Skip to content

පටුනට යන්න

හොඳින් සවන් දීමට ඉගෙනගන්න

හොඳින් සවන් දීමට ඉගෙනගන්න

හොඳින් සවන් දීමට ඉගෙනගන්න

“ඔයා මට ඇහුම්කන් දුන්නාට බොහෝම ස්තූතියි.” එවැනි දෙයක් කවුරු හෝ කෙනෙක් ඔබට මෑතකදී පැවසුවාද? එවැනි දෙයක් ඇසීමට ලැබීම මොන තරම් ප්‍රීතියක් ගෙන දෙන්නක්ද! හොඳින් සවන් දෙන කෙනෙකුව සෑම කෙනෙක්ම වාගේ අගය කරනවා. හොඳින් සවන් දීමෙන් අපට පුළුවන් කරදර දුක් වේදනාවලින් මිරිකී සිටින අයට යම් සහනයක් ලබා දෙන්න. අපි කෙනෙකුට හොඳින් සවන් දෙනවා නම් එයින් පෙන්වන්නේ අපි ඒ තැනැත්තාව වටිනා කෙනෙක් හැටියට සලකන බවයි. ක්‍රිස්තියානි සභාව තුළ “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත්” වීමට නම් අපි අන් අයට සවන් දීම අවශ්‍යයි. අපි මෙය කළ යුත්තේ ඔවුන් කෙරෙහි අපි අවංක සැලකිල්ලක් දක්වන බව ඔවුන්ට දැනෙන ආකාරයටයි.—හෙබ්‍රෙව් 10:24.

කෙසේවෙතත් බොහෝදෙනෙක් අන් අයට සවන් දෙන්නේ නැහැ. ඔවුන් කැමති උපදෙස් දෙන්න, තමන්ගේ අද්දැකීම් කියන්න එසේත් නැත්නම් අන් අය කියන දේට සවන් දෙනවාට වඩා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නයි. ඇත්තෙන්ම සවන් දීම කියන්නේ අප ඉගෙනගත යුතු දෙයක්. එය කලාවක්. අප අන් අය කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වන බව ඔවුන්ට දැනෙන ආකාරයෙන් සවන් දීමට ඉගෙනගත හැක්කේ කෙසේද?

වැදගත් කරුණක්

යෙහෝවා අපේ “උදාර උපදේශකයායි.” (යෙසායා 30:20, NW) අප සවන් දිය යුතු ආකාරය ගැන අපට ඉගැන්විය හැකි හොඳම තැනැත්තා ඔහුයි. යෙහෝවා එලියාට උපකාර කළ ආකාරය ගැන දැන් ටිකක් සලකා බලමු. යෙසෙබෙල් බිසව කළ තර්ජනයට බිය වූ එලියා වනයට පලා ගියා. ඒ වගේම ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියා ඔහු පැවසුවා. ඒ අවස්ථාවේදී දෙවිගේ දූතයෙක් ඔහුට කතා කළා. තමන් බියවීමට හේතුව එලියා පැවසූ විට යෙහෝවා ඊට හොඳින් සවන් දී ඔහුගේ බලය පෙන්වා ඔහුව ශක්තිමත් කළා. එහි ප්‍රතිඵලය වූයේ එලියා නිර්භීතව ඔහුගේ පැවරුම ඉෂ්ට කිරීමට පිටත්ව යෑමයි. (1 රාජාවලිය 19:2-15) යෙහෝවා තමන්ගේ සේවකයන්ගේ දුක් ගැනවිලිවලට සවන් දීමට උනන්දුවක් දක්වන්නේ ඔහු ඒ අය ගැන සැලකිලිමත් වන නිසයි. (1 පේතෘස් 5:7) අප හොඳ සවන් දෙන්නෙක් වීමට නම් එක් වැදගත් අවශ්‍යතාවක් වන්නේ අන් අය කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දැක්වීමයි.

බරපතළ වරදක් කළ එක් බොලිවියානු ජාතික මනුෂ්‍යයෙකුට සෙසු ඇදහිලිවන්තයෙක් දැක්වූ අව්‍යාජ සැලකිල්ල ඔහු ගොඩාක් අගය කළා. ඔහු මෙසේ විස්තර කරනවා. “මම ඒ වෙලාවේ හිටියේ හොඳටම මානසිකව වැටිලයි. මට සහෝදරයෙක් ඉවසීමෙන් සවන් නොදුන්නා නම් මම යෙහෝවාට සේවය කරන එක පහසුවෙන්ම අත්හරින්න තිබුණා. ඔහු මට හුඟාක් දේවල් කිව්වේ නැහැ. නමුත් ඔහු මට ඇහුම්කන් දුන් ආකාරයෙන් මම දැනගත්තා ඔහු මං ගැන අවංක සැලකිල්ලක් දක්වන බව. මේක මට ලොකු ශක්තියක් වුණා. මට ඒ වේලාවේ අවශ්‍ය වෙලා තිබුණේ මගේ ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි. මම දැනගෙන හිටියා මම මොනවාද කරන්න ඕනේ කියලා. නමුත් මට ඕන වෙලා තිබුණේ මගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් එක්ක කතා කරන්නයි. ඔහු මට ඇහුම්කන් දීපු නිසා කිසිම බලාපොරොත්තුවක් නැති තත්වයකට පත්වීමෙන් වැළකී සිටින්න මට හැකි වුණා.”

අන් අයට තිබෙන ප්‍රේමය හා අවංක සැලකිල්ල නිසා ඔවුන්ට සවන් දීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය සපයන්නේ යේසුස් ක්‍රිස්තුස්. යේසුස්ගේ මරණයෙන් පසු ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් යෙරුසලමේ සිට කිලෝ මීටර් 11ක් දුරින් පිහිටි වෙනත් ගමකට යමින් සිටියා. ඔවුන් දෙදෙනා ඒ වේලාවේ සිටියේ අධෛර්යයට පත් වෙලයි. මේ නිසා නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් සමඟ ගමන් කරන්න පටන්ගත්තා. ඔහු බොහොම කල්පනාවෙන් ඔවුන්ගේ අදහස් දැනගැනීමට ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවා. ඔවුන්ට තිබුණු බලාපොරොත්තු ගැනත් දැන් ඔවුන් බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත්වීම නිසා අද්දකින ව්‍යාකූල තත්වය ගැනත් ඔවුන් පැවසුවා. යේසුස් ඔවුන් ගැන අවංක සැලකිල්ලක් දක්වමින් ඔවුන්ගේ කතාවට සවන් දුන්නා. මේ නිසා ගෝලයෝ දෙදෙනාත් යේසුස්ට සවන් දුන්නා. එවිට යේසුස් “මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට තෝරා දුන්නේය.”—ලූක් 24:13-27.

අපි අන් අයට හොඳින් සවන් දෙනවා නම් ඔවුනුත් අපට හොඳින් සවන් දෙයි. අපි අන් අය ගැන අවංකව සැලකිලිමත් වෙනවා නම් අපි මුල් පියවර ගෙන ඔවුන්ට සවන් දෙනවා. එක් බොලිවියානු ජාතික කාන්තාවක් මෙසේ පැවසුවා. “මම ළමයි හදන විදිහ හරි නැහැයි කියලා මගේ දෙමව්පියෝයි මගේ මහත්තයගේ පවුලේ අයයි කිව්වා. මට ඒ අය කියන ඒවාට තරහ ගියා. නමුත් මම දෙමාපියෙක් හැටියට මගේ යුතුකම් හරියට ඉෂ්ට කරනවාද කියන එක මට ප්‍රශ්නයක් වුණා. ඒ කාලයේදී තමයි යෙහෝවාගේ සාක්ෂිකාරියක් අපේ ගෙදර ආවේ. ඇය දෙවිගේ රාජ්‍යයේ පොරොන්දු ගැන කතා කළා. ඇය මගේ අදහස් අහපු විදිහෙන් මම තේරුම්ගත්තා ඇය මම කියන දේවලට ඇහුම්කන් දෙයි කියලා. මම ඇයට ගේ ඇතුළට එන්න කියා ආරාධනා කළා. මම ඇයට මගේ ප්‍රශ්නය ගැන කිව්වා. ඇය ඉවසිල්ලෙන් මම කියන දේවල් අහගෙන හිටියා. ඇය ඇහුවා මම මගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. ඒ වගේම මගේ ස්වාමිපුරුෂයා ඒ ගැන හිතන්නේ මොනවාද කියලා. මාව තේරුම්ගන්න උත්සාහ කරන කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණු එකෙන් මට ලොකු සහනයක් දැනුණා. පවුල් ජීවිතය ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන දේවල් ඇය මට පෙන්නුවා. මගේ තත්වය ගැන ඇත්තටම සැලකිල්ලක් දක්වන කෙනෙක් එක්ක මම කතා කරන බව මට වැටහුණා.”

