Skip to content

පටුනට යන්න

මගේ දෙමාපියන්ගේ ආදර්ශය මට දිරියක් වුණා

මගේ දෙමාපියන්ගේ ආදර්ශය මට දිරියක් වුණා

ජීවිත කතාව

මගේ දෙමාපියන්ගේ ආදර්ශය මට දිරියක් වුණා

යානෙස් රෙකෙල්

ඒ 1958 වසරයි. එදා මගේ බිරිඳ ස්ටාන්කා සහ මම හිටියේ යුගෝස්ලාවියාව හා ඔස්ට්‍රියාව අතර පිහිටි දේශ සීමාව ළඟ තිබෙන කාරවාන්කන් ඇල්ප්ස් කඳුකරයේ එක්තරා තැනකයි. අපිට ඕන වුණේ ඔස්ට්‍රියාවට පලා යෑමටයි. මේක බොහොම අවදානම් සහිත වැඩක්. ඒ දේශ සීමාව පසු කිරීම වැළැක්වීම සඳහා යුගෝස්ලාවියානු හමුදාව නිතරම මුර සංචාරයේ යෙදෙමින් සිටියා. කොහොම හරි දේශ සීමාව පසු කරගෙන ඔස්ට්‍රියාවට ඇතුල් වූ අපිට එහි දක්නට තිබූ කඳු බෑවුම් අලුත් අද්දැකීමක් වුණා. අපිට ඊළඟට හමු වුණේ විශාල ප්‍රපාතයක්. තව ටිකක් නැගෙනහිරට වෙන්න ගමන් කරද්දී ගල් සහ බොරලු සහිත තද බෑවුමක් අපිට හමු වුණා. මේ බෑවුම දිගේ ඇවිදගෙන යන්න අමාරු නිසා අපි කළේ අපි ගෙනාපු තාර ෂීට් එකක් අපේ ඇඟ වටා ඔතාගෙන ඒ බෑවුම දිගේ ලෙස්සලා පහළටම යන එකයි. ඒ ගමන කොහෙන් කෙළවර වෙයිද කියා නම් අපි දැනගෙන හිටියේ නැහැ.

අපි මේ තත්වයට පත් වුණේ කොහොමද කියලාත් දුෂ්කර කාලවලදී යෙහෝවා දෙවිට ලැදිව සිටීමට මගේ දෙමාපියන් ඇදහිල්ල සම්බන්ධයෙන් තැබූ ආදර්ශය මාව පෙලඹූ ආකාරය ගැනත් මම දැන් ඔබට කියන්නම්.

මම හැදුණේ වැඩුණේ දැනට මධ්‍යම යුරෝපයට අයිති කුඩා රටක් වන කලින් ස්ලෝවේනියාව යනුවෙන් හැඳින්වූ රටෙයි. එය පිහිටා තිබෙන්නේ යුරෝපයේ ඇල්ප්ස් කඳුකරයෙයි. එහි උතුරින් ඔස්ට්‍රියාවද, බටහිරින් ඉතාලියද, දකුණින් ක්‍රෝවේෂියාවද, නැඟෙනහිරින් හංගේරියාවද පිහිටා තිබෙනවා. මගේ දෙමාපියන් වන ෆ්‍රාන්ට්ස් සහ රොසාලියා ඉපදෙන කාලයේදී ස්ලෝවේනියාව අයිතිව තිබුණේ ඒකාබද්ධ ඔස්ට්‍රියානු සහ හංගේරියානු ආධිපත්‍යයටයි. පළමු ලෝක මහා යුද්ධය අවසානයේදී ස්ලෝවේනියාව අලුත් ජනපදයක කොටසක් බවට පත් වුණා. ඒ ජනපදය හඳුන්වනු ලැබුවේ සර්බියානුවන්ගේ, ක්‍රෝවේෂියානුවන්ගේ සහ ස්ලෝවේනියානුවන්ගේ රාජධානිය කියලයි. ඒ රටේ නම “දකුණු ස්ලාවියාව” යන අර්ථය ඇති යුගෝස්ලාවියාව කියලා හැඳින්වූයේ 1929 ඉඳන්. ඒ වසරේම ජනවාරි 9වන දා පොඩ්හෝම් ගමට යාබදව මම ඉපදුණා. මම හැදුණු වැඩුණු ඒ ප්‍රදේශයේ බ්ලෙඩ් යන නමින් හැඳින්වූ ඉතාමත් ලස්සන විලක් තිබුණා.

