Skip to content

පටුනට යන්න

චණ්ඩ මාරුතයකට වඩා ප්‍රබල ප්‍රේමයක්!

චණ්ඩ මාරුතයකට වඩා ප්‍රබල ප්‍රේමයක්!

චණ්ඩ මාරුතයකට වඩා ප්‍රබල ප්‍රේමයක්!

වර්ෂ 2005දී අමෙරිකාවේ ගල්ෆ් බොක්ක ආශ්‍රිත ප්‍රදේශවලට බලපෑ කැට්රිනා හා රීටා චණ්ඩ මාරුත හේතුවෙන් මහ ව්‍යසනයක් අද්දකින්න සිදු වූ අතර බොහෝදෙනාගේ ජීවිත ඉන් අහිමි වුණා. මේ විපත නිසා දහස්ගණන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටද දරුණු තත්වයන්ට මුහුණ දෙන්න සිදු වුණා.

අමෙරිකාවේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ සහන සේවා කමිටු ඉක්මනින්ම ඒ සඳහා ක්‍රියාත්මක වුණා. වර්ග කිලෝමීටර් 80,000ක පමණ ප්‍රදේශයක සිටි අයට උපකාර කිරීම සඳහා ඔවුන් ලුසියානාවල සහන සේවා මධ්‍යස්ථාන 13ක්, ගබඩාවන් නවයක් හා ඉන්ධන පිරවුම්හල් හතරක් පිහිටෙව්වා. එමෙන්ම අමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් ස්වෙච්ඡා සේවකයන් 17,000ක්ද වෙනත් රටවල් 13කින් බොහෝ ස්වෙච්ඡා සේවකයන්ද විවිධ සේවාවන් සැපයීමට ඉදිරිපත් වුණා. මේ සියල්ලෙන් පෙනී ගියේ සාක්ෂිකරුවන් අතර තිබෙන ප්‍රේමය චණ්ඩ මාරුතයකට වඩා ප්‍රබල බවයි.—1 කොරින්ති 13:1-8.

ඒ විපතට හසු වූ නිවෙස් 5,600කට වඩා වැඩි සංඛ්‍යාවක්ද සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රැස්වෙන රාජ්‍ය ශාලා 90ක්ද ඔවුන් පිළිසකර කළා. ඒ විතරක් නොවෙයි ‘සියල්ලන්ටම යහපත්කම් කරමු’ යන බයිබල් වගන්තියට එකඟව ඔවුන් සාක්ෂිකරුවන් නොවන අයටද බෙහෙවින් උපකාර කරනු ලැබුවා.—ගලාති 6:10.

සහන සේවා සැපයීමේ වැඩවල නිරත වන විට බොහෝ කැප කිරීම් කිරීමට සිදු වුණත් ලැබෙන ආශීර්වාද නම් මිල කළ නොහැකියි. එහි මූලිකත්වය ගෙන කටයුතු කළ සාක්ෂිකරුවන් හත්දෙනෙකු පැවසූ දේ අපි සලකා බලමු.

‘ඒක මගේ ජීවිතේ විශේෂ අවස්ථාවක්’

රොබට්: සහන සේවා කටයුතුවල නිරත වෙන්න ලැබීම මගේ ජීවිතේ විශේෂ අවස්ථාවක්. ඒ කමිටුවේ වැඩිමහල්ම සාමාජිකයා වුණේ මමයි. ඒ වෙනකොට මට වයස අවුරුදු 67යි. මම වැඩ කළ කණ්ඩායමේ හුඟක් යෞවනයන් හිටියා. ඒ අය ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල උද්‍යෝගයෙන් නියැලෙන අයයි. මේ අය යෙහෝවා දෙවිට හා සෙසු ක්‍රිස්තියානීන්ට පෙන්වන ප්‍රේමය හා කැපවීම ඇත්තටම දිරිගන්වනසුලුයි.

