Skip to content

පටුනට යන්න

බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න

බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න

බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න

ජෝ නමැති පුද්ගලයා පිළිකාවක් වැලඳී මරණාසන්නව හිටියා. ඔහුගේ භාර්යාව වන කර්ස්ටන් හා මිතුරන් කිහිපදෙනෙක් ඔහු සමඟ කතා කරමින් ඔහුගේ ඇඳ අසල හිටියා. කර්ස්ටන් තම ස්වාමිපුරුෂයා දෙස බැලූ විට ඔහුගේ කම්මුල් දිගේ කඳුළු වැගිරෙන ආකාරය දුටුවා. ජෝ වේදනාවෙන් පසු වෙනවා කියායි ඇය සිතුවේ. සමහරවිට ඔහු වේදනාවෙන් පසු වෙන්න ඇති. නමුත් මේ අවස්ථාවේ කඳුළු කඩා හැළුණේ වේදනාවට නෙමෙයි කියා ඔහු භාර්යාවට පැවසුවා.

කර්ස්ටන් මෙසේ පවසනවා. “මෙම දුක්මුසු අවස්ථාවේ ජෝ තනි වුණේ නැහැ. එයාගේ මිත්‍රයෝ එයා ළඟ හිටියා. ඒ වගේම වෙන කවදාටවත් වඩා ජෝට එයාගේ බලාපොරොත්තුව ගැන සම්පූර්ණ විශ්වාසයක් තිබුණා. මෙම බලාපොරොත්තුව කවුරුවත් ඔහුගෙන් උදුරගන්නේ නැහැ කියලා ඔහු දැනගෙන හිටියා. ඔහු හැඬුවේ ඔහුට දැනුණ සතුට නිසයි කියලා ඔහු මට කිව්වා. එදා රෑ ජෝ මැරුණා.”

මාරාන්තික රෝගයක් තිබුණත් ජෝට සතුටු කඳුළු වගුරුවන්න තරම් හැකියාවක් ලබා දුන් බලාපොරොත්තුව මොකක්ද? එය දෙවිගේ පොරොන්දුව වන පාරාදීස පොළොවක සදහටම සම්පූර්ණ නිරෝගි සුවයකින් ජීවත් වීමයි. (ගීතාවලිය 37:10, 11, 29) එළිදරව් 21:3, 4හි මෙසේ සඳහන් වෙනවා. “දෙවිගේ කූඩාරම මිනිසා සමඟය . . . ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. [අද දින අද්දකින ගැටලු ඇතුළුව] පළමු දේවල් පහව ගියේය.”

මිය ගිය අයටත් බලාපොරොත්තුවක්

ජෝ ගැන හිතුවොත්, ඔහුගේ බලාපොරොත්තුව ඉටු වෙන්නේ මරණයෙන් නැවත නැඟිටුණු විටයි. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට” එනම් දෙවිගේ මතකයේ සිටින අයට මරණ නින්දෙන් නැවත නැඟිටීමක් ලැබෙන බවට යේසුස් දී තිබූ පොරොන්දුව නිසා ඔහුගේ හිතට මහත් සහනයක් දැනුණා. (යොහන් 5:28, 29) ඔබත් පවුලේ කෙනෙකුගේ හෝ මිත්‍රයෙකුගේ වියෝව නිසා දුක් වෙනවාද? එහෙමනම් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔබටත් සහනයක් වෙයි. මෙම බලාපොරොත්තුව අප ආදරය කරන කෙනෙක් වියෝ වූ විට ඇති වන දුක සම්පූර්ණයෙන් නැති කර දමන්නේ නැති බව ඇත්තයි. යේසුස් පවා තම මිත්‍රයා වූ ලාසරුස් මිය ගිය විට ‘කඳුළු සැලුවා.’ නමුත් මෙම බලාපොරොත්තුව නිසා සහනයක් දැනෙනවා.—යොහන් 11:14, 34, 35; 1 තෙසලෝනික 4:13.