මගේ අම්මාගේ පවුලේ අය තද කතෝලිකයෝ වුණා. ඇගේ බාප්පා කෙනෙක් පූජකයෙක්. නැන්දලා තුන්දෙනෙක් කන්‍යා සොහෝයුරියන්. හැබැයි මගේ අම්මාට නම් බයිබලයක් ලබාගැනීමටත් එය කියවීමටත් එය තේරුම්ගැනීමටත් ලොකු ආශාවක් තිබුණා. ඒ වුණත් මගේ තාත්තාට ආගම් එපා වෙලයි තිබුණේ. ඒකට හේතුව 1914-18 දක්වා තිබූ ලෝක මහා යුද්ධයේදී ආගම්වල ක්‍රියාකාරිත්වය ගැන ඔහු කලකිරිලා හිටපු නිසයි.

සත්‍යය දැනගැනීමට ලැබීම

යුද්ධය අවසන් වෙලා ටික කාලයකට පස්සේ මගේ අම්මාගේ ඥාති සහෝදරයෙක් වන යානෙස් බ්‍රායෙස් සහ ඔහුගේ බිරිඳ අන්චකා යෙහෝවාගේ සාක්ෂිකරුවන් වුණා. ඒ කාලේදී ඒගොල්ලෝ හිටියේ ඔස්ට්‍රියාවේ. අන්චකා 1936 පටන් නිතරම වගේ මගේ අම්මාව බලන්න ආවා. ඇය අම්මාට ස්ලොවේනියානු බසින් බයිබලයක්, මුරටැඹ සඟරා කිහිපයක් හා බයිබල් තොරතුරු අඩංගු වෙනත් ප්‍රකාශන කිහිපයක් ලබා දුන්නා. අම්මා මුලින්ම කියෙව්වේ බයිබලයයි. හිට්ලර් 1938දී ඔස්ට්‍රියාවත් යටත් කරගත්තා. ඒ නිසා යානෙස් සහ අන්චකා නැවතත් ස්ලෝවේනියාවට පදිංචියට ගියා. ඔවුන් උගත්, නැණවත් මෙන්ම යෙහෝවාට සැබෑ ප්‍රේමයක් තිබුණ යුවළක් වූ බව මට තාමත් මතකයි. ඔවුන් නිතරම වගේ මගේ අම්මාත් එක්ක බයිබල් සත්‍යයන් ගැන කතා කළා. මේ නිසා යෙහෝවාට ඇගේ ජීවිතය කැප කරන්න මගේ අම්මා පෙලඹුණා. ඇය බව්තීස්ම වුණේ 1938දීයි.

මගේ අම්මා නත්තල පැවැත්වීම, රුධිරය අඩංගු ආහාර ගැනීම වැනි බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි පුරුදු අත්හැරියා වගේම ගෙදර තිබූ ආගමික රූපත් අයින් කළා. මෙය දැනගත්ත ගමේ අය ගොඩාක් කලබල වුණා. ඉක්මනින්ම අපට විරුද්ධවාදිකම් එල්ල වෙන්න පටන්ගත්තා. කන්‍යා සොහොයුරියන් වූ අම්මාගේ නැන්දලා අම්මාට ලියුම් ලියලා කිව්වේ නැවත මරිය වන්දනාවේ යෙදෙන්න සහ පල්ලි යෑම පටන්ගන්න කියලා. කොහොම වුණත් ඒවාට පිළිතුර වශයෙන් අම්මා බයිබලයේ ඉගැන්වීම් ගැන ප්‍රශ්න කිහිපයක් අහලා ඔවුන්ට ලියුම් ලිව්වා. හැබැයි ඒවාට කිසි උත්තරයක් නම් ඇයට ලැබුණේ නැහැ. ඇගේ තාත්තාත්, ඒ කියන්නේ මගේ සීයාත් ඇයට තදින්ම විරුද්ධ වුණා. ඔහු නපුරු කෙනෙක් නම් නෙවෙයි. නමුත් අපේ නෑදෑයන්ගෙන් හා සමාජයෙන් ඔහුට ගොඩක් බලපෑම් ඇති වුණා. ඒ නිසා ඔහු අම්මාගේ සඟරා සහ පොත් පත් අවස්ථා කිහිපයකදීම විනාශ කළා. නමුත් ඔහු ඇගේ බයිබලයට නම් අතවත් තිබ්බේ නැහැ. ඔහු විවිධාකාරවලින් ඇයව නවත්වන්න උත්සාහ කළා. එක් අවස්ථාවකදී පල්ලියට එන්න කියා ඔහු දණින් වැටී ඇගෙන් අයැදුවා. තවත් අවස්ථාවකදී පිහියක් දික්කර ඇයට තර්ජනය කළා. ඒ අවස්ථාවේදී මගේ තාත්තා අම්මාගේ පැත්ත අරගෙන සීයාගේ හැසිරීමට තදින් විරුද්ධ වුණා.

