Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

මට එය ආරක්ෂාවක්ද? නැත්නම් නීතියක්ද?

මට එය ආරක්ෂාවක්ද? නැත්නම් නීතියක්ද?

ඔබ යාළුවන් සමඟ විනෝද වෙලා ගෙදර එද්දී හුඟක් රෑ වෙලා. ඔබට ගෙදර එන්න කියලා නියම කරලා තිබුණු වෙලාවට වඩා දැන් හුඟක් ප්‍රමාද වී තිබෙන නිසා අම්මටයි තාත්තටයි මුහුණ දෙන්න ඔබට දැන් බය හිතෙනවා. ඔබ හිතනවා ‘අම්මයි තාත්තයි නිදි ඇතියි’ කියලා. ඒත් ඔබ දොර අරිද්දී ඔබ එනතුරු ඔවුන් බලා සිටිනවා ඔබ දකිනවා.

ඉහත සඳහන් සිද්ධිය ඔබටත් හුරු පුරුදු දෙයක්ද? ගෙදරට එන්න සාධාරණ වෙලාවක් නියම කිරීම සම්බන්ධයෙන් ඔබත් ඔබේ දෙමාපියනුත් එකඟ වෙනවාද? වයස අවුරුදු 17ක් වූ දෙබෝරා ජීවත් වුණේ එතරම් කරදරයක් නැති ප්‍රදේශයකයි. ඒත් ඇය මෙසේ පවසනවා. “මම ගෙදර එන්න ටිකක් රෑ වුණොත් මගේ අම්මයි තාත්තයි නිකරුණේ භය වෙනවා.” *

ගෙදර එන්න දෙමාපියන් වෙලාවක් නියම කරද්දී ඒකට කීකරු වීම එතරම්ම අමාරු ඇයි? වැඩි නිදහසක් බලාපොරොත්තු වීම වැරදිද? වෙලාව සම්බන්ධයෙන් පනවා ඇති දැඩි නීතියකට වුණත් අවනත වෙන්න පුළුවන් කොහොමද?

මතු විය හැකි එකඟ නොවීම්

සමහර අවස්ථාවලදී ඒ වගේ නීති නිසා ඔබව අධෛර්යට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ යාළුවන් සමඟ එකට කාලය ගත කරන අවස්ථාවලදී. වයස අවුරුදු 17ක් වූ නටාෂා ඒ ගැන මෙසේ පවසනවා. “මම චිත්‍රපටියක් බලන්න දවසක් යාළුවෙක්ගේ ගෙදර ගියා. ඒ බව දෙමාපියන් දැනගෙන හිටියා. හැබැයි මම ගෙදර යද්දී මට එන්න කියලා තිබුණු වෙලාවට වඩා විනාඩි දෙකක් ප්‍රමාද වුණා. ඒ ටිකට අම්මයි තාත්තයි යාළුවාගේ ගෙදරට දුරකථන ඇමතුමක් දීලා මං මොකද ප්‍රමාද කියලා අහලා තියෙනවා. එහෙම වෙද්දී මට හුඟක් දුක හිතෙනවා.”

ටාෂි නම් යෞවනිය ඊට වඩා වෙනස් දෙයක් ගෙනහැර දක්වනවා. “මට ගෙදර එන්න කියලා තියෙන්නේ අම්මයි තාත්තයි නිදාගන්න ඉස්සර වෙලයි. මම ප්‍රමාද වුණොත් එයාලා ඉන්නේ මාත් එක්ක හුඟක් කේන්තියෙන්. එහෙම වෙද්දී මටත් ඒක ලොකු ප්‍රශ්නයක්. මං එනකල් බලන් ඉන්නේ නැතුව එයාලා ගිහින් නිදාගත්තා නම් ප්‍රශ්නේ ඉවරයිනේ.” දෙමාපියන් සමඟ ඇති වෙන එවැනි එකඟ නොවීම් නිසා වයස අවුරුදු 18ක් වූ කැතීට හැඟුණා වගේ ඔබටත් හැඟෙන්න පුළුවන්. “දෙමාපියන් මාව විශ්වාස කරලා මට වැඩි නිදහසක් දෙනවා නම් මං කැමතියි” කියා ඇය පැවසුවා.

ඉහත සඳහන් කළ යෞවනයන්ට මෙන් සමහරවිට ඔබටත් එලෙස හැඟෙන්න පුළුවන්. එසේනම් ඔබෙන්ම මෙසේ අසන්න.

 

  • මට හුඟක් නිදහස තියෙනවා වගේ දැනෙන නිසා.

  • මානසික පීඩනය අඩු කරගන්න මට පුළුවන් වන නිසා.

  • මගේ යාළුවන් සමඟ ඉන්න මට අවස්ථාව ලැබෙන නිසා.

