Skip to content

පටුනට යන්න

ඔබ කරන කැප කිරීම් යෙහෝවා අමතක කරන්නේ නැහැ

ඔබ කරන කැප කිරීම් යෙහෝවා අමතක කරන්නේ නැහැ

‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය.’

ඔබ කරන කැප කිරීම් යෙහෝවා අමතක කරන්නේ නැහැ

ඔබ දැන් කියවීමට යන අද්දැකීම් තුනේම පොදු ලක්ෂණයක් තිබෙනවා. එය කුමක්ද කියා සිතා බලන්න. එක් කෙනෙක් කැමරූන් රටේ ගන වනාන්තරයක් පසු කරගෙන පැය ගණනක් තිස්සේ තමන්ගේ බයිසිකලය පැදගෙන යනවා. ඔහුට මේ ගමන යන්න තිබුණේ මඩ හා වතුර පිරුණු පාරවල් පසු කරගෙනයි. ඔහු මෙතරම් දුෂ්කර ගමනක යෙදෙන්නේ අන් අයව දිරිගැන්වීමටයි. සිම්බාබ්වේ රටේ දෙදෙනෙක් හුදෙකලා වූ කණ්ඩායමකට ඉගැන්වීම සඳහා පිටාර ගලන ගංගා පසු කරගෙන කිලෝ මීටර් 15ක් පමණ ඇවිදගෙන යනවා. ඔවුන් ගංගාවලින් එගොඩ වෙන්නේ ඔවුන්ගේ ඇඳුම් හා සපත්තු ඔළුවේ තියාගෙනයි. තවත් ප්‍රදේශයක එක් කාන්තාවක් උදේ පාන්දර හතරට අවදි වී හෙදියක් සමඟ බයිබලය පාඩම් කිරීමට පිටත් වෙනවා. මේ හෙදියට බයිබලය ගැන ඉගෙනගැනීමට පැයක් වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඒ වේලාවට විතරයි.

මේ තිදෙනා තුළ පොදුවේ දකින්න තිබෙන්නේ කුමක්ද? මේ සෑම කෙනෙක්ම බයිබල් සත්‍යයන් අන් අයට උගන්වන යෙහෝවා දෙවිට පූර්ණ කාලීනව සේවය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්. මේ පූර්ණ කාලීන දේවසේවකයන්ට අයත් වන්නේ විශේෂ හා ස්ථාවර පුරෝගාමීන්, මිෂනාරිවරුන්, චාරිකා අවේක්ෂකයන් මෙන්ම ලොව පුරාම බෙතෙල් නිවාසවල සේවය කරන දහස් ගණන් ස්වේච්ඡා සේවකයන්. මේ අය අතර දකින්න තිබෙන පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන් සියලුදෙනාම කැප කිරීම් කිරීමට කැමැත්තක් දැක්වීමයි. *

හරි ආකල්පයක්

පාවුල් විසින් තිමෝතිට දුන්නාවූ මේ උපදෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිපදිනවා. “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු ලෙස, දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි උපරිමය කරන්න.” (2 තිමෝති 2:15) දහස් සංඛ්‍යාත සාක්ෂිකරුවන් පූර්ණ කාලීන සේවකයන් ලෙස සේවය කරන්න පෙලඹී තිබෙන්නේ ඇයි?

මෙතරම් වෙහෙස මහන්සි වී සේවය කරන්නේ මන්ද කියා පූර්ණ කාලීන දේවසේවකයන්ගෙන් අසන විට ඔවුන් දෙන පිළිතුරුවලින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට හා තම අසල්වැසියන්ට තිබෙන ප්‍රේමය නිසා ඔවුන් එම සේවය කිරීමට පෙලඹී තිබෙන බවයි. (මතෙව් 22:37-39) ඇත්තටම ප්‍රේමයෙන් පෙලඹී මේ දේවල් කරන්නේ නැත්නම් ඔවුන් කොච්චර වෑයම් කළත් ඔවුන්ගේ ඒ වෑයම නිෂ්ඵල වන බවට සැකයක් නැහැ.—1 කොරින්ති 13:1-3.

කැප කිරීම් කළ යුතු සේවයක්

දෙවිට කැප වී සිටින සියලුම ක්‍රිස්තියානීන් යේසුස්ගේ මේ ඇරයුම පිළිගෙන තිබෙනවා. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා!” (මතෙව් 16:24) තමාවම නොසලකාහරිනවා කීමෙන් අදහස් කරන්නේ යෙහෝවා හා යේසුස්ගේ මඟ පෙන්වීම්වලට එකඟව සම්පූර්ණයෙන්ම තම ජීවිතය ගත කිරීමයි. කෙටියෙන් කියනවා නම් අප අයිති යෙහෝවාට හා යේසුස්ටයි. බොහෝදෙනෙකුට ජීවිතයේ යම් යම් කැප කිරීම් කර පූර්ණ කාලීන දේවසේවය තෝරාගැනීමට පෙලඹීමක් ඇති වී තිබෙන්නේ මේ නිසයි.