මගේ අම්මාගේ පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් පැමිණියත් තාත්තා නම් නිතරම අම්මාට සහයෝගය දුන්නා. බයිබලය කියවා තීරණ ගැනීමට ඇයට තිබුණ අයිතියට ඔහු ගරු කළා. අන්තිමේදී 1946දී තාත්තාත් බව්තීස්ම වුණා. විරුද්ධවාදිකම් තිබුණත් සත්‍යය වෙනුවෙන් නිර්භීතව ස්ථාවරයක් ගැනීමට යෙහෝවා මගේ අම්මාව ශක්තිමත් කළ ආකාරයත් ඇගේ ශක්තිමත් ඇදහිල්ල නිසා දෙවි ඇයට ආශීර්වාද කළ ආකාරයත් මම දැක්කා. මෙය යෙහෝවා දෙවි සමඟ මගේ සම්බන්ධය ශක්තිමත් කරගැනීමට මා තුළ ලොකු පෙලඹීමක් ඇති කළා. බයිබලයෙන් සහ අපේ වෙනත් ප්‍රකාශනවලින් මට ඇහෙන්න කියවන එක අම්මා පුරුද්දක් හැටියට කරපු දෙයක්. ඒකෙන් මම ගොඩක් ප්‍රයෝජන ලැබුවා.

අම්මා ඇගේ නංගි වන මරීයා රේපේ එක්කත් බයිබලයේ තොරතුරු ගැන දිග සාකච්ඡාවන්වල යෙදුණා. අන්තිමේදී මමත් මරීයා පුංචිත් 1942 ජුලි මාසේ මැද හරියේ දවසක එකට බව්තීස්ම වුණා. සහෝදරයෙක් අපේ ගෙදරට ඇවිල්ලා කෙටි කතාවක් දුන්නාට පස්සේ ගෙදර තිබුණ ලොකු ලී ටැංකියක අපි බව්තීස්ම වුණා.

බර වැඩ සහිත සිරදඬුවම්

දෙවන ලෝක යුද්ධයේදී ඒ කියන්නේ 1942දී ජර්මනිය සහ ඉතාලිය අපි ජීවත් වූ රට වූ ස්ලෝවේනියාව අල්ලගත්තා. පසුව ඔවුන් හංගේරියාවත් සමඟ ඒ රට බෙදාගත්තා. නාට්සිවරුන්ගේ සංවිධානයක් වන ෆොක්ස්බන්ට් එකට බැඳීමට ඒ කාලයේ නියෝගයක් පනවා තිබුණා. නමුත් මගේ දෙමාපියන් එසේ කිරීම ප්‍රතික්ෂේප කළා. මම ඉස්කොලේදී “හිට්ලර්ට් ජය වේවා!” කියලා කියන්න බැහැ කිව්වා. ඒ නිසා මගේ ගුරුවරයා ඒ ගැන නිලධාරීන්ට පැමිණිලි කරන්න ඇති.

