Skip to content

පටුනට යන්න

පක්ෂපාතකම පිළිබඳව විකෘති මත දරන ලෝකයක්

පක්ෂපාතකම පිළිබඳව විකෘති මත දරන ලෝකයක්

පක්ෂපාතකම පිළිබඳව විකෘති මත දරන ලෝකයක්

ඊශ්‍රායලයේ ටෙල් අවිව්වල උෂ්ණාධික සිකුරාදා සැන්දෑවකදී, තරුණ තරුණියන් කිහිපදෙනෙක් රාත්‍රි සමාජ ශාලාවක් ඉදිරියේ රැස්ව සිටියහ. තවත් තරුණයෙක්ද එම කණ්ඩායමට එකතු විය. ඉන් සුළු මොහොතකට පසු විශාල පිපුරුම් හඬකින් මුළු ප්‍රදේශයම දෙදරුම් කෑවේය.

තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙසේ තම ජීවිතය බිලි දුන්නේ තරුණ තරුණියන් 19දෙනෙකුට මරු කැඳවමිනි. “හිරිමල් වයසේ තරුණ තරුණියන්ගේ අත් පා, ඔළු ගෙඩි හැම තැනම විසි වෙලයි තිබුණේ. ඒ තමයි මං මගේ ජීවිතේටම දැකපු භයානකම දේ.” සෞඛ්‍ය සේවකයෙක් එම සිද්ධිය පුවත්පත් වාර්තාකරුවන්ට විස්තර කළේ එලෙසයි.

“යුද්ධ ඇරඹීමට තිබෙන නැඹුරුවාව වැඩි වන්නේද ඒවා නැවැත්වීම වඩාත් අසීරු වන්නේද . . . කොයි කාගෙත් පැසසුමට ලක් වන පක්ෂපාතකම වැනි ගුණාංග නිසයි.” මෙය ද ලාන්සට් නම් ප්‍රකාශනයේ තර්ස්ටන් බෘවින් විසින් ලියන ලද්දකි. ඇත්ත වශයෙන්ම, ඈත අතීතයේ සිට පක්ෂපාතකම හේතුවෙන් කුරිරු ඝාතන සිදු කෙරුණි. මේ අතර මිනිස් ඉතිහාසය ලෙයින් තෙත් කළ කුරුස යුද්ධ හා නාට්සි සමූලඝාතනද වේ.

ද්‍රෝහිකම්වලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යයි

අන්තවාදී පක්ෂපාතකම විනාශකාරි විය හැකි බව ඇත්තකි. එහෙත් පක්ෂපාතකමේ ඌනතාව නැතහොත් ද්‍රෝහිවීම හේතුවෙන්ද සමාජය ඉරි තැළී යා හැක. පක්ෂපාතකම යනුවෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයෙකුට හෝ අරමුණකට විශ්වාසවන්තව ඇලී සිටීමයි. අත්හැරීමට හෝ ද්‍රෝහිවීමට ඇති වන පෙලඹීම්වලට යටත් නොවී තම ස්ථාවරයෙහි දිගටම රැඳී සිටීම යන අදහසද එහි ගැබ් වී තිබේ. මේ ආකාරයේ පක්ෂපාතකම බහුතරයකගේ ප්‍රශංසාවට ලක් වුවද වත්මන් සමාජය පක්ෂපාතකමේ ඌනතාවකින් පෙළේ. මෙම ඌනතාව කොතරම්ද කියා පැවසුවොත් සමාජයේ ප්‍රධානතම ඒකකය වන පවුල් කවය තුළින් පවා එය ගිලිහී ගොස් ඇත. පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කරගැනීම වෙතම යොමුවීම, දෛනික ජීවිතය හා බැඳි මානසික පීඩනය හා දසත පැතිරුණු ගැටලුවක් වන අනියම් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් දික්කසාද ප්‍රතිශතය ඉතා වේගයෙන් ඉහළ යන බවක් පෙනේ. තවද කලින් සඳහන් කළ ටෙල් අවිව්වල බෝම්බ ප්‍රහාරයේදී සිදු වූවාක් මෙන්, මෙම ගැටලුවේදීද ගොදුරු බවට පත් වන්නේ අහිංසක තරුණ පරම්පරාවයි.

