Skip to content

පටුනට යන්න

අධෛර්යය වීම් මැද නොසැලී සිටිය හැකියි!

අධෛර්යය වීම් මැද නොසැලී සිටිය හැකියි!

අධෛර්යය වීම් මැද නොසැලී සිටිය හැකියි!

ඥානවන්ත තැනැත්තෙක් වරක් මෙසේ ලිව්වා. “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.” (හිතෝපදේශ 24:10) ඔබ යම් දවසක අධෛර්යයට පත් වී ඇත්නම් එම ප්‍රකාශයට ඔබත් එකඟ වෙයි.

අධෛර්යයට පත්වීමෙන් වේදනා නොවිඳින කෙනෙක් නැහැ. සුළු අධෛර්යය වීමක්, දවසක් හෝ දෙකක් තිබී පහ වී යා හැකියි. එනමුත් සිත රිදීමක් හෝ අමනාපයක් ඇති වී තිබේ නම් ඊට වඩා වැඩි කාලයක් එම ගැටලුව පැවතිය හැකියි. වසර ගණනාවක් පුරා විශ්වාසවන්තව සිටි ඇතැම් ක්‍රිස්තියානීන් මොනතරම් අධෛර්යයට පත් වී ඇද්ද කියනවා නම්, සභා රැස්වීම්වලට යෑම හා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම පවා නවත්වා තිබෙනවා.

ඔබ සිටින්නේ අධෛර්යයට පත්ව නම් ධෛර්යවත් වන්න! අතීතයේ සිටි ඇදහිලිවන්ත සේවකයන් අධෛර්යයට පත් වූ අවස්ථාවලදී දෙවිගේ උපකාරයෙන් සාර්ථකව එයට මුහුණ දුන් ලෙසම ඔබටත් ඊට මුහුණ දෙන්න පුළුවන්.

අන් අය ඔබේ සිත රිදවන විට

ඔබට කිසිම අකාරුණික වචනයක් අසන්න නොලැබෙයි කියා හෝ කිසිම අකාරුණික ක්‍රියාවකට ඔබ ගොදුරු නොවේ කියා හෝ සිතිය නොහැකියි. එසේවුවත්, යෙහෝවාට පිරිනමන ඔබේ සේවය අඩාළ කිරීමට අන්‍යයන්ගේ අසම්පූර්ණකම් හේතුවක් කර නොගන්න. කෙනෙක් ඔබේ සිත රිදවා තිබේ නම් සාමුවෙල්ගේ මව වූ හන්නා අධෛර්යයට පත් වූ අවස්ථාවකදී ක්‍රියා කළ ආකාරය සලකා බැලීම උපකාරයක් විය හැකියි.

හන්නාට දරුවෙකු බිහි කිරීමේ ආශාව දැඩි ලෙස තිබුණත් ඇය වඳව සිටියා. ඇගේ ස්වාමිපුරුෂයාගේ දෙවන භාර්යාව වූ පෙනින්නා ඔහුට දාව පුත්‍රයන් හා දූවරුන් බිහි කළා. හන්නාගේ ශෝචනීය තත්වය දෙස සානුකම්පාවෙන් බලනවා වෙනුවට පෙනින්නා ඇය දෙස බැලුවේ එදිරිවාදියෙක් දෙස බලන අයුරිනුයි. ඈ හන්නාව කෝපයට පත් කිරීමට කොතරම් වෑයම් කළාද කියනවා නම්, හන්නා ‘කෑමවත් නොකා ඇඬුවා.’—1 සාමුවෙල් 1:2, 4-7.