ඒ නිසා එයට දඬුවමක් ලෙස බවේරියාවේ හුටේන්බාක් නම් ගමේ තිබෙන බර වැඩ කරවන සිරකඳවුරකට අපිව කෝච්චියේ දාලා පිටත් කළා. ඒ සිරකඳවුර පරණ මාලිගාවක්. තාත්තලා එක්ක මාව සිරකඳවුරේ තියාගත්තේ නැති නිසා ඒ ගමේ හිටිය බේකරියක් අයිති මුදලාලි හා එයාගේ පවුලේ අය එක්ක නවතින්න තාත්තා මට ලෑස්ති කරලා දුන්නා. මේ කාලයේදී මම බේකරි වැඩ ඉගෙනගත්තා. ඒක මට පසු කාලයේදී ගොඩක් ප්‍රයෝජනවත් වුණා. කාලය ගත වෙද්දී සිරකඳවුරේ සිටි මරීයා පුංචිත් එයාගේ පවුලේ අයවත්, මගේ පවුලේ අයවත් ගුන්සෙන්හවුසන්හි පිහිටි කඳවුරකට මාරු කළා.

ටික කාලයකට පස්සේ යුද්ධය අවසන් වුණාම මම කට්ටියක් එක්ක එකතු වෙලා මගේ දෙමාපියන් ඉන්න තැනට යන්න ලෑස්ති වුණා. හැබැයි ඒ යන්න හිටිය දවසට කලින් දවසේ මගේ තාත්තා හදිස්සියේම මාව හොයාගෙන ආවා. තාත්තා එදා ආපු එක ලොකු දෙයක් වුණා. මොකද මම යන්න හිටිය කණ්ඩායමේ අය එතරම් හොඳ පුද්ගලයන් වුණේ නැහැ. මම එදා ඒගොල්ලෝ එක්ක ගියා නම් මට මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැහැ. නැවත වතාවක් යෙහෝවා මට දැක්වූ ප්‍රේමණීය සැලකිල්ල මම මෙහිදී අද්දැක්කා. මේ අවස්ථාවේදී මගේ දෙමාපියන්ව යොදාගෙන ඔහු මට ආරක්ෂාව හා පුහුණුව ලබාදුන්නා. තාත්තයි මමයි අපේ පවුලේ අයව මුණගැහෙන්න දවස් තුනක් ඇවිද්දා. අපි සියලුදෙනාම 1945 ජූනි වෙද්දී ගෙදර හිටියා.

යුද්ධයෙන් පස්සේ යුගෝස්ලාවියාවේ බලයට පත් වුණේ කොමියුනිස්ට්වාදීන්. ඔවුන්ගේ ජනාධිපති හැටියට කටයුතු කළේ යෝසීප් බ්‍රොස් ටීටෝ. ඒත් එහෙම වුණා කියලා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නම් තත්වයේ වෙනසක් ඇති වුණේ නැහැ.

ඔස්ට්‍රියාවෙන් 1948දී ආපු සහෝදරයෙක් ගැන විමසිල්ලෙන් හිටපු පොලිසිය ඔහු ගිය ගිය නිවෙස්වල සිටි සහෝදරයන්ව අත්අඩංගුවට ගත්තා. පොලිසියට ඔහු ගැන දැනුම් දෙන්නේ නැතිව අපේ නිවසට ඔහුව පිළිගත්ත නිසා මගේ තාත්තාත් වසර දෙකක සිරදඬුවමක් වින්ඳා. මේ කාලය මගේ අම්මාට හරිම අමාරු කාලයක් වුණා. ඒකට හේතුව තාත්තා ගෙදර හිටිය නැති එක විතරක් නෙවෙයි. අම්මා දැනගෙන හිටියා මගේ මල්ලිටත් මටත් හමුදා සේවයට බැඳෙනවාද නැද්ද යන තීරණයට ඉක්මනින්ම මුහුණ දෙන්න තිබෙනවා කියන එක.

මැසිඩෝනියාවේ හිරගෙදරක

හමුදා සේවයට බැඳෙන්න කියා මට 1949 නොවැම්බර් මාසයේදී නියෝගයක් ලැබුණා. මම නිලධාරීන් හමුවෙලා හමුදා සේවයට බැඳෙන එක මගේ හිතට එකඟ නැහැ කියලා ඔවුන්ට විස්තර කළා. ඒ නිලධාරීන් මට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට හමුදාවට අලුතෙන් බඳවාගත්ත අනිත් අයත් එක්ක මාවත් කෝච්චියක දාලා යුගෝස්ලාවියාවේ අනික් කෙළවරේ පිහිටි මැසිඩෝනියාවට පිටත් කළා.

