Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

නියම පිරිමියෙක් වෙන්න මට පුළුවන් වෙයිද?

නියම පිරිමියෙක් වෙන්න මට පුළුවන් වෙයිද?

“තාත්තා මැරෙද්දි මට අවුරුදු තුනයි. තාත්තලා ඉන්න පිරිමි ළමයින්ට වගේ ආත්ම ශක්තියක් මට නෑ. ඒ ළමයින්ව දැක්කම වෙලාවකට මට තරහත් යනවා.”—ඇලෙක්ස්. *

“තාත්තට මං එච්චර කිට්ටු නෑ. නියම පිරිමියෙක් වෙන්න මං ඉගෙනගත්තේ තනියම.”—ජොනතන්.

ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? ‘කවදාවත් නියම පිරිමියෙක් වෙන්න බැරි වෙයි’ කියලා ඔයාට හිතෙනවාද?

අධෛර්යය වෙන්න එපා! අපි බලමු ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද කියලා.

1වෙනි අභියෝගය: පිරිමිකම ගැන තියෙන වැරදි මත

සමහර අය කියන්නේ:

  • නියම පිරිමියෙක් අඬන්න බෑ. තදට ඉන්න ඕනේ.

  • කරන්න ඕන දේ පිරිමියෙක්ට කවුරුත් කියන්න ඕන්නෑ.

  • ගෑනුන්ට වඩා පිරිමි හොඳයි.

මෙහෙම හිතන්න: නියම පිරිමිකම කියන්නේ පිරිමි දරුවෙක්ට වඩා හොඳ අවබෝධයෙන් වැඩ කරන එකටයි. මොකද බයිබල් ලේඛකයෙක් වුණු පාවුල් කිව්වේ “මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළෙත් යම් දේවල් ගැන සිතුවෙත් අවබෝධ කරගත්තෙත් කුඩා දරුවෙකු ලෙසය. නමුත් මා දැන් වැඩිහිටියෙකි. එහෙයින් කුඩා දරුවෙකුට තිබෙන ගතිලක්ෂණ මම අහක දමා ඇත” කියලයි. (1 කොරින්ති 13:11) ඉතිං ඔයා බොළඳ විදිහට කටයුතු කරන්නැතුව හොඳට හිතලා බලලා කතා කරද්දී වැඩ කරද්දී ඔයා නියම පිරිමියෙක් විදිහට කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්. *

මෙහෙම කරන්න: කොළයක් අරන් මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න.

  1. දැනටමත් මං නවත්තලා තියෙන්නේ මොන වගේ බොළඳ දේවල්ද?

  2. මං තව හදාගන්න ඕන පැති මොනවාද?

මේක කියවලා බලන්න: ලූක් 7:36-50. යේසුස් (1) හරි දේ වෙනුවෙන් කෙළින් හිටියා. (2) කාන්තාවන් ඇතුළු හැමෝටම ගරු කළා. ඒකෙන් යේසුස් නියම පිරිමියෙක් බව ඔප්පු කළේ කොහොමද කියලා හිතලා බලන්න.

“කෙන් මගේ යාළුවෙක්. මං එයාට ගොඩක් ගරු කරනවා. මොකද එයා යෙහෝවා දෙවිට ආදරෙයි. ලේසියෙන් මානසිකව වැටෙන්නෙත් නෑ. ඇඟපත හයිය වුණාට හරිම කරුණාවන්තයි. නියම පිරිමියෙක් කවදාවත් අනිත් අයව පහත් කරන්නෑ කියලා මං ඉගෙනගත්තෙ එයාගෙන්.”—ජොනතන්.

2වෙනි අභියෝගය: තාත්තා කෙනෙක්ගේ පුහුණුව නොලැබීම

සමහර අය කියන්නේ:

  • පුතෙක් ළඟ තාත්තෙක් නැත්තං පුතාට කවදාවත් නියම පිරිමියෙක් වෙන්න බෑ.

  • ගහේ කටු උල් කරන්න ඕන්නෑ. තාත්ත ගිය පාරෙම තමයි පුතා යන්නෙත්.

මෙහෙම හිතන්න: ඔයාගේ ළමා කාලෙදි තාත්තගෙන් හරි හමං පුහුණුවක් ලැබුන්නැති හින්දා ඔයාට නියම පිරිමියෙක් වෙන්න බැහැ කියලා හිතන්න එපා. ඔයා ඉන්න තත්වෙන් ගොඩ එන්න ඔයාට පුළුවන්. (2 කොරින්ති 10:4) දාවිත් රජ එයාගෙ පුතාට මෙහෙම කිව්වා. “ඔබ හිතට ධෛර්යය ගෙන එඩිතරව කටයුතු කරන්න.” (1 රාජාවලිය 2:2) ඒ උපදෙස ඔයත් අනුගමනය කරන්න.

තාත්තා ඔයා ගැන සැලකිලිමත් වුණේ නැත්නම් හරි තාත්ත ඔයාලත් එක්ක ජීවත් වෙන්නැත්නම් හරි ලේසි නෑ තමයි. ඒ ගැන ඇලෙක්ස් කිව්වෙ මෙහෙමයි. “තාත්තා කෙනෙක් නැති එක ලොකු පාඩුවක්. මට දැන් අවුරුදු 25යි. ඒ වුණත් අවුරුදු 12දී 13දී ඉගෙනගන්න ඕනෙ දේවල් ඉගෙනගන්නෙ දැන් කියලයි මට හිතෙන්නේ.” ඔයාටත් හිතෙන්නෙ එහෙම නම් කරන්න පුළුවන් මොනවද?

මෙහෙම කරන්න: ඔයාට පුහුණුවක් දෙන්න පුළුවන් අද්දැකීම් තියෙන ආදර්ශවත් තාත්තා කෙනෙක් වගේ කෙනෙක්ව තෝරගන්න. * නියම පිරිමියෙක් වෙන්න නම් මොන වගේ ගුණාංගද තියෙන්න ඕනේ කියලා එයාගෙන් අහන්න. ඒ ගුණාංග ඇති කරගන්න ඔයාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලත් අහන්න.—හිතෝපදේශ 1:5.

මේක කියවලා බලන්න: හිතෝපදේශ 1-9 දක්වා පරිච්ඡේද. යෙහෝවා දෙවිව සතුටු කරන ඥානවන්ත පුරුෂයෙක් වෙන්න පිරිමි ළමයෙකුට උදව් වෙන දේවල් එතන පෙන්නලා තියෙනවා. ඒවා කියලා තියෙන්නේ තාත්තා කෙනෙක් පුතෙක්ට ඔවදන් දෙනවා වගේ.

“ඉස්සර හිටිය තත්වෙට වඩා මං දැන් ගොඩක් වෙනස් කියලා මට තේරෙනවා. හැබැයි තාත්තත් ළඟින්ම ඉඳලා ධෛර්යය දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. ඒත් මං ඒ ගැන දුක් වෙන්නෑ. මොකද මං දන්නවා හොඳ පිරිමියෙක් වෙන්න මට පුළුවන් කියලා.”—ජොනතන්.

 

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 24 ඡේ. සභාවේ ඉන්න වැඩිමහල්ලෙක් තෝරගන්න පුළුවන්.

දෙමව්පියන්ගෙන් අසන්න.

නියම පිරිමියෙක් කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ටද? මං ඒ තත්වෙට ඇවිල්ලා කියලා ඔයගොල්ලෝ හිතනවද?