දිනක් හන්නා යාච්ඤා කරන්න මණ්ඩපයට ගියා. එහි සිටි ඉශ්‍රායෙලයේ උත්තම පූජකයා වූ ඒලී ඇය දෙස බලද්දී ඇගේ තොල් සෙලවෙනවා ඔහු දැක්කා. හන්නා යාච්ඤා කරන බව වටහා නොගත් ඒලී සිතුවේ ඈ බී මත් වී සිටිනවා කියායි. “නුඹ කොපමණ කල් මත්ව සිටිනවාද? නුඹේ මුද්‍රිකපානය නුඹෙන් පහකරන්න” කියා ඔහු ඇයට සැරෙන් කිව්වා. (1 සාමුවෙල් 1:12-14) හන්නාට මොන වගේ හැඟීමක් ඇති වෙන්න ඇද්ද? ඇය මණ්ඩපයට පැමිණියේ දිරිගැන්වීමක් ලබාගන්නයි. ඉශ්‍රායෙලයේ බලවත් මනුෂ්‍යයෙක් මෙසේ බොරු චෝදනාවක් එල්ල කරාවි කියා ඇය කිසිවිටක නොසිතන්න ඇති!

ඒ වෙනුවට සිද්ධ වුණේ හන්නාව තව තවත් අධෛර්යයට පත්වීමයි. ඕනෙ නම් ඇයට හැකිකම තිබුණා ඒලී මෙතන උත්තම පූජකයා වෙලා ඉන්නකම් මම මෙතනට අඩියක්වත් තියන්නේ නැහැ කියා දිවුරමින් වහාම මණ්ඩපයෙන් පිට වී යන්න. නමුත්, හන්නා යෙහෝවා සමඟ තිබූ ඇගේ සබඳතාව ඇත්තෙන්ම අගය කළා. ඇය එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තා නම් යෙහෝවා ඒ ගැන සතුටු නොවන බව ඈ දැනගෙන සිටියා. පවිත්‍ර නමස්කාරයේ මධ්‍යස්ථානය වී තිබුණේ මණ්ඩපයයි. එය ගොඩනඟා තිබුණේ යෙහෝවා වෙනුවෙනුයි. එමෙන්ම ඒලී අසම්පූර්ණ තැනැත්තෙක් වුවත්, යෙහෝවාගේ නියෝජිතයෙක් ලෙස ඔහුව තෝරාගෙන තිබුණා.

ඒලීගේ චෝදනාවට හන්නා ගෞරවනීයව ප්‍රතිචාරය දැක්වූ ආකාරය අදදින අපට කදිම ආදර්ශයක්. බොරු චෝදනා එල්ල කරන විට ඈ කරබාගෙන නොසිටි නමුත්, ඉතාමත් ගෞරවාන්විත ආකාරයකින් මෙසේ පිළිතුරු දුන්නා. “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රිකපානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. [ස්වාමීන්ට] යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි [ඔහු] ඉදිරියෙහි වැගිර වූයෙමි. ඔබේ මෙහෙකාරී කමකට නැති ස්ත්‍රියකැ යි නොසිතන්න. මා මේ ආකාරයෙන් යාච්ඤා කරමින් සිටියේ මාගේ දුකේ හා සිත් වේදනාවේ වැඩිකම නිසා ය.”—1 සාමුවෙල් 1:15, 16, නව අනුවාදය.

හන්නා ඇයට කීමට අවශ්‍ය වූ දේ පැවසුවාද? ඇත්තෙන්ම ඔව්. එහෙත්, ඇය ඒලීට කතා කළේ නැණවත් ලෙසයි. ඔහුගේ බොරු චෝදනාව නිසා ඈ ඔහුව විවේචනයට ලක් කළේ නැහැ. මේ හේතුවෙන් ඔහු ඇයට කරුණාවන්ත ලෙස මෙසේ පැවසුවා. ‘සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවිගෙන් නුඹ කළ ඉල්ලීම ඔහු නුඹට ඉෂ්ට කර දෙයි.’ කාරණය සමතයකට පත් කරගත් විට හන්නා “පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.”—1 සාමුවෙල් 1:17, 18.

මේ වාර්තාවෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? වරදවා වටහාගැනීම නිවැරදි කිරීමට හන්නා විගස ක්‍රියා කළ නමුත් ඇය එසේ කළේ ගැඹුරු ගෞරවයකින් යුතුවයි. ඒ නිසා ඇයට යෙහෝවා සමඟත්, ඒලී සමඟත් හොඳ සබඳතාවක් පවත්වාගන්න හැකි වුණා. හොඳ අදහස් හුවමාරුවකින් හා නැණවත් ක්‍රියාවකින් බොහෝවිට කුඩා ගැටලු විශාල ඒවා බවට පත්වීම වළක්වාගත හැකියි!

