහ වෙලා හැමදාටම එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න. ඒ බැඳීම හැමදාටම තියාගන්න නම් විවාහයෙන් පස්සේ දෙන්නම ජීවිතවල වෙනස්කම් කරන්න ඕනේ. විවාහ සැලැස්ම ඇති කරපු යෙහෝවා දෙවිට ඕනෙ හැම විවාහක යුවළක්ම සතුටින් යුග දිවිය ගෙවනවා දකින්නයි. ඒකට උදව් වෙන මඟ පෙන්වීම් ඔහු බයිබලේට ඇතුළත් කළා. (හිතෝ. 18:22) ඒත් අපිට පාපය උරුම වෙලා තියෙන නිසා විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. (1 කොරි. 7:28) ඒ වගේ අවස්ථා අඩු කරගෙන යුග දිවිය සතුටින් ගත කරන්න යුවළකට පුළුවන් කොහොමද?

2. යුවළක් අතරේ තියෙන්න ඕනෙ මොන වගේ ආදරයක්ද?

2 විවාහක යුවළක් අතරේ ආදරේ තියෙන්නම ඕනේ. ඒත් ඒ මොන වගේ ආදරයක්ද? ඒ දෙන්නා කිට්ටු යාළුවෝ වගේ එකිනෙකාට ලොකු සෙනෙහසක් පෙන්නන්න ඕනේ. පෙම්වතුන් වගේ එකිනෙකාට ආදර හැඟීම් පෙන්නන්න ඕනේ. දරුවෝ ඉන්නවා නම් පවුලේ අය ගැන හිතේ ඇති වෙන ආදරේ තව වැඩි වෙන්න ඕනේ. ඒත් විවාහ බැඳීම තවත් ශක්තිමත් කරගන්න නම් බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වුණ ආදරේ පෙන්නන්නම ඕනේ. “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි” කියලා පාවුල් කියද්දී එයා කතා කළේ ඒ ආදරේ ගැනයි.—එෆී. 5:33.

සැමියාගේ, බිරිඳගේ වගකීම්

3. යුවළක් කොයි තරම් ආදරෙන් ඉන්න ඕනෙද?

3 පාවුල් කිව්වේ “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න” කියලයි. (එෆී. 5:25) අපි එකිනෙකාට පෙන්නන්න ඕනෙ යේසුස් ඔහුගේ ගෝලයන්ට පෙන්නුවා වගේ ආදරයක්. (යොහන් 13:34, 35; 15:12, 13 කියවන්න.) යුවළක් කොයි තරම් ආදරෙන් ඉන්න ඕනෙද කියනවා නම් තමන්ගේ සැමියා, බිරිඳ වෙනුවෙන් ජීවිතේ වුණත් දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒත් ප්‍රශ්න ඇති වෙද්දී ‘ඒ වගේ ආදරයක් අපි අතරේ නැහැනේ’ කියලා යුවළකට හිතෙන්න පුළුවන්. එහෙමනම් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න උත්සාහ කරන්න. එතකොට දෙන්නගේ ආදරේ තව වැඩි වෙයි. ‘සියල්ල ඉවසා දරාගන්න, සියල්ල විශ්වාස කරන්න, සියල්ල ගැන බලාපොරොත්තුවෙන් ඉන්න, සියල්ල විඳදරාගන්න’ උදව් වෙන්නේ ඒ ආදරෙයි. බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වුණ ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. (1 කොරි. 13:7, 8) විවාහ පොරොන්දුවත් හැමදාටම මතක තියාගන්න. එදා දෙන්නට දෙන්නා පොරොන්දු වුණේ ජීවිතේ තියෙන කල් එකිනෙකාට විශ්වාසවන්තව, ආදරෙන් ඉන්නවා කියලයි. ඒක මතකයේ තියෙනවා නම් ප්‍රශ්න ඇති වෙද්දී දෙවිගේ මඟ පෙන්වීම් පතන්නත් ඒවා විසඳගන්න සහයෝගයෙන් වැඩ කරන්නත් දෙන්නම පෙලඹෙයි.