අවුරුදු තුනකට මගේ පවුලේ අය එක්කවත් ක්‍රිස්තියානි සහෝදරයන් එක්කවත් මට කිසිම සම්බන්ධයක් තියාගන්න බැරි වුණා. අපේ පොත් පත්වත් බයිබලයක්වත් මට තිබුණේ නැහැ. ඒක හරි අමාරු කාලයක් වුණා. මම ශක්තිය ලැබූවේ යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් තැබූ ආදර්ශය ගැනත් ගැඹුරින් කල්පනා කිරීමෙනුයි. මගේ දෙමාපියන්ගේ ආදර්ශයත් මට දිරියක් වුණා. ඊට අමතරව මම ශක්තිය ඉල්ලා යෙහෝවාට නොකඩවා යාච්ඤා කළා. ඒ නිසා මට කලකිරෙන්නේ නැතිව ඉන්න පුළුවන් වුණා.

ඊට පස්සේ ස්කොප්යේ ළඟ පිහිටි ඉඩ්‍රිසෝවෝවල තිබෙන සිරගෙයකට මාව යැව්වා. මේ සිරගෙයිහි සිටි සිරකරුවන්ට විවිධ වැඩ පැවරී තිබුණා. මුලදී මම පිරිසිදු කරන්නෙක් හැටියටත් කාර්යාලවලට පණිවුඩ ගෙනයන කෙනෙක් හැටියටත් වැඩ කළා. එහි සිටි එක් සිරකරුවෙක් කලින් රහස් පොලිසියේ වැඩ කරපු කෙනෙක්. ඔහු මට නිතර නිතර හිරිහැර කළා. ඒ ඇරෙන්න අනිත් සිරකරුවන්, ආරක්ෂක භටයන් සහ සිරගෙයි තිබූ කර්මාන්තශාලාව භාරව සිටි නිලධාරියා යන අයත් සමඟ මට හොඳින් පෑහී වැඩ කරන්න පුළුවන් වුණා.

සිරගෙයි බේකරියට පාන් හදන කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණ බව මට දැනගන්න ලැබුණා. දවස් කිහිපයකට පසුව අපේ නම් ලකුණු කරන වෙලාවට නිලධාරියක් එතනට ආවා. ඔහු මා ගාවට ඇවිල්ලා “ඔයාට පාන් හදන්න දන්නවාද?” කියලා ඇහැව්වා. “ඔව් සර්” කියලා මම පිළිතුරු දුන්නා. “හෙට උදේට බේකරියේ වැඩට එන්න” කියලා ඔහු මට කිව්වා. මම බේකරියේ වැඩ කරපු වෙලාවල්වලදී මට කලින් හිරිහැර කරපු සිරකරුවා ඒ ළඟින් නිතරම ගියා. නමුත් මට කිසිම දෙයක් කරන්න ඔහුට බැරි වුණා. මම ඒ බේකරියේ 1950 පෙබරවාරි ඉඳන් ජූලි දක්වා වැඩ කළා.

ඊට පස්සේ මැසිඩෝනියාවේ දකුණේ පිහිටි ප්‍රෙස්පා විලට ආසන්නයේ තිබූ වොල්කඩරි බැරැක්කවලට මාව මාරු කළා. ඒ ළඟ තිබූ ඔටෙස්සෝවෝ නගරයේ සිට මගේ නිවසට ලිපි තැපැල් කරන්න මට හැකි වුණා. මම පාරවල් හදන කණ්ඩායමක් එක්ක වැඩ කළත් මම සිරගෙයිහි සිටි කාලයෙන් වැඩිපුරම වැඩ කළේ බේකරියක. ඒක මට ලොකු පහසුවක් වුණා. එතනින් මට නිදහස ලැබුණේ 1952 නොවැම්බර් මාසයේදියි.