ඉහත සඳහන් හේතු අසාමාන්‍ය දේවල් නොවෙයි. ඔබ ටිකෙන් ටික ලොකු වෙද්දී වැඩි නිදහසක් වගේම ජීවිතේ යම් වෙනසක් අද්දකින්න අවශ්‍ය වීම ස්වභාවිකයි. ඒ වගේම බයිබලයේද හොඳ මිතුරන්ව ඇති කරගන්න කියා දිරිගන්වා තිබෙනවා. (ගීතාවලිය 119:63; 2 තිමෝති 2:22) හැම වෙලාවෙම ගෙදරට වෙලා ඉන්න වුණොත් එය ලෙහෙසි දෙයක් නොවන බව ඇත්තයි!

දෙමාපියන් වෙලාව සම්බන්ධයෙන් දමා තිබෙන නීතිය දැඩියි කියා දැනුණත් දැනටමත් ඔබට දී තිබෙන නිදහසින් සතුටක් අද්දකින්න පුළුවන් කොහොමද? ඊට පහත සඳහන් කාරණා සලකා බැලීම උපකාරවත් වෙයි.

පළමුවන අභියෝගය: ඔබ තාම කුඩා දරුවෙක් කියන හැඟීම ඔබට ඇති වීම.

දැන් 21ක්වන වියේ පසුවෙන ඇන්ඩ්‍රියා ඇය කලින් ඇද්දැක්ක දෙයක් ගැන මෙසේ පැවසුවා. “මට අනිත් අයට වඩා වේලාසනින් ගෙදර එන්න කියලා තිබුණු නිසා මාව එක්කන් යන්න කාට හරි කරදර කරන්න සිද්ධ වුණා. ඒ නිසා මට මං ගැනම ලැජ්ජ හිතුණා.”

උපකාරවත් වන දේ: ඔබ රියදුරු බලපත්‍රයක් ලබාගන්න යනවා කියා සිතන්න. සමහර රටවල රියදුරු බලපත්‍ර ගැනීමේදී යම් නිශ්චිත වයසකට පැමිණෙන තුරු ඔබ රිය පැදවිය යුතු සීමාව, යා යුත්තේ කා සමඟද, කවදාද වැනි තහංචි පනවනවා. ඔබ එවැනි රටක ජීවත් වන කෙනෙක් නම් ඔබ එම රියදුරු බලපත්‍රය නොගැනීමට තීරණය කරමින් මෙසේ වාද කරනවාද? “මට රිය පදවන්න සම්පූර්ණ නිදහස ලැබෙන්නේ නැත්නම් මම ආයේ කවදාවත් රිය පදවන්නේ නැහැ.” ඔබ එසේ නොකරන බව ස්ථිරයි! ඒ වෙනුවට එම රියදුරු බලපත්‍රය ලබාගැනීම ඔබ සලකන්නේ ලොකු ජයග්‍රහණයක් ලෙසයි.

ඒ හා සමානව දෙමාපියන් වෙලාව සම්බන්ධයෙන් ඔබට පනවා ඇති සීමා ඔබව නිසි මඟට යොමු කිරීමට දමා ඇති ඒවා ලෙස සලකන්න. පනවා ඇති සීමාවන් ගැන නොව දැනටමත් ඔබට ලැබී ඇති නිදහස ගැන සිතන්න. කුඩා කාලයට වඩා දැන් ඔබට වැඩි නිදහසක් ලැබී තිබෙනවා නොවෙයිද?

ඉන් ඇති ප්‍රයෝජන: එවැනි නීතියක් ඔබට බාධාවක් නොව නමුත් ප්‍රයෝජනදායක දෙයක් ලෙස සලකනවා නම් ඊට කීකරු වෙන්න පහසුයි. ඔබ එසේ කළොත් ඉදිරියේදී වැඩි නිදහසක් බලාපොරොත්තු විය හැකියි.—ලූක් 16:10.

දෙවන අභියෝගය: වේලාසනින් නිවසට පැමිණෙන ලෙස දෙමාපියන් පවසන්නේ ඇයි කියා තේරුම්ගන්න නොහැකි වීම.

නිකී නම් යෞවනිය පැවසුවේ මෙසේයි. ‘මගේ අම්මා එහෙම කරන්නේ නීති දාන්න එයාට තියෙන ආසාව නිසා කියලා මට හිතුණු කාලයක් තිබුණා.’

උපකාරවත් වන දේ: බයිබලයේ සඳහන් මේ උපදෙස සිතට ගන්න. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වන්නේය. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් ස්ථිර වෙයි.” (හිතෝපදේශ 15:22, නව ලොව පරිවර්තනය) ඔබේ ගැටලුව ගැන සන්සුන්ව දෙමාපියන් සමඟ කතා කරන්න. ඔවුන් එවැනි වෙලාවක් නියම කරන්නේ ඇයි කියා ඔවුන්ගෙන් විමසන්න. *

ඉන් ඇති ප්‍රයෝජන: ඔබේ දෙමාපියන් පවසන දෙයට සවන් දීමෙන් ඔවුන් එම නීති දමන්නේ ඇයි කියා හොඳින් අවබෝධ කරගැනීමට ඔබට හැකියි. ස්ටීවන් නම් යෞවනයා මෙසේ පවසනවා. “මං ගෙදර එනකල් මගේ අම්මට නින්ද යන්නේ නැහැ කියලා මට මගේ තාත්තා කිව්වා. මම ඒ ගැන මීට කලින් කවදාවත් හිතලා තිබුණේ නැහැ.”

