Skip to content

පටුනට යන්න

ටහිටි දූපතෙහි ක්‍රිස්තු ධර්මය පැතිරී ගිය අයුරු

ටහිටි දූපතෙහි ක්‍රිස්තු ධර්මය පැතිරී ගිය අයුරු

ටහිටි දූපතෙහි ක්‍රිස්තු ධර්මය පැතිරී ගිය අයුරු

ටහිටිහි පිබිදෙව්! ලේඛක විසින්

දහඅට වන සියවසේ අගභාගයේදී යුරෝපය පුරාම ක්‍රිස්තු ධර්මය ප්‍රචලිත වෙන්න පටන්ගත්තා. පසු කාලයකදී මිෂනාරිවරයෙක් වූ බ්‍රිතාන්‍යයේ විසූ විලියම් කැරේ බයිබලය ගැන නොදන්නා අය වෙසෙන ටහිටි දූපත ඇතුළු වෙනත් රටවලට ගොස් ඒ ගැන දේශනා කිරීමට රෙපරමාදු භක්තිකයන්ව පෙලඹුවා. ඔහු එසේ කළේ සියලුම ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න කියා යේසුස් දුන් ආඥාවට කීකරු වීමක් හැටියටයි. (මතෙව් 28:19, 20) වර්ෂ 1802දී ප්‍රංශ ලේඛකයෙක් ඔහුගේ එක් පොතක සඳහන් කළේ ඒ කාලයේ විසූ කතෝලික භක්තිකයන්ද එලෙස මිෂනාරි සේවය සඳහා උනන්දුවක් දැක්වූ බවයි.—Le Génie du christianisme.

ඒ කාලයේදී කතෝලික හා රෙපරමාදු මිෂනාරි සමිති සමාගම්ද බිහි වෙන්න පටන්ගත්තා. වර්ෂ 1797දී ලන්ඩන් මිෂනාරි සමිතිය විසින් රෙපරමාදු මිෂනාරිවරුන් 29දෙනෙකුව ටහිටිවලට පිටත්කර යැව්වා. වර්ෂ 1841දී කතෝලික ධර්මයට අයත් නිකායක (Picpus Fathers) මිෂනාරිවරු කණ්ඩායමක්ද එම දූපතට ගිය අතර ඉන් වසර තුනකට පසුව මෝර්මන් පල්ලියේ මිෂනාවරු කණ්ඩායමක්ද ටහිටි බලා පිටත් වුණා. නමුත් වැඩිකල් යන්න මත්තෙන් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් බයිබලය ගැන මිනිසුන්ට ඉගැන්වීමට තිබෙන ඔවුන්ගේ අරමුණින් බැහැරව කටයුතු කරන්න පටන්ගත්තා. ඒ අනුව ඔවුන් දේශපාලනික හා වෙළඳ කටයුතුවල නියැලුණා. ඔවුන් එලෙස කටයුතු කළේ ඇයි?

ප්‍රධානීන් සමඟ මිත්‍ර වූ අයුරු

මුල් කාලයේදී මිනිසුන් රෙපරමාදු මිෂනාරිවරුන්ගේ ඉගැන්වීම් එතරම් පිළිගත්තේ නැහැ. එක් ලේඛකයෙක් ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඔවුන්ගේ ඉගැන්වීම් බොහෝදුරට පදනම් වුණේ ගින්නෙන් හා ගෙන්දගම්වලින් දැවෙන නිරයක නිමක් නැති වේදනාවක් ගැන මිස ප්‍රේමය හෝ දයානුකම්පාව මත නොවෙයි.” කෙසේවෙතත් ආගමික නායකයන් මුල් පියවර ගන්නා තුරු කිසිම වැසියෙක් බව්තීස්මය සඳහා ඉදිරිපත් නොවන බව වැඩි කල් යන්න කලින් මිෂනාරිවරුන් තේරුම්ගත්තා. ඒ නිසා ඔවුන් මුලින්ම ආගමික නායකයන්ව ඉලක්ක කරගත්තා.