දෙදෙනෙක් අතර ඇති වන ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමට දෙදෙනාම නිහතමානි මෙන්ම නම්‍යසුලු විය යුතු බව අප වටහාගත යුතුයි. ප්‍රශ්නයක් නිරාකරණය කිරීමට ඔබ වෑයම් දැරුවත්, අනිත් ඇදහිලිවන්තයා එයට කැමැත්තක් නොදක්වයි නම්, නියමිත කාලයේදී යෙහෝවා තමාට වුවමනා විදිහට ඒ ප්‍රශ්නය විසඳයි යන විශ්වාසයෙන් යුතුව එය ඔහුට භාර කරන්න ඔබට හැකියි.

ඔබට සේවා වරප්‍රසාදයක් අහිමි වූවාද?

දෙවිගේ සේවයෙහි හුඟක් ආශාවෙන් ඉටු කළ වරප්‍රසාදයක් අහිමි වී යෑම නිසා සමහරු කලකිරීමට පත් වී තිබෙනවා. තමන් සහෝදරයන්ට සේවය කළේ ප්‍රීතියෙන් නිසා වරප්‍රසාදය අහිමි වූ විට ඔවුන්ට හැඟෙන්නේ ඔවුන් තවදුරටත් යෙහෝවාටවත්, ඔහුගේ සංවිධානයටවත් ප්‍රයෝජනවත් අය නොවෙයි කියායි. ඔබටත් හැඟෙන්නේ එයාකාරයෙන් නම්, යොහන් මාර්ක් කියාද හඳුන්වන බයිබල් ලේඛක මාර්ක්ගේ ආදර්ශය සලකා බැලීමෙන් ඔබට තීක්ෂ්ණ බුද්ධියක් ලබාගත හැකියි.—ක්‍රියා 12:12.

පාවුල් හා බාර්ණබස් මුල් මිෂනාරි සංචාරයේ යෙදෙද්දී මාර්ක් ඊට සහභාගි වුවත්, ගමනේ අතරමඟදී ඔහු ඔවුන්ව අත්හැර යළිත් යෙරුසලමට ගියා. (ක්‍රියා 13:13) පසු කාලෙක, ඔවුන් ගිය තවත් ගමනකටද මාර්ක්ව කැටුව යෑමට බාර්ණබස්ට වුවමනා වුණා. නමුත් බයිබලයේ මෙසේ පවසනවා. “පාවුල්, ඒ වැඩේට නොගොස් පම්පිලියේදී තමුන්ගෙන් අහක්ව ගියාවූ තැනැත්තා තමුන් සමඟ කැඳවාගන යාම නුසුදුසුයයි සිතුවේය.” බාර්ණබස් ඊට එකඟ වුණේ නැහැ. “ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔව්හු [පාවුල් හා බාර්ණබස්] එකිනෙකාගෙන් වෙන්ව ගියෝය, බාර්ණබස් මාර්ක් කැඳවාගෙන, කුප්‍රසට නැවෙන් ගියේය; නුමුත් පාවුල් සීලස් තෝරාගෙන, . . . පිටත්වී” ගියායයි එහි තවදුරටත් පවසනවා.—ක්‍රියා 15:36-40.

සැමගේ ගෞරවය දිනාගෙන සිටි ප්‍රේරිත පාවුල් තමන් සමඟ වැඩ කිරීමට අකමැති බව දැනගත් විට මාර්ක්ට සෑහෙන කලකිරීමක් ඇති වෙන්න ඇති. එමෙන්ම ඔහුගේ සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වුණ විවාදය, පාවුල් හා බාර්ණබස් අතර භේදයක් ඇතිවීමටත් හේතු වුණා. නමුත් කතාවේ අවසානය මෙය නොවෙයි.