4, 5. (අ) පවුලේ මූලිකයා හැටියට සැමියාගේ වගකීම මොකක්ද? (ආ) සැමියාගේ මූලිකත්වය බිරිඳ සලකන්න ඕනෙ කොහොමද? (ඇ) විවාහයෙන් පස්සේ යුවළක් කළේ මොන වගේ වෙනස්කම්ද?

4 සැමියාගේ, බිරිඳගේ වගකීම් ගැන පාවුල් කතා කළා. ‘භාර්යාවන් ස්වාමීන්ට යටත්ව සිටින්නා සේම තම ස්වාමිපුරුෂයන්ටත් යටත්ව සිටිය යුතුයි. මන්ද ක්‍රිස්තුස් සභාවේ හිස වන්නා සේම ස්වාමිපුරුෂයාද තම භාර්යාවගේ හිස ලෙස කටයුතු කරයි.’ (එෆී. 5:22, 23) ඒකෙන් අදහස් කරන්නේ සැමියා බිරිඳට වඩා උසස් කියන එක නෙමෙයි. යෙහෝවා දෙවි කිව්වේ “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි” කියලයි. (උත්. 2:18) බිරිඳටත් වැදගත් වගකීමක් තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. පවුලේ හිස හැටියට තමන්ගේ වගකීම් හරියට ඉටු කරන්න බිරිඳ සැමියාට සහය වෙන්න ඕනේ. පවුලේ මූලිකයා හැටියට වැඩ කරද්දී සැමියෙක් ‘සභාවේ හිස’ වන යේසුස්ව ආදර්ශයට ගන්න ඕනේ. එතකොට බිරිඳට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්. සැමියාට ගරු කරන්නත් එයාට සහය වෙන්නත් ඒක එයාට උදව්වක්.

5 විවාහයත් එක්ක එන අභියෝග ගැන කැතී මෙහෙම කියනවා. [1] “බඳින්න කලින් මං හැම දේම කළේ තනියම. ඒත් බැන්දට පස්සේ ඒක වෙනස් වුණා. දැන් හැම දේම කරන්න ඕනෙ මහත්තයාත් එක්ක. ඒකට හුරු වෙන්න ලේසි වුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවි කියලා තියෙන විදිහට වැඩ කරපු නිසා අපේ බැඳීම වැඩි වුණා.” එයාගේ සැමියා මෙහෙම කියනවා. “මට කොහොමත් තීරණ ගන්න එක අමාරු දෙයක්. බැන්දට පස්සේ තීරණයක් ගද්දී කැතී ගැනත් හිතන්න ඕනෙ නිසා ඒක තවත් අමාරු වුණා. ඒත් යාච්ඤා කරලා මං දෙවිගෙන් උදව් ඉල්ලනවා. කැතීගේ අදහස්වලටත් මං හොඳට ඇහුම්කන් දෙනවා. ඒ නිසා තීරණ ගන්න එක කලින් තරම් දැන් මට අමාරු නැහැ.”

6. “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” ආදරේ කියන්නේ ඇයි?

6 පාපය උරුම කරගත්ත අය නිසා සැමියා, බිරිඳ දෙන්නම අතින් අඩුපාඩුකම් වෙනවා. ඒ වගේ වෙලාවට ‘එකිනෙකා ගැන ඉවසන්න. නිතරම මුළු හදවතින්ම සමාව දෙන්න’ කියන උපදෙස යුවළක් අදාළ කරගන්නවා නම් විවාහ බැඳීම තවත් ශක්තිමත් වෙනවා. වරදක් වුණාම ඒක හදාගන්න පුළුවන් විදි ගැන හිතන්න. සමාව දෙන්න. බයිබලේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගෙන ආදරේ පෙන්නන්න. ඒක තමයි “එක්සත්කමට දායක වන හොඳම බැඳීම.” (කොලො. 3:13, 14) යුවළක් අතරේ ආදරේ තියෙනවා නම් ප්‍රශ්න ඇති වුණත් ‘බොහෝ ඉවසිලිවන්තව, කරුණාවන්තව, අමනාපයක් සිතේ තබාගන්නේ නැතුව’ වැඩ කරන්න පුළුවන්. (1 කොරි. 13:4, 5) එකඟ නොවීම් ඇති වුණොත් ඒවා ඉක්මනින්ම විසඳගන්න උත්සාහ කරන්න. (එෆී. 4:26, 27) සමාව ඉල්ලන්න ලේසි නැති වුණත් නිහතමානීව ඒක කරනවා නම් ප්‍රශ්න විසඳගෙන, දෙන්නගේ බැඳීම තව වැඩි කරගන්න පුළුවන්.