එවැනි එක් නායකයෙක් තමයි දෙවන පෝමාරෙයි. මුලින්ම මිෂනාරිවරුන් තම පණිවුඩය ඔහුට පැවසූ අතර පෝමාරෙයිද ඔවුන්ව සාදරයෙන් පිළිගත්තා. ආර්ථික හා දේශපාලනික කටයුතු සඳහා හවුල් කරගැනීමට මිෂනාරිවරුන් තුළ සුදුසුකම් තිබෙන බව ඔහු දැක්කා. අනික් අතට මිෂනාරිවරුන්ද සිතුවේ තමන්ගේ අරමුණ ඉටු කරගැනීම සඳහා පෝමාරෙයිගෙන් සහය ලබාගත හැකි බවයි. කොහොමවුණත් මුල් කාලයේදී වෙනත් රටවලින් එන වෙළඳුන් හා ටහිටි වැසියන් අතර අතරමැදියන් ලෙස කටයුතු කිරීමට මිෂනාරිවරුන්ට සිදු වුණා.

තම යටි අරමුණු ඉටු කරගැනීම සඳහා පෝමාරෙයි මිෂනාරිවරුන්ගේ පණිවිඩයට තමන් උනන්දුව දක්වන බව පෙන්වූවා. ඒ නිසා 1811දී ඔහු මිෂනාරිවරුන්ගෙන් බව්තීස්ම වීමට ඉල්ලා සිටි අතර ඊට පසු වසරේදී ඔහු ඒ බව ලිපියකින් දැන්වූවා. කෙසේවෙතත් වසර අටක් යනතුරුම ඔහුගේ ඉල්ලීම ඉටු වුණේ නැහැ. මන්ද මිෂනාරිවරුන්ට අවශ්‍ය වුණේ ඇත්තටම පෝමාරෙයි බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත් වෙනවාද කියා ස්ථිර කරගැනීමටයි.

මේ අතරතුර කාලයේදී පෝමාරෙයි ටහිටි හා ඒ අවට පිහිටි සොසයටි දූපත්වල රජ බවට පත් වුණා. ඉන්පසුවත් පෝමාරෙයි බව්තීස්ම වීමට ඉල්ලා සිටි අතර 1819දී මිෂනාරිවරුන් ඔහුගේ ඉල්ලීම ඉටු කළා.

ප්‍රතිඵලය වුණේ වසර පහක් ඇතුළත සොසයටි දූපත්වල හා ටුආමොටු කොදෙව් දූපත්වල සියලු වැසියන්ද ඕස්ට්‍රල් දූපත්වල වැසියන්ගෙන් අඩක් පමණද ක්‍රිස්තු ධර්මය වැලඳගැනීමයි.

පෝමාරෙයිගේ නීති සංග්‍රහය

ක්‍රිස්තු ධර්මය වැලඳගත් බොහෝදෙනා පැරණි අණපනත් වෙනුවට අලුත් නීති සංග්‍රහයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා පෝමාරෙයි මිෂනාරිවරුන්ගේ සහය පැතුවා. නමුත් මිෂනාරිවරුන් දිගුකාලීන ප්‍රයෝජන තකා ගෝත්‍රික නීති රීති ප්‍රතිසංස්කරණය කිරීමට හා රජුගේ බලය සීමා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූවා. කෙසේවෙතත් පසුව මිෂනාරිවරුන් රජුගේ ඉල්ලීමට එකඟ වී අලුත් නීති සංග්‍රහයක් සම්පාදනය කළා. එක් පොතක ඒ නීති සංග්‍රහය ගැන සඳහන් වූයේ මෙසේයි. “එය බ්‍රිතාන්‍යයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, බයිබල් ප්‍රතිපත්ති හා ක්‍රිස්තු ධර්මයේ චාරිත්‍ර වාරිත්‍ර අළලා සම්පාදනය කළ එකක්.” පසුව රජ විසින් කිහිපවිටක්ම එම නීති සංශෝදනය කළා. එය ටහිටිහි ප්‍රථම ලිඛිත නීති සංග්‍රහය බවට පත් වූ අතර පෝමාරෙයිගේ නීති සංග්‍රහය ලෙස එය හැඳින්වූවා.

