Skip to content

පටුනට යන්න

යක්ෂයාව නිර්මාණය කළේ දෙවියන්ද?

යක්ෂයාව නිර්මාණය කළේ දෙවියන්ද?

පාඨකයන් අසයි

යක්ෂයාව නිර්මාණය කළේ දෙවියන්ද?

▪ යෙහෝවා දෙවි ‘සියලු දේ සෑදුවා’ කියා බයිබලයේ සඳහන් වන නිසා බොහෝ අය සිතන්නේ යක්ෂයාව නිර්මාණය කළෙත් දෙවියන් කියායි. (එෆීස 3:9; එළිදරව් 4:11) නමුත් දෙවි එසේ නොකළ බව බයිබලයේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා.

යෙහෝවා දෙවි ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.” (ද්විතීය කතාව 32:3-5) ඒ විස්තරයට අනුව යෙහෝවා දෙවි යක්ෂයාව නිර්මාණය කළා කියා අපට කොහෙත්ම සිතන්න බැහැ. එසේනම් යක්ෂයෙක් ඇති වුණේ කොහොමද? යක්ෂයා බවට පත් වුණේ දෙවි නිර්මාණය කළ දේවදූතයන්ගෙන් කෙනෙක්. ඒ දේවදූතයා කාලයක් පුරා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හා කීකරුව සිටියා. නමුත් ඔහු දිගටම එසේ කටයුතු කළේ නැහැ. “ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—යොහන් 8:44.

යෙහෝවා දෙවි නිර්මාණය කර තිබෙන සෑම පුද්ගලයෙකුටම නිදහසේ තීරණ ගැනීමේ හැකියාව දෙවි ලබා දී තිබෙනවා. නමුත් යක්ෂයා බවට පත් වූ දේවදූතයා ඒ නිදහස අයුතු ලෙස භාවිත කරමින් දෙවිට එරෙහි වුණා. එපමණක්ද නොව ඔහු මුල්ම මිනිස් යුවළවත් තමාගේ පැත්තට නම්මවාගත්තා. (උත්පත්ති 3:1-5) ඒ නිසා “විරුද්ධකාරයා” යන අර්ථය ඇති සාතන් නමැති නමින් ඔහුව හැඳින්වීම උචිතයි.

යක්ෂයා ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයේ අදහස වන්නේ “අපහාස කරන්නා” යන්නයි. ඒදන් උයනේදී දෙවිට අපහාස කරමින් සර්පයෙකුව යොදාගෙන ඒවව රවටා දෙවිගේ නීති කඩ කිරීමට ඇයව පෙලඹෙව්වේ යක්ෂයායි. යේසුස් ඔහුව “බොරුවේ පියා” ලෙස හැඳින්වීමට හේතුව එයයි.—යොහන් 8:44.

විශ්වාසවන්ත දේවදූතයෙක් එසේ නොමඟ ගියේ දෙවිට පමණක් හිමි නමස්කාරය තමාට ලබාගෙන මිනිසුන්ව තම අණසක යටතේ තබාගන්න තිබූ දැඩි ආශාව නිසයි. ඔහු ඒ නුසුදුසු ආශාව සිතින් අහක් කරගන්නවා වෙනුවට දිගින් දිගටම ඒ ආශාව ඉටු කරගැනීමට මාන බැලුවා. ඔහුට සිදු වූ දේ බයිබලයේ සඳහන් මේ වදන්වලින් මනාව පැහැදිලියි. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.”—යාකොබ් 1:14, 15; 1 තිමෝති 3:6.

එය තවත් හොඳින් තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතන්න. කාර්යාලයක වැඩ කරන ගණකාධිවරයෙකුට එම ආයතනයේ ආදායම පෙන්නුම් කරන ලිපි ලේඛනවල යම් වෙනසක් කර මුදල් සොරකම් කිරීමට ආශාවක් ඇති වෙනවා. ඔහු හැකි ඉක්මනින් ඒ ආශාව ඉවත් කර නොගෙන ඒ ගැනම සිතුවොත් අවස්ථාව පැමිණි විට තම ආශාව ඉටු කරගැනීමට ඔහු උත්සාහ කරනවා. එවිට ඔහු සොරෙක් බවට පත් වෙයි. ඔහු ඒ වරද වසං කිරීමට බොරු කිව්වොත් ඔහු බොරුකාරයෙක් බවටත් පත් වෙයි. යක්ෂයාට සිදු වුණේ ඒ හා සමාන දෙයක්. ඔහු වැරදි ආශාවන් වර්ධනය කරගෙන තමාව නිර්මාණය කළ දෙවිට විරුද්ධව කැරලිගසා බොරු කරමින් තම ආශාව ඉටු කරගත්තා. ඔහු ඒ තත්වයට පත් වුණේ විහින්මයි. ඒ නිසා දෙවි ඊට වග කිව යුතු නැහැ.

වැඩි කල් යන්න මත්තෙන් යෙහෝවා දෙවි සාතන් නමැති යක්ෂයාව විනාශ කර දමනවා. (රෝම 16:20) එතෙක් යක්ෂයාගෙන් ආරක්ෂා වීම සඳහා ඔහුගේ කපටි උපායන් ගැන යෙහෝවා දෙවි බයිබලය මාර්ගයෙන් අපව දැනුවත් කර තිබෙනවා. (2 කොරින්ති 2:11; එෆීස 6:11) එමනිසා ‘යක්ෂයාට විරුද්ධ වීමට’ අපට හැකි හැම දෙයක්ම කරමු. එවිට ‘ඔහු අප වෙතින් පලා යයි.’—යාකොබ් 4:7.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔහු ඒ තත්වයට පත් වුණේ විහින්මයි