මගේ භාර්යාව වෙරෝනිකා මට හුඟක් උදව් කළා. ඒකෙන් අපි දෙන්නටම පුළුවන් වුණා ඒ සේවය වෙනුවෙන් වැඩිපුර කාලයක් යොදවන්න. අවුරුදු 40ක් තිස්සේ මම ආසාවෙන් කරගෙන ගිය රැකියාවෙන් අස්වෙන්න තීරණය කළාම ඇය ඇගේ උපරිම සහයෝගය දුන්නා. දැන් අපි කරන්නේ සතියකට එක රැයක් කාර්යාල පිරිසිදු කරන එකයි. එයින් ලැබෙන මුදලින් සතුටු වෙන්න අපි ඉගෙනගත්තා. දෙවිව සතුටු කරන අයත් එක්ක එකට වැඩ කරන්න ලැබීමෙන් දෙවිගේ රාජ්‍යයට ජීවිතේ මුල් තැන දෙන්න අපිට තියෙන ආසාව තවත් වැඩි වුණා. (මතෙව් 6:33) යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව රැකබලා ගන්න ආකාරය අපි හොඳින්ම අද්දැක්කා.

ෆ්‍රෑන්ක්: බැටන් රූෂ්හි සහන සේවා මධ්‍යස්ථානයේ ආහාර සැපයීමේ අංශයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එහි සේවය කරන ස්වෙච්ඡා සේවකයන්ට ආහාර සැපයීම ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. ඒ වෙනුවෙන් සතිය පුරාම පැය දහයක් දොළහක් වැඩ කරන්න සිද්ධ වුණා. නමුත් ඉන් ලැබූ ආශීර්වාද නම් බොහෝයි. විශේෂයෙන් ඒ අය අතර තිබූ ප්‍රේමය දැකීමම ලොකු ආශීර්වාදයක්.

සතියකට දෙකකට විතර අපිත් එක්ක වැඩ කරන්න ආපු හුඟක් අය තැපැල්පත් මගින් හා දුරකථන ඇමතුම් දීමෙන් ඒ අය නැවතත් වැඩ කරන්න කැමති බව දැනුම් දුන්නා. සමහර අය එයාලට වැඩ කරන්න දුන්න අවස්ථාව ගැන හුඟක් ස්තුතිවන්ත වුණා. අනික් අය වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන්න ඒ අය තුළ තිබුණු ආශාව මගෙත් මගේ භාර්යාව වෙරෝනිකාගේත් හිතට තදින්ම කාවැදුණා.

දෙවි ආශීර්වාද කළ අයුරු

ග්‍රෙගරි: මමයි මගේ භාර්යාව කැතීයි නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගස් නගරයේ තිබුණු අපේ නිවස විකුණුවා. ඊට පස්සේ අපි ට්‍රක් රථයක් (නිවසක ඇති සියලුම උපාංග ඇතුළත් රථයක්) මිල දී ගත්තා. ඒක තමයි අපේ නිවහන වුණේ. ඒ නිසා අපිට පුළුවන් වුණා අපේ ජීවිතය සරල කරගන්න. ඒ විදිහට ලුසියානාවල තියෙන සහන සේවා මධ්‍යස්ථානයේ අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් සේවය කළා. වෙන කවරදාටත් වඩා වැඩියෙන් බයිබලයේ සඳහන් මේ වගන්තියේ සත්‍යතාව අපි අපේ ජීවිත තුළින් අද්දැක්කා. “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න. මම අහසේ කවුළු විවර කර ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි.’”—මලාකි 3:10.

අනිත් අය අපිව අගය කරද්දී අපිට දැනුණේ පුදුම සතුටක්. අවුරුදු 30කට පෙර කැතීයි මායි ආසාවෙන් හිටියා අමෙරිකාවේ පිහිටි ශාඛා කාර්යාලයේ සේවය කරන්න. ඒත් අපිට දරුවන් හිටිය නිසා එයාලව රැකබලා ගැනීමේ වගකීම තිබුණා. දෙවිට වැඩියෙන් සේවය කරන්න අපිට තිබුණ ඒ ආසාව ඉටු කරගන්න සහන සේවා වැඩ මහත් රුකුලක් වුණා. ඒ වගේම හුඟක් දක්ෂ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරන්න ලැබුණ එකත් ඇත්තටම ලොකු වරප්‍රසාදයක්! අපි අතර හිටිය ඒ වගේ දක්ෂ සහෝදරයෙක් සුපිරි අවන්හලක ප්‍රධාන කෝකියෙක් වෙලා හිටිය කෙනෙක්. අමෙරිකාවේ ජනාධිපතිවරු දෙන්නෙක්ට ආහාර පිසූ තවත් සහෝදරයෙක් අපි අතර හිටියා.