එම නීති සංග්‍රහය ටහිටි අවට දූපත් සහ කොදෙව් දූපත් අතරද ක්‍රියාත්මක වුණා. එම නීතිවලට අනුව සබත පැවැත්වීම අනිවාර්යය වුණා. එමෙන්ම ලිංගික දුරාචාරය, නීතියෙන් විවාහ වී සිටියදී තවත් විවාහයක් කරගැනීම, සොරකම හා කැරලිකාරකම වැනි දේවලට ලැබෙන දඬුවම්ද එහි සඳහන් වුණා. තවදුරටත් මිනීමැරීම හා බිළිඳුන්ව ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම කර තිබූ අතර ලිංගික හැඟීම් අවුස්සන විනෝදාංශද එමගින් තහනම් කරනු ලැබුවා.

දේශපාලනයට හවුල් වීම

එක් පොතක රෙපරමාදු මිෂනාරිවරුන් ගැන සඳහන් වුණේ මෙසේයි. “ඔවුන් දේශපාලනික කටයුතුවල තදින්ම නියැලුණා. ඔවුන් ආගමික කටයුතුවලට වගේම රටේ හමුදාමය කටයුතු සැලසුම් කරන්නන් ලෙසද, ආර්ථික උපදේශකවරුන් ලෙසද, දේශපාලනඥයන් හා නීති සම්පාදකයන් ලෙසද කටයුතු කළා.” ඒ වගේම මෝර්මන් හා කතෝලික මිෂනාරිවරුන්ද දේශපාලන හා මහජන කටයුතුවල මූලිකත්වය ගෙන ක්‍රියා කළා. ඕස්ට්‍රල් දූපත්වලට අයත් ටුබුආයි දූපතේ විසූ එක් මෝර්මන් මිෂනාරිවරයෙක් තරයේම කියා සිටියේ මෙසේයි. ‘ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ පල්ලියෙනුයි. එහි අගමැති මමයි.’ ගැම්බියර් දූපත්වල සිටි කතෝලික මිෂනාරිවරුන්ද එවැනිම ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ අතර එහි සිටි එක් පූජකයෙක් රජයේ අමාත්‍යවරයෙක් ලෙසද සේවය කළා.—Where the Waves Fall.

ආගම දේශනා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවී එම මිෂනාරිවරුන් “ඔවුන්ගේ පණිවුඩය පැතිර වීම සඳහා දේශපාලනය යොදාගත්තා” කියා ඉතිහාසඥවරියක් වන ක්ලෙයාර් ලෝ පැවසුවා. ඔවුන් සිතුවේ ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීමට වාසිදායකම ක්‍රමය එය බවයි. එසේ කිරීම තුළින් මිෂනාරිවරුන් පල්ලියේ මඟ පෙන්වීම්වලට පටහැනිව ක්‍රියා කළා. අද වනතුරු ප්‍රංශ පොලිනීසියාවේ ආගම් හා දේශපාලනය එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරනවා.

වෙළඳ කටයුතුවල නිරත වීම

සමහර මිෂනාරිවරුන් “දේශපාලන කටයුතුවල මෙන්ම වෙළඳ කටයුතුවලද නිරත වී සිටි” බව ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීල් ගන්සන් පැවසුවා. බොහෝ මිෂනාරිවරුන් විවිධ භාණ්ඩ සපයන්නන්, වෙළඳ නැව් සාදන්නන් හා වැවිලිකරුවන් බවටද පත් වුණා. ඔවුන් වගා කළ බෝග අතරට හුළං කීරිය, කෝපි, කපු, උක්, දුම්කොළ අයත් වුණා.