පාවුල්ට සහ සීලස්ට තවත් සංචාරක සහයකයෙකු අවශ්‍ය වුණා. ඔවුන් ලුස්ත්‍රාවට පැමිණි විට මාර්ක් වෙනුවට කැටුව යා හැකි තරුණයෙකු වූ තිමෝතිව සම්බ වුණා. ඒ වෙන කොට තිමෝති බව්තීස්ම වෙලා අවුරුදු දෙකක් නැත්නම් තුනක් විතර ගෙවී ගොස් තිබෙන්න ඇති. නමුත් මාර්ක් ක්‍රිස්තියානි සභාව පටන්ගත් දා සිටම, ඇත්තවශයෙන්ම පාවුල්ටත් වඩා වැඩි කාලයක් ක්‍රිස්තියානි සභාවේ සිටියා. එහෙත්, එම මහඟු සේවා වරප්‍රසාදය ලැබුණේ තිමෝතිටයි.—ක්‍රියා 16:1-3.

තමාට වඩා බාල, අද්දැකීම් අඩු කෙනෙකුව තමා වෙනුවට තෝරාගත් බව දැනගත් විට මාර්ක් ප්‍රතික්‍රියා කළේ කෙසේද? බයිබලයේ මේ ගැන කිසිවක් පවසන්නේ නැහැ. කෙසේනමුත්, මාර්ක් යෙහෝවාගේ සේවයෙහි ක්‍රියාශීලීව සිටි බව එහි සඳහන් කරනවා. ඔහු තමාට ලැබී තිබුණු වරප්‍රසාදවලින් ප්‍රයෝජන ගත්තා. පාවුල් හා සීලස් සමඟ සේවයේ නියැලීමට හැකියාවක් නොලැබුණත්, ඔහුට හැකි වුණා බාර්ණබස් සමඟ බාර්ණබස්ගේ ගම් පළාත වූ කුප්‍රසට යන්න. මාර්ක් පේතෘස් සමඟත් බබිලෝනියේ සේවය කළා. අවසානයේදී, පාවුල් හා තිමෝති සමඟ රෝමයේ සේවය කිරීමටත් ඔහුට ප්‍රස්තාවක් ලැබුණා. (කොලොස්සි 1:1; 4:10; 1 පේතෘස් 5:13) පසු කාලෙක, සුවිශේෂ හතරෙන් එකක් ලියන්න පවා මාර්ක්ට ආනුභාවය ලැබුණා!

මේ සියල්ලෙන් අගනා පාඩමක් උගත හැකියි. මාර්ක් තමාට ලැබී තිබුණ වරප්‍රසාද අගය කිරීමට නොහැකි වන තරමටම, තමාට අහිමි වූ වරප්‍රසාදය ගැන තැවි තැවී සිටියේ නැහැ. මාර්ක් යෙහෝවාගේ සේවයෙහි කාර්ය බහුලව සිටි අතර යෙහෝවා ඔහුට ආශීර්වාද කළා.

මේ නිසා ඔබට වරප්‍රසාදයක් අහිමිව ඇත්නම් අධෛර්යයට පත් නොවන්න. ඔබ ඒකාන්ත ආකල්පයක් පවත්වාගනිමින් කාර්යබහුලව සිටිනවා නම්, ඔබට වෙනත් වරප්‍රසාද ලැබේවි. හේතුව, ස්වාමීන්ගේ මෙහෙයෙහි කිරීමට බොහෝ දේවල් තිබීමයි.—1 කොරින්ති 15:58.

විශ්වාසවන්ත සේවකයෙක් අධෛර්යයට පත් වෙයි

ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක යෙදීම පහසු දෙයක් නොවෙයි. සමහර අවස්ථාවලදී, ඔබ අධෛර්යයට පත් විය හැකියි. ඒ විතරක් නෙවෙයි, දෙවිගේ ඇදහිලිවන්ත සේවකයෙකුට ඒ වගේ හැඟීමක් ඇති නොවිය යුතුයි කියා නිගමනය කිරීම නිසා අධෛර්යයට පත්වීම සම්බන්ධයෙන් ඔබට වරදකාරිබවක් පවා හැඟෙන්න පුළුවන්. ප්‍රකට දිවැසිවරයෙක් වූ එලියා ගැන සිතා බලන්න.