අවංක සැලකිල්ල පෙන්නන්න

7, 8. (අ) ලිංගික අවශ්‍යතා ඉටු කරද්දී යුවළක් මතක තියාගන්න ඕනෙ මොන උපදෙස්ද? (ආ) යුවළක් එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

7 අඹුසැමියන් විදිහට එකිනෙකාගේ ලිංගික අවශ්‍යතා ඉටු කරද්දී යුවළකට උදව් වෙන උපදෙස් බයිබලේ තියෙනවා. (1 කොරින්ති 7:3-5 කියවන්න.) සැමියාගේ, බිරිඳගේ හැඟීම්, අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන එක හරිම වැදගත්. ලිංගිකව එක් වෙද්දී සැමියාගේ ආදරේ, සැලකිල්ල බිරිඳට දැනෙන්නේ නැත්නම් ඒකෙන් සතුටක් ලබන්න බිරිඳට බැහැ. ඒ නිසයි බිරිඳව “හොඳින් තේරුම්ගෙන” එයාත් එක්ක ජීවත් වෙන්න කියලා පුරුෂයන්ට මතක් කරලා තියෙන්නේ. (1 පේතෘ. 3:7) එහෙම සැමියෙක් බිරිඳව බය කරලා, බලෙන් ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න හදන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක්ට වඩා ඉක්මනින් පිරිමි කෙනෙක්ගේ ලිංගික හැඟීම් පිබිදෙනවා කියලත් එයා මතක තියාගන්නවා. ලිංගික ඇසුරකින් සතුටක් ලබන්න නම් දෙන්නම ඉන්න ඕනෙ නිදහස් මනසකින්.

8 යුවළක් ලිංගික අවශ්‍යතා ඉටු කරද්දී කරන්න ඕනෙ මොනවද, නොකරන්න ඕනෙ මොනවද කියලා බයිබලේ නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. ඒත් එකිනෙකාට ආලවන්ත හැඟීම් පෙන්නපු යුවළක් ගැන බයිබලේ කතා කරලා තියෙනවා. (සල. 1:2; 2:6) ලිංගික අවශ්‍යතා ඉටු කරද්දී යුවළක් එකිනෙකා ගැන සැලකිලිමත් වෙන එක අත්‍යවශ්‍යයි.

9. වෙනත් කෙනෙක් ගැන හිතේ ආසාවක් ඇති කරගන්න එක වැරදි ඇයි?

9 දෙවිටත් අසල්වැසියාටත් ආදරේ නම් විවාහ බැඳීමට හානියක් වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. ඒත් සමහරු අසභ්‍ය දර්ශන බලන පුරුද්දට වැටිලා තියෙන නිසා එයාලගේ විවාහ බැඳීම පලුදු වෙලා. අසභ්‍ය දර්ශන බලන්න, වෙනත් විදිවලින් ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න හිතේ ආශාවක් ඇති කරන හුඟක් දේවල් අද සමාජයේ තියෙනවා. ඒත් ඒවාට අහු නොවී ඉන්න අදිටන් කරගන්න. අද සමහරු හැසිරෙන විදිහෙන් පේන්නේ එයාලා සැමියා, බිරිඳ නොවන අයටත් ආලවන්ත හැඟීම් පානවා කියලයි. විවාහක අය තමන් හැසිරෙන විදිහ ගැන කොච්චර පරෙස්සම් වෙන්න ඕනෙද! වෙන කෙනෙක්ට ආලවන්ත හැඟීම් පානවා නම් අපි ඇත්තටම අපේ බිරිඳට, සැමියාට ආදරේ නැහැ. අපි කරන, කියන අපේ හිතේ තියෙන හැම දේම යෙහෝවා දෙවිට පේනවා කියලා අමතක කරන්න එපා. ඒක මතක තියාගන්නවා නම් අපි කවදාවත් යෙහෝවා දෙවිටවත් අපේ සැමියාටවත්, බිරිඳටවත් ද්‍රෝහි වෙන්නේ නැහැ.—මතෙව් 5:27, 28; හෙබ්‍රෙව් 4:13 කියවන්න.

විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙද්දී . . .

10, 11. (අ) දික්කසාදය අද සාමාන්‍ය දෙයක් වෙලා කියන්නේ ඇයි? (ආ) වෙන් වීම ගැන බයිබලේ කියන්නේ මොකක්ද? (ඇ) ඉක්මන් වෙලා වෙන් වෙන්න තීරණය නොකර ඉන්න උදව් වෙන්නේ මොනවද?

10 ප්‍රශ්න දුරදිග ගියාම සමහරු වෙන් වෙනවා. නැත්නම් දික්කසාද වෙනවා. සමහර රටවල විවාහ වෙන අයගෙන් 1/2ක්ම දික්කසාද වෙනවා. දෙවිගේ සෙනඟ අතරේ ඒක සිද්ධ වෙන්නේ අඩුවෙන්. ඒත් දැන් දැන් දෙවිට නමස්කාර කරන හුඟදෙනෙකුත් එයාලගේ විවාහ ජීවිතවල බරපතළ ප්‍රශ්න අද්දකිනවා.

11 බයිබලේ මේ වගේ උපදෙසක් දෙනවා. “භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි. නමුත් ඇය ඔහුව අත්හරියි නම් ඇය වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ නැවත සමඟි විය යුතුයි. ස්වාමිපුරුෂයෙක්ද ඔහුගේ භාර්යාවව අත් නොහැරිය යුතුයි.” (1 කොරි. 7:10, 11) ඒත් ප්‍රශ්න විසඳගන්න බැරි තරම් බරපතළයි කියලා හැඟුණම සමහරු වෙන් වෙන්න තීරණය කරනවා. යුවළක් වෙන් වෙන එක සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විවාහ සැලැස්ම ඇති කරද්දී දෙවි බලාපොරොත්තු වුණ දේ මතක් කළාට පස්සේ යේසුස් කිව්වේ “දෙවි ඔවුන්ව එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි” කියලා. (මතෙ. 19:3-6; උත්. 2:24) යෙහෝවා දෙවිට ඕනෙ යුවළක් හැමදාටම එකට ජීවත් වෙනවා දකින්නයි කියන දේ ඒකෙන් පැහැදිලියි. (1 කොරි. 7:39) අපි ගන්න තීරණ ගැන දෙවිට ගණන් දෙන්න ඕනෙ කියන දේ නිතරම මනසේ තියාගන්නවා නම් ප්‍රශ්න දුර දිග යන්න නොදී ඉක්මනින්ම ඒවා විසඳගන්න අපි පියවර ගන්නවා.

12. සමහරු වෙන් වෙන්න තීරණ කරන්නේ ඇයි?

12 යුවළක් අතරේ ප්‍රශ්න ඇති වෙන්නේ මොන වගේ හේතු නිසාද? විවාහය රෝස මල් යහනාවක් කියලයි සමහරු හිතන්නේ. ඒත් විවාහ වුණාට පස්සේ තමන් බලාපොරොත්තු වුණ දේ ඉටු නොවුණම කලකිරෙනවා. තරහක් ඇති වෙනවා. සැමියා, බිරිඳ හැදුණ වැඩුණ පසුබිම, හිතන විදිහ වෙනස් නිසාත් ප්‍රශ්න ඇති වෙනවා. සැමියාගේ, බිරිඳගේ පවුලේ අයත් එක්ක ඇති වෙන මතගැටුම් නිසාත් සල්ලි වියදම් කරද්දී, දරුවෝ හදා වඩා ගද්දී ඇති වෙන එකඟ නොවීම් නිසාත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් දෙවිට ආදරේ කරන හුඟක් අය ඒ වගේ ප්‍රශ්න විසඳගෙන තියෙනවා. ඒකට හේතුව දෙවිගේ මඟ පෙන්වීම් එයාලා අදාළ කරගත්ත නිසයි.