“ප්‍රේමය . . . තමන්ගේම කාරණා සොයන්නේ නැත” කියා බයිබලයේ පවසා තිබෙනවා. (1 කොරින්ති 13:4, 5) අප අන් අයට සවන් දෙන්නේ ඔවුන් ගැන අපි අවංකව සැලකිලිමත් වන නිසා නම් අපේ කාරණා අප පසෙකට දමනවා. කෙනෙක් අපට බරපතළ කාරණයක් ගැන කියද්දී අපි රූපවාහිනිය නැරඹීම නතර කරනවා. එමෙන්ම ඒ වෙලාවේදී පත්තරයක් බලමින් සිටියා නම් එය පැත්තකින් තබනවා. නැත්නම් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරනවා. අපි ඇත්තටම අවංක සැලකිල්ලක් දක්වනවා නම් ඔහු හෝ ඇය පවසන දෙයට වුවමනාවෙන් සවන් දෙනවා. එහෙම කරන්න නම් අපි අප ගැන කතා කරමින් මෙවැනි දේවල් කීමෙන් වැළකී සිටිය යුතුයි. “මීට කාලයකට ඉහතදී මට සිද්ධ වෙච්ච දෙයක් මට මතක් වෙනවා.” එවැනි දෙයක් පැවසීම සාමාන්‍යයෙන් සුහද කතා බහකදී යෝග්‍ය වුණත් කෙනෙක් තමන්ගේ බරපතළ ප්‍රශ්නයක් ගැන කතා කරන විට අපේ කාරණා ගැන කතා නොකළ යුතුයි. අපට අන් අය ගැන අවංක සැලකිල්ලක් දැක්විය හැකි තවත් ක්‍රමයක් තිබෙනවා.

අන් අයගේ හැඟීම් තේරුම්ගැනීම සඳහා සවන් දෙන්න

යෝබ්ගේ මිත්‍රයන් අඩුම තරමින් යෝබ් කළ කතා දහයක්වත් අහගෙන ඉන්න ඇති. ඒත් යෝබ් පැවසුවේ මෙසේයි. “අහෝ, යමෙක් මාගේ බස් අසන්ට සිටියොත් යහපත!” කියායි. (යෝබ් 31:35) ඇයි යෝබ් එසේ පැවසුවේ? ඔවුන් අහගෙන හිටියත් ඔවුන්ගෙන් යෝබ්ට කිසි සහනයක් නොලැබුණු නිසයි. ඔවුන් යෝබ්වවත් ඔහුගේ සිතුවිලිවත් තේරුම්ගැනීමට උත්සාහ කළේ නැහැ. යෝබ් පත්ව සිටින තත්වය ගැන ඔවුන් අනුකම්පා කළේ නැහැ. ඒ වගේම ඔවුන්ට යෝබ් ගැන කිසි හැඟීමක් තිබුණේත් නැහැ. නමුත් පාවුල් දෙන උපදෙස නම් “ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව, යටහත් පහත් මනසක් ඇතිව සිටින්න” කියායි. (1 පේතෘස් 3:8) අන් අයට අනුකම්පාව පෙන්වන්න අපිට පුළුවන් කොහොමද? එක් ක්‍රමයක් නම් අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වීම හා ඔවුන්ව තේරුම්ගැනීමට උත්සාහ කිරීමයි. අපි ඔවුන් කෙරෙහි අනුකම්පාව දක්වන බව පෙන්වීමට මෙවැනි දේවල් කියන්න පුළුවන්. “ඒ වගේ දෙයක් නම් ලේසි වෙන්නේ නැතුව ඇති නේද?” “ඔයාව වරදවා තේරුම්ගත්තා කියලා ඔයාට හිතෙන්න ඇති නේද?” අප අනුකම්පා කරන බව පෙන්විය හැකි තවත් ක්‍රමයක් නම් ඔවුන් කියන දේ අප තේරුම්ගත් බව පෙන්වීමට අපේම වචනවලින් ඒ දේ පැවසීමයි. අපි ඔවුන් කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වනවා කියා පෙන්විය හැක්කේ ඔවුන් පවසන වචනවලට පමණක් නොව පිටතින් පෙනෙන්න නොතිබෙන හැඟීම්වලට පවා අවධානය දීමෙනුයි.

