Skip to content

පටුනට යන්න

යේසුස් දැනටමත් රජ වී ඇති බව ඔබට වැටහෙනවාද?

යේසුස් දැනටමත් රජ වී ඇති බව ඔබට වැටහෙනවාද?

යේසුස් දැනටමත් රජ වී ඇති බව ඔබට වැටහෙනවාද?

කලින් ලිපියේ සඳහන් පරිදි බරපතළ අසනීපයක් හැදෙනවාටවත් ලොකු ව්‍යසනයකට ගොදුරු වෙන්නවත් අපි කවුරුත් කැමති නැහැ. පෙනෙන්ට තිබෙන ලකුණු වටහාගන්නා ඥානවන්ත පුද්ගලයෙක් එවැනි තත්වයකට ගොදුරු වීමෙන් වැළකීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අපි හැමෝම වටහාගත යුතු විශේෂ ලකුණක් ගැන යේසුස් ක්‍රිස්තුස් කතා කළා. ඔහු කතා කළ ඒ ලකුණ ලෝක ව්‍යාප්තව සියලුම මනුෂ්‍යයන්ට බලපාන දෙයක්. එය ඔබටත් ඔබේ පවුලේ අයටත් අනිවාර්යයෙන්ම බලපානවා.

මේ ලකුණ ගැන යේසුස් කතා කළ අවස්ථාව ගැන අපි ටිකක් සිතා බලමු. මුලින්ම ඔහු තම ගෝලයන්ට දෙවිගේ රාජ්‍යය ගැනත් ඒ රාජ්‍යය මගින් මේ පොළොවේ දුෂ්ටකම අයින් කර පොළොව පාරාදීසයක් කරන ආකාරය ගැනත් කතා කළා. මෙය අසා සිටි ගෝලයන්ට උවමනා වුණේ ඒ රාජ්‍යයේ පාලනය ආරම්භ වෙන්නේ කවදාද කියා දැනගැනීමටයි. ඒ නිසා ඔවුන් යේසුස්ගෙන් ඇසුවේ “ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද” කියායි.—මතෙව් 24:3.

තමාගේ මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් පසුව පොළොව පාලනය කරන දේවරාජ්‍යයේ රජ හැටියට පත් වෙන්න සියවස් ගණනාවක් ගත වන බව යේසුස් දැනගෙන හිටියා. ඔහුගේ රජවීම මිනිසුන්ට නොපෙනී සිදු වන දෙයක් බව ඔහු දැනගෙන සිටි නිසා රාජ්‍ය බලයෙන් යුක්තව තමාගේ “පැමිණ සිටීම” සහ “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” වටහාගැනීම සඳහා යේසුස් තම ගෝලයන්ට ලකුණක් දුන්නා. මේ ලකුණ තනි සිදුවීමක් නෙවෙයි. එයට අංග කිහිපයක්ම ඇතුළත් වෙනවා.

යේසුස්ගේ ජීවිත කතාව ලිවූ මතෙව්, මාක්, ලූක් වැනි අය යේසුස් තම ගෝලයන්ට දුන් පිළිතුර පැහැදිලි ලෙස වාර්තා කර තිබෙනවා. (මතෙව් 24වන සහ 25වන පරිච්ඡේද; මාක් 13වන පරිච්ඡේදය; ලූක් 21වන පරිච්ඡේදය) තවත් බයිබල් ලේඛකයන් මේ ලකුණට අදාළ තවත් තොරතුරු සඳහන් කළා. (2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:3, 4; එළිදරව් 6:1-8; 11:18) මේ හැම විස්තරයක් ගැනම සවිස්තරාත්මකව සලකා බැලීමට නොහැකි වුණත් ඒ ලකුණට අදාළ යේසුස් පැවසූ ප්‍රධාන කරුණු පහක් ගැන අපි මේ ලිපියේදී සලකා බලමු. මෙය ඔබටත් අදාළ වන නිසා එය සලකා බලන එක වැදගත් බව ඔබට පැහැදිලි වේවි.—6වන පිටුවේ කොටුව බලන්න.