මම ගමේ නැති කාලයේදී එහි සාක්ෂිකරුවන්ගේ සභාවක් ඇති වෙලා තිබුණා. මුලදී ඒ අය රැස්වීම් පවත්වලා තිබුණේ ස්පොඩ්න්යේ ගෝයේ නගරයේ කුඩා හෝටලයක. පසුව රැස්වීම් පැවැත්වීම සඳහා මගේ තාත්තා අපේ නිවසේ කාමරයක් ලෑස්ති කරලා දුන්නා. මම මැසිඩෝනියාවෙන් ආවාට පස්සේ ඒ සභාව සමඟ ආශ්‍රය කරන්න ලැබුණු එක මට ලොකු සතුටක් වුණා. ඒ වගේම මාව සිරභාරයට ගන්න කලින් අවස්ථාවක මට හමු වූ ස්ටන්කාවත් මෙහිදී මට හමු වුණා. අපි දෙදෙනා 1954 අප්‍රියෙල් 24වනදා විවාහ වුණා. නමුත් මට වැඩි කාලයක් නිදහසේ ඉන්න ලැබුණේ නැහැ.

මාරිබෝහි සිරදඬුවම් විඳීම

හමුදා සේවයට බැඳෙන්න කියා 1954 සැප්තැම්බර් මාසයේදී නැවතත් මට නියෝගයක් ලැබුණා. මේ අවස්ථාවේදී මාව යැව්වේ ස්ලොවෙනියාවේ නැඟෙනහිරට වෙන්න පිහිටි මාරිබෝවල තිබෙන සිරගෙදරකට. වසර තුනහාමාරකට වැඩි කාලයක් එහි ඉන්න මට සිදු වුණා. අවස්ථාවක් ලැබුණු ගමන්ම මම පැන්සල් කිහිපයක් සහ කඩදාසි කොළ කිහිපයක් මිලදී ගත්තා. මට මතක තිබුණ බයිබල් පද, මුරටැඹ සඟරාවලින් සහ අපේ වෙනත් ප්‍රකාශනවලින් කරුණු වැනි හැම දෙයක්ම මම ඒ කඩදාසි කොළවල ලිව්වා. ඒ සටහන් නැවත නැවත මම කියෙව්වා. මට මතක් වුණ අමතර තොතුරුත් මම ඒවාට එකතු කළා. අවසානයේදී ඒ හැම කොළයක්ම මගේ සටහන්වලින් පිරිලා තිබුණා. සිරගෙයිහි සිටි කාලය පුරාම සත්‍යය සම්බන්ධ කාරණා ගැන නිතර කල්පනා කරන්නටත් මගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමටත් ඒ සටහන් මට ගොඩාක් උපකාරවත් වුණා. යාච්ඤා කිරීම සහ දෙවිගේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමෙනුත් දෙවි සමඟ මගේ සම්බන්ධය ශක්තිමත්ව තබාගන්න මට හැකි වුණා. මේ නිසා ඒ කාලයේදී මම නිර්භීත ලෙස අන් අය සමඟ සත්‍යය ගැන කතා කළා.

මේ කාලයේදී මට අවසර තිබුණේ මාසයකට එක ලියුමක් ලබාගැනීමටත් මාසයක් තුළ එක් වතාවක් විනාඩි 15කට අමුත්තෙක් සමඟ කතා කිරීමටත් පමණයි. මාව බලන්න එනකොට ස්ටන්කාට මුළු රෑම කෝච්චියේ ගත කරන්න සිදු වුණා. ඇය පාන්දරින්ම ආපු නිසා එදාම ඇයට ගෙදර යන්න පුළුවන් වුණා. ඇගේ පැමිණීම මට ලොකු දිරියක් වුණා. මට ඕන වුණා කොහොමහරි බයිබලයක් ලබාගන්න. ස්ටන්කා මාත් එක්ක කතා කරන වෙලාවට නිතරම ආරක්ෂක භටයෙක් අපි ළඟ හිටියා. ඒ ආරක්ෂක භටයා අපි දිහා නොබලන වෙලාවක් බලලා මම ඇගේ අත්බෑගයට පොඩි ලියුමක් දැම්මා. ඒ ලියුමේ මම ලියලා තිබුණේ ඊළඟ වතාවේ මාව බලන්න එන කොට මට බයිබලයක් ගෙන්න කියලයි.

