Skip to content

පටුනට යන්න

 ජීවිත වෙනස් කළ පොතක්

තර්කානුකූල උත්තර බයිබලයෙන් ලැබුණාම මට පුදුම හිතුණා

තර්කානුකූල උත්තර බයිබලයෙන් ලැබුණාම මට පුදුම හිතුණා
  • ඉපදුණ අවුරුද්ද: 1948

  • රට: හංගේරියාව

  • අතීතයේදී: ජීවිතය ගැන ප්‍රශ්නවලට උත්තර හොයන්න ආසාවෙන් හිටියා

මගේ අතීතය:

මම ඉපදුණේ හංගේරියාවේ සෙකෙස්ෆෙහර්වාර්වල. ඒක අවුරුදු 1,000කට වැඩි ඉතිහාසයක් තිබුණ ලස්සන නගරයක්. ඒත් 2වෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ඒ ලස්සන මැකිලා ගියා.

පුංචි කාලේ මාව බලාගත්තේ ආච්චියි සීයායි. මගේ ආච්චිට මං ගොඩක් ආදරෙයි. දෙවියන් ගැන මට ලොකු විශ්වාසයක් ඇති කළේ මගේ ආච්චියි. මට අවුරුදු තුන වෙද්දී හැම හැන්දෑවකම ආච්චිත් එක්ක එකතු වෙලා ස්වාමීන්ගේ යාච්ඤාව කිව්වා. හැබැයි ඒකේ තේරුම දැනගන්නකොට මට අවුරුදු 30ට කිට්ටු වෙලා.

මං පුංචි කාලේදී, අම්මායි තාත්තායි ගෙයක් ගන්න අදහසින් රැයක් දවාලක් නැතුව වැඩ කළා. ඒත් සති දෙකකට සැරයක් සෙනසුරාදා දවස්වල පවුලක් හැටියට එකතු වෙලා අපි කෑම කෑවා. ඒ මොහොත එනකම් මම බලාගෙන හිටියේ ආසාවෙන්.

1958දී මගේ දෙමව්පියන්ගේ හීනේ සැබෑ වුණා. ඒගොල්ලෝ අපිටම කියලා ගෙයක් ගත්තා. අම්මායි තාත්තායි එක්ක ඉන්න ලැබුණ එක ගැන මං හුඟක් සතුටු වුණා. ඒත් ඒ සතුට වැඩි කල් තිබුණේ නැහැ. මාස හයකට පස්සේ තාත්තාට පිළිකාවක් හැදිලා හිටි හැටියෙම මැරුණා.

මට දැනුණේ මුළු ලෝකෙම කඩා වැටුණා වගෙයි. ඒ කාලෙදී මම “මගේ තාත්තාව බේරලා දෙන්න කියලා කොච්චර ඉල්ලුවාද? මට මගේ තාත්තාව ඕනේ. ඇයි මගේ යාච්ඤාවලට උත්තර දුන්නේ නැත්තේ” කියලා දෙවියන්ගෙන් ඇහුවා. තාත්තා ඉන්න තැන දැනගන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ‘තාත්තා ස්වර්ගෙට ගියාද නැත්නම් එයාගේ පැවැත්ම නැත්තටම නැති වුණාද’ කියලා මම හිතුවා. තාත්තලා ඉන්න ළමයි දැක්කාම මට ඊර්ෂ්‍යා හිතුණා.

අවුරුදු ගාණක්ම තාත්තාගේ මිනී වළ ළඟට හැමදාම ගිහින් දණගහලා යාච්ඤා කළේ “දෙවියනි, තාත්තා ඉන්නේ කොහෙද කියලා මට කියන්න” කියලයි. මේ ජීවිතේ අර්ථය තේරුම්ගන්න මට උදව් කරන්න කියලත් යාච්ඤා කළා.

ජර්මන් භාෂාවෙන් පොත් පත් ගොඩක් තියෙන හින්දා මගේ ප්‍රශ්නවලට උත්තර ඒ පොත්වල තියෙයි කියලා හිතුවා. ඒ නිසා වයස අවුරුදු 13දී ජර්මන් භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා.  1967දී නැඟෙනහිර ජර්මනියට අයිති ජිනා නගරයේදී ජර්මන් දර්ශනවාදීන්ගේ පොත් කියවන්නත් පටන්ගත්තා. වැඩිපුරම කියෙව්වේ මිනිසුන්ගේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා ලියවිලා තියෙන පොත්. ඒවාවල හොඳ අදහස් තිබුණත් සෑහීමට පත් වෙන්න බැරි වුණ හින්දා උත්තර ඉල්ලලා මං දිගටම යාච්ඤා කළා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

1970දී ආපහු මම හංගේරියාවට ගියා. මට රෝස්ව (භාර්යාව) හම්බ වුණේ එහෙදියි. ඒ කාලේ හංගේරියාවේ තිබුණේ කොමියුනිස්ට් පාලනය. අපි බැඳලා ටික කාලෙකට පස්සේ ඔස්ට්‍රියාවට පලා ගියා. එහෙට ගියේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මාමා ළඟට යන්න හිතාගෙනයි.

