Skip to content

පටුනට යන්න

“හිරේට නියම වුණේ ආගම නිසයි”

“හිරේට නියම වුණේ ආගම නිසයි”

හිරේට නියම වුණේ ආගම නිසයි

පෝලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

ඉහත දැක්වෙන වදන් වෙනත් භාෂාවකින් අදටත් චෙකෝස්ලොවැකියාවේ දේශ සීමාවේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරකින් පිහිටි දකුණු පෝලන්තයේ ඖෂ්විට්ස් ගාල් කඳවුරේ යකඩ ගේට්ටුවල දක්නට තිබෙනවා. එම වදන්වල අර්ථය වන්නේ ‘වැඩ කරන්න නිදහස ලබන්න” යන්නයි. * ඒත් 1940 සහ 1945 අතරතුරේදී එම ගේට්ටුවලින් ඇතුළට ගිය වැඩිදෙනෙකු අද්දැක්කේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. නාට්සිවරුන් යුධ ගිනි අවුලවා තිබුණ මේ සමයේදී ඖෂ්විට්ස්වල මිලියනයකට වැඩි ජනතාවක් ඔවුන් අතින් මිය ගියා. නමුත් එක් කණ්ඩායමකට ඕනෑම අවස්ථාවක කඳවුරෙන් නිදහස් වී යන්න හැකියාව තිබුණා.

එවැනි අය නිදහස් වෙන්න නම් කළ යුතු වුණේ කුමක්ද? සිරභාරයේ සිටි ඕනෑම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් තවදුරටත් තමන් සාක්ෂිකරුවෙක් ලෙස සේවය නොකරන බවට අත්සන් තැබුවා නම් ඔවුන්ට නිදහස් වෙන්න හැකිකම තිබුණා. වැඩිදෙනෙක් තීරණය කළේ කුමක්ද? ඉතිහාසඥ ඉෂ්ට්වැන් ඩියැක් අතීතයේ සිටි කණ්ඩායමකට සාක්ෂිකරුවන්ව සමාන කළා. ඔහු මෙසේ පැවසුවා. “රෝමානු අධිරාජ්‍යයා ඉදිරියේ තම නමස්කාරය බාල කරනවාට වඩා සිංහයන්ට ගොදුරු වෙන එක හොඳයි කියා තීරණය කළ මුල් ක්‍රිස්තියානීන්ට ඔවුන් සමානයි.” එවැනි ස්ථිර පියවරක් ගැනීම සදා මතකයේ රඳවාගත යුතු දෙයක් වන අතර එය එසේම වී තිබෙනවා.

ඖෂ්විට්ස්-බර්කනෞ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ශාලාවෙහි 2004 සැප්තැම්බර් 21 සිට මාස දෙකක් පුරා පැවැත්වූ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම වෙන් කොට තිබුණේ සාක්ෂිකරුවන් වෙනුවෙන්මයි. ප්‍රදර්ශනය නම් කර තිබුණේ “නාට්සි පාලනය යටතේ තම ආගම නිසා හිරේට නියම වූ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ” යනුවෙන්. නාට්සි යුගයේදී පැති නොගෙන සිටීම සඳහා සාක්ෂිකරුවන් ගත් ස්ථිර අධිෂ්ඨානය විදහා දැක්වුණු ප්‍රදර්ශන පුවරු 27ක් එහි තබා තිබුණා.

නෙදර්ලන්තයේ ඩෙලිආන රාඩමාකර්ස් නමැති තරුණිය සිරේ සිටියදී ලියන ලද ලිපියක පිටපතක් දුටු විට බොහෝදෙනාගේ නෙතට කඳුලක් ආවා. ඇගේ පවුලේ අයව අමතමින් ඇය මෙසේ ලියා තිබුණා. “යෙහෝවාගේ කැමැත්ත කරන්න මම බැඳී සිටිනවා. . . . භය නොවී ධෛර්යයෙන් ඉන්න. යෙහෝවා අපි සමඟයි.” වර්ෂ 1942දී ඩෙලිආනව ඖෂ්විට්ස්වලට ගෙන ගිය අතර සති තුනක් යන්නත් කලින් ඇය මිය ගියා.

ඖෂ්විට්ස්වල සාක්ෂිකරුවන් 400ක් විතර හිටියා. නාට්සීන් අතින් මරණයට පත් නොවූ තුන්දෙනෙක් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට පැමිණියා. මෙහිදී ඔවුන් එදා අද්දුටු දේවල් ගැන පැවසූ අතර වාර්තාකරුවන් ඇසූ ප්‍රශ්නවලටද පිළිතුරු දුන්නා. කඳවුරේ තිබූ කටුක තත්වයට මුහුණ දෙන්න එදා ඔවුන්ට තිබූ අධිෂ්ඨාන ශක්තියම අදත් තිබෙන බව දකින්න තිබුණා.

තම ආගම නිසා ඖෂ්විට්ස් ගාල් කඳවුරේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන තේමාව යටතේ ලියැවුණු තම පොතේ, ජාතික කෞතුකාගාරයේ සේවයේ නියතු පර්යේෂිකාවක වන ටෙරේසා වොන්ටොර්සිහි මෙසේ ලිව්වා. “මොවුන්ගේ ස්ථිර අධිෂ්ඨානය වෙනත් සිරකරුවන්ට හොඳ බලපෑමක් වුණා. සෑම දවසකම ඔවුන් නොසැලී සිටි ආකාරය දුටