Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ලෙවී කථාවේ 25වන පරිච්ඡේදයේ සඳහන් ජුබිලිය නමැති විධිවිධානය මගින් පූර්වාදර්ශනය කරන්නේ කුමක්ද?

මෝසෙස්ගේ නීතියෙහි නියම කර තිබුණේ මෙසේයි. “හත්වන අවුරුද්දේදී යෙහෝවා උදෙසා දේශයට ශුද්ධ සබත් විවේකයක් දිය යුතුය.” එම අවුරුද්ද ගැන පවසමින් ඊශ්‍රායෙලිතයන්ට අණ කළේ මෙසේයි. “ඒ අවුරුද්දේ ඔබ නොවපුළ යුතුය. මිදිවතුවල අතු නොපෑහිය යුතුය. ඉබේම වැඩෙන අස්වැන්නද නෙළා නොගත යුතුය. අතු නොපාහින ලද මිදිවැලවල පල රැස් නොකළ යුතුය. එය දේශයට දෙන අවුරුද්දක නිවාඩුවකි.” (ලෙවී කථාව [ලෙවී ව්‍යවස්ථාව] 25:4, 5, නව අනුවාදය) මෙසේ, සත්වන අවුරුද්ද දේශය උදෙසා සබත් අවුරුද්දක් විය යුතු බව නියම කර තිබුණි. එසේම, සබත් අවුරුදු හතක් ගත වූ පසු (අවුරුදු 49කට පසු) පැමිණි අවුරුද්ද, එනම් 50වන අවුරුද්ද ජුබිලියක් ලෙස නියම කරනු ලැබීය. එම අවුරුද්දට නියම කර තිබුණේ කුමක්ද?

යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට මෙසේ පැවසුවේය. “පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශ කරන්න. එය ඔබට ජුබිලියක් වන්නේය. එකල ඔබ එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය. ඒ පනස්වෙනි වර්ෂය ඔබට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නෙළාගන්ටවත් නොකළ මිදිවැලෙන් පල නෙළාගන්ටවත් යුතු නැත.” (ලෙවී කථාව 25:10, 11) ජුබිලි වසරක් පැමිණි විට, ඉන් අදහස් කළේ සබත් අවුරුදු දෙකක් එක ළඟ පැවැත්වීමට සිදු වූ බවයි. එහෙත් දේශයේ වැසියන්ට එමගින් ලැබුණේ නිදහසකි. වහල්භාවයට විකුණා සිටි ඕනෑම යුදෙව්වෙකුට එම වසරේදී නිදහස ලැබුණි. අගහිඟකම් හේතුවෙන් යමෙකුට තමාගේ උරුම වූ ඉඩම විකිණීමට සිදු වී තිබුණා නම් එම වසරේදී එම ඉඩම ආපසු ඔහුගේ පවුලේ අයට භාර දෙනු ලැබීය. ජුබිලි වසර පුරාණ ඊශ්‍රායෙලිතයන්ට පුනර්ජීවයක් මෙන්ම නිදහසක් ලබා දුනි. එය ක්‍රිස්තියානීන් උදෙසා පූර්වාදර්ශනය කළේ කුමක්ද?

මුල් මිනිසා වූ ආදම් කැරලිගැසීම හේතුවෙන් මිනිසාව පාපයේ වහල්භාවයට විකුණනු ලැබීය. මිනිස් වර්ගයාව පාපයෙන් මුදවාගැනීමට දෙවිගේ සැපයුම වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාවයි. a (මතෙව් 20:28; යොහන් 3:16; 1 යොහන් 2:1, 2) ක්‍රිස්තියානීන් පාපයේ නීතියෙන් නිදහස් වන්නේ කොයි අවස්ථාවේදීද? ප්‍රේරිත පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට කතා කරමින් මෙසේ පැවසීය. “ක්‍රිස්තුස් යේසුස් තුළ ජීවනය ගෙන දෙන ආත්මයේ නීතිය ඔබව පාපයේද මරණයේද නීතියෙන් නිදහස් කර තිබේ.” (රෝම 8:2, NW) ස්වර්ගයේ ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති අයට මෙම නිදහස ලැබෙන්නේ ඔවුන්ව ශුද්ධාත්මයෙන් අභිෂේක කරනු ලබන විටයි. ඔවුන්ට මාංසික වූ අසම්පූර්ණ ශරීර ඇතත් දෙවි ඔවුන් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරමින් ඔවුන්ව තම ආත්මික පුත්‍රයන් වශයෙන් භාරගන්නේය. (රෝම 3:24; 8:16, 17) කණ්ඩායමක් වශයෙන් ගත් කල, අභිෂේක ලත් අය සඳහා ජුබිලි වසර පටන්ගත්තේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේදීයි.

පොළොව මත සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇති ‘වෙනත් බැටළුවන්ගේ’ තත්වය කුමක්ද? (යොහන් 10:16, NW) ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය වෙනත් බැටළුවන්ට පුනර්ජීවය හා නිදහස ගෙන දෙන කාලයක් වනු ඇත. මෙම දහස් අවුරුදු ජුබිලිය තුළදී යේසුස් ඇදහිලිවන්ත මිනිසුන් වෙනුවෙන් තම මිදීමේ මිල පූජාවේ වටිනාකම යොදාගනිමින් පාපයේ අහිතකර බලපෑම් මුළුමනින්ම නැති කර දමනු ඇත. (එළිදරව් 21:3, 4) දහස් අවුරුදු පාලනය අවසන් වන විට මිනිස් වර්ගයා පරිපූර්ණත්වයට පැමිණෙන අතර ඔවුන් පාපයෙන් හා මරණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වනු ඇත. (රෝම 8:21) එය ඉටු කරනු ලැබූ පසු ක්‍රිස්තියානීන් උදෙසා වන ජුබිලිය අවසන් වනු ඇත.

[පාදසටහන]

a යේසුස්ව එවනු ලැබුවේ, ‘වහලුන්ට නිදහස’ ලබා දීමටයි. (යෙසායා 61:1-7; ලූක් 4:16-21) ඔහු ආත්මික වශයෙන් නිදහස් වීමක් ගැන ප්‍රකාශ කළේය.

[26වන පිටුවේ පින්තූරය]

දහස් අවුරුදු ජුබිලිය ‘වෙනත් බැටළුවන්ට’ පුනර්ජීවය හා නිදහස ගෙන දෙන කාලයක් වනු ඇත