විපතට පත් වූ අයට උපකාර කිරීම බොහෝ අයගේ ජීවිතවලට ලොකු බලපෑමක් වුණා. වයස 57ක් වූ එක් සහෝදරයෙකුගේ ජීවිතයට එය කොතරම් තදින් කාවැදුණාද කියනවා නම් ඔහුගේ අද්දැකීම විස්තර කරද්දී ඔහුගේ ඇඟේ හිරිගඩු පිපුණා. අපි එක්ක වැඩ නොකළ අයත් අපිව දිරිගැන්වුවා. එක දවසක් සහෝදරයෝ දෙන්නෙක් නබ්‍රස්කාවල පිහිටි සභා තුනක සහෝදරයන් හා දරුවන් අත්සන් කළ බැනරයක් අපිට ගෙනත් දුන්නා. සහෝදරන් අපි ගැන කොච්චර හිතනවාද කියන එක ඒකෙන් අපි තේරුම්ගත්තා.

බිඳුණු සිත් ඇත්තන්ට දෙවි සහනය දෙයි

වෙන්ඩ්ල්: කැට්රිනා චණ්ඩ මාරුතයට පසු දින අමෙරිකාවේ ශාඛා කාර්යාලයෙන් මට ආරාධනාවක් ලැබුණා. ඒ ලුසියානාවල හා මිසිසිපිවල තියෙන නිවෙස් හා රාජ්‍ය ශාලාවලට සිදු වී තියෙන හානිය කොතරම්ද කියා තක්සේරු කරන්න. එදා ඉඳලා මම මගේ අලුත් පැවරුම ආරම්භ කළා. අවුරුදු 32ක් පුරා අපි ජීවත් වුණේ දේශනා සේවය සඳහා වැඩි අවශ්‍යතාවයක් තිබූ ප්‍රදේශයකයි. එහෙ ඉද්දී මගේ භාර්යාව ජනීන් සහ මම අද්දැක්කා යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව රැකබලා ගන්න ආකාරය. නමුත් දැන් අපි ඒ බව ඊටත් වඩා වැඩියෙන් අද්දකිනවා.

බැටන් රූෂ්හි සහන සේවා මධ්‍යස්ථානයේ සභාපති හැටියට සේවය කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ පැවරුම මට විශාල අභියෝගයක් වුණත් මම ඉන් පුදුම සතුටක් ලැබුවා. ඇත්තෙන්ම අපේ කමිටුවේ සියලුදෙනාම යෙහෝවා දෙවි ගැටලු විසඳන ආකාරය හා බිඳුණු සිත් ඇති අයව රැකබලා ගන්න ආකාරය අනේක වාරයක් අද්දැක්කා. ඒ වගේ කරන්න බලය තියෙන්නේ යෙහෝවා දෙවිට පමණයි.

හුඟක් අය අහනවා අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් පුරා අපි සහන සේවා වැඩවල නිරත වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ඒක ලෙහෙසි දෙයක් නෙමෙයි. අපේ ජීවිතේ හුඟක් සකස් කිරීම් කරන්න සිද්ධ වුණා. නමුත් ‘සරල ඇසක්’ ඇතිව සිටීමෙන් මොන තරම් ප්‍රයෝජන රැසක් අද්දකින්න පුළුවන්ද කියලා අපි තේරුම්ගත්තා.—මතෙව් 6:22.

