Skip to content

පටුනට යන්න

ගෝරිල්ලා පැටවෙකුගේ දුක්බර කඳුළු

ගෝරිල්ලා පැටවෙකුගේ දුක්බර කඳුළු

ගෝරිල්ලා පැටවෙකුගේ දුක්බර කඳුළු

කැමරූන් පිබිදෙව්! ලේඛක විසින්

මධ්‍යම අප්‍රිකානු වනාන්තරයක ජීවත් වූ එක් ගෝරිල්ලා පැටවෙකුට යන්තම් අවුරුද්දක් වුණා විතරයි. උගේ අම්මවයි, යාළුවන්වයි දඩයක්කරුවන් විසින් මස් ලබාගැනීම සඳහා මරා දැමුවා. ඌ කුඩා පැටියෙක් වූ නිසා ඌට කිසි කරදරයක් කළේ නැහැ. මව්පියන් නැති දුක දරාගන්න බැරිව මේ පුංචි පැටියා නොනවත්වාම කඳුළු සැළුවා. ඒ විතරක් නෙවෙයි කාගෙවත් රැකවරණයක් නැති නිසා ඌ හොඳටම අසනීප වුණා.

මේ ගෝරිල්ලා පැටවා අනාථ වූ වානර විශේෂ අතරින් තවත් එක් සතෙක් විතරයි. මෙසේ සතුන් අසරණ වෙන්න හුඟක් හේතු බලපානවා. නීති විරෝධි දඩමස් ව්‍යාපාරය ඊට එක් හේතුවක්. නමුත් දඩමස්වලට තිබෙන අධික ඉල්ලුම නිසා දක්ෂ දඩයක්කරුවන් දිවා රෑ නොබලා ගෝරිල්ලන්ව දඩයම් කිරීමට වෙහෙසෙනවා. එසේ දඩයම් කරන ගෝරිල්ලන්ව දඩමස් ලෙස හෝ සුරතල් සතුන් ලෙස ජාත්‍යන්තර වෙළඳපොළේ පවා විකුණනවා. මේ නීති විරෝධී ව්‍යාපාරයෙන් හුඟක්ම අතමිට සරු කරගන්නේ එහි අතරමැදියනුයි.

එවැනි සත්ව විශේෂ වඳ වී යාමට බලපාන තවත් හේතුවක් වන්නේ කැලෑ එළි කිරීමයි. කැලෑ එළි කිරීමෙන් සතුන්ට උන් හිටි තැන් අහිමි වෙනවා විතරක් නොවෙයි උන්ගේ බෝවීමටද එය බාධාවක්. ඒ විතරක් නොවෙයි ඉන්න හිටින්න තැනැක් නැතිව අයාලේ යන සතුන්ව තම උගුලට හසු කරගන්න දඩයක්කරුවන්ට ඉතාමත් පහසුයි. තවදුරටත් ජනගහනය වර්ධනය, ආහාර ඉල්ලුම වැඩිවීම, නිවාස තැනීම සහ නගර පුළුල් වීම වැනි හේතුද වක්‍රාකාරව හෝ සතුන් වඳ වී යෑමට බලපානවා. එමෙන්ම දිනෙන් දින දියුණු වන තාක්ෂණය මගින් පහසුවෙන් දඩයම් කළ හැකි උපකරණ හඳුන්වා දීමත් සතුන් වඳ වී යෑමට තවත් හේතුවක්. ඍජුව හෝ වක්‍රාකාරව බලපාන මේ හේතු සියල්ලේම ප්‍රතිඵලය සතුන් නොමැති වනාන්තර බිහිවීම විය හැකියි. එසේ සතුන් වඳ වී යෑම ශාක බෝවීමටද බෙහෙවින් බලපානවා. ඊට හේතුව බීජ ව්‍යාප්තිය සඳහා සතුන්ගෙන් වැදගත් කාර්යයක් ඉටු වීමයි.