ස්ටන්කා සහ මගේ දෙමාපියන් හිතුවේ මට බයිබලයක් යවන එක අනතුරුදායකයි කියලා. ඒ නිසා ඔවුන් කළේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල පිටපතක් අරගෙන ඒකෙ පිටු මට ගෙනාපු බනිස් ඇතුළට දාලා මට ලැබෙන්න සැලැස්වීමයි. මේ විදිහට මට ලබාගන්න උවමනා වූ බයිබලය මට ලැබුණා. ස්ටන්කා අතින් ලියපු මුරටැඹ සඟරාවල පිටපත්ද ඒ ක්‍රමයටම මට ලැබුණා. මට ඒවා ලැබුණු ගමන්ම මම කළේ මගේම අත් අකුරුවලින් ඒවා නැවත ලියන එකයි. ඊට පස්සේ ස්ටන්කා ලියපු ඒවා මම විනාශ කරලා දැම්මා. මම එහෙම කළේ යම් විදිහකින්වත් කවුරුහරි මේ ලිපි හොයාගත්තත් ඒවා ලැබුණේ කොහොමද කියලා ඔවුන්ට හොයාගන්න බැරිවීම සඳහයි.

මම නොකඩවා සාක්ෂි දරපු නිසා අනෙක් සිරකරුවන් කිව්වේ මම අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙයි කියලා. එක දවසක් වෙනත් සිරකරුවෙක් සමඟ මම ඉතා උනන්දුමත් බයිබල් සාකච්ඡාවක් කරමින් හිටියා. ඒ වෙලාවේ අපිට ඇහුණා දොරට යතුර දාන සද්දයක්. දොර ඇරගෙන ආරක්ෂක භටයෙක් ඇතුළට ආවා. ඒ වෙලාවේ මම හිතුවේ දඬුවමක් හැටියට සිරකූඩූවක තනිවම ඉන්න මට සිදු වෙයි කියලා. නමුත් ඒ ආරක්ෂක භටයා ආවේ ඒකට නෙවෙයි. අපි බයිබලය ගැන කරපු සාකච්ඡාව ඔහුට ඇහිලා තිබුණ නිසා අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්නයි ඔහුට උවමනා වෙලා තිබුණේ. ඔහුගේ ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරුවලින් ඔහු සෑහීමක් ලැබුවා. ඉන්පසුව මට කිසිවක් නොකළ ඔහු නැවත යන්න ගියා.

ඒ සිරගෙයි මම ගත කළ අන්තිම මාසයේදී, සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම භාරව සිටි නිලධාරියා සත්‍යය වෙනුවෙන් මම ගත්තු ස්ථාවරය ගැන මට ප්‍රශංසා කළා. යෙහෝවා දෙවිගේ නම ප්‍රසිද්ධ කිරීම සඳහා මම දැරූ වෑයමට ලැබූ ආශීර්වාදයක් හැටියට මම එය සැලකුවා. නැවතත් 1958 මැයි මාසයේදී මට නිදහස ලැබුණා.

මුලින් ඔස්ට්‍රියාවටත් පසුව ඕස්ට්‍රේලියාවටත් යෑම

මගේ අම්මා 1958 අගෝස්තු මාසයේදී මිය ගියා. ටික කාලයක ඉඳලා ඇය අසනීපයෙනුයි හිටියේ. ඒ අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ හමුදාවට බැඳෙන්න කියලා තුන්වෙනි වතාවටත් මට නියෝගයක් ලැබුණා. එදා හවසම ස්ටන්කයි මමයි අපේ ජීවිතයේ වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි මේ ලිපියේ මුලින් සඳහන් කළ භයානක ගමන. අපි පිටේ එල්ලං යන බෑග් දෙකක් සහ තාර ෂීට් එකකුත් අරගෙන කාටවත් නොපෙනෙන්න ජනේලයෙන් පැනගත්තා. අපි ගියේ ස්ටෝල් කන්දට බටහිරින් පිහිටි ඔස්ට්‍රියානු දේශ සීමාවටයි. මෙසේ අපිට නිදහස ලබා දීමෙන් යෙහෝවා අපි වෙනුවෙන් ක්‍රියා කරමින් සිටි බව අපිට තේරුම් ගියා.