අපි මුලින්ම නිව් ඕර්ලින්ස්වල විපතට පත්වූ අයට උපකාර කරන්න ගිය වෙලාවේ ඒ නගරයේ තිබුණේ හරිම නොසන්සුන්කාරී තත්වයක්. ඒ නිසා ඒ තත්වය මැඩපවත්වන්න හමුදාවත් එහෙට ඇවිත් සිටියා. එහිදී අපිට කරන්න හුඟක් වැඩ තිබුණු නිසා එතරම් විවේකයක් තිබුණේ නැහැ. ඒ නගරයේ අපිට කොතරම් වැඩ තිබුණාද කියනවා නම් කොහෙන් පටන් අරගෙන ඉවර කරන්නද කියලා අපට හිතා ගන්නවත් බැරි වුණා.

එහිදී අපට විපතට පත් සහෝදර සහෝදරියන් දහස්ගණනක් මුණගැහුණා. අපි ඒ අය එක්ක එකට ඉඳලා යාච්ඤා කළා. අපිට ඕන කළේ ඒ අයව සනසවන්න. පසුව යෙහෝවා දෙවිගේ උපකාරය ඇතිව අපේ වැඩ අපි පටන්ගත්තා. එහි සිටි අවුරුදු දෙක තුළ සිදු වූ දේවල් මගේ ජීවිතේ පළමු වතාවටයි මම අද්දැක්කේ.

ටික කාලයක් යද්දී මට හිතුණා මගේ ශක්තිය දැන් ටිකෙන් ටික අඩු වේගෙන යනවා කියලා. හැබැයි වැඩිකල් යන්න කලින් බොහෝ අය අපේ උදව්වට ආවා. සමහර අය මාස කිහිපයක්, සමහර අය දිගටම අපිත් එක්ක වැඩ කළා. ඒ වගේ ප්‍රීතියෙන් වැඩ කරන ස්වෙච්ඡා සේවකයන් නිසා විශේෂයෙන් යෞවනයන් නිසා දිගටම වැඩ කරන්න අපිටත් ශක්තිය ලැබුණා.

බොහෝ අවස්ථාවලදී අපි යෙහෝවා දෙවිගේ උපකාරය අද්දැක්කා. මුලින්ම අපි මේ ප්‍රදේශයට යද්දී අපේ සහෝදරයන්ගේ ගෙවල් උඩට විශාල ගස් වැටිලා තිබුණා. එතන ගෙවල් 1,000කට වඩා වැඩි ගණනක් තිබුණා. ඒ ගස් කපලා ඉවත් කරන එක ලෙහෙසි වුණේ නැහැ. මොකද අපිට ඒ සඳහා අවශ්‍ය උපකරණවත් ස්වෙච්ඡා සේවකයන්වත් හිටියේ නැහැ. ඒ අවස්ථාවේදී අපේ කමිටුවේ අය ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. හරියටම ඊළඟ දවසේ එක සහෝදරයෙක් එයාගේ ලොරියත් වැඩ කරන්න අවශ්‍ය උපකරණත් ලබා දුන්නා. තවත් දවසක අපි යාච්ඤා කරලා විනාඩි 15ක් ඇතුළත ඊට පිළිතුරු ලැබුණා. තවත් අවස්ථාවක අපි යාච්ඤා කරලා ආමෙන් කියලා අවසන් කරන්න කලින් අපිට අවශ්‍ය උපකරණ නියමිත ස්ථානයෙන් පිට වී තිබෙන බව අපි දැනගත්තා! ඇත්තටම යෙහෝවා දෙවි “යාච්ඤා අසන තැනැත්තා” බව ඒවායින් මනාව ඔප්පු වුණා.—ගීතාවලිය 65:2.

“සාක්ෂිකරුවෙක් වීමට ලැබීම ආඩම්බරයක්”

මැතිව්: කැට්රිනා චණ්ඩ මාරුතය සිදු වූ දවසට පසු දින විපතට පත් ප්‍රදේශවලට අවශ්‍ය කෑම බීම හා වෙනත් ද්‍රව්‍ය ටොන් 15ක් පමණ බෙදාහරින්න සැලසුම් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හැම දෙයක්ම සාක්ෂිකරුවන් පරිත්‍යාග කළ දේවල්. එදා ඔවුන් කොච්චර ත්‍යාගශීලී පිරිසක්ද කියන එක ඔප්පු කළා.