13. වෙන් වෙන්න තීරණය කරන්න තියෙන සාධාරණ හේතු මොනවද?

13 වෙන් වෙන්න තීරණය කරන්න සමහරුන්ට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. පවුල රැකබලා ගන්න හිතාමතාම ප්‍රතික්ෂේප කරන නිසා, දරුණු විදිහට පහර දෙන නිසා, දෙවි එක්ක තියෙන බැඳීම රැකගන්න බැරි වෙන තරමට පීඩා කරන නිසා සමහරු වෙන් වෙලා තියෙනවා. බරපතළ ප්‍රශ්න අද්දකින යුවළක් වැඩිමහල්ලන්ගේ උදව් ඉල්ලන්න එක හරිම වැදගත්. මොකද දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න යුවළකට උදව් කරන්න එයාලට පුළුවන්. ඒ වගේම යුවළක් යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලනවා නම් ඔහුගේ මඟ පෙන්වීම් අදාළ කරගන්නත් යේසුස්ව කිට්ටුවෙන් ආදර්ශයට ගන්නත් දෙවි එයාලට උදව් කරනවා.—ගලා. 5:22, 23. [2]

14. දෙවිට සේවය නොකරන සැමියෙක්, බිරිඳක් ඉන්න අයට බයිබලේ දෙන උපදෙස මොකක්ද?

14 සමහර අයගේ සැමියා, බිරිඳ දෙවිගේ සේවකයන් නෙමෙයි. එහෙම අයට අභියෝග තිබුණත් විවාහය රැකගන්න හොඳ හේතු තියෙනවා. (1 කොරින්ති 7:12-14 කියවන්න.) එහෙම කියන්නේ ඇයි? දෙවිට සේවය කරන කෙනා නිසා අනිත් කෙනාට “ප්‍රයෝජන” ලැබෙන නිසයි. දෙවි එයාලගේ දරුවන්ව සලකන්නෙත් “ශුද්ධ අය” හැටියටයි. ඒ කියන්නේ ඒ දරුවන්ට දෙවිගේ ආරක්ෂාව ලැබෙනවා කියන එකයි. ඒ වගේ අයට පාවුල් මේ උපදෙස දුන්නේ හොඳ හේතු ඇතුවයි. “දෙවිට නමස්කාර කරන භාර්යාවක් තම ස්වාමිපුරුෂයා සමඟ සිටීමෙන් සමහරවිට ඒ පුරුෂයාට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ. එලෙසම දෙවිට නමස්කාර කරන පුරුෂයෙක් තම භාර්යාව සමඟ සිටීමෙන් සමහරවිට ඇයට එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.” (1 කොරි. 7:16) තමන්ගේ සැමියාට, බිරිඳට දෙවිගේ සේවකයෙක් වෙන්න උදව් කරපු විශ්වාසවන්ත අයගේ අද්දැකීම් අපි කොයි තරම් අහලා තියෙනවද!

15, 16. (අ) දෙවිට සේවය නොකරන සැමියෙක් ඉන්න බිරිඳකට බයිබලේ දෙන උපදෙස මොකක්ද? (ආ) දෙවිට නමස්කාර නොකරන කෙනා වෙන් වෙන්න තීරණය කළොත් මොකද කරන්නේ?

15 භාර්යාවන් ස්වාමිපුරුෂයන්ට යටත්ව ඉද්දී “ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත” කියලා පේතෘස් කිව්වා. තමන්ගේ විශ්වාසයන් ගැන නිතරම සැමියාට කියනවා වෙනුවට බිරිඳ ‘තැන්පත් මෘදු ස්වභාවයකින්’ වැඩ කරනවා නම් දෙවි ගැන ඉගෙනගන්න සමහරවිට සැමියා පෙලඹෙයි. බිරිඳක් එහෙම කරද්දී දෙවි ඒක හුඟක් අගය කරනවා.—1 පේතෘ. 3:1-4.

