Skip to content

පටුනට යන්න

“අපි වගේ අයටත් යෙහෝවා දෙවි ආදරෙයිද?”

“අපි වගේ අයටත් යෙහෝවා දෙවි ආදරෙයිද?”

මෙක්සිකෝවෙන් ලිපියක්

“අපි වගේ අයටත් යෙහෝවා දෙවි ආදරෙයිද?”

රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න මෙලෙස්යෝ ඉඳලා හිටලා නගරෙට එනවා. ඒ ආවම එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් ඉඳලා බයිබල් පොත් පත් අරගෙන තමයි ආපහු යන්නේ. මෙලෙස්යෝ ඒ පොත් පත්වල තියෙන දේවල් ගමේ අයටත් කියලා දෙනවා. එයා රැස්වීම්වලට එන හැම වතාවකම අපිට කියනවා එයාගේ ගමට ඇවිල්ලා බයිබලයේ තියෙන දේවල් උගන්වන්න කියලා.

ඔවඩාම් ජාතිකයෙක් වන මෙලෙස්යෝ ජීවත් වෙන්නේ උතුරු මැද මෙක්සිකෝවේ කඳුකර පළාතක් වන ලොස් ආරෙනාලෙස්වලයි. එතැන ඉඳලා කිලෝමීටර් 240ක් විතර ඈතින් තමයි සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක් තියෙන්නේ. අපි කිහිපදෙනෙක් තීරණය කළා ඒ ප්‍රදේශයට යන්න.

ඒ ගමනට ට්‍රක් රථයක් හොයාගන්න අපිට පුළුවන් වුණා. ඊටපස්සේ කූඩාරම්, බිම ඇතිරිලි සහ දවස් දෙක තුනකට හරියන්න කෑමයි, බීමයි, ඉන්ධනයි පටවාගෙන අපි පාන්දර හතරට විතර ඩුරාන්ගෝ නගරයේ ඉඳන් ලොස් ආරෙනාලෙස් බලා පිටත් වුණා. පැය අටක් තිස්සේ දූවිලි පිරුණු කඳුකර පාරක් දිගේ ආව අපි, නතර වුණේ ඒ පාරේ අවසානයෙයි. එතැනින් එහාට වාහනයකින් යන්න පුළුවන් පාරක් තිබුණේ නැහැ. ඒ නිසා අපි වාහනය පිටිසර ගම්මානයකින් නතර කරලා පයින් ගමන් කළා. දුෂ්කර පාරක් දිගේ ගිහිල්ලා කන්දක් නඟින්න තිබුණු නිසා ඒ ගමන එච්චර ලෙහෙසි වුණේ නැහැ.

අපි පැය තුනක් තිස්සේ බඩු මුට්ටු කරේ තියාගෙන ඒ පාර දිගේ පහළට බැහැලා තැනිතලාවකට ආවා. අපි තීරණය කළා කූඩාරම් ගහගෙන එදා රෑ එතැන නතර වෙන්න. ඒ නිසා වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න අපි දර කෝටු එකතු කරලා ලොකු ගිනි ගොඩක් පත්තු කළා. රෑ තිස්සේ ගින්නට දර දාන්න ඕනේ නිසා අපි නිදාගත්තේ මාරුවෙන් මාරුවට.

උදේ පාන්දරින්ම අපි කන්ද නඟින්න පටන්ගත්තා. පොඩි පාරවල් හුඟාක් තිබ්බ නිසා අපිට කිහිප සැරයක්ම පාර වැරදුණා. අපිත් එක්ක ගිය එක් කෙනෙකුට ඔවඩාම් භාෂාව ටිකක් කතා කරන්න පුළුවන් වුණ නිසා අතරමඟදී හමු වුණ අයට අපි ශුභාරංචිය කිව්වා. ඒ හැමෝම වගේ අපිට කිව්වා ලොස් ආරෙනාලෙස්වලත් සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වනවා කියලා. ඒක ඇහුවම අපිට පුදුම හිතුණා. ඒ වගේම ලොකු සතුටකුත් දැනුණා.