ඉතිහාසයේ නව පිටුවක් පෙරළේ”

“ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත.” (මතෙව් 24:7) ඩේ ශ්පීගල් යන ජර්මන් පුවත්පතක සඳහන් වූ ආකාරයට 1914 වකවානුවට කලින් මිනිසුන් “සිතුවේ වැඩි නිදහසක්, දියුණුවක් සහ සමෘද්ධියක් සහිත සෞභාග්‍යමත් අනාගතයක් උදා වෙයි කියායි.” නමුත් හිටි හැටියේම හැම දෙයක්ම වෙනස් වුණා. “වර්ෂ 1914 අගෝස්තුවේ පටන්ගෙන 1918 නොවැම්බර්යේ අවසන් වූ යුද්ධය කම්පිත කරවන සිද්ධියක් වුණා. ඒ සිදුවීම ඉතිහාසයේ ලොකු පෙරළියක් වුණා” කියා ගේයෝ සඟරාවේ සඳහන් වුණා. ඒ යුද්ධයේදී මහද්වීප පහකින් සොල්දාදුවන් මිලියන 60ක් දරුණු සටනක යෙදුණු අතර දවසකට සොල්දාදුවන් 6,000ක් පමණ මිය ගියා. එදා පටන් විවිධ දේශපාලනික මත දැරූ සියලුම ඉතිහාසඥයන් “1914 සිට 1918 දක්වා වසරවල් ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ වසරවල්” ලෙස සලකා තිබෙනවා.

පළමු ලෝක මහා යුද්ධය මිනිස් සමාජයේ නැවත කිසිදා වෙනස් කළ නොහැකි තත්වයන් ඇති කළ අතර මේ සමාජ ක්‍රමයේ අන්තිම දවස් උදාවීම ආරම්භ වුණේ එතැන් පටන්. තවත් යුද්ධ, ආයුධ සන්නද්ධ අරගල සහ ත්‍රස්තවාදය ඒ සියවස පුරාම දක්නට ලැබුණා. උදා වූ මේ ශතවර්ෂයේ වුණත් තත්වයන් හොඳ අතට හැරී නැහැ. යුද්ධවලට අමතරව යේසුස් දුන් ලකුණට අයත් වෙනත් අංගද දැන් ඉටු වෙමින් තිබෙනවා.

සාගත, වසංගත සහ භූමිකම්පා

“එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම් . . . සිදු වනවා ඇත.” (මතෙව් 24:7) පළමු ලෝක යුද්ධ සමයේදී යුරෝපයේ සාගත තත්වයක් ඇති වුණා. එතැන් පටන් සාගත මිනිස් වර්ගයාට බලපා තිබෙනවා. වර්ෂ 1933 වන විට රුසියාවේ සහ යුක්රේනයේ තත්වය ගැන විස්තර කරමින් ඉතිහාසඥ ඇලන් බුලක් මෙහෙම ලිව්වා. “හාමතෙන් පෙළෙන අයව හැම තැනම දක්නට ලැබුණා. . . . පාරවල් දිගේ මළ සිරුරු ගොඩගසා තිබුණා.” චීන ප්‍රාන්තයක් වන හේනන්වලට 1943දී සාගතය බලපෑ ආකාරය දුටු පුවත්පත් ලේඛකයෙක් වූ, ටී. එච් වයිට් ලිව්වේ මෙහෙමයි. “සාගත කාලයේදී ඕනෑම දෙයක් අනුභව කිරීමේ හැකියාව මිනිස් ශරීරයට තිබෙනවා. නමුත් මෙතෙක් කෑමට සුදුසු නැහැ කියලා හිතපු දෙයක් වුණත් කන්න කෙනෙකුට හිතෙන්නේ හාමතෙන් මැරෙන්න තිබෙන බය නිසයි.” මෑත දශකවල අප්‍රිකාව පුරා සාගත තත්වයක් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් වීම කනගාටුවට කාරණයක්. පොළොව සෑමදෙනාටම ඇති තරම් ආහාර නිපදෙව්වත්, ලොව පුරා සිටින මිලියන 840ක් පමණ ජනයාට කෑමට අවශ්‍ය තරම් ආහාර නැතුව ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් තක්සේරු කර තිබෙනවා.

