Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

කුරුසය

කුරුසය

හුඟදෙනෙක් කුරුසය සලකන්නේ ක්‍රිස්තියානි ආගම්වල ප්‍රධාන සංකේතය විදිහටයි. හැබැයි කුරුසයක් පළඳින එකත් ගෙවල්වල සහ පල්ලිවල ඒක තියන් ඉන්න එකත් වැරදියි කියලා සමහරු කියනවා.

යේසුස් මිය ගියේ කුරුසයකද?

සමහර මිනිස්සු කියන දේ

 

රෝමවරු යේසුස්ව ඇණ ගැහුවේ ලී දෙකක් එකතු කරලා හදපු කුරුසයක.

බයිබලයේ කියන දේ

 

යේසුස්ව මැරුවේ “ගසක එල්ලලා” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 5:30, ‘පැරණි අනුවාදය’) “ස්ටාව්රොස්” සහ “ක්සිලොන්” කියන ග්‍රීක වචන දෙක හුඟක් බයිබල්වල පරිවර්තනය කරලා තියෙන්නේ කුරුසය විදිහටයි. ඒත් එක පොතක මෙහෙම සඳහන් වෙනවා. “‘ස්ටාව්රොස්’ කියන වචනයෙන් මූලිකවම අදහස් වෙන්නේ කණුවක්. ඒකට ‘කුරුසය’ කියන අදහස ගෑවිලාවත් නැහැ.” (Crucifixion in Antiquity) ක්‍රියා 5:30 සඳහන් වෙන “ක්සිලොන්” කියන ග්‍රීක වචනයෙන් “ලීයක් නැත්තං ලී කණුවක් අදහස් වෙනවා. අතීතයේ ඉඳන් රෝමවරුන් මරන්න නියම කරපු අයව ඇණ ගැහුවේ කෙළින් හිටවපු කණුවලයි.” *

යේසුස්ව මරපු විදිහ ගැන තේරුම්ගන්න පුරාණ ඊශ්‍රායෙල් නීතියක් අපිට උදව් වෙනවා. ඒ නීතිය බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “කෙනෙක් මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කළොත් ඔහුව මරා ඔහුගේ සිරුර ලී කණුවක එල්ලා තැබිය යුතුයි. ඒ තැනැත්තා දෙවිගෙන් ශාප ලැබූ” කෙනෙක්. (ද්විතීය කතාව 21:22, 23) පාවුල් පස්සේ කාලෙක ඒ නීතිය මතක් කළා. “අපව නිදහස් කළේ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී අපව මිල දී ගැනීමෙනි. ‘කණුවක [“ක්සිලොන්”] එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි’ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.” (ගලාති 3:13) යේසුස් මැරුණේ කණුවක කියන එක පාවුල් කියපු දෙයින් පැහැදිලි වෙනවා.

“ඔව්හු ඔහුව ගසක එල්ලා මැරුවෝය.”ක්‍රියා 10:39, ‘පැරණි අනුවාදය.’

 යේසුස්ගේ ගෝලයන් සංකේතයක් විදිහට කුරුසය පාවිච්චි කළාද?

බයිබලයේ කියන දේ

 

මුල් ක්‍රිස්තියානීන් සංකේතයක් විදිහට කුරුසය පාවිච්චි කළා කියලා බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒත් රෝමවරු එයාලාගේ දෙවිවරුන්ව සංකේතවත් කරන්න කුරුසය පාවිච්චි කරලා තියෙනවා. යේසුස්ගේ මරණයෙන් අවුරුදු 300කට විතර පස්සේ රෝම අධිරාජ්‍යයෙක් වුණ කොන්ස්ටන්ටයින් එයාගේ හමුදාවේ සංකේතය විදිහට කුරුස ලකුණ පාවිච්චි කළා. ඒකෙන් පස්සේ “ක්‍රිස්තියානි” පල්ලිවලත් ඒක පාවිච්චි කරන්න පටන්ගත්තා.

වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරපු හුඟදෙනෙක් ඒ කාලයේ කුරුසය පාවිච්චි කළා. ඒ නිසා යේසුස්ගේ ගෝලයන් සැබෑ දෙවියන්ට නමස්කාර කරද්දී කුරුසය පාවිච්චි කළා කියලා කොහොමටවත් හිතන්න බැහැ. ඒ වගේම කිසිම හැඩයක “දේවතා රූප” හදන එකටත් ‘රූප වන්දනාවටත්’ දෙවියන් විරුද්ධයි කියලා යේසුස්ගේ ගෝලයන් දැනගෙන හිටියා. (ද්විතීය කතාව 4:15-19; 1 කොරින්ති 10:14) “දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්” නිසා මුල් ක්‍රිස්තියානීන් නමස්කාරයේදී ඔහුව නියෝජනය කරන්න රූපයක්වත් සංකේතයක්වත් පාවිච්චි කළේ නැහැ. ඒ වෙනුවට බයිබලය තුළින් ‘දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි’ එයාලා දෙවියන්ට නමස්කාර කළේ.—යොහන් 4:24.

‘සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරනවා.’යොහන් 4:23.

ක්‍රිස්තියානීන් යේසුස්ට ගෞරවය පෙන්වන්න ඕනෙ කොහොමද?

මිනිස්සු කියන දේ

 

‘කෙනෙක් කුරුසයට ගරු කරන එකෙන් ඇත්තටම කරන්නේ ඒකෙන් නියෝජනය වෙන කෙනාට ගෞරවය පෙන්වන එකයි.’—New Catholic Encyclopedia.

බයිබලයේ කියන දේ

 

යේසුස්ගේ ජීවිත පූජාව නිසයි පාපවලට සමාව ලබාගන්නත් දෙවිට ළං වෙන්නත් සදාකාල ජීවනය ලබාගන්නත් අපිට පුළුවන් වෙන්නේ. ඒ නිසා ක්‍රිස්තියානීන් ඒක සලකන්නේ වටිනා දෙයක් විදිහටයි. (යොහන් 3:16; හෙබ්‍රෙව් 10:19-22) ඒත් ඒකට අගය පෙන්වන්න පුළුවන් කොහොමද? යේසුස්ව නියෝජනය කරන සංකේතයක් පැළඳගෙන ඉන්න එකෙන්වත් යේසුස්ව විශ්වාස කරනවා කියලා කියන එකෙන්වත් ඒක කරන්න බැහැ. මොකද “විශ්වාසය සමඟ ක්‍රියා දක්නට නොලැබේ නම් ඒ විශ්වාසය මිය ගිය එකක්” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 2:17) විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වන්න පුළුවන් කොහොමද?

ඒකට අපිව පොලඹවන්නේ “ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමයයි.” මොකද ඔහු මිය ගියේ අපි “සියලුදෙනා උදෙසායි.” ඒ නිසා “ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත්” වෙන එක අත්‍යවශ්‍යයයි. (2 කොරින්ති 5:14, 15) එහෙමනම් යේසුස් අපිට පෙන්නපු ආදරය අගය කරලා ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ ජීවිතේ ඕනෑම වෙනස්කමක් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක තමයි යේසුස්ට ගෞරවය පෙන්නන්න පුළුවන් හොඳම විදිහ. ඒක නිකම්ම සංකේතයක් ළඟ තියාගෙන ඒකට ගෞරව කරනවාට වඩා කොච්චර වටිනවාද!

“මගේ පියාණන්ගේ කැමැත්ත නම් පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීමයි.”යොහන් 6:40.

^ 8 ඡේ. A Critical Lexicon and Concordance to the English and Greek New Testament, 11th Edition, by Ethelbert W. Bullinger, pages 818-819.