සතුන් වඳ වීමෙන් පරිසරයට මොන බලපෑමක් එල්ල වුණත් දඩයමේ නම් කිසි අඩුවක් නැහැ. නිදසුනකට එක් ගණනය කිරීමකට අනුව බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල සිටි වානර විශේෂ වසර දහයක් ඇතුළත දහයෙන් එකක්ම වඳ වී ගොස් තිබෙනවා. කැමරූන්හි වනජිවීන් පිළිබඳ අධ්‍යයනය කරන අය පවසන්නේ “මේ විදිහට ගෝරිල්ලන්ව දිගටම දඩයම් කළොත් ඉක්මනින්ම උන් වනාන්තරවලින් තුරන් වෙලා යයි” කියායි. *

අනාථයන් රැකගැනීම

සතුන් මුහුණ දෙන එම දුක්ඛිත තත්වයට පිළියමක් හැටියට විවිධ සංරක්ෂිත ආයතන පිහිටුවා තිබෙනවා. බටහිර අප්‍රිකාවේ තිබෙන ලිමී වනජිවී සංරක්ෂණ ආයතනය ඉන් එකක්. ඒවා මගින් වඳ වී යන සත්ව විශේෂයන්ට රැකවරණය සලසනවා. ලිමී සංරක්ෂණ ආයතනයේ ගෝරිල්ලන්, චිම්පන්සින්, මැන්ඩ්‍රිල්ස් සහ තවත් වානර විශේෂ 13ක් සහ වෙනත් සතුන් ගණනාවක් දැකගන්න පුළුවන්. මෑත වසර කිහිපය තුළ අනාථ වූ සහ අවතැන් වූ සතුන් 200ක් පමණ එම ආයතනය මගින් රැකබලා ගෙන තිබෙනවා. එම ආයතනය මගින් සපයන තවත් සේවාවක් වන්නේ සතුන්ව බැලීමට පැමිණෙන සංචාරකයන්ව දැනුවත් කිරීමයි. මෑත වර්ෂ කිහිපය තුළ සංචාරකයන් 28,300කට වඩා වැඩි සංඛ්‍යාවකට සතුන්ව ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අවබෝධ කර දී තිබෙනවා.

මේ ලිපියේ කලින් කතා කළ ගෝරිල්ලා පැටවාත් ලිමී සංරක්ෂණ ආයතනයට ගෙන ආ අනාථ වූ සතෙක්. මව්පියන් නැති දුකෙන් අඬ අඬා සිටිය මේ හුරතල් පැටියාව දැක්ක අයට දැනුණු වේදනාව නිසා ඌව ඒ ආයාතනයට භාර දුන්නා. එහි සේවකයන් ඌට කතා කළේ පිට්චූ කියන නමිනුයි. කාත් කවුරුවත් නැතිව කාංසාවෙන් සිටි මේ අසරණයා කැස්ස, විජලනය, මන්දපෝෂණය, පාචනය සහ සමේ රෝගවලින් පවා පීඩා වින්දා. ඒ නිසා ඒ ආයතනයේ නිලධාරීන් ඌට අවශ්‍ය ප්‍රතිකාර විගස ලබා දුන්නා. ඌට තිබුණු සමේ රෝගය හේතුවෙන් ඇඟ පුරාම ලප කැළැල් දකින්න තිබුණු නිසායි ඌට පිට්චූ කියන නම දැම්මේ. ඒ නමේ තේරුම ඔවුන්ගේ භාෂාවෙන් ලප කැළැල් යන්නයි. කොහොමවුණත් සැත්කමක් කරන්න තරම් බරපතළ අසනීපයක් ඌට නොතිබීම සතුටට කරුණක්.

සාමාන්‍යයෙන් ඒ ආයතනයට සතෙකුව ගෙන ආ විට ඌව අනික් සතුන්ගෙන් වෙන් කරනවා. ඒ නිසා පිට්චූවත් දවස් 90ක් යනකල් අනික් අයගෙන් වෙන් කරලා තිබ්බා. ඉන්පස්සේ ගෝරිල්ලන් 11දෙනෙකු ඉන්න කණ්ඩායමකට ඌව එකතු කළා. උන් ඉන්න කූඩුව හරියට පුංචි කැලෑවක් වගෙයි. වැඩි කල් යන්න කලින් ඒ 11දෙනා පිට්චූගේ හොඳම යාළුවන් වුණා.

මිනිසුන් සතුන් එක්ක එකට කාලය ගත කරමින් උන්ව ආදරයෙන් රැකබලා ගනිද්දී එකිනෙකා අතර ලොකු ලෙන්ගතුකමක් ඇති වෙනවා. මේ ආයතනය බලන්න එන අයට ඒ බව හොඳින් දැකගන්න පුළුවන්. දෙවි සතුන්ව නිර්මාණය කර උන්ව රැකබලා ගැනීමට මුල් මිනිස් යුවළට දුන් වගකීම මොන වගේද කියන එක ඒ ආයතනයෙන් කරන සේවය තුළින් මනාව පැහැදිලි වෙනවා.—උත්පත්ති 1:28.