“එක් තැනක් පාසා තවත් තැනක වසංගත.” (ලූක් 21:11) “පැතිර ගිය ස්පාඤ්ඤ උණ නිසා 1918දී මිනිසුන් මිලියන 20ත් 50ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ගණන් බලා තිබෙනවා. එය ඊට පෙර ඇති වූ මහාමාරිය රෝගයෙන් සහ පළමු ලෝක යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩියි” කියා සූඩෞෂේ සූටුං පුවත්පත වාර්තා කරයි. ඊට පස්සේ මැලේරියාව, වසූරිය, ක්ෂය රෝගය, පෝලියෝ සහ කොලරාව යන රෝග අසංඛ්‍යාත පිරිසකට වැලඳි තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඒඩ්ස් රෝගය ඉතා සීඝ්‍රයෙන් පැතිර යන ආකාරය දෙස මිනිසුන් බලා සිටින්නේ ත්‍රාසයෙන්. වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුණත් එයට සමාන වේගයකින් සිදු වන රෝගවල වැඩිවීම ගැන මිනිසුන්ට වටහාගැනීමට බැරි වී තිබෙනවා. එවැනි පුදුමසහගත තත්වයන්වලින් පැහැදිලි වෙන්නේ අපි සිටින්නේ මින් පෙර තිබූ කාලවලට වඩා වෙනස් කාලයක බවයි.

“භූමිකම්පා.” (මතෙව් 24:7) පසුගිය සියවස පුරා භූමිකම්පාවලින් මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. වර්ෂ 1914 පටන් පොළොව දෙබෑ කරමින් ගොඩනැඟිලිවලට හානි සිදු කිරීමේ හැකියාව තිබෙන භූමිකම්පා 18ක් පමණ වසරක් ඇතුළත සිදු වන බව එක් මූලාශ්‍රයක සඳහන් වෙනවා. ගොඩනැඟිලි පොළොවට සමතලා කරන්න පුළුවන් තරම් ප්‍රබල මහා භූමිකම්පා වසරකට එකක්වත් සිදු වෙනවා. තාක්ෂණය අතින් දියුණුවක් අද්දැක්කත් මේ භූමිකම්පාවලින් මිය යන සංඛ්‍යාවේ අඩුවීමක් නම් දක්නට නැහැ. ඊට හේතුව ජනගහනය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින නගර බොහොමයක් පිහිටා තිබෙන්නේ භූමිකම්පා සිදු විය හැකියයි සොයාගෙන තිබෙන ප්‍රදේශවල නිසයි.

සතුටුදායක ආරංචියක්!

අන්තිම දවස් ගැන යේසුස් දුන් ලකුණට අයත් අංග බොහොමයක් සිත් කම්පා කරවන ඒවා බව ඔබ දකින්න ඇති. නමුත් ඔහු සතුටුදායක ආරංචියකුත් පැවසුවා.

“රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) යේසුස් ආරම්භ කළ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය අන්තිම දවස් වෙද්දී විශාල පරිමාණයකින් සිදු වෙයි. එහි ඉටුවීම අද අපි පැහැදිලිවම දකිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ පණිවුඩය දේශනා කරමින් සිටින අතර එයට සවන්දීමට කැමැත්තක් දක්වන අයට එය තමන්ගේ ජීවිතයට අදාළ කිරීමට ඔවුන් උගන්වමින් සිටිනවා. මේ වන කොට භාෂා 400කට වඩා වැඩි සංඛ්‍යාවකින් මිලියන හයකටත් වැඩි සෙනඟක් රටවල් 235ක දේශනා කරමින් සිටිනවා.

කොතරම් කම්පිත කරවන සිදුවීම් සිදු වුණත් මිනිසුන් තමන් ගත කරන සාමාන්‍ය ජීවිතය අත්හරින බව යේසුස් කීවේ නැති බව මතක තබාගන්න. ඒ ලකුණේ එක අංගයක් විතරක් මුළු ලෝකයටම බලපාන බවත් ඔහු කීවේ නැහැ. ඒ වෙනුවට ලකුණට අයිති අංග බොහොමයක් එකම කාලයක ලොව පුරාම සිදු වන බවයි ඔහු පැවසුවේ. ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට මෙය වටහාගන්න පුළුවන් වෙනවා.

