Skip to content

පටුනට යන්න

29 පාඩම

මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ?

මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ?

මරණය නිසා ඔයා ආදරය කරන කෙනෙක් ඔයාගෙන් වෙන් වෙලා තියෙනවාද? ඒ කාලේ ඔයා ලොකු දුකකින් ඉන්න ඇති. ‘ඒ කෙනාව මට ආයෙත් දකින්න පුළුවන් වෙයිද, මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ’ වගේ දේවල් ගැනත් ඔයා හිතන්න ඇති. ඒ ගැන බයිබලයේ තියෙන දේ දැනගත්තාම ඔයාට ලොකු සහනයක් දැනෙයි. ඒ ගැන අපි මේ පාඩමෙන් සහ ඊළඟ පාඩමෙන් බලමු.

1. මැරුණාට පස්සේ කෙනෙක්ට මොකද වෙන්නේ?

යේසුස් මරණය තද නින්දකට සමාන කළා. ඒ ඇයි? තද නින්දක ඉන්න කෙනෙක් වටේ පිටේ වෙන්නේ මොනවාද කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ වගේ, මැරුණ කෙනෙක්ටත් කිසිම දුකක් වේදනාවක් දැනෙන්නේ නැහැ. මැරෙන්න කලින් එයාගේ යාළුවන්ට, පවුලේ අයට එයා කොච්චර ආදරේ කළත් ඒ අය නැති පාළුව එයාට දැනෙන්නේ නැහැ. මොකද බයිබලයේ කියනවා ‘මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ’ කියලා.—දේශනාකාරයා 9:5 කියවන්න.

2. මැරුණ අයට ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්න එක වටින්නේ ඇයි?

හුඟක් අය මැරෙන්න බයයි. මැරුණ අයටත් බයයි. ඒත් මැරුණ අය ගැන බයිබලයේ කියලා තියෙන දේ දැනගත්තාම ඔයාට ලොකු සහනයක් දැනෙයි. මොකද යේසුස් කිව්වා “සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියලා. (යොහන් 8:32) හුඟක් ආගම්වලින් උගන්වන්නේ කෙනෙක් මැරුණාම නොමැරී පවතින දෙයක් එයාගෙන් පිට වෙලා ගිහින් වෙන තැනක ජීවත් වෙනවා කියලයි. ඒත් බයිබලයේ ඒ වගේ දෙයක් උගන්වන්නේ නැහැ. ඒකේ කියන්නේ කෙනෙක් මැරුණාම එයා කිසිම දෙයක් දන්නේ නැහැ, එයාට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, එයා කිසිම දුකක් වේදනාවක් විඳින්නේ නැහැ සහ ජීවත් වෙන අයට හානියක් කරන්නත් එයාට බැහැ කියලයි. ඒ නිසා අපි මැරුණු අයට ගරුබුහුමන් කරන්න ඕනෙ නැහැ. ඒ වගේම ඒ අය දඬුවම් කරයි කියන බය නිසා එයාලා සතුටු වෙන දේවල් කරන්නවත් එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්නවත් ඕනෙ නැහැ.

සමහරු කියනවා එයාලට මැරුණු අය එක්ක කතාබහ කරන්න පුළුවන් කියලා. ඒත් ඒක ඇත්තක් නෙමෙයි. මොකද අපි කලින් බැලුවා වගේ මැරුණු අය “කිසිම දෙයක් දන්නේ නැහැ.” එහෙමනම් මැරුණු අය එක්ක කතා කරනවා කියලා කියන අය ඇත්තටම කතා කරන්නේ කාත් එක්කද? එයාලා කතා කරන්නේ භූතයන් එක්ක වෙන්න පුළුවන්. මොකද භූතයන්ට පුළුවන් මැරුණ අයගේ පෙනුම අරන් එයාලගේ කටහඬින් කතා කරන්න. ඒ නිසා මරණය ගැන ඇත්ත දැනගන්න එක භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට උදව් වෙනවා. භූතයන් එක්ක සම්බන්ධ වෙන එකෙන් අපිට ලොකු හානියක් වෙනවා කියලා යෙහෝවා දන්නවා. ඒ නිසයි ඔහු අපිට කියන්නේ මැරුණු අය එක්ක කතා කරන්න හදන්න එපා කියලා.—ද්විතීය කතාව 18:10-12 කියවන්න.

තවත් හොයමු

මැරුණු අයගේ තත්වය ගැන බයිබලයේ තවත් මොනවාද කියන්නේ කියලා දැනගන්න. මිනිස්සුන්ට ආදරේ කරන දෙවි කෙනෙක් කවදාවත් මැරුණු අයට හිරිහැර කරන්නේ නැහැ කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලත් දැනගන්න.

3. මැරුණු අයගේ ඇත්ත තත්වය

කෙනෙක් මැරුණාම වෙන දේ ගැන ලෝකේ පුරාම ඉන්න අයට එක එක විශ්වාසයන් තියෙනවා. ඒත් ඒ හැම එකක්ම ඇත්ත වෙන්න බැහැ නේද?

  • කෙනෙක් මැරුණාම මොනවා වෙනවා කියලාද ඔයා ඉන්න පැත්තේ අය විශ්වාස කරන්නේ?

බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැනගන්න වීඩියෝ එක බලන්න.

දේශනාකාරයා 3:20 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මෙතන කියන විදිහට කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ?

  • කෙනෙක් මැරුණාම නොමැරී පවතින දෙයක් එයාගෙන් පිට වෙලා ගිහින් වෙන කොහෙ හරි ජීවත් වෙනවාද?