අනාගතයේදී උන්ට උරුම වන්නේ කුමක්ද?

මේ ආයතනයෙන් රැකබලා ගන්නා සතුන්ව අවසානයේදී ඔවුන් කැලයට මුදාහරිනවා. කොහොමවුණත් මිනිසුන් එක්ක හැදී වැඩුණු මේ සතුන්ට තනියෙන් දිවි ගෙවන එක හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මොකද සමහරවිට උන් නැවතත් කෙනෙක්ගේ රසවත් ආහාර වේලක් බවට පත් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා සමහර අප්‍රිකානු රටවල් සතුන්ව මුදාහරින එවැනි ප්‍රදේශ ආරක්ෂිත කලාප හැටියට නම් කර තිබෙනවා. මෙසේ කිරීමෙන් සෑම වනජීවියෙක්ම රැකගන්න හැකි වෙයි කියා ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඒ මොන දේ කළත් තණ්හාව, දුගීකම, ශීඝ්‍ර ජනගහන වර්ධනය, කැලෑ හෙළිකිරීම වැනි හේතු නිසා වානර විශේෂ ඇතුළු තවත් බොහෝ සතුන් වඳ වෙමින් පවතින බව දැකගන්න ලැබෙනවා. ඒවාට ඉක්මන් පියවරක් නොගත්තොත් “වනජීවීන්ගේ පැවැත්මට මෙන්ම වර්ධනයට ප්‍රබල බලපෑමක් එල්ල වෙයි” කියා එම ආයතනයේ කළමනාකරුවෙක් වන ෆීලික්ස් ලැන්කෙස්ටර් පවසනවා. “ප්‍රතිඵලයක් හැටියට මෙවැනි සතුන් අපට සම්පූර්ණයෙන් අහිමි විය හැකියි” යන්න ඔහුගේ අදහසයි.

සතුන් විතරක් නෙවෙයි, මිනිසුන්ද මෙවැනි කටුක තත්වයකට මුහුණ දීම මොන තරම් කනගාටුදායකද! කුසට අහරක් නොමැතිව විවිධ ලෙඩ රෝග වැළදීමෙන් බොහෝ මිනිසුන්ට තම ජීවිත අහිමි වෙනවා. ඇති නැති පරතරය හා අයුක්තිය නිසා අද සෑම මිනිසෙකුම පොදුවේ මුහුණ දෙන තත්වය පිට්චූගේ මේ කඳුළු කතාවෙන් මනාව පැහැදිලි වෙනවා.

පොළොව මත සිදු වන සෑම දුක්ඛිත තත්වයක්ම අපේ නිර්මාණකරුගේ අවධානයට ලක් වී තිබෙන බව දැන සිටීම මොන තරම් සතුටට කරුණක්ද! වැඩි කල් නොගොස් යෙහෝවා දෙවි මේ දුක්බර කඳුළු සතුටු කඳුළු බවට හරවමින් එක්සත්කම රජයන සුරක්ෂිත ස්ථානයක් බවට මේ පොළොව පත් කරන බව නම් ස්ථිරයි!—යෙසායා 11:6-9.

[පාදසටහන]

^ 6 ඡේ. සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවන ආකාරයට මෙවැනි සතුන්ගෙන් මිනිසුන්ට HIV, ඇන්ත්‍රැක්ස් සහ ඉබෝලා වැනි මාරාන්තික වයිරස් ආසාදනය විය හැකියි.

[22, 23වන පිටුවේ පින්තූර]

පිට්චූ සුවවීමට පෙර සහ පසු

[23වන පිටුවේ පින්තූරය]

රතු පැහැති වලිගයක් හිමි වානර විශේෂයක්

[23වන පිටුවේ පින්තූරය]

බැබූන් වර්ගයකට අයත් වඳුරෙක් තම පැටවා රැකබලා ගනිමින්

[24වන පිටුවේ පින්තූරය]

ලිමී ආයතනය

[24වන පිටුවේ පින්තූරය]

බොලෝ නමින් හඳුන්වන අනාථ වූ ගෝරිල්ලා පැටවා

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos pages 22 and 23: Limbe Wildlife Centre, Cameroon

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Both photos: Limbe Wildlife Centre, Cameroon