Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

පාවුල් මාර්ගයෙන් ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට සුබ පැතුම් යැවූ ‘සීසර්ගේ මාලිගා සංකීර්ණයේ සිටි අය’ කවුද?

ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් තම ලිපිය ලිව්වේ ක්‍රිස්තු වර්ෂ 60ත් 61ත් අතර කාලයෙයි. ඔහු එය ලිව්වේ රෝමයේ සිටයි. එම ලිපියේ සඳහන් සීසර්, නීරෝ අධිරාජ්‍යයායි. එසේනම් නීරෝ අධිරාජ්‍යයාගේ මාලිගා සංකීර්ණයේ සිටිමින් ෆිලිප්පියේ ක්‍රිස්තියානීන්ට සුබ පැතුම් යැවූ අය කවුරුන් විය හැකිද?—ෆිලිප්පි 4:22.

මාලිගා සංකීර්ණයේ සිටි අයට, රෝමයේ හා රෝමය යටතේ තිබූ වෙනත් ප්‍රදේශවල සිටි අධිරාජ්‍යයාට සේවය කළ සියලුම මිනිසුන් අයත් වෙනවා. ඊට වහලුන් හා නිදහස ලැබූ අයද ඇතුළත්. ඒ නිසා සීසර්ගේ මාලිගා සංකීර්ණයේ සිටින අයට දහස් ගණනක් අයත් වුණා. ඔවුන් අධිරාජ්‍යයාගේ මාලිගාවේ සහ වතු උයන්වල සේවය කළා. සමහරු පරිපාලනමය කටයුතුවල පවා හවුල් වුණා.

එලෙස අධිරාජ්‍යයාට සේවය කළ ඇතැම් අය කාලයත් සමඟම ක්‍රිස්තියානීන් බවට පත් වී තිබෙනවා. නමුත් ඔවුන් ක්‍රිස්තියානීන් බවට පත් වුණේ පාවුල් රෝමයේ කළ දේශනා සේවයේ ප්‍රතිඵලයක් ලෙසද කියා නිශ්චිතවම පවසන්න බැහැ. කොහොමවුණත් රෝමයේ සිටි ඒ අයට ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන් සමඟ හිතවත්කමක් තිබුණා. ඊට හේතුව ෆිලිප්පිය රෝම ජනපදයක් වූ නිසා ඔවුන් දන්නා හඳුනන විශ්‍රාමික රෝම හමුදා සෙබළුන් හා නිලධාරීන් එහි ජීවත් වීමයි. ඔවුන් පාවුල් අත ෆිලිප්පියේ සිටි අයට සුබ පැතුම් යැවීමට හේතුව එය විය හැකියි.

වැන්දඹුවක් තම මස්සිනාව විවාහ කරගැනීමේ සැලැස්ම කුමක්ද?

දරුවන් නොමැතිව තනි වූ වැන්දඹුවකට මිය ගිය ස්වාමිපුරුෂයාගේ නම ගෙන යාම සඳහා මස්සිනාව විවාහ කරගැනීමේ සැලැස්මක් අතීතයේදී පැවතුණා. (උත්පත්ති 38:8) පසුව එම සැලැස්ම මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ලබා දුන් නීතියටත් ඇතුළත් කළා. (ද්විතීය කතාව 25:5, 6) මිය ගිය කෙනාට සහෝදරයන් නැත්නම් ඔහුගේ කිට්ටුම නෑදෑයෙක් ඒ වැන්දඹුවව විවාහ කරගත යුතු වුණා. ඒ බව රූත් පොතේ සඳහන් බෝවස් හා සම්බන්ධ සිද්ධියෙන් අපට පැහැදිලි වෙනවා.—රූත් 1:3, 4; 2:19, 20; 4:1-6.

ඒ සැලැස්ම යේසුස්ගේ කාලයෙත් පැවති බව සද්දුසිවරුන් එක් අවස්ථාවකදී යේසුස්ට පැවසූ දෙයකින් පැහැදිලියි. (මාක් 12:20-22) අතීතයේදී දරුවන් නැති වැන්දඹුවකට තම මිය ගිය ස්වාමිපුරුෂයාගේ දේපොළ හිමි වුණේ නැහැ. නමුත් ඇය තම මස්සිනාව විවාහ කරගෙන මිය ගිය ස්වාමිපුරුෂයාගේ නමින් දරුවෙක් බිහි කළොත් එම දේපොළ නැවත පවුලට හිමිවුණා. පළමු සියවසේ සිටි ඉතිහාසඥයෙක් වූ ෆ්ලේවියස් ජොසීෆස් පැවසූ ලෙස එම සැලැස්මෙන් මිය ගිය පුරුෂයන්ගේ පෙළපත දිගටම පැවතුණු අතර වැන්දඹුවන්ටත් සහනයක් ලැබුණා.

මෝසෙස්ගේ නීතියට අනුව මස්සිනා කෙනෙකුට වැන්දඹුවක් වූ තම නෑනාව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කරන්නත් නිදහස තිබුණා. නමුත් එවැනි කෙනෙකුව “සහෝදරයාගේ පවුල ගැන තැකීමක් නැති කෙනෙකු” ලෙස සලකනු ලබන නිසා එය ඔහුට මහත් නින්දාවක් වුණා.—ද්විතීය කතාව 25:7-10; රූත් 4:7, 8.