අපි කොච්චර දුරක් ඇවිද්දාද කියනවා නම් ලොස් ආරෙනාලෙස්වලට යන කොට අපේ කකුල්වල කරගැටත් ඇවිත් තිබුණා. ඒ ගමේ විදුලි පහසුකම්වත් දරුවන්ට ඉස්කෝලයක්වත් නැහැ. මිනිස්සු ජීවත් වෙන්නේ කටුමැටි බිත්ති තියෙන කාඩ්බෝඩ් සෙවිලි කළ පුංචි ගෙවල්වලයි. ඒ අය කුසගින්න නිවාගන්නේ තිරිඟු පිටිවලින් හදාගත් රොටිවලින්. අපි ඇවිත් ඉන්නවා කියලා දැනගත්තම මෙලෙස්යෝගේ ඉහේ මලක් පිපුණා. මෙලෙස්යෝ අපිව එයාගේ ගෙපැලට එක්කගෙන ගිහින් කිව්වා එයාගේ පවුලේ අයටයි ගමේ අයටයි බයිබලයේ තියෙන දේවල් ගැන උගන්වන්න සාක්ෂිකරුවන්ව එවන්න කියලා එයා හැමදාමත් දෙවිට යාච්ඤා කළා කියලා. මොකද ගමේ මිනිස්සු එයාගෙන් අහන හැම ප්‍රශ්නයකටම බයිබලයෙන් උත්තර දෙන්න එයාට පුළුවන් වෙලා නැහැ.

සොබාදහමට වැඳුම්පිදුම් කරන ඔවඩාම් ජාතිකයන් රාජාලි පිහාටු හා ඇටකටු වගේ දේවල් පාවිච්චි කරලා හුඟක් මන්තර ගුරුකම් කරනවා. ඒත් මෙලෙස්යෝ බයිබලයේ තියෙන දේවල් ටිකක් ඉගෙනගත්ත නිසා යෙහෝවා දෙවි මන්තර ගුරුකම්වලට කැමති නැහැ කියලා දැනගෙන හිටියා. ඒ නිසා එයා ළඟ තිබුණු මන්තර ගුරුකම්වලට සම්බන්ධ හැම දෙයක්ම පුච්චලා දැම්මා කියලා මෙලෙස්යෝ අපිට කිව්වා. එහෙම කළ නිසා දේවශාපයක් වැදිලා එයා මැරෙයි කියලා ගමේ අය එයාට කියලා තියෙනවා. හැබැයි එයාට මුකුත්ම වුණේ නැති නිසා ගමේ අය තේරුම් අරන් තියෙනවා ඔවුන් අදහන දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි බලවත් කියලා. ඒකෙන් පස්සේ ඒ අයත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන් අරගෙන තියෙනවා.

“යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න නම් මන්තර ගුරුකම්වලට සම්බන්ධ හැම දෙයක්ම පුච්චලා දාන්න” කියලා මෙලෙස්යෝ කිහිප සැරයක්ම ගමේ අයට කියලා තියෙනවා. ඒ නිසා ගම්මුන් 80ක් විතර මන්තර ගුරුකම්වලට තිබුණු බියෙන් මිදිලා යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පටන් අරන් තියෙනවා. ඒක අහලා අපි හුඟක් සතුටු වුණා. ඒ නිසා අපි තීරණය කළා වෙහෙස නොතකා එදා හවසම රැස්වීමක් පවත්වන්න. කිහිපදෙනෙක් අශ්වයන් පිටේ ගිහින් සාමාන්‍යයෙන් මෙලෙස්යෝගේ ගෙදරට රැස් වන අයට ඒ බව දැනුම් දුන්නා. ඒක සතියේ මැද දවසක් වුණත් 25දෙනෙක් විතර බූරුවන් පිටේ සහ පයින් මෙලෙස්යෝගේ ගෙදරට ආවා.