රොබට් * පූර්ණ කාලීන සේවයේ බොහෝ අද්දැකීම් තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. ඔහු මෙසේ පවසනවා. “මම එක අවස්ථාවකදී මගේ දේවසේවය ගැන කලකිරුණා. ඒ නිසා මම චාරිකා අවේක්ෂක සමඟ කතා කරන්න තීරණය කළා. ඔහු මට හොඳින් සවන් දුන් අතර මගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කළා. මගේ ආකල්පය ගැන ඔහු යම් අහිතක් හිතයිදෝ යන බිය මා තුළ තිබෙන බවත් ඔහු තේරුම්ගත්තා. මට එවැනි හැඟීමක් ඇතිවීමට හේතුව ඔහුට තේරුම්ගන්න පුළුවන් කියා ඔහු පැවසුවා. ඔහුත් ඒ වගේම තත්වයන්ට මුහුණ දී තිබෙන බව කිව්වා. මේ සාකච්ඡාව මට පුරෝගාමි සේවය දිගටම කරගෙන යෑමට දිරිගැන්වීමක් වුණා.”

අනිත් කෙනා කියන හැම දේටම අපි එකඟ වන්නේ නැති වුණත් ඒ කෙනාට සවන් දෙන්න පුළුවන්ද? යම් කෙනෙකුට හැඟෙන ආකාරය ගැන අපිට කීම ගැන ඔහුට අපේ ස්තුතිය පළ කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන්. පාසැල් යන පුතෙක් පාසැලේදී රණ්ඩු වුණ එක ගැන හෝ එහෙමත් නැත්නම් යෞවන දුවක් පිරිමි ළමයෙකුට ආදරේ කරනවා කියා පවසනවා නම් මොනවාද කරන්නේ? ඔවුන්ට හරි වැරැද්ද ගැන කියා දීමට කලින් එවැනි අවස්ථාවකදී ඔවුන්ට හොඳින් සවන් දී ඔවුන්ගේ සිතුවිලි තේරුම්ගැනීම දෙමාපියන් කළ යුතු ප්‍රඥාවන්ත දෙයක් නෙවෙයිද?

“මනුෂ්‍යයාගේ සිතේ මන්ත්‍රණය ගැඹුරු ජලය මෙන්ය. එහෙත් තේරුම් ඇති කෙනෙක් ඒක පිටතට ඇදගන්නේය” කියා හිතෝපදේශ 20:5හි පවසා තිබෙනවා. අද්දැකීම් ලත් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් අනිත් අයගේ ආරාධනාවක් නැතුව උපදෙස් දෙන්න අකමැති නම් අපිට පුළුවන් මුල් පියවර ගෙන එවැනි කෙනෙකුගෙන් උපදෙස් ලබාගන්න. අපි කෙනෙකුට තියෙන ප්‍රේමය හා අවංක සැලකිල්ල නිසා ඔහුට සවන් දෙන විටත් තත්වය ඒ හා සමානයි. කෙනෙකුගේ සිතේ තිබෙන දේ එළියට ඇදගැනීමට විචාර බුද්ධිය අවශ්‍යයි. ප්‍රශ්න ඇසීමෙන් සිතුවිලි දැනගත හැකි වුවත් අපි එසේ කරද්දී කල්පනාකාරී විය යුතුයි. අපි අනවශ්‍ය ලෙස පෞද්ගලික කාරණා හාරා අවුස්සන අය නොවිය යුතුයි. යම් ගැටලුවක් තිබෙන කෙනෙකු සමඟ කතා කරද්දී කෙළින්ම ගැටලුව ගැන කතා කරනවාට වඩා ඔහුට කිසිම චකිතයක් නැතිව කියන්න පුළුවන් දේවල් මුලින් පැවසීමට ඉඩ දීම හොඳයි. උදාහරණයක් ලෙස තමන්ගේ විවාහය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න ගැන කතා කරන භාර්යාවකට, ඇගේ ස්වාමිපුරුෂයාව මුලින්ම හමු වූ හැටි හා ඔවුන් විවාහ වූ හැටි පැවසීම එතරම් අසීරු නොවෙයි. දේවසේවයේ හවුල් වීම නතර කර දමා තිබෙන අක්‍රියාශීලී ක්‍රිස්තියානියෙකු සමඟ කතා කරද්දී ඔහුට මුලින්ම සත්‍යය ලැබුණු හැටි කතා කිරීම ඔහුට පහසු විය හැකියි.