“දික්කසාදය, වෙන්වීම හා තනි මාපිය පවුල් වැනි ගැටලු හේතුවෙන් පවුල් ජීවිතයේ හටගන්නා අස්ථාවර තත්වය නිසා පහර ලබන එක් දෙයක් වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයයි” කියා එක් වාර්තාවක සඳහන් විය. පියෙකු නොමැති පවුල්වල අධ්‍යාපනය අතින් පාඩු විඳින්නේද, සිය දිවි හානි කරගැනීම හා ළමා අපරාධ වැනි දේවලට වැඩියෙන්ම පෙලඹෙන්නේද පිරිමි දරුවන්ය. එක්සත් ජනපදයේ වසරක් වසරක් පාසා දරු දැරියන් මිලියනයකට තම දෙමව්පියන්ගේ දික්කසාදයට මුහුණ දීමට සිදු වේ. තවද එම රටේ ඕනෑම වසරක් තුළ විවාහක දෙමව්පියන්ගෙන් බිහි වන දරුවන්ගෙන් අඩක්ම වයස අවුරුදු 18 වන විට දික්කසාදයේ ගොදුරු බවට පත් වන බව ගණන් බලා තිබේ. සංඛ්‍යා ලේඛනවලින් හෙළි වන පරිදි වෙනත් රටවල තරුණ තරුණියන් මුහුණ දෙන්නේද එවැනිම දුක්ඛිත තත්වයකටයි.

පක්ෂපාතකම—අත් කරගත නොහැකි ගුණාංගයක්ද?

කලින් උතුම් කොට සැලකූ පක්ෂපාතකම දැන් සමාජයෙන් ගිලිහී ගොස් ඇති නිසා දාවිත් රජුගේ මෙම වදන් පෙර කවරදාකටවත් වඩා යෝග්‍ය බව කිව හැක. “අනේ යෙහෝවා, මාව ගළවගන්න. මන්ද පක්ෂපාත අය වඳ වී ගොස් ඇත. මනුෂ්‍ය පුත්‍රයන් අතරින් විශ්වාසවන්ත අය අතුරුදහන් වී ඇත.” (ගීතාවලිය 12:1, NW) ලෝක ව්‍යාප්තව පක්ෂපාතකමේ ඌනතාවක් දක්නට ලැබෙන්නේ මන්ද? “පක්ෂපාතකම කොතරම් උදාර ගුණාංගයක් වුවද, දුර්වල ජීවීන් වන අප තුළ පැලපදියම් වී තිබෙන බිය, හීන මානය, අවස්ථාවාදය හා අභිලාෂකාමිත්වය වැනි ගුණාංග නිසා එය කිසිදා අත් කරගත නොහැක” යනුවෙන් ටයිම් සඟරාවේ රොජර් රෝසන්බ්ලාට් අදහස් දැක්වීය. අප ජීවත් වන කාලය විස්තර කරමින් බයිබලය ඍජු ලෙස මෙසේ ප්‍රකාශ කරයි. “මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේම කරන්නෝ, . . . ද්‍රෝහියෝ [සහ] ජන්ම ස්නේහය නැත්තෝ වෙති.”—2 තිමෝති 3:1-5, NW.

පක්ෂපාතකම හෝ පක්ෂපාතකමේ ඌනතාව යමෙකු සිතන හා ක්‍රියා කරන ආකාරය කෙරෙහි තදින් බලපාන නිසාවෙන් ‘අපේ පක්ෂපාතකම ඇත්තෙන්ම ලැබිය යුත්තේ කවරෙකුද’ යන්න ඇසීම යෝග්‍ය වේ. ඊළඟ ලිපියේදී මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරය කියවා බලන්න අපි ඔබට ආරාධනා කරන්නෙමු.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ ඡායාරූපය: © AFP/CORBIS