මම ඔස්ට්‍රියාවේදී රැකියාවක් කරන්න පටන්ගත්තා. මාත් එක්ක වැඩ කරපු කෙනෙක් දවසක් කිව්වා මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර බයිබලයේ තියෙනවා කියලා. එයා මට බයිබලය ගැන විස්තර කරපු පොත් කීපයක්ම දුන්නා. මම ඒවා එක හුස්මට කියෙව්වා. තවත් දැනගන්න ආස හිතුණා. ඒ නිසා ඒ පොත්වල ප්‍රකාශකයන්ට ඒ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලියලා තවත් පොත් ඉල්ලුවා.

අපේ පළවෙනි විවාහ සංවත්සරය දවසෙදී ඔස්ට්‍රියාවේ තරුණ සාක්ෂිකරුවෙක් අපේ ගෙදරට ඇවිත් මං ඉල්ලුව පොත් ටික දුන්නා. එයා ඇහුවා බයිබලය පාඩම් කරන්න කැමතිද කියලා. මම කැමති වුණා. කොච්චර ආස වුණාද කියනවා නම් සතියට දෙපාරක්ම පාඩම කළා. ඒ හැම දවසකම පාඩමට පැය හතරක් විතර ගියා.

සාක්ෂිකරුවන් බයිබලයෙන් ඉගැන්නුව දේවල් මගේ හිතට ඇල්ලුවා. හංගේරියානු භාෂාවෙන් තිබුණ මගේ බයිබලයෙන්ම ඒගොල්ලෝ දෙවියන්ගේ නම යෙහෝවා කියලා පෙන්නුවාම මට අදහගන්න බැරි වුණා. අවුරුදු 27ක්ම පල්ලි ගියත් ඒ නම ගැන මම අහලාවත් තිබුණේ නැහැ. මගේ ප්‍රශ්න ඔක්කොටම බයිබලයෙන්ම පැහැදිලි, තර්කානුකූල උත්තර ලැබුණාම මට පුදුම හිතුණා. මැරුණ අය කිසි දෙයක් දන්නේ නැහැ කියලත් එයාලා ඉන්නේ ලොකු නින්දක කියලත් මං දැනගත්තා. (දේශනාකාරයා 9:5, 10; යොහන් 11:11-15) පාරාදීසයේදී මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා බයිබලයේ තියෙන පොරොන්දුවත් මට පෙන්නුවා. (එළිදරව් 21:3, 4) මැරුණ අයව නැවත නැඟිටුවන නිසා මගේ තාත්තාව පාරාදීසයේදී දකින්න ආසාවෙනුයි මං ඉන්නේ.—ක්‍රියා 24:15.

බයිබලය ගැන ඉගෙනගන්න රෝස්ටත් ආසාවක් තිබුණ හින්දා මාත් එක්ක පාඩමට හවුල් වුණා. අපි දෙන්නා මාස දෙකකින් පොත පාඩම් කරලා ඉවර කළා. සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ තිබුණ හැම රැස්වීමකටම අපි ගියා. ඒ අය අතර තිබුණ ප්‍රේමය, එකමුතුකම වගේම උදව් කරන්න තිබුණ කැමැත්තත් දැකලා මට පුදුම හිතුණා.—යොහන් 13:34, 35.

1976දී රෝස්ටයි මටයි ඕස්ට්‍රේලියාවට යන්න අවසර ලැබුණා. එහේ ගිය ගමන් අපි සාක්ෂිකරුවන්ව හම්බ වෙන්න ගියා. ඒ අය අපිව ආදරෙන් පිළිගත්තා. අපිට දැනුණේ අපේම අය එක්ක ඉන්නවා වගේ. 1978දී අපි දෙන්නාත් සාක්ෂිකරුවන් වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

අවුරුදු ගාණක් තිස්සේ මගේ හිතට වධ දුන්න ප්‍රශ්නවලට උත්තර ලැබුණා. යෙහෝවා දෙවියන්ට ළං වුණාම මට දැනුණේ හොඳම තාත්තාව ලැබුණා කියලයි. (යාකොබ් 4:8) මගේම තාත්තාවත් පාරාදීසයේදී දකින්න ලැබෙන එක මට ලොකු සතුටක්.—යොහන් 5:28, 29.

අපේ විශ්වාසයන් ගැන යාළුවන්ටයි, පවුලේ අයටයි, අනිත් අයටයි කියන්න පුළුවන් නිසා 1989දී මමයි බිරිඳයි තීරණය කළා ආපහු හංගේරියාවට යන්න. දැන් මෙහේ ඉන්න සිය ගාණකට බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අයගෙන් 70කට වැඩිදෙනෙක් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපිත් එක්ක හවුල් වුණා. අම්මාත් ඒ අයගෙන් එක් කෙනෙක්.

මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා අවුරුදු 17ක් යාච්ඤා කළා. දැන් තවත් අවුරුදු 39ක් ගෙවිලා ගිහින්. ඒත් තාමත් මම යාච්ඤා කරනවා. හැබැයි දැන් නම් මම කියන්නේ මෙහෙමයි. “ස්වර්ගයේ ඉන්න මගේ පියාණෙනි පොඩි කාලේ මං ඇහුව ප්‍රශ්නවලට මට උත්තර දුන්නාට ගොඩක් ස්තුතියි.”