එලියා බාල්ගේ දිවැසිවරුන්ව මරා දැමූ බව බාල් නමස්කාරයේ උමතු ලෙස යෙදී සිටි ඉශ්‍රායෙලයේ යෙසෙබෙල් රැජින දැනගත් විට, එලියාව මරන බවට ඈ දිවුරුවා. එලියා යෙසෙබෙල්ට වඩා දරුණු සතුරන්ට මුහුණ දී තිබුණත් එකපාරටම ඔහු මොනතරම් අධෛර්යයට පත් වුණාද කියනවා නම් ඔහුට මැරෙන්න පවා හිතුණා. (1 රාජාවලිය 19:1-4) එසේ සිතුණේ මන්ද? ඔහුට යමක් අමතක වී තිබුණ නිසයි.

තමාගේ ශක්තියේ උල්පත වන යෙහෝවාගේ උපකාරය පැතීමට එලියාට අමතක වී තිබුණා. මළවුන් නැඟිටවීමටත්, බාල් දිවැසිවරුන්ට මුහුණ දීමටත් එලියාට බලය දී තිබුණේ කවුද? බලය දුන්නේ යෙහෝවායි. ඇත්තෙන්ම, යෙසෙබෙල් රැජිනගේ උදහස හමුවේ නොසැලී සිටීමට ශක්තිය දෙන්න යෙහෝවාට හැකි වුණා.—1 රාජාවලිය 17:17-24; 18:21-40; 2 කොරින්ති 4:7.

යෙහෝවා කෙරෙහි තිබෙන තමන්ගේ විශ්වාසය මොහොතකට හෝ සැලෙන අවස්ථා ඕනෑම කෙනෙකු අද්දැකිය හැකියි. යම් ප්‍රශ්නයකට මුහුණ දීම සඳහා “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” යොදාගන්නවා වෙනුවට ඔබ ඇතැම්විට මිනිස් දෘෂ්ටිකෝණයෙන් ඒ දෙස බැලීමට නැඹුරු විය හැකියි. (යාකොබ් 3:17) කෙසේවෙතත්, එම තාවකාලික පසුබැසීම නිසා යෙහෝවා එලියාව අත්හැරියේ නැහැ.

බෙයෙර්-ෂෙබාට පලාගිය එලියා ඉන්පසු තමන්ව සොයාගැනීමට කාටවත් නොහැකි වේයයි සිතා කාන්තාර ප්‍රදේශයකට පලාගියා. එනමුත් යෙහෝවා ඔහුව සොයාගත්තා. ඔහුව සැනසීමට ඔහු දේවදූතයෙකුව යැව්වා. දේවදූතයා, අලුතින්ම පිලිස්සූ රොටියක් සහ සිසිලස ගෙන දෙන ජලය එලියාට දුන්නා. එලියා විවේක ගත් පසු, කි.මී. 300ක් පමණ ඈතින් පිහිටි හොරෙබ් කන්ද කරා ගමන් කිරීමට දේවදූතයා ඔහුට මඟ පෙන්නුවා. එහිදී ඔහුව තවදුරටත් ශක්තිමත් කිරීමට යෙහෝවා සූදානම්ව සිටියා.—1 රාජාවලිය 19:5-8.

හොරෙබ් කන්දේදී එලියා ඇදහිල්ල ශක්තිමත් කරවනසුලු යෙහෝවාගේ බලයේ මහත් ක්‍රියාවක් දැක්කා. එවිට මෘදු ස්වරයකින් කතා කළ යෙහෝවා ඔහුගේ බිය සැක දුරු කරමින් ඔහු තනි වී නැති බව සහතික කළා. එලියා නොදැන සිටියත් යෙහෝවාත්, තවත් සහෝදරයන් 7,000දෙනෙකුත් ඔහු සමඟ සිටියා. අවසානයේදී, යෙහෝවා ඔහුට කිරීමට වැඩක් පැවරුවා. ඔහු එලියාව දිවැසිවරයෙකු හැටියට කළ සේවයෙන් පහ කළේ නැහැ!—1 රාජාවලිය 19:11-18.