යේසුස්ගේ කිට්ටු යාළුවෙක් වුණ ලාසරුස්ගේ මරණය ගැන බයිබලයේ කතා කරනවා. යොහන් 11:11-14 කියවන්න. ඒක කියවද්දී මිය ගිය ලාසරුස් ඉන්න තත්වය ගැන යේසුස් කිව්වේ මොනවාද කියලා බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස් මරණය සමාන කළේ මොකකටද?

  • යේසුස් කියපු ඒ දෙයින් මැරුණ අයගේ තත්වය ගැන තේරුම්ගන්න පුළුවන් මොනවාද?

  • මැරුණු අය ගැන බයිබලයේ කියලා තියෙන දේ පිළිගන්න පුළුවන් කියලා ඔයා හිතනවාද?

4. මැරුණු අයගේ තත්වය ගැන ඇත්ත දැනගන්න එක අපිට හුඟක් ප්‍රයෝජනවත්

ඇත්ත දැනගත්තාම මැරුණු අය ගැන අපිට තියෙන බයෙන් අපි නිදහස් වෙනවා. දේශනාකාරයා 9:10 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපිට අනතුරක් කරන්න මැරුණ අයට පුළුවන්ද?

මැරුණු අය ගැන බයිබලයේ කියන දේ දැනගත්තාම, එයාලට ගරුබුහුමන් කරන්න ඕනෙ සහ එයාලව සතුටු කළේ නැත්නම් අපිට දඬුවම් කරයි වගේ බොරුවලට අපි රැවටෙන්නේ නැහැ. යෙසායා 8:19 සහ එළිදරව් 4:11 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මැරුණු අයට ගරුබුහුමන් කරන, එයාලගෙන් පිහිට පතන අය ගැන යෙහෝවාට කොහොම හැඟෙයි කියලාද ඔයා හිතන්නේ?

මැරුණු අයගේ ඇත්ත තත්වය දැනගත්තාම යෙහෝවා අකමැති චාරිත්‍රවලින් නිදහස් වෙන්න අපිට පුළුවන් වෙනවා

5. ඇත්ත දැනගන්න එක සහනයක්

හුඟක් අයට උගන්වලා තියෙන්නේ මැරුණාට පස්සේ එයාලා කලින් කරපු වැරදිවලට දඬුවම් විඳින්න වෙනවා කියලයි. හැබැයි බයිබලයේ කියන්නේ කිසිම කෙනෙක් මැරුණාට පස්සේ දුක් විඳින්නේ නැහැ කියලයි. ගොඩක් නරක ජීවිතයක් ගත කරපු කෙනෙක් වුණත් මැරුණාට පස්සේ දුක් විඳින්නේ නැහැ. ඒක ලොකු සහනයක් නේද? රෝම 6:7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • එතන කියන විදිහට මැරුණාට පස්සේ අපේ හැම පාපයකින්ම අපි නිදහස් වෙනවා. එහෙමනම් ඔයා හිතනවාද මැරුණ අය එයාලා කලින් කරපු වැරදි නිසා කොහේ හරි දුක් විඳිනවා කියලා?

ඔයා යෙහෝවා දෙවියන් ගැන තවත් හොඳට දැනගද්දී මැරුණ අයට වධ හිංසා කරන එක ගැන ඔහු හිතන්නෙවත් නැහැ කියලා ඔයා තේරුම්ගනී. ද්විතීය කතාව 32:4 සහ 1 යොහන් 4:8 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මේ බයිබල් පදවල දෙවියන්ව විස්තර කරලා තියෙන විදිහ ගැන හිතද්දී ඔහු කවදාවත් මැරුණ අයට හිරිහැර කරයි කියලා ඔයා හිතනවාද?

  • මැරුණු අයගේ තත්වය ගැන ඇත්ත දැනගත්ත එක ඔයාට සහනයක් වුණාද?

සමහරු මෙහෙම කියනවා: “මං නම් මැරෙන්න බයයි.”

  • ඒ වගේ කෙනෙක්ට සහනයක් වෙන්න ඔයා පෙන්නන්නේ මොන වගේ බයිබල් පදද?

ඉගෙනගත්ත දේ

කෙනෙක් මැරුණාම එයාගේ ජීවිතේ එතනින් ඉවර වෙනවා. එයා දුක් විඳින්නේ නැහැ. ජීවත් වෙන කෙනෙක්ට හානියක් කරන්නත් එයාට බැහැ.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපි මැරුණාම අපිට මොනවාද වෙන්නේ?

  • මරණය ගැන ඇත්ත දැනගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

  • මරණය ගැන ඇත්ත දැනගන්න එක අපිට සහනයක් වෙන්නේ කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

අමරණීය ආත්මයක් ගැන බයිබලයේ කතා කරලා තියෙනවාද?

“කෙනෙක් මැරෙද්දී අමරණීය දෙයක් සිරුරෙන් පිට වෙනවාද?” (වෙබ් ලිපිය)

දෙවියන් දුෂ්ට අයව අපායකට දාලා දඬුවම් කරනවාද කියලා දැනගන්න.

‘අපායක් කියලා තැනක් තියෙනවාද?’ (3:07)

මැරුණු අයගේ ඇත්ත තත්වය දැනගත්ත එක කෙනෙක්ට සහනයක් වුණේ කොහොමද කියලා දැනගන්න.

“තර්කානුකූල උත්තර බයිබලයෙන් ලැබුණාම මට පුදුම හිතුණා” (2015 පෙබරවාරි 1 ‘මුරටැඹ’)