බොහෝ සාක්ෂිකරුවන් යෙහෝවාට තමන් කරන සේවය පුළුල් කිරීමට මහත් වෑයමක් දරා තිබෙනවා. මේ බව බ්‍රසීලයේ සවෝ පවුලෝහි ජීවත් වන අවුරුදු 56ක් වයසැති සූල්‍යාගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. ඇය මෙසේ පවසනවා. “චීන ජාතික සහෝදරයෙක් දවසක් මට දූරකථන ඇමතුමක් දීලා ඇහුවා මම චීන භාෂාව ඉගෙනගන්න කැමතිද කියලා. මගේ වයස හැටියට මට අලුත් භාෂාවක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් දින කිහිපයකට පස්සේ මම චීන භාෂාව ඉගෙනගැනීමේ අභියෝගය බාරගත්තා. අද මට බයිබලයේ කරුණු අනිත් අයට චීන භාෂාවෙන් කියා දීමේ හැකියාව තියෙනවා.”

පේරූ රටේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් මෙසේ වාර්තා වෙනවා. “මෑත අවුරුදුවල සිය ගණන් ස්ථාවර පුරෝගාමීන් ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුව සභාවකට පවරා නැති ප්‍රදේශවල සේවය කිරීමට ගොස් සිටිනවා. ඔවුන් ගිය මේ ඈත ප්‍රදේශවල මූලික පහසුකම් නැහැ. ඒ වගේම රැකියා සොයාගැනීම එතරම් පහසු නැහැ. දිගටම සේවය කරගෙන යෑමට අවශ්‍ය ඕනෑම කැප කිරීමක් කිරීමට මේ සහෝදර සහෝදරියන් සූදානම්. වඩාත් වැදගත් දෙය වන්නේ ඔවුන්ගේ සේවය නිසා බොහෝ ප්‍රදේශවල හොඳ වර්ධනයක් අද්දකින්න හැකි වී තිබීමයි. මේ කැප කිරීම් කළ ස්ථාවර පුරෝගාමීන්ගේ උපකාරය නිසා අලුත් කණ්ඩායම් බිහි වී තිබෙන බව චාරිකා අවේක්ෂකයන් වාර්තා කරනවා.”

සමහර ක්‍රිස්තියානීන් තමන්ගේ සෙසු සහෝදර සහෝදරියන්ට උපකාර කිරීම සඳහා තමන්ගේ ජීවිත පවා පරදුවට තබා වැඩ කරනවා. (රෝම 16:3, 4) අප්‍රිකාවේ යුද්ධ පවතින ප්‍රදේශයක සේවය කරන චාරිකා අවේක්ෂකයෙක් මෙසේ සඳහන් කළා. “රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශය සහ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශය අතර තිබුණු අවසාන මාර්ග බාධකයට පැමිණෙන්න කලින් මගේ භාර්යාවවයි මාවයි කැරලිකරුවන්ගේ අණ දෙන නිලධාරීන් හතරදෙනෙක් හා ඔවුන්ගේ ආරක්ෂක භටයන් විසින් වට කරගත්තා. ඔවුන් අපි ගැන විස්තර ඇහුවා. අපේ හැඳුනුම් පත් පරීක්ෂා කිරීමේදී ඔවුන් දැනගත්තා අපි රජයේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශයකින් පැමිණි අය බව. ඒ නිසා ඔවුන් අපිව සැක කළා. මම ඔත්තු බලන්න ආපු කෙනෙක් කියලා මට චෝදනා කළා. ඒ නිසා ඔවුන් තීරණය කළා මාව ගැඹුර වළකට දාන්න. නමුත් මම ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා අපි කවුද කියන එක ගැන. ඊට පස්සේ ඔවුන් අපිට යන්න දුන්නා.” තමන්ගේ ජීවිතය පවා නොතකා එම සභා බැහැදැකීමට පැමිණීම ගැන ඒ සභාවේ සහෝදරයෝ ඒ යුවළට ගොඩාක් ස්තුතිවන්ත වුණා.

කොතරම් බාධා හිරිහැර තිබුණත් ලොව පුරාම පූර්ණ කාලීන සේවයේ යෙදෙන අයගේ ගණන දිනෙන් දින වැඩි වෙනවා. (යෙසායා 6:8) මෙම උද්‍යෝගිමත් දේවසේවකයන් යෙහෝවාට සේවය කිරීමට තමන්ට ලැබී තිබෙන වරප්‍රසාදය ගැන හුඟාක් සතුටු වෙනවා. එවැනි කැප කිරීම් කිරීමේ ස්වභාවයක් තිබෙන තවත් බොහෝ සහෝදර සහෝදරියන් යෙහෝවාට ප්‍රශංසා කරමින් සිටිනවා. මේ නිසා ඔවුන් යෙහෝවාගේ මහත් ආශීර්වාද භුක්ති විඳිනවා. (හිතෝපදේශ 10:22) ඔවුන්ට දිගටම යෙහෝවාගෙන් ආශීර්වාද හා උපකාර ලැබෙන බව හොඳින්ම දන්න මෙම සහෝදරයන් ගීතිකාකරුගේ මේ වදන්වලට එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය.’—ගීතාවලිය 121:2.

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2005 දින දර්ශනයේ නොවැම්බර්/දෙසැම්බර් මාස බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති.”—ගීතාවලිය 110:3

[8වන පිටුවේ කොටුව]

යෙහෝවා ඔහුට කැප වී සේවය කරන අය ගැන ප්‍රීති වෙනවා

“ස්ථිර වන්න. නොසැලී සිටින්න. ස්වාමීන් තුළ ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දැන, ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න.”—1 කොරින්ති 15:58.

“ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.