අවංක සැලකිල්ලක් පෙන්වමින් සවන් දීම අභියෝගයක්

අපත් සමඟ යම් ගැටලුවක් තිබෙන කෙනෙක් එක්ක කතා කරද්දී ඒ කෙනාට අවංක සැලකිල්ලක් පෙන්වමින් සවන් දීම අභියෝගයක්. ඊට හේතුව අපි හැමතිස්සේම බලන්නේ අපි නිවැරදියි කියා ඔප්පු කරන්නයි. අපිට මෙවැනි තත්වයකදී ක්‍රියා කරන්න පුළුවන් වන්නේ කොහොමද? හිතෝපදේශ 15:1හි පවසන්නේ ‘මෘදු උත්තරයකින් උදහස පහ වෙයි’ කියායි. එවැනි අවස්ථාවකදී මෘදු උත්තරයක් දිය හැකි එක් ආකාරයක් වන්නේ ඒ කෙනාගේ හිතේ තිබෙන දේ කියන්න කියා කාරුණිකව පවසා ඔහුට හොඳින් සවන් දීමයි.

සැර විවාදවලදී බොහෝවිට කෙරෙන්නේ දෙදෙනෙක් තමන් පැවසූ දේවල් නැවත නැවතත් පැවසීමයි. මෙහිදී දෙදෙනාම හිතන්නේ අනිත් කෙනා තමන්ට සවන් දෙන්නේ නැහැයි කියායි. එක් කෙනෙක් කතාව නතර කරලා අනිත් කෙනාට සවන් දෙනවා නම් කොච්චර හොඳද! මෙවැනි අවස්ථාවලදී ඥානවන්තව හා ප්‍රේමණීය ලෙස කතා කිරීමට ඉවසීම අවශ්‍යයි. බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “තමාගේ තොල් නවත්වාගන්න අය නුවණින් ක්‍රියා කරයි.”—හිතෝපදේශ 10:19.

අනිත් කෙනා පවසන දේට අවංක සැලකිල්ලක් දක්වමින් සවන් දීමට අප කා තුළත් ස්වාභාවික නැඹුරුවාවක් නැහැ. නමුත් අපි අපවම හික්මවාගන්නවා නම් හා උත්සාහයක් දරනවා නම් අපට හොඳින් සවන් දීමට ඉගෙනගන්න පුළුවන්. එවැනි නිපුණත්වයක් අත් කරගැනීම ඇත්තෙන්ම වටිනවා. අන් අය කතා කරන විට එයට සවන් දීම ඇත්තෙන්ම ඔවුන් කෙරෙහි තිබෙන ප්‍රේමය ප්‍රකාශ කරන එක් ක්‍රමයක්. අපද එයින් මහත් සතුටක් ලබනවා. එහෙමනම් අන් අය පවසන දේවලට අවංක සැලකිල්ලකින් සවන් දීමට ඉගෙනගැනීම කොතරම් වටිනවාද!

[පාදසටහන]

^ 12 ඡේ. නම වෙනස් කර තිබේ.

[11වන පිටුවේ පින්තූරය]

අප අන් අය කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වනවා නම් අපි අපේ කාරණා පසෙකට දමා ඔවුන්ට සවන් දෙනවා

[12වන පිටුවේ පින්තූරය]

අප සමඟ යම් ගැටලුවක් තිබෙන කෙනෙකුට සවන් දීම අභියෝගයක් විය හැකියි