යම් දෙයක් ගැන වාද කරනවාට වඩා ඒ ගැන සන්සුන්ව කතා කිරීම හොඳම දෙය බව මතක තබාගන්න. එමගින් හුඟක් හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි. කලින් අදහස් දැක්වූ නටාෂා පැවසුවේ මෙසේයි. “මගේ අම්මයි තාත්තයි එක්ක වාද කරගෙන මම එයාලව තරහා ගැස්සුවොත් මම කරන්න ආසා කරන සමහර දේවලටත් ඔවුන් සීමා තහංචි දානවා.”

තුන්වන අභියෝගය: ඔබේ ජීවිතය දෙමාපියන් විසින් පාලනය කරන බව හැඟීම.

සමහර වෙලාවට දෙමාපියන් අපේම හොඳට නීති දමන බව පවසනවා. ඒ ගැන 20හැවිරිදි ඩියෑනා පැවසුවේ මෙසේයි. “මගේ අම්මයි තාත්තයි එහෙම කියද්දී මට යම් තේරීමක් කරන්න නැත්නම් මගේ අදහස්වලට කිසිම තැනැක් නැහැ කියලා මට හැඟෙනවා.”

උපකාරවත් වන දේ: බයිබලයේ සඳහන් යේසුස් පැවසූ මේ උපදෙස අදාළ කරගන්න උත්සාහ කරන්න. “යම් නිලධාරියෙකු එක සැතැප්මක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතැප්ම දෙකක් යන්න.” (මතෙව් 5:41) ඇෂ්ලිසහ ඇගේ අයියා මේ උපදෙස ප්‍රායෝගිකව අදාළ කරගන්න මේ වගේ දෙයක් කළා. ඇය පැවසුවේ මෙසේයි. “අපි උත්සාහ කළා දෙමාපියන් අපිට එන්න කියලා තියෙන වෙලාවට වඩා විනාඩි 15කට කලින් ගෙදර යන්න.” ඔබටත් එසේ කළ හැකිද?

ඉන් ඇති ප්‍රයෝජන: යම් දෙයක් කරන්න ඕනේ නිසා නොව ඔබේම කැමැත්තෙන් එය කරනවා නම් ඉන් ඔබට මහත් ප්‍රීතියක් අත් කරගත හැකියි. මේ ගැන සිතා බලන්න. නියම කර ඇති වෙලාවට කලින් නිවසට පැමිණිය යුතුයි කියා ඔබම තීරණය කරනවා නම් දෙමාපියන් පනවා තිබෙන සීමාව තුළ ඉන්න ඔබට ලෙහෙසියි. එවිට ඔබ අදාළ කරගන්නේ බයිබලයේ සඳහන් මේ ප්‍රතිපත්තියයි. “ඔබ කරන යහපත් ක්‍රියාව බල කිරීම නිසා නොව, ඔබේම කැමැත්තෙන් කරන දෙයක් විය යුතුය.”—ෆිලෙමොන් 14.

වේලාසනින් ගෙදර යන විට ඔබ ගැන දෙමාපියන්ට ඇති විශ්වාසයත් වැඩි වෙනවා. එමනිසා වැඩි නිදහසක් දීමට දෙමාපියන් පවා පෙලඹෙයි. දහඅටවන වියේ පසුවන ඩේවිඩ් පැවසුවේ “ඔබ දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගත්තොත් ඔවුන් ඔබට වැඩි නිදහසක් දෙයි” කියායි.

මේ කාරණය සම්බන්ධයෙන් ඔබට මුහුණ දීමට සිදු වන තවත් අභියෝගයක් ලියන්න.

ඊට සාර්ථකව මුහුණ දීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

එය ප්‍රයෝජනදායක වන බව ඔබට හැඟෙන්නේ ඇයි?

ඔබ වැඩිහිටියෙක් වූ පසු දෙමාපියන්ගෙන් වෙන් වී යනවා. එවිට ඔබට දැනට වඩා වැඩි නිදහසක් භුක්ති විඳීමට හැකි වේවි. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න. විසිහැවිරිදි ටිෆානි පැවසුවේ මෙසේයි. “ඔබට අවශ්‍ය විදිහට නිදහස දැන් නැතුව ඇති. නමුත් දෙමාපියන් පනවන නීතිවලට කීකරු වීමෙන් ඔබේ යෞවන කාලය නාස්ති නොකර ගත කරන්න ඔබට පුළුවන්.”

^ 4 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 21 ඡේ. වර්ෂ 2006 දෙසැම්බර් පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . මේ තරම් නීති මොකටද” යන ලිපිය බලන්න.

සිතා බලන්න

  • වෙලාව සම්බන්ධයෙන් දෙමාපියන් ඔබට පනවා ඇති නීතියෙන් ඔවුන් ඔබ ගැන සැලකිල්ල දක්වන බව පෙන්වන්නේ කෙසේද?

  • ඔබ එවැනි නීතියක් කඩ කර ඇත්නම් දෙමාපියන්ගේ විශ්වාසය නැවත දිනාගන්නේ කෙසේද?