Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

රූප නමස්කාරය

රූප නමස්කාරය

ලොව පුරා සිටින බොහෝදෙනෙක් නමස්කාරය සඳහා රූප යොදාගන්නවා. එය බයිබලයට එකඟද? දෙවියන් එය අනුමත කරනවාද?

අතීතයේදී දෙවියන්ට නමස්කාර කළ යුදෙව්වන් රූප භාවිත කළාද?

“රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.” නික්මයාම 20:4, 5.

පැරණි ගිවිසුම ලෙස හඳුන්වන හෙබ්‍රෙව් ලියවිලිවල නමස්කාරය සඳහා රූප භාවිත කිරීම හෙළාදැක තිබෙනවා.

ප්‍රසිද්ධ මතයක්:

යුදෙව්වන් රූපවලට “නමස්කාර කළ අතර ඒවා ගෞරවයෙන් සහ මහත් භක්ත්‍යාදරයෙන් සැලකුවා” කියා කතෝලික විශ්වකෝෂයේ සඳහන් වෙනවා. ඒ කාරණාව ඔප්පු කිරීමට එම විශ්වකෝෂයේ උදාහරණයක් ලෙස යොදාගත්තේ යෙරුසලමේ දේවමාලිගාවේ බිත්තිවල කැටයම් කර තිබූ මල්, පළතුරු හා සතුන්ගේ රූපයි.—1 රාජාවලිය 6:18; 7:36.

ඔබ දැනගත යුතු දේ:

විශ්වකෝෂයේ සඳහන් දෙය බයිබලයට එකඟ නැහැ. පුරාණයේ දෙවියන්ට නමස්කාර කළ යුදෙව්වන්, දේවමාලිගාවේ බිත්තිවල කැටයම් කර තිබුණු රූපවලට නමස්කාර කළා කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම දෙවියන්ට විශ්වාසවන්තව සිටිය අය නමස්කාරයේදී රූප භාවිත කළා කියලා බයිබලයේ කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි” කියා යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් ප්‍රකාශ කළා.—යෙසායා 42:8.

යේසුස්ගේ මුල් ගෝලයන් නමස්කාරය සඳහා රූප භාවිත කළාද?

“දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද? . . . අපවිත්‍ර දේවලට අත නොගසන්න.”—2 කොරින්ති 6:16, 17.

“යේසුස්ගේ මුල් ගෝලයන් පල්ලිවල තියෙන රූප දැක්කා නම් පුදුම වන බවට කිසිම සැකයක් නැහැ. ඒවා ඉදිරියේ වැඳ වැටීම සහ යාච්ඤා කිරීම ඔවුන් රූපවලට නමස්කාර කිරීමක් හැටියට සලකන බව නම් ස්ථිරයි” කියා එක් පොතක සඳහන් වෙනවා.—History of the Christian Church

ප්‍රසිද්ධ මතයක්:

“ක්‍රිස්තියානීන් භාවිත කළ උමං සොහොන් ගෙවල්වල බිත්ති රූපවලින් පිරිලා. ඔවුන් නමස්කාර කටයුතු සහ අවමංගල කටයුතු සඳහා යොදාගත් ස්ථානවලත් මිථ්‍යා ආගම්වලට සම්බන්ධ සංකේත දකින්න තියෙනවා. ඒ නිසා මුල් ක්‍රිස්තියානීන් නමස්කාරයේදී රූප භාවිත කළේ නැහැ කියලා අපිට කියන්න බැහැ” කියා කතෝලික විශ්වකෝෂයේ සඳහන් වෙනවා. *

ඔබ දැනගත යුතු දේ:

ඒ සොහොන් ගෙවල්වලින් සොයාගත් පැරණිම රූපය අයිති වන්නේ 3වෙනි ශතවර්ෂයටයි. ඒ කියන්නේ යේසුස්ගේ මරණයෙන් අවුරුදු 200කට ආසන්න කාලයකට පසුවයි. එයින් පැහැදිලි වන්නේ විශ්වකෝෂයේ මුල් ක්‍රිස්තියානීන් කියා හඳුන්වන අය, නව ගිවිසුම ලෙස හඳුන්වන බයිබලයේ ග්‍රීක ලියවිලිවල සඳහන් වෙන මුල් ශතවර්ෂයේ සිටි යේසුස්ගේ ගෝලයන් නෙවෙයි. 3වෙනි ශතවර්ෂය වන විට සමහර ක්‍රිස්තියානීන් මිථ්‍යා භක්තිකයන්ව ක්‍රිස්තියානි ආගමට හරවාගැනීමේ මුවාවෙන් ඔවුන්ගේ ආගමික පිළිවෙතක් වූ රූප භාවිතය ක්‍රිස්තියානි ආගමට ඈඳා ගත්තා. 3වෙනි ශතවර්ෂයේ සිටි එවැනි ක්‍රිස්තියානීන් නම් රූපවලට නමස්කාර කළා කියලා හිතන්න පුළුවන්. ඒ නිසා 3වෙනි ශතවර්ෂයේ සොහොන් ගෙවල්වල එවැනි රූප තිබීම පුදුමයක් නෙවෙයි. *

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“රූප වන්දනාවෙන් පලා දුවන්න.”—1 කොරින්ති 10:14.

නමස්කාරයට උදව්වක් විදිහට රූප භාවිත කරන්න පුළුවන්ද?

“දේවතා රූපවලින් වැළකී සිටින්න.”—1 යොහන් 5:21.

නමස්කාරයේදී රූප භාවිත කරන්න කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැති නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රූප යොදාගන්නේ නැහැ. ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල හෝ නිවෙස්වල එවැනි දේවල් තියලා නැහැ.

ප්‍රසිද්ධ මතයක්:

“යම් පුද්ගලයෙක්ට නමස්කාර කරනවා නම් ඔහුගේ රූපයකට නමස්කාර කළත් ඒ නමස්කාරය යන්නේ ඔහුටයි. ඒ නිසා ඒ පුද්ගලයාට නමස්කාර කරන විදිහටම ඒ රූපයට නමස්කාර කරන්න පුළුවන්.”—New Catholic Encyclopedia.

ඔබ දැනගත යුතු දේ:

යාච්ඤා කරන විදිහ ගැන යේසුස් තම ගෝලයන්ට කියා දුන් අවස්ථාවේදී ඒ සඳහා රූප භාවිත කරන්න කියලා කිව්වේ නැහැ. දෙවියන්ට නමස්කාර කරද්දී උදව්වක් විදිහට රූප භාවිත කරන්න කියලා බයිබලයේ ග්‍රීක ලියවිලිවල කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.”—මතෙව් 4:10.

^ 13 ඡේ. රූප කියා අදහස් කරන්නේ පින්තූර, ලාංඡන, ප්‍රතිමා, සංකේත සහ නමස්කාරය සඳහා යොදාගත් ඕනෑම දෙයක්.

^ 14 ඡේ. ඊජිප්තුව, ග්‍රීසිය සහ ඉන්දියාව ඇතුළු රටවල් බොහොමයක පැවති සංස්කෘතිවල රූප නමස්කාරය දකින්න තිබුණා.