ලෝකය පුරාම මේ ලකුණේ විවිධ අංගයන් දැන් ඉටුවෙමින් පවතින බව ඔබට පෙනෙනවාද? දැන් ලෝකයේ සිදු වන දේවල් ඔබටත් ඔබේ පවුලේ අයටත් අනිවාර්යයෙන්ම බලපානවා. හැබැයි ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. ලෝකයේ සිටින වැඩි පිරිසක් මේ දේවල් ගණන් නොගෙන සිටින්නේ ඇයි?

තමන් ගැන විතරක් සිතීම

“මෙහි නෑම තහනම්,” “අන්තරාවයි!” “වේගය අඩු කරන්න” වැනි අනතුරු ඇඟවීමේ සලකුණු අපිට නිතර දක්නට ලැබෙනවා. නමුත් අපි ඒවා නොසලකාහරිනවා වෙන්න පුළුවන්. අපි එහෙම කරන්නේ ඇයි? ඒ අපි අප ගැන විතරක් හිතන නිසයි. උදාහරණයක් හැටියට, දමා තිබෙන වේග සීමාව ඉක්මවා රිය පදවන්න අපට ආශාවක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් නෑම තහනම් කර ඇති තෑන්වල නෑමට අපට සිතෙන්න පුළුවන්. ඒත් මෙවැනි අනතුරු ඇඟවීමේ සලකුණු නොසලකාහැරීම නුවණට හුරු දෙයක් නම් නෙවෙයි.

ඔස්ට්‍රියාව, ප්‍රංශය, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල්වල තිබෙන කඳුකර ප්‍රදේශවල ඇතැම් ස්ථානවල හිම ක්‍රීඩා කරන්න එපා කියා දැන්වීම් දමා තිබෙනවා. නමුත් එය නොසලකාහැරීම නිසා කඳුවලින් කඩා වැටෙන හිමවලට අසු වී බොහෝ සංචාරකයන්ගේ ජීවිත නැති වී තිබෙනවා. සූඩෞෂේ සූටුං පුවත්පතට අනුව බොහෝ සංචාරකයන් සිතන්නේ අවදානමක් නැත්නම් වින්දනයකුත් නැහැ කියලයි. අනතුරු ඇඟවීමේ සලකුණු නොසලකාහැරීමෙන් ඛේදජනක ප්‍රතිඵල අද්දැකීමට සිදුවීම කනගාටුවට කරුණක්.

යේසුස් දුන් ලකුණ මිනිසුන් නොසලකාහරින්නේ ඇයි? මුදල පසු පස හඹා යෑමට තිබෙන ආශාව, කිසිම උනන්දුවක් නැතිකම, කෙළින් තීරණයක් ගන්න බැරිව ළතවීම, පුරුදු වී ඇති දේට වහල් වී සිටීම හෝ අන් අය ඉදිරියේ තමන්ට ඇති පිළිගැනීම නැති වෙයි කියන භය වැනි දේවල් නිසා ඔවුන් සැබෑ තත්වය වටහාගන්නේ නැහැ. ඔබත් යේසුස් රජ වී සිටින බවට ඇති ලකුණ වටහා නොගෙන සිටින්නේ එවැනි හේතුවක් නිසාද? එය වටහාගෙන ඒ අනුව ක්‍රියා කිරීම කොතරම් ඥානවන්ත දෙයක්ද!

පාරාදීස පොළොවක ජීවිතය

යේසුස් රජ වී සිටින බව වටහාගන්නා සෙනඟ එන්න එන්නම වැඩි වෙනවා. ජර්මනියේ වෙසෙන විවාහක තරුණයෙක් වන ක්‍රිස්ටියොන් පවසන්නේ “අපි ජීවත් වෙන්නේ අඳුරු කාලයකයි. ඇත්තෙන්ම මේවා ‘අවසාන දවස්’” කියායි. ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ දෙවිගේ රාජ්‍යය ගැන අන් අය සමඟ කතා කිරීමටයි. ඒ රටේම ජීවත්වන ෆ්‍රාන්ක් තම බිරිඳ සමඟ බයිබලයේ තිබෙන ශුභාරංචිය අන් අයට කියා දීමෙන් ඒ අයව දිරිමත් කරනවා. ඔහු පවසන්නේ මෙහෙමයි. “අද ලෝකයේ පවතින තත්වය නිසා බොහෝදෙනෙක් තමන්ගේ අනාගතය ගැන හිත හිතා ළත වෙමින් සිටිනවා. මේ පොළොව පාරාදීසයක් වෙනවා කියා බයිබලයේ සඳහන් අනාවැකිය තුළින් එවැනි අයව අපි දිරිගන්වනවා.” මේ අනුව යේසුස්ගේ ලකුණේ එක අංගයක් වන දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීම ක්‍රිස්ටියොන් සහ ෆ්‍රාන්ක් ඉටු කරමින් සිටිනවා.—මතෙව් 24:14.