විපතට පත් අයට උපකාර කිරීමට වැඩි කාලයක් යෙදවීම සඳහා මගේ බිරිඳ ඩාලීන් සහ මම ඊට කිට්ටුවෙන් තියෙන ප්‍රදේශයකට ආවා. එහි සිටි සාක්ෂිකරුවෙක් අපිට අර්ධ කාලීන රැකියාවක් කරන්න අවස්ථාවක් දුන්නා. තවත් එක් සාක්ෂිකරුවෙක් අපිට නවාතැනක් ලබා දුන්නා. ඒ වගේ ප්‍රේමණීය සහෝදරයන් සමඟ වැඩ කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. ඒ වගේම මට සාක්ෂිකරුවෙක් වීමට ලැබීම ලොකු ආඩම්බරයක්!

ටෙඩ්: ව්‍යසනයෙන් ටික දවසකට පසු මගේ බිරිඳ ඩෙබීයි මමයි සහන සේවා වැඩවලට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඉන් ටික දවසකට පසු පාවිච්චි කළ මීටර් නවයක් දිග ටේලර් රථයක් අඩු මිලකට මිල දී ගන්න මට පුළුවන් වුණා. ඒකට ගෙවන්න වුණේ නියමිත මිලෙන් භාගයක් විතරයි. මගේ අතේ තිබුණු මුදල ඒ සඳහා ප්‍රමාණවත් වුණා. ඇත්තෙන්ම එය මගේ යාච්ඤාවට පිළිතුරක්! අවුරුදු දෙකක් යනතුරුම එය තමයි අපේ නවාතැන වුණේ.

නිව් ඕර්ලියන්ස්වල ව්‍යාපෘති සංවිධායක ලෙසත් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ සඳහා අපි අපේ නිවසත් හුඟක් බඩු මූට්ටුත් විකුණුවා. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට “සියලු සැනසිල්ලේ දෙවි” වන බව ඔප්පු කර ඇති ආකාරය අපි අද්දැකීමෙන් තේරුම්ගත්තා. බොහෝ අයට ඔවුන්ගේ නිවෙස් සහ රාජ්‍ය ශාලා විතරක් නෙවෙයි දේශනා කරමින් සිටි ප්‍රදේශත් අහිමි වුණා.—2 කොරින්ති 1:3.

‘විස්තර කළ නොහැකි සතුටක්’

ජස්ටන්: වර්ෂ 2005 ඔක්තෝබර්වල සිදු වූ මේ ව්‍යසනයෙන් පසු ස්වෙච්ඡා සේවකයන්ගේ අවශ්‍යතාවක් තිබුණා. ඒ නිසා මගේ බිරිඳ ටිෆානී සහ මම ඒ සඳහා අයදුම් කළ අතර 2006 පෙබරවාරිවල අපිව ඒ සඳහා කැඳෙව්වා. නිව් ඕර්ලියන්ස්හි පිහිටා තිබූ කෙනර් සහනාධාර මධ්‍යස්ථානය යටතේ වහලවල් සෙවිලි කිරීමේ කණ්ඩායමේ වැඩ කරන්න අපිට ප්‍රස්තාව ලැබුණා.

හැම දවසකම අපි නිවසක් ගොඩනැඟුවා. එහිදී යෙහෝවා දෙවිව විශ්වාස කළ අය සමඟ ඇසුරු කරන්න අපිට හැකි වුණා. දෙවි මත ඔවුන් රඳා සිටි ආකාරය අපේ සිත්වලට තදින්ම කාවැදුණා. ධන සම්පත් කෙරෙහි විශ්වාස කිරීම මොන තරම් අඥානද කියන එක අපි හැම දවසකම තේරුම්ගත්තා. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට සාර්ථකව දේවල් ඉටු කිරීමට උපකාර කරන ආකාරය හා සෙසු සහෝදරයන්ට උපකාර කිරීමෙන් ලැබූ සතුට කියා නිම කරන්න බැහැ!