මිෂනාරිවරුන් තම වෙළඳ කටයුතු කොතරම් හොඳින් කරගෙන ගියාද කියනවා නම් ඔවුන් වසර 25ක් තිස්සේම ඕස්ට්‍රේලියාව හා ටහිටි අතර වෙළඳ භාණ්ඩ හුවමාරු කරගත්තා. ඒවා අතරට ඌරුමස් හා පොල්තෙල් අයත් වුණා. නමුත් සමහර මිෂනාරිවරුන් ඒ ගැන අසතුටට පත් වූ අතර ඔවුන් ලන්ඩන් මිෂනාරි සමිතියට ඒ ගැන පැමිණිලි කළා. අනික් අතට වෙනත් මිෂනාරිවරුන් සිතුවේ තමන්ගේ ආගමික අරමුණු ඉටු කරගැනීමට වෙළඳාම ඉතා ප්‍රයෝජනදායක බවයි. ඒ ඇයි?

මිෂනාරිවරුන් එම දූපතට පැමිණි දා සිට ඔවුන් එහි වැසියන්ව ආකර්ෂණය කරගැනීම සඳහා ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් හා ඔවුන් නිෂ්පාදනය කළ භාණ්ඩ උපයෝගී කරගත්තා. ජීවිතය සැපවත් විදිහට ගත කළොත් මිනිසුන්ට ප්‍රීතියෙන් සිටිය හැකි වෙයි කියා මිෂනාරිවරුන් සිතුවා. ඒ නිසා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ධන සම්පත් අත් කරගැනීමට ඔවුන් මිනිසුන්ව දිරිමත් කළා. එය දෙවිගෙන් ලැබුණු ආශීර්වාදයක් ලෙස ඔවුන් පෙන්වා දෙමින් මිනිසුන්ව ඒ වෙත වැඩි වැඩියෙන් නැඹුරු කළා.

මිනිසුන් ක්‍රිස්තු ධර්මය වැලඳගත්තේ ඇයි?

ලන්ඩන් මිෂනාරි සමිතියේ සිටි එක් ඉතිහාසඥයෙක් මෙවැනි දෙයක් පැවසුවා. එම දූපත්වල බොහෝදෙනෙක් ක්‍රිස්තු ධර්මය ඉක්මනින්ම වැලඳගත්තේ “හරි දේ කිරීමට ඔවුන්ට තිබෙන අවංක ආසාව නිසාවත් දෙවි සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහාවත් නොවෙයි.” ඊට ඇත්තටම බලපෑ හේතුව ගැන නීල් ගන්සන් මෙසේ පැවසුවා. ඔවුන් ආගම වැළඳගත්තේ “මිෂනාරිවරුන් ඉගැන්වූ ආගමික විශ්වාසයන් නිසා නොවෙයි. නමුත් දෙවන පෝමාරෙයි එය වැලඳගත් නිසයි.”

ඒ ආකාරයට බොහෝ ටහිටි වැසියන් නාමික ක්‍රිස්තියානීන් බවට පත් වුණා. වසර කිහිපයකට පසු ඔවුන් මාමායා යන ආගමික නිකාය ඔස්සේ නැවතත් මිථ්‍යා ඇදහිලි ක්‍රමවලට ඇදී ගියා. මාමායා නිකායේ ඉගැන්වීම් ක්‍රිස්තියානී ඉගැන්වීම් සමඟ මිශ්‍ර වූ අතර රජකමට උරුමකම් කියන අයද එවැනි නමස්කාරවල යෙදුණා.

රෙපරමාදු ආගමට අයත් නිකායන් වන එංගලන්ත සභාව, කැල්වින්වාදීන් හා මෙතෝදිස්තවරුන් අතර නිතරම බොහෝ මතභේදයන් ඇති වුණා. එමෙන්ම රෙපරමාදු භක්තිකයන් හා කතෝලික බැතිමතුන් එකිනෙකාට වෛර කළා. එක් පොතක ඒ ගැන මෙසේ පවසනවා. “දූපත් වැසියන් එම නිකායන් අතර වෙනස හොඳින් හඳුනාගෙන තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් අතර ආරවුල් ඇති වෙන්නේ ඇයි කියා වටහාගන්න වැසියන්ට නොහැකි වුණා.” (The Cambridge History of the Pacific Islanders) නිදසුනකට එක් අවස්ථාවකදී කතෝලික මිෂනාරිවරුන් දෙදෙනෙක් ටහිටි දූපතට පැමිණි විට කලින් ප්‍රධාන පෙළේ රෙපරමාදු මිෂනාරිවරයෙකුගේ අණ පරිදි ඔවුන් දෙදෙනාව පිටුවහල් කරනු ලැබුවා. එම සිද්ධිය මහත් ආරවුලකට තුඩු දුන් අතර ටහිටි, ප්‍රංශ පාලනය යටතේ තිබිය යුතු බව බ්‍රිතාන්‍යය විසින් පිළිගත් නිසා එය සමතයකට පත් වුණා.