මේ අන්තිම දවස් එහි අවසානයට පැමිණි විට මේ සමාජ ක්‍රමයත් එයට සහය දක්වන මිනිසුන්වත් යේසුස් සහමුලින්ම විනාශ කරයි. ඉන්පසුව පොළොව පාලනය කරන්නේ දේවරාජ්‍යයයි. එවිට දෙවි පොරොන්දු වූ ලෙස මේ පොළොව පාරාදීසයක් බවට පත් වෙයි. ලෙඩ රෝගවලින් සහ මරණයෙන් මිනිසුන් නිදහස් වෙන්නට යනවා වගේම මිය ගිය අයව මේ පොළොවේම නැවත නැඟිටුවන්න යනවා. මෙය අවසාන කාලය බව දැන් ඉටු වෙමින් පවතින ලකුණුවලින් වටහාගන්න අයට ඇත්තේ මොනතරම් ලස්සන හෙට දිනක්ද! යේසුස් දුන් ලකුණ ගැනත් මේ සමාජ ක්‍රමයට ලැබීමට නියමිත විනාශයෙන් බේරී ජීවත් වීමට කළ යුත්තේ කුමක්ද යන්න ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන සිටීම ඥානවන්ත දෙයක් නෙවෙයිද? අපි සියලුදෙනාම එය ඉක්මනින්ම මෙන්ම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.—යොහන් 17:3.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට, ලකුණට අයිති අංග බොහොමයක් එකම කාලයක ලොව පුරාම සිදු වන බව වටහාගන්න පුළුවන් වෙයි කියා යේසුස් පැවසුවා

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෝකය පුරාම ලකුණේ විවිධ අංගයන් දැන් ඉටු වෙමින් පවතින බව ඔබට පෙනෙනවාද?

[6වන පිටුවේ කොටුව⁄පින්තූර]

අන්තිම දවස් ගැන ලකුණේ අංග සමහරක්

මින් පෙර නොතිබූ යුද්ධ කෝලාහල.—මතෙව් 24:7; එළිදරව් 6:4

සාගත.—මතෙව් 24:7; එළිදරව් 6:5, 6, 8

වසංගත.—ලූක් 21:11; එළිදරව් 6:8

නීති විරෝධී ක්‍රියා වැඩිවීම.—මතෙව් 24:12

භූමිකම්පා.—මතෙව් 24:7

කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්.—2 තිමෝති 3:1

මුදල්වලට ඇති අධික ආශාව.—2 තිමෝති 3:2

දෙමාපියන්ට අකීකරු වීම.—2 තිමෝති 3:2

ජන්ම ස්නේහය නැති වීම.—2 තිමෝති 3:3

දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කිරීම.—2 තිමෝති 3:4

ආත්ම දමනය නැතිකම.—2 තිමෝති 3:3

යහපතට ප්‍රේම නොකිරීම.—2 තිමෝති 3:3

පැමිණීමට නියමිත අනතුර ගැන කිසි තැකීමක් නැතුව සිටීම.—මතෙව් 24:39

අන්තිම දවස් පිළිබඳ සාක්ෂි පිළිනොගෙන සමච්චල් කිරීම.—2 පේතෘස් 3:3, 4

දේවරාජ්‍යය ගැන ලෝක ව්‍යාප්තව දේශනා කිරීම.—මතෙව් 24:14

[5වන පිටුවේ පින්තූරය]

WWI යුධ භටයින්: The World War—A Pictorial History, 1919 නමැති පොතෙන්; දිලිඳු පවුලක්: AP Photo/Aijaz Rahi; පෝලියෝ රෝගියෙක්: © WHO/P. Virot