Skip to content

පටුනට යන්න

ජීවිතය නැති කරගත්තා නම් හොඳයි කියා ඔබට හැඟී තිබෙනවාද?

ජීවිතය නැති කරගත්තා නම් හොඳයි කියා ඔබට හැඟී තිබෙනවාද?

ජීවිතය නැති කරගත්තා නම් හොඳයි කියා ඔබට හැඟී තිබෙනවාද?

සෑම වසරකම එක්සත් ජනපදයේ පමණක් පුද්ගලයන් දස දහසක් පමණ සියදිවි නසාගැනීමට උත්සාහ කරනවා. මිනිසුන් එවැනි තීරණයක් ගැනීමට තරම් කලකිරෙන්නේ ඇයි? ඊට හේතුව අප ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ ජීවත් වන නිසා ඇති වන පීඩනකාරී තත්වය බව බයිබලයේ පැහැදිලි කරනවා. (2 තිමෝති 3:1; දේශනාකාරයා 7:7) ජීවිතයේ නොයෙකුත් දුක් කරදරවලින් හෙම්බත් වී සිටින විට මිනිසුන් සිතන්නේ ඊට එකම විසඳුම සියදිවි නසාගැනීම කියායි. ඔබටත් එසේ හැඟී තිබෙනවා නම් කුමක් කළ හැකිද?

ඔබට පමණක් හැඟෙන දෙයක් නොවෙයි!

ඔබට යම් ගැටලුවක් තිබෙන විට ඔබ සිතන්නේ ඔබ තරම් කිසිවෙක් දුක් විඳින්නේ නැහැ කියායි. ඒත් මේ ලෝකයේ ජීවත් වන සෑම මිනිසෙක්ම කිසියම් හෝ ගැටලුවක් නිසා කනස්සල්ලෙන් සිටින බව අමතක කරන්න එපා. බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා.’ (රෝම 8:22) නමුත් බොහෝදෙනෙක් එවැනි ගැටලු විඳදරාගන්නවා. ගැටලුවකට විසඳුමක් නැහැ කියා සිතුණත් කාලයත් සමඟ ගැටලුව විසඳීමට ඉඩ තිබෙනවා. ඒ අතරතුර ඔබට උපකාර ලබාගන්න පුළුවන් කොහොමද?

විශ්වාසවන්ත සහ දැනුම් තේරුම් ඇති මිතුරෙකුට ඔබේ වේදනාව පවසන්න. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” (හිතෝපදේශ 17:17) බයිබලයේ සඳහන් ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ් තම වේදනාකාරී අද්දැකීම් ගැන අන් අය සමඟ කතා කළා. ඔහු මෙසේ පැවසුවා. “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත. දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි. හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.” (යෝබ් 10:1) වෙනත් කෙනෙකුට සිතේ තිබෙන වේදනාව පැවසීමෙන් දුක යම් දුරකට තුනී කර ගත හැකි අතර ප්‍රශ්නය දෙස වෙනත් ආකාරයකින් බැලීමටද හැකි වෙයි. *

යාච්ඤාවෙන් ඔබේ දුක දෙවිට පවසන්න. සමහරුන් යාච්ඤාව එතරම් වැදගත් දෙයක් ලෙස සලකන්නේ නැහැ. ඔවුන් සිතන්නේ එය මානසික සුවය පතා කරන දෙයක් ලෙසයි. නමුත් බයිබලයේ ගීතාවලිය 65:2 හි යෙහෝවා දෙවිව හඳුන්වන්නේ “යාච්ඤා අසන තැනැත්තාණන්’ ලෙසයි. ‘ඔහු ඔබ ගැන සැලකිලිමත් වන’ බවත් 1 පේතෘස් 5:7හි සඳහන් වෙනවා. දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමේ වැදගත්කම ගැන බයිබලයේ නිතර නිතර කාවද්දනවා. පහත සඳහන් බයිබලයේ ඇති උපදෙස් සලකා බලන්න.

“ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”හිතෝපදේශ 3:5, 6.

[යෙහෝවා දෙවිට] ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.”ගීතාවලිය 145:19.

“අපට තිබෙන ස්ථිර විශ්වාසය නම් දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.”1 යොහන් 5:14.

“යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි. නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.”හිතෝපදේශ 15:29.

ඔබ අද්දකින දුෂ්කරතා ගැන දෙවිට පවසනවා නම් ඔහු ඔබට අවශ්‍ය උපකාර ලබා දෙන බව ස්ථිරයි. “සැමවිටම දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—ගීතාවලිය 62:8.