කර්ස්ටන් මෙසේ පවසනවා. “ජෝට පිළිකාව හැදිලා මැරුණාම, මට දැනුණේ මගේ ජීවිතේ අඳුරු වුණා කියලා. මට ආයෙත් සතුටෙන් ජීවත් වෙන්න බැහැ කියලත් හැඟුණා. දැන් අවුරුදු කිහිපයක් ගත වී තිබුණත් තවම මට දුක දැනෙනවා. ජෝ නැති පාළුව කවදාකවත් මැකෙන්නේ නැහැ. ඒත් මම කියන්න ආසයි මම දුකින් හිටියත් කලකිරීමට පත් වෙලා නැහැ කියලා.”

කර්ස්ටන් කියූ දෙයින් පැහැදිලි වෙන්නේ මෙම වර්තමාන සමාජ ක්‍රමය තුළ හැමදාම අපිට සතුටින් ඉපිල යා නොහැකි බවයි. අපට සැප වගේම දුක් විඳින්නත් සිදු වෙනවා. (දේශනාකාරයා 3:1, 4; 7:2-4) ඒ වගේම විවිධ හේතු නිසා සමහරුන් මානසික අවපීඩනයෙන් පවා පීඩා විඳිනවා. ඒත් බයිබලයේ සඳහන් පොරොන්දුවලින් අපට මහත් සැනසීමක් ලැබෙන අතර එහි තිබෙන නැණවත් මඟ පෙන්වීම් නිසා ජීවිතයේ සතුට සොරාගන්න දේවල් මඟහැරීමට අපට හැකි වෙනවා. දෙවි මෙසේ පවසනවා. “මට සවන් දෙන්නා සුරක්ෂිතව ජීවත් වන්නේය. ඔහු කිසිම විපතකට භය නොවී ජීවත් වන්නේය.”—හිතෝපදේශ 1:33.

යෙහෝවා දෙවි කටයුතු කරන්නේ අපගේ යහපත උදෙසා. දෙවි කැමති අප හැමදාටම සතුටෙන් ජීවත් වෙනවා දකින්නයි. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය” කියා දෙවිගේ පුත් යේසුස් කියූ වචන සැමදා සත්‍යයක්. (මතෙව් 5:3) මෙම වදන් හිතට ගෙන ඒ අනුව ජීවත් වීම තමයි නැණවත්ම දේ.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සතුට සඳහා අවශ්‍ය දේවල් නවයක්

1. ආගම දහමට වැඩි කාලයක් දෙන්න.—මතෙව් 5:3.

2. “මුදලට ප්‍රේම කිරීමෙන්” වැළකී, ඇති දෙයින් සෑහීමට පත් වෙන්න.—1 තිමෝති 6:6-10.

3. විනෝද වීමේදී අන්තයට නොයන්න.—2 තිමෝති 3:1, 4.

4. ත්‍යාගශීලී වෙන්න. අන් අයගේ සතුට වෙනුවෙන් කටයුතු කරන්න.—ක්‍රියා 20:35.

5. ස්තුතිවන්ත වන්න. ඔබට ලැබුණ දේවල් ගැන හිතන්න.—කොලොස්සි 3:15.

6. කැමැත්තෙන් සමාව දෙන්න.—මතෙව් 6:14.

7. ඇසුර සඳහා සුදුසු අයව තෝරාගන්න.—හිතෝපදේශ 13:20.

8. ඔබේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. නරක පුරුදුවලින් වළකින්න.—2 කොරින්ති 7:1.

9. බයිබලයෙහි සඳහන් “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න.”—රෝම 12:12.

[8, 9වන පිටුවේ පින්තූර]

බයිබලයේ සඳහන් පාරාදීස පොළොවක ජීවත් වීමේ බලාපොරොත්තුව මහත් සහනයක්