උපකාර ලැබිය හැකියි

ඔබ ඉඳ හිට සුළු අධෛර්යය වීමකට ලක් වුවොත්, වැඩිපුර විවේක ගන්න නැත්නම් පෝෂ්‍යදායි ආහාරයක් ගන්න. එවිට ඔබට යම් සහනයක් දැනේවි. වර්ෂ 1977දී මියයන තෙක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු හැටියට සේවය කළ නේදන් එච්. නෝර් අද්දැක්කේ රාත්‍රියේ හොඳ නින්දක් ලැබීමෙන් පසු විශාල ගැටලු පවා බොහෝවිට පුංචි ඒවා මෙන් පෙනෙන බවයි. කෙසේවෙතත්, ගැටලුව දිගටම පවතින්නක් නම්, එවැනි පිළියමක් ප්‍රමාණවත් නොවිය හැකියි. අධෛර්යයෙන් ගොඩ ඒමට ඔබට උපකාර අවශ්‍ය වේවි.

එලියාව ශක්තිමත් කිරීමට යෙහෝවා දේවදූතයෙකුව එව්වා. අදදින, වැඩිමහල්ලන් හා වෙනත් මේරූ ක්‍රිස්තියානීන් මගින් දෙවි දිරිගැන්වීම් සපයනවා. ඇත්තෙන්ම වැඩිමහල්ලන්ට “සුළඟෙන් මුවාවෙන ඉඩමක්” විය හැකියි. (යෙසායා 32:1, 2) නමුත් ඔවුන්ගෙන් දිරිගැන්වීම ලැබීමට නම් ඔබ මුලපිරිය යුතුයි. එලියා කොතරම් අධෛර්යයට පත්ව සිටියාද කියනවා නම් යෙහෝවාගෙන් උපදෙස් ලැබීමට ඔහු හොරෙබ් කන්දට ගමන් කළා. අපට ශක්තිමත් කරන උපදෙස් ලැබෙන්නේ ක්‍රිස්තියානි සභාවෙනුයි.

අපි උපකාර පතමින්, සිත රිදීම් හෝ වරප්‍රසාද අහිමි වීම් වැනි පරීක්ෂාවලට නිර්භීත ලෙස මුහුණ දෙන විට වැදගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපි යෙහෝවාගේ පැත්ත ගන්නවා. ප්‍රශ්නය මොකක්ද? මිනිසුන් යෙහෝවාට සේවය කරන්නේ ආත්මාර්ථකාමී හේතු මත පමණයි කියායි සාතන් තරයේ කියා සිටින්නේ. ජීවිතය මල් යහනාවක් මෙන් තිබෙන විට අපි දෙවිට සේවය කිරීම නතර කරයි කියා සාතන් පවසන්නේ නැහැ. නමුත් ඔහු තරයේ කියා සිටින්නේ ගැටලු තිබෙන විට අපි දෙවිට සේවය කිරීම නතර කරන බවයි. (යෝබ් 1 හා 2 පරිච්ඡේද) අධෛර්යයට පත්වීම් සිදු වුවත් නොසැලී යෙහෝවාගේ සේවයෙහි නිරත වීමෙන් යක්ෂයාගේ නින්දාසහගත චෝදනාවට පිළිතුරක් දීම සඳහා දායක වන්න අපට හැකියි.—හිතෝපදේශ 27:11.

කෙටි කලකට තමන්ගේ ප්‍රීතිය සොරාගත් ගැටලුවලට හන්නා, මාර්ක් හා එලියා මුහුණ දුන්නා. කෙසේනමුත්, ඔවුන් සාර්ථකව ඔවුන්ගේ ගැටලුවලට මුහුණ දී ඵලදායී ජීවිත ගත කළා. යෙහෝවාගේ උපකාරයෙන් ඔබටත් හැකියි අධෛර්යය වීම්වලට සාර්ථකව මුහුණ දෙන්න!