සිදු වූ යහපත

ටහිටි වැසියන්ට ලිඛිත භාෂාවක් තිබුණේ නැති නිසා ටහිටියානු ලිඛිත භාෂාව හඳුන්වා දීමෙන් මිෂනාරිවරුන් කිහිපදෙනෙක් විශාල මෙහෙවරක් ඉටු කළා. එමෙන්ම වැසියන් අතර පැවති බිළිඳු ඝාතනය, මිනීමස් කෑම හා බිලි පූජා වැනි දේ නැවැත්වීමට ඔවුන් පියවර ගත්තා. සමහර මිෂනාරිවරුන් ඉතා දැඩි අය වුණත් ඔවුන් දූපත් වැසියන්ගේ සදාචාර මට්ටම යහපත් තත්වයකට ගෙන ඒමට වෙහෙස වී වැඩ කළා.

එම මිෂනාරිවරුන් කළ වටිනාම ක්‍රියාව වූයේ බයිබලය ටහිටියානු භාෂාවට පරිවර්තනය කිරීමයි. ඒ තුළින් දූපත් වැසියන් සියලුදෙනාටම දෙවිගේ නාමය දැනගැනීමට හැකි වුණා. ඒ නාමය අදටත් ඒ වැසියන් අතර ප්‍රචලිතයි. *ගීතාවලිය 83:17.

[පාදසටහන]

[15වන පිටුවේ කොටුව]

‘ඔබ ලෝකයේ කොටසක් නොවෙයි’

යේසුස් ක්‍රිස්තුස් ඉහත පැවසූ වචන සැබෑ ක්‍රිස්තියානීන්ට අනුගමනය කිරීමට කදිම ප්‍රතිපත්තියක්. (යොහන් 15:19) එය කොතරම් වැදගත්ද කියා යේසුස් දෙවිට කළ යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” (යොහන් 17:16) යේසුස් ඊට එකඟව කටයුතු කළා. ඔහු කිසිම ආකාරයකින් දේශපාලනයට සම්බන්ධ වුණේවත් මිනිසුන්ව ගෝලයන් කිරීමට එය යොදාගත්තේවත් නැහැ. යේසුස් ඉහත සඳහන් කළ ලෝකයට ඇතුළත් වන ධන සම්පත් පසුපස හඹා යෑමේ ආකල්පයද ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු තම ගෝලයන්ගේ අවධානය යොමු කළේ සරල ජීවිතයක් ගත කරමින් දෙවි සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමටයි. (මතෙව් 6:22-24, 33, 34) සැබෑ ක්‍රිස්තියානීන්ද එය අනුකරණය කරනවා.

[13වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1797දී මුල්ම මිෂනාරිවරුන්ව පිළිගැනීම

[හිමිකම් විස්තර]

The Granger Collection, New York

[14වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1845දී පමණ ක්‍රිස්තු ධර්මය වැලඳගත් ටහිටි වැසියන් දෙදෙනෙක් මිෂනාරිවරයෙක් සමඟ

[14වන පිටුවේ පින්තූරය]

දෙවන පෝමාරෙයි රජ

[15වන පිටුවේ පින්තූරය]

ටහිටි දූපත සහ එහි අගනුවර වන පපීට්

[හිමිකම් විස්තර]

Photo courtesy of Tahiti Tourisme

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Left: Photo by Henry Guttmann/​Getty Images; right: Collection du Musée de Tahiti et de ses Îles, Punaauia, Tahiti