ඔස්ට්‍රියානු නිලධාරීන් අපිව සෝල්ට්ස්බර්ග්වල තිබූ සරණාගත කඳවුරකට යැව්වා. අපි එහිදී ගත කළ මාස හය ඇතුළත වැඩි කාලයක් ගත කළේ ඒ ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන් සමඟයි. ඒ නිසා අපි කඳවුරේ හිටියේ බොහොම ටික වේලාවයි. අපිට ඒ තරම් ඉක්මනින් යාළුවෝ හම්බවූ නිසා කඳවුරේ සිටි අනිත් අයත් ගොඩාක් පුදුම වුණා. මේ කාලයේදී තමයි අපට ප්‍රථම වතාවට එක්රැස්වීමකට යන්නත් නිදහසේ ගෙයින් ගෙට සේවයේ යෙදෙන්නත් අවස්ථාව ලැබුණේ. වෙන්වීමට කාලය ආවාම අපේ මිතුරු මිතුරියන්ව දාලා යන එක අපිට ගොඩාක් අමාරු දෙයක් වුණා.

ඔස්ට්‍රියාවේ නිලධාරීන් ඕස්ට්‍රේලියාවට යන්න අපට අවස්ථාවක් ලබා දුන්නා. එච්චර දුර යන්න වෙයි කියලා අපි නම් හීනෙන්වත් හිතලා තිබුණේ නැහැ. ඉතාලියේ ජෙනෝවා දක්වා ගියේ කෝච්චියෙන්. එතැන් ඉඳලා ඕස්ට්‍රේලියාවට ගියේ නැවකින්. අන්තිමට අපි පදිංචි වුණේ නිව් සවුත් වේල්ස්වල වූලොංගොං නගරයෙයි. මෙහිදී 1965 මාර්තු 30වන දා අපේ පුතා ෆිලිප් ඉපදුණා.

ඕස්ට්‍රේලියාවේදී අපිට විවිධ සේවා ප්‍රස්ථාවන් ලැබී තිබෙනවා. ඒ අතරට යුගොස්ලාවියාව යන නමින් කලින් හැඳින්වූ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණි අයට සාක්ෂි දැරීමේ ප්‍රස්ථාවත් ලැබුණා. පවුලක් හැටියට එකමුතුව යෙහෝවා දෙවිට සේවය කිරීමට ලැබීමේ ප්‍රස්තාව ඇතුළු ඔහුගෙන් ලැබුණු ආශීර්වාද සියල්ල ගැන අපි ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ පුතා ෆිලිප් සහ ඔහුගේ බිරිඳ සූසී දැන් ඕස්ට්‍රේලියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සතුටින් සේවය කරමින් සිටිනවා. ස්ලොවේනියාවේ ශාඛා කාර්යාලයේ අවුරුදු දෙකක් වැඩ කිරීමේ ප්‍රස්තාවද ඔවුන්ට ලැබුණා.

මමත් මගේ බිරිඳත් දැන් මහලුයි. ඒ වගේම අපිට සෞඛ්‍යය ගැටලුවලටත් මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒ වුණත් අපි යෙහෝවා දෙවිගේ සේවය තුළ තවමත් ලොකු ප්‍රීතියක් අද්දකිමින් සිටිනවා. මට අද දක්වා එසේ කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ මගේ දෙමාපියන් තැබූ කදිම ආදර්ශය මට දිරියක් වී තිබෙන නිසයි. ඒ නිසා “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩා හමුවෙහි විඳදරාගන්න. අත් නෑර නොකඩවා යාච්ඤා කරන්න” කියා පාවුල් දුන් දිරිගැන්වීමට අනුව ජීවත් වෙන්න තවමත් මට හැකි වෙලා තිබෙනවා.—රෝම 12:12.

[16, 17වන පිටුවේ පින්තූරය]

මගේ දෙමාපියන්, 1920ගණන්වල අග භාගයේදී

[17වන පිටුවේ පින්තූරය]

මගේ අම්මා (දකුණු පැත්තේ), ඇයට බයිබල් සත්‍යයන් ඉගැන්වූ ඇගේ ඥාති සහෝදරිය අන්චකා සමඟ

[18වන පිටුවේ පින්තූරය]

විවාහ වී ටික කලකට පසුව මගේ බිරිඳ ස්ටන්කා සමඟ

[19වන පිටුවේ පින්තූරය]

අපේ නිවසේ රැස්වූ සභාව, 1955දී

[20වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ සහ මම, අපේ පුතා සහ ඔහුගේ බිරිඳ සූසී සමඟ