එදා ගමේ අයට තිබුණු හුඟාක් ප්‍රශ්නවලට අපි බයිබලයෙන්ම පිළිතුරු දුන්නා. ඒවා පරිවර්තනය කළේ මෙලෙස්යෝ. ගමේ අය අපෙන් මේ විදිහේ ප්‍රශ්න ඇහුවා. “අපි වගේ අයටත් යෙහෝවා දෙවි ආදරෙයිද? ඔවඩාම් භාෂාවෙන් අපි කරන යාච්ඤාවලට දෙවි සවන් දෙනවාද? විනිශ්චය දවසේදී නගරෙන් පිට ජීවත් වන අපි වගේ අයටත් ගැලවීම ලැබෙයිද?” ඒ නිසා ඒ අහිංසක මිනිසුන්ට අපි බයිබලයෙන් පෙන්නුවා පිටිසර පළාතක ජීවත් වුණත් මොන භාෂාව කතා කළත් යෙහෝවා දෙවි හැමෝටම එක වගේ ආදරෙයි කියලා. ඒක අහලා ඒ අය හරිම බැගෑපත්ව අපෙන් ඉල්ලුවා බයිබලය ගැන කියලා දෙන්න කාව හරි මේ ගමට එවන්න කියලා.

ඒ රැස්වීමෙන් පස්සේ අපේ අලුත් යාළුවන් එක්ක අපි අරන් ආව කෑම බෙදාගෙන කෑවා. ඒ ගම්මානය තිබුණේ මුහුදු මට්ටමේ ඉඳලා ටිකක් උසට වෙන්න නිසා රෑට හරිම සීතලයි. ඒ නිසා ඒගොල්ලන් අපිට ඉන්න පුංචි කාමරයක් ලෑස්ති කළ එක ගැන අපි හුඟක් සතුටු වුණා. ඊළඟ දවසේ උදෙන්ම අපේ ට්‍රක් රථය නතර කරලා තිබුණු තැනට කෙටි පාරකින් ඒ අය අපිව ගිහින් ඇරලුවා. එතැන ඉඳලා අපි ආපහු ඩුරාන්ගෝ බලා පිටත් වුණා. ගමන අතරතුරේදී අපට ලොකු වෙහෙසක් දැනුණත් ඒ ගමනින් අපට ලැබුණු සතුට නම් කියා නිම කරන්න බැහැ.ලොස් ආරෙනාලෙස් ගමේ ඉන්න අය ස්පාඤ්ඤ භාෂාව දැනගෙන හිටියත් හුඟක් අයට ඒ භාෂාවෙන් ලියන්න කියවන්න බැහැ. සමහර අයට ඒ භාෂාවෙන් කතා කරන්නත් බැහැ. හැබැයි යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරන්න ඒ අයට ලොකු ආශාවක් තියෙනවා. අපි ඒ ගමට ගිහින් ආවාට පස්සේ සාක්ෂිකරුවන් හයදෙනෙක් එහෙට ගිහින් සති තුනක් පුරා එහේ නතර වෙලා බයිබලයේ තියෙන දේවල් ඔවුන්ට කියලා දීලා තියෙනවා. යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න කැමති 45දෙනෙකුට ඒ අය දෙවි ගැන දැනගන්න උදව් කරලා තියෙනවා. දැන් ඒ හැමෝම දිගටම රැස්වීම් එනවා.

මම තව එක දෙයක් කියන්න කැමතියි. මුළු ලොස් ආරෙනාලෙස්වලටම තිබුණේ පොඩි සිල්ලර බඩු කඩයක් විතරයි. දැන් ඒ කඩෙත් සිගරට් විකුණන්නේ නැහැ. මොකද බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තාට පස්සේ ගමේ අය සිගරට් බොන එකත් නතර කරලා. හුඟක් අය එයාලාගේ විවාහයන්ද නිත්‍යානුකූල කරගෙන තියෙනවා.

[24වන පිටුවේ පින්තූරය]

මෙලෙස්යෝ එයාගේ බිරිඳයි, දුවලා හතරදෙනයි, නැන්දම්මයි එක්ක

[25වන පිටුවේ පින්තූර]

ලොස් ආරෙනාලෙස්වල පවත්වන රැස්වීමක් හා බයිබල් පාඩමක්

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Servicio Postal Mexicano, Correos de Mexico