16 ඒත් දෙවිට නමස්කාර නොකරන කෙනා වෙන් වෙන්න තීරණය කළොත් මොකද කරන්නේ? බයිබලේ මේ උපදෙස දෙනවා. “දෙවිට නමස්කාර නොකරන පුද්ගලයා දෙවිට නමස්කාර කරන භාර්යාව හෝ ස්වාමිපුරුෂයාව අත්හරින්න තීරණය කළොත් ඒ සඳහා ඉඩ දෙන්න. දෙවිට නමස්කාර කරන පුද්ගලයා ඔහු හෝ ඇය සමඟ සමාදාන වීමට බැඳී නැත. නමුත් එම පුද්ගලයාට දෙවිගෙන් සමාදානය හිමි වේ.” (1 කොරි. 7:15) දෙවිට සේවය නොකරන කෙනා ගන්න ඒ තීරණය නිසා යම් දුරකට ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. ඒත් එහෙම වෙන් වුණා කියලා දෙවිට නමස්කාර කරන කෙනාට වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙන්න බයිබලේ ඉඩ දීලා නැහැ. බයිබලේ කියන්නේ දෙවිට නමස්කාර නොකරන කෙනා ගන්න තීරණය වෙනස් කරන්න කියලා බල කරන්න අවශ්‍ය නැහැ කියලයි. සමහරවිට කාලයක් යද්දී එයා සමාදාන වෙන්න කැමති වෙයි. පස්සේ කාලෙක එයා දෙවිට සේවය කරන්නත් ඉඩ තියෙනවා.

මුල් තැන දෙන්න ඕනෙ කාටද?

යෙහෝවා දෙවිට මුල් තැන දෙද්දී යුග දිවිය සතුට පිරුණ එකක් වෙනවා (17 ඡේදය බලන්න)

17. යුවළක් මුල් තැන දෙන්න ඕනෙ මොන දේටද?

17 අපි ඉන්නේ “අවසාන කාලයේ” නිසා අපිට මුහුණ දෙන්න වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත” දේවලට. (2 තිමෝ. 3:1-5) ඒ වගේ දේවලට හොඳින් මුහුණ දෙන්න නම් දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් තියෙන එක හුඟක් වැදගත්. ‘ඉතුරු වී තිබෙන්නේ තව කෙටි කාලයක් නිසා විවාහ වී සිටින අය තම විවාහ ජීවිතයට පමණක් මුල් තැන දෙමින් කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මේ ලෝකයේ තිබෙන දේවල් භුක්ති විඳින අය ඒවා උපරිම ලෙස භුක්ති නොවිඳින අය මෙන්ද විය යුතුයි’ කියලා පාවුල් කිව්වා. (1 කොරි. 7:29-31) එයා ඒකෙන් අදහස් කළේ යුවළක් එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නැහැ කියලා නෙමෙයි. ඒත් අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ නිසා මුල් තැන දෙන්න ඕනෙ යෙහෝවා දෙවිට කරන සේවයට කියලයි.—මතෙ. 6:33.

18. සතුට පිරුණ යුග දිවියක් ගත කරන එක නිකම්ම සිහිනයක් නෙමෙයි කියන්නේ ඇයි?

18 අද හුඟක් පවුල් ජීවිත දෙකඩ වෙනවා. ඒ කියන්නේ සතුට පිරුණ යුග දිවියක් ගත කරන එක නිකම්ම සිහිනයක්ද? නැහැ. යෙහෝවා දෙවි එක්ක, ඔහුගේ සෙනඟ එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්නවා නම් බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගන්නවා නම් යෙහෝවා දෙවි ඔහුගේ බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම් පිළිගන්නවා නම් ඒක නිකම්ම සිහිනයක් වෙන්නේ නැහැ. ඒ වගේම ‘දෙවි එක් කළ දේ’ රැකගන්න අපි ලොකු වෑයමක් දරනවා කියලා ඒකෙන් පැහැදිලි වෙයි.—මාක් 10:9.

^ [1] (5 ඡේදය) නම් වෙනස් කර ඇත.

^ [2] (13 ඡේදය) ‘දෙවිගේ ප්‍රේමය’ පොතේ උපග්‍රන්ථයේ “දික්කසාදය හා එකිනෙකාගෙන් වෙන් වීම” කියන කොටස බලන්න.