තවත් උපකාර අවශ්‍ය නම්

සියදිවි නසාගත් බොහෝදෙනා කාලයක් පුරා මානසික අවපීඩනයෙන් පෙළුණු අය බව අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. * එවැනි තත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. වෛද්‍ය උපදෙස් හෝ ආහාර ගැනීමේ රටාවේ යම් වෙනස්කම් කරගැනීමට උපදෙස් ඔහු ලබා දිය හැකියි. සමහර අයට ව්‍යායාම කිරීමද හොඳ ප්‍රතිකාරයක් වී තිබෙනවා. එලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් බොහෝදෙනෙකුට මානසික අවපීඩනයෙන් මිදීමට හැකි වී තිබෙනවා. *

ඔබට බලාපොරොත්තුවක් මෙන්ම ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයෙන් ලබාගත හැකියි. උදාහරණයකට එළිදරව් 21:4හි යෙහෝවා දෙවි ගැන මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” ඒ ගැන කල්පනා කිරීමෙන් ඔබට සහනයක් ලබාගන්න පුළුවන්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම පොරොන්දුව ගැන ලොව පුරා සිටින මිලියන ගණන් දෙනාට ප්‍රකාශ කරනවා. ඒ නිසා බොහෝදෙනෙකුට මේ දුෂ්කර කාලයේදී සහනයක් අද්දැකීමට හැකි වී තිබෙනවා. ඒ පිළිබඳව තවත් තොරතුරු ඔබේ ප්‍රදේශයේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයෙන් විමසිය හැකියි. නැත්නම් මේ සඟරාවේ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට ලියන්න. ඔබට www.watchtower.org වෙබ් අඩවියට පිවිසීමටද හැකියි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. කලකිරී සිටින අයට සහනය ලබා දෙන මධ්‍යස්ථාවලින් සමහරුන් උපකාර ලබාගෙන තිබෙනවා.

^ 13 ඡේ. මානසික අවපීඩනය ගැන තවත් තොරතුරු දැනගැනීම සඳහා 2009 ජූලි පිබිදෙව්! කලාපයේ 3-9 පිටු බලන්න.

^ 13 ඡේ. පිබිදෙව්! සඟරාවෙන් යම් ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ නැහැ. සුදුසු ප්‍රතිකාරය කුමක්ද කියා සොයා බලා තීරණයක් ගැනීමේ අයිතිය ඔබ සතුයි.

[16වන පිටුවේ කොටුව]

බයිබලයෙන් ලැබෙන උපකාර

● “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”—ෆිලිප්පි 4:6, 7.

● “මම යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවෙමි. ඔහු මට සවන් දී මා තුළ තිබූ බිය මාගෙන් ඉවත් කළේය.”—ගීතාවලිය 34:4.

● “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

● “බිඳුණු සිත් ඇත්තන්ට ඔහු සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.”—ගීතාවලිය 147:3.

[17. 18වන පිටුවේ කොටුව]

ඔබට සියදිවි නසාගැනීමට සිතෙනවා නම්,

විශ්වාසවන්ත මිතුරෙකුට ඔබේ වේදනාව පවසන්න

යාච්ඤාවෙන් ඔබේ දුක දෙවිට පවසන්න

වෛද්‍ය උපදෙස් ලබාගන්න

[18වන පිටුවේ කොටුව/පින්තූරය]

පවුලේ අය සහ මිතුරන් සඳහා

කෙනෙක් සියදිවි නසාගැනීමට තැත් කරනවා කියා මුලින්ම දැනගැනීමට ලැබෙන්නේ ඔබටයි. ඒ නිසා ඉක්මනින් පියවර ගැනීමෙන් ඔහුගේ ජීවිතය බේරාගත හැකියි. එවැනි පුද්ගලයන් ඔබ සමඟ කතා කරද්දී ඔවුන්ට හොඳින් සවන් දෙන්න. ඔහු හෝ ඇය අද්දකින වේදනාව තේරුම්ගන්න උත්සාහ කරන්න. බයිබලයේද පවසන්නේ “කලකිරී සිටින අයව සනසවන්න” කියායි. (1 තෙසලෝනික 5:14) කලකිරී සිටින පුද්ගලයාට උපකාර ලබාගන්නා ලෙස දිරිගැන්විය හැකි අතර ඒ සඳහා ඔබට කළ හැකි දේ නොපමාව කරන්න.