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දවසක් ගෙවෙන අයුරු

සහන සේවා මධ්‍යස්ථානයක මුළුතැන්ගෙයි වැඩ ආරම්භ වන්නේ උදේ 4.30ටයි. සියලුදෙනාම පවුලක් හැටියට උදේ හතට ආහාරය සඳහා රැස්වෙනවා. එහිදී විනාඩි දහයකට බයිබලය මත පදනම් කරුණු කිහිපයක් සාකච්ඡා කරනවා. ඉන්පසුව එය මෙහෙයවන සහෝදරයා අලුතින් පැමිණි අයව පිළිගෙන දිරිගන්වන අද්දැකීම් බෙදාගන්නවා.

යාච්ඤාවෙන් පසු ආහාර ගෙන පසුව තම තමන්ගේ කාර්යයන් සඳහා සියලුදෙනාම පිටත් වෙනවා. සමහර අය මධ්‍යස්ථානයේම නැවතී කාර්යාලයේ, ලොන්ඩරියේ හා මුළුතැන්ගෙයි වැඩ කරනවා. දවල් ආහාරය සඳහා එක් සාමාජිකයෙක් පැමිණ තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය ආහාර රැගෙන යනවා.

සෑම සඳුදාවකම රාත්‍රියේ සියලුම සාමාජිකයන් එකතු වී සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරන මුරටැඹ සඟරාවේ එක් ලිපියක් අධ්‍යයනය කරනවා. ඒ තුළින් යෙහෝවා දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් තමන්ගේ කාර්යයන් ගැන හොඳ ආකල්පයක් ඇතිව සිටීමටත් හැකි වෙනවා.—මතෙව් 4:4; 5:3.

[19වන පිටුවේ කොටුව]

“මම වැරදි විදිහටයි ඔයාලා ගැන හිතුවේ”

නිව් ඕර්ලියන්ස්හි වෙසෙන කාන්තාවක් ඇගේ නිවසේ ඉදිරිපස දොරේ මෙවන් දැන්වීමක් අලවා තිබුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් තට්ටු කරන්න එපා.” එක් දවසක් ඇගේ නිවස ඉදිරිපිට ස්වේච්ඡා සේවකයන් කණ්ඩායමක් විපතට පත් අයට උපකාර කරනවා ඇය දැක්කා. ඔවුන් අතර තිබුණු ප්‍රේමය සහ මිත්‍රත්වය දුටු ඇය ඔවුන් කවුරුන්ද කියා සොයා බැලුවා. ඇය දැනගත්තා ඒ අය යෙහෝවාගේ දෙවිගේ සාක්ෂිකරුවන් බව. ඇය පවසන පරිදි හරිකේන් ව්‍යසනයෙන් පසු ඇගේ පල්ලියේ කිසිම කෙනෙක් ඇය ගැන සොයා බලා තිබුණේවත් අඩුම තරමින් දුරකථන ඇමතුමක්වත් දී තිබුණේ නැහැ. ඇය තවදුරටත් පවසන්නේ “ඇත්තටම මම වැරදි විදිහටයි ඔයාලා ගැන හිතුවේ” කියායි. පසුව දොරේ අලවා තිබූ දැන්වීම ගලවා දමා සාක්ෂිකරුවන්ව ඇගේ නිවසට ආරාධනා කළා.

[16, 17වන පිටුවේ පින්තූරය]

රොබට් සහ වෙරෝනිකා

[16, 17වන පිටුවේ පින්තූරය]

ෆ්‍රෑන්ක් සහ වෙරෝනිකා

[17වන පිටුවේ පින්තූරය]

ග්‍රෙගරි සහ කැතී

[17වන පිටුවේ පින්තූරය]

වෙන්ඩ්ල් සහ ජනීන්

[18වන පිටුවේ පින්තූරය]

මැතිව් සහ ඩාලීන්

[18වන පිටුවේ පින්තූරය]

ටෙඩ් සහ ඩෙබීන්

[18වන පිටුවේ පින්තූරය]

ජස්ටන් සහ ටිෆානී