Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවල ලිපි කියවීමෙන් ඔබ සතුටක් ලැබුවාද? එසේ නම් පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර සැපයිය හැකිදැයි බලන්න.

සංවේදනය යනු කුමක්ද? ක්‍රිස්තියානීන් එම ගුණාංගය වර්ධනය කළ යුත්තේ ඇයි?

සංවේදනය යනු අන් අය අද්දකින තත්වයන්ට පත්වීමේ හැකියාවයි. එනම් ඔහු අද්දකින වේදනාව අපෙත් වේදනාව බවට පත්වීමයි. ක්‍රිස්තියානීන්ට ‘එකිනෙකා කෙරෙහි දයාවද, සහෝදර ස්නේහයද අනුකම්පාවද’ පෙන්වීමට උනන්දු කර තිබේ. (1 පේතෘස් 3:8) සංවේදනය පෙන්වීම සම්බන්ධයෙන් යෙහෝවා අපට කදිම ආදර්ශයක් සපයා ඇත. (ගීතාවලිය 103:14; සෙකරියා 2:8) අප අනුන් කෙරෙහි දක්වන සංවේදිතාව තියුණු කළ හැකි ක්‍රම තුනක් නම් සවන් දීම, නිරීක්ෂණය කිරීම සහ තත්වයන් සිතේ මවාගැනීමය.—4/15, පිටු 24-6.

සැබෑ ප්‍රීතිය භුක්ති විඳීමට නම් ශාරීරික ආබාධවලට සම්පූර්ණ විසඳුමක් ලැබීමට පෙර ආත්මික සුවයක් ලැබිය යුතු වන්නේ ඇයි?

බොහෝදෙනෙකු ශාරීරිකව නිරෝගීව සිටියද ප්‍රශ්න ගැටලුවලින් යටපත් වී සිටින නිසා කල් ගෙවන්නේ අසන්තෝෂයෙනි. ඊට හාත්පසින්ම වෙනස්ව ශාරීරික ආබාධවලින් පෙළෙන ක්‍රිස්තියානීන් යෙහෝවාට සේවය කරන්නේ සන්තෝෂයෙනි. ආත්මික සුවයෙන් ප්‍රයෝජන ලබන අයට අනාගතයේ නව පොළොවේදී සියලුම ශාරීරික ආබාධ ඉවත් වී තිබෙන කාලයක් භුක්ති විඳීමේ බලාපොරොත්තුව තිබේ.—5/1, පිටු 6-7.

හෙබ්‍රෙව් 12:16හි ඒසව්ව වේශ්‍යාකම් කරන්නෙකු හා සම්බන්ධ කර දක්වන්නේ ඇයි?

බයිබල් වාර්තාව පෙන්නුම් කරන්නේ ඒසව් පරිශුද්ධ කාරණා අගය කරනවා වෙනුවට තාවකාලික හා ක්ෂණික වින්දනයක් ලබාගැනීම කෙරෙහි ලොල් වූ මානසික ආකල්පයක් ඇතුව සිටි බවයි. අද කවුරුන් හෝ ඒ හා සමාන ආකල්පයක් වර්ධනය වෙන්න ඉඩහරිනවා නම් එය වේශ්‍යාකම වැනි දරුණු පාපවලට මඟ පාදයි.—5/1, පිටු 10-11.

ටර්ටූලියන් කවුද එමෙන්ම ඔහු කුමක් සම්බන්ධයෙන් ප්‍රකට කෙනෙක්ද?

දෙවන හා තුන්වන සියවස්වල විසූ ටර්ටූලියන් ලේඛකයෙක් හා දේවධර්මවාදියෙකි. ඔහු නාමමාත්‍ර ක්‍රිස්තියානි ධර්මය ආරක්ෂා කිරීම සඳහා ලියූ සාහිත්‍ය කෘති ඉතා සුප්‍රකට කෘති වේ. සත්‍යය ආරක්ෂා කිරීම ඔහුගේ අභිප්‍රාය වුවත් ඔහු ඉදිරිපත් කළ අලුත් අදහස් හා දර්ශනවාදි සංකල්ප සැබෑ ඉගැන්වීම් දූෂ්‍ය කිරීමට මඟ පෑදීය. මෙයට කදිම නිදසුනක් වන්නේ ත්‍රිත්ව මූලධර්මයයි.—5/15, පිටු 29-31.

මිනිස් රෝගවලට, හැසිරීම් රටාවන්ට හා මරණයට ජානවල බලපෑම පමණක්ම හේතුකාරකයක් නොවන්නේ මන්ද?

නොයෙකුත් මිනිස් රෝගවලට ජානමය හේතුකාරකයක් තිබෙන බව බොහෝ විද්‍යාඥයෝ පිළිගනිති. එමෙන්ම සමහරුන් විශ්වාස කරන්නේ කෙනෙකුගේ හැසිරීම් රටාවටද ජානවල බලපෑමක් තිබෙන බවයි. නමුත් බයිබලයේ මිනිසාගේ ආරම්භය ඇතුළු අසම්පූර්ණකම හා පාපයේ මූලාරම්භය සම්බන්ධව කරුණු ඉදිරිපත් කර තිබේ. පෞද්ගලිකත්වය කෙරෙහි ජානවල බලපෑමක් තිබුණද, අසම්පූර්ණකම හා පරිසරයත් අපේ ජීවිතවලට විශාල බලපෑමක් කරයි.—6/1, පිටු 9-11.

ඊජිප්තුවේ ඔක්සිරින්කස්හිදී ලැබුණු පැපිරස් ලියවිලිවල කොටස් යෙහෝවාගේ නාමය භාවිත කිරීම සම්බන්ධයෙන් ආලෝකය විහිදුවේ කෙසේද?

මෙම ලියවිලි කොටසේ අඩංගු වූ ග්‍රීක සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ යෝබ් 42:11, 12 සඳහන් වන අතර එහි ටෙට්‍රාග්‍රැමටනය (දිව්‍ය නාමයේ හෙබ්‍රෙව් අක්ෂර හතර) සඳහන් වී තිබේ. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල ලේඛකයන් බොහෝවිට උපුටා දැක්වූ සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ, දෙවිගේ නාමය හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් වී තිබුණු බවට මෙය අමතර සාක්ෂියකි.—6/1, පිටුව 30.

රෝම අධිරාජ්‍යයේ පැවති සැහැසික හා මාරාන්තික ග්ලැඩියේටර් ඉසව් අද කාලේ සමාන කළ හැක්කේ කුමන ආකාරයේ ක්‍රීඩා නැරඹීම්වලටද?

මෑතකදී රෝමයේ කොලොසියමෙහි පැවැත්වූ ප්‍රදර්ශනයකදී ඒ කාලයේ හා සමාන ක්‍රීඩා වර්තමානයේදීද කරන බව මතක් කර දුන්නේය. එහිදී ගොන් පොර, බොක්සිං, මෝටර් රථ හා මෝටර් සයිකල් රේස්වල සිදු වන අතිභයානක අනතුරු හා නරඹන්නන් අතර සිදු වන කලකෝලහාල ඇතුළත් කෙටි වීඩියෝ දර්ශන කිහිපයක් පෙන්වීමද සැලකිය යුත්තකි. යෙහෝවා දෙවි සැහැසියාවට හා එවැනි ක්‍රියා කරන්නන්ට ප්‍රේම නොකරන බව මුල් කාලයේ ක්‍රිස්තියානීහු දැන සිටියහ. එසේ නම් අදදින සිටින ක්‍රිස්තියානීන් පවා එය සිතට ගත යුතුයි. (ගීතාවලිය 11:5)—6/15, පිටුව 29.

අප බලපෑමෙන් යුත් ගුරුවරුන් වීමට ප්‍රයත්න දැරීමේදී එස්රාගේ ආදර්ශයෙන් උගත හැකි පාඩම් මොනවාද?

එස්රා 7:10හි ඔහු අනුගමනය කළ ප්‍රධාන කාරණා හතරක් සඳහන් කරන අතර ඒවා අදාළ කරගැනීමට අපටත් උත්සාහ කළ හැකියි. එහි පවසන්නේ ‘එස්රා [1] හදවත සූදානම් කරගත්තේ [2] යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බැලීමටත් [3] එය පැවැත්වීමටත් [4] ඉශ්‍රායෙල්හි පනත්ද යුක්තියද ඉගැන්වීමටත්ය’ කියායි.—7/1, පිටුව 20.

ක්‍රිස්තියානි ස්ත්‍රියකට හිස් ආවරණයක් පැළඳීම යෝග්‍ය වන්නේ කුමන අවස්ථා දෙකේදීද?

එක අවස්ථාවක් නම් පවුල තුළ ඇති වෙන්නාවූ සමහර තත්වයන්වලදීය. ඇය හිස් ආවරණයක් පැළඳීමෙන් පෙන්නුම් කරන්නේ පවුලේ යාච්ඤාව හා බයිබල් උපදෙස් දීමේදී මූලිකත්වය ගත යුත්තේ ස්වාමිපුරුෂයා බව පිළිගන්නා බවයි. අනෙක් අවස්ථාව නම් සභාවේ ක්‍රියාකාරකම්වලදීය. මෙයින් ඇය පෙන්නුම් කරන්නේ ශුද්ධ ලියවිලිවල අඩංගු උපදෙස් ඉගැන්වීමට හා මඟ පෙන්වීම් ලබා දීමට බව්තීස්ම වූ සහෝදරයන්ට අධිකාරය තිබෙන බව පිළිගන්නා බවයි. (1 කොරින්ති 11:3-10)—7/15, පිටු 26-7.

යෝග ව්‍යායාම සාමාන්‍ය ව්‍යායාම් ඉක්මවා යන භයානක එකක් ලෙස ක්‍රිස්තියානීන් සලකන්නේ මන්ද?

යෝග ව්‍යායාමේ මූලික අරමුණ වන්නේ පුද්ගලයෙකුව හික්මවීම සඳහා අධිමානුෂික ආත්මයක් සමඟ බන්ධනය කිරීමයි. දෙවිගේ මඟ පෙන්වීමට පටහැනිව යෝග ව්‍යායාමෙන් කරන්නේ පුද්ගලයෙකු සතු ක්ෂණිකව සිතීමේ ශක්තිය නැති කිරීමයි. (රෝම 12:1, 2) යෝග ව්‍යායාම කෙනෙකුව ආත්ම බන්ධන ක්‍රියාවලට හා ගුප්ත විද්‍යාවට නැඹුරු කළ හැකියි. (ද්විතීය කථාව 18:10, 11)—8/1, පිටු 20-2.