Skip to content

පටුනට යන්න

ලකුණුවලින් කියාපාන දෙය වටහාගැනීම බැරෑරුම් කාරණයක්!

ලකුණුවලින් කියාපාන දෙය වටහාගැනීම බැරෑරුම් කාරණයක්!

ලකුණුවලින් කියාපාන දෙය වටහාගැනීම බැරෑරුම් කාරණයක්!

“මම මුලින්ම හිතුවේ අන්ඩ්‍රෙයස්ට හැදිලා තියෙන්නේ සාමාන්‍ය හිසරදයක් කියලයි. ඒත් ටික වේලාවක් යන කොට එයාට කිසිම දෙයක් කන්න බැරුව ගියා වගේම තදින් උණ ගත්තා. පුතාගේ හිසරදය තවත් වැඩි වූ නිසා මම කලබල වෙන්න පටන්ගත්තා. ඊට පස්සේ මමයි මගේ මහත්තයයි පුතාව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගියා. රෝග ලක්ෂණ හඳුනාගත් දොස්තර කිව්වේ හැකි ඉක්මණින් එයාව රෝහලකට අරගෙන යන්න කියායි. එයාට තිබුණේ සාමාන්‍ය හිසරදයකට වඩා බරපතළ රෝගයක්. ඒ මොළේ උණ රෝගයයි. ඒත් නියම වේලාවට පුතාට ප්‍රතිකාර ලැබුණු නිසා ඉක්මනින් සුව වුණා.”—ජර්මනියේ වෙසෙන මවක් වන ගටෲට්.

ඒ හා සමාන අද්දැකීම් බොහෝ දෙමාපියන් අද්දකිනවා වෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට රෝගයක් වැලඳෙන්න පෙර මතු වන ලකුණු තේරුම්ගන්න දෙමාපියන්ට හැකියාවක් තිබෙනවා. හැම රෝගයක්ම බරපතළ එකක් නොවන බව ඇත්තයි. ඒත් දරුවෙක් අසනීපයෙන් සිටින බවට පෙන්වන ලකුණු නොසලකාහරින්න නම් දෙමාපියන්ට බැහැ. ඒ ලකුණු ගැන බැරෑරුම්ව සිතා වහා පියවර ගැනීමෙන් බොහෝ අනතුරුවලින් ආරක්ෂා වෙන්න ඔවුන්ට හැකි වෙනවා. ලකුණුවලින් කියාපාන දෙය වටහාගැනීම ඇත්තෙන්ම බැරෑරුම් දෙයක්!

මේ කාරණය අදාළ වෙන්නේ අසනීපවලට විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියානු සාගරය ආසන්නයේ පිහිටි රටවල් ගණනාවකට 2004 දෙසැම්බර් මාසයේදී බලපෑ සුනාමි ව්‍යසනය ඊට හොඳ උදාහරණයක්. ඕස්ට්‍රේලියාව සහ හවායි වැනි රටවල පිහිටි යම් ආයතන සුමාත්‍රාවේ උතුරු ප්‍රදේශයේ සිදු වූ විශාල භූමිකම්පාව ගැන කලින් දැනගත් අතර එහි ප්‍රතිඵලයක් හැටියට සිදු විය හැකි භයානක සිදුවීම් ඔවුන් වටහාගත්තා. නමුත් මෙය බලපාන රටවල සිටින අයට අනතුරු අඟවන්න ඔවුන්ට කිසිම හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා 2,20,000කට වැඩි ජීවිත ගණනක් නැති වුණා.

වඩා වැදගත් දෙයක් පිළිබඳ ලකුණු

යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ ජීවත් වූ කාලයේදී, ලකුණු වටහාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ගැන ඔහු තමාට සවන් දුන් අයට පැහැදිලි කළා. ඔහු කතා කරමින් සිටි මේ වැදගත් කාරණය ගැන බයිබලයේ වාර්තා කර තිබෙන්නේ මෙලෙසටයි: “පරිසිවරුද සද්දුසිවරුද ඔහු වෙතට ඇවිත්, ඔහුව පරීක්ෂා කරන පිණිස තමුන්ට ස්වර්ගයෙන් ලකුණක් පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලුවෝය. ඔහු ඔවුන්ට උත්තර දෙමින් මෙසේ කීවේය: ‘ඔබ සාමාන්‍යයෙන් පුරුදු වී සිටින්නේ සවස් වූ විට “අහස ගින්දර මෙන් රතු පාට නිසා කාලගුණය හොඳ වේ” කියාද, උදේට “අහස ගින්දර මෙන් රතු පාට වී අඳුරුව තිබුණොත්, අද ශීත, වැසි සහිත කාලගුණයක් වේ” කියාද කීමටය. අහසේ ස්වභාවය තෝරා දෙන්න ඔබ දන්නහුය. නමුත් නියම කරන ලද කාලවල ලකුණු තෝරා දෙන්න ඔබට නුපුළුවන.’”—මතෙව් 16:1-3.

“කාලවල ලකුණු” ගැන සඳහන් කරමින් යේසුස් කීවේ, එදා සිටි යුදෙව්වන් ඔවුන් ජීවත් වූ කාලයේ ඇති බැරෑරුම්කම වටහාගැනීමට යුතුව තිබූ බවයි. ඉදිරියේදී ඒ මුළු යුදෙව් සමාජයම ලොකු විනාශයකට මුහුණ දෙන්න නියමිත වෙලා තිබුණා. යේසුස්ගේ මරණයට ටික කලකට පෙර ඔහු තවත් ලකුණක් ගැන තම ගෝලයන් එක්ක කතා කළා. ඒ තමයි තමා ස්වර්ගයේ රජ වී සිටින බවට කියාපාන ලකුණ. ඔහු එදා තම ගෝලයන්ට පැවසූ දේ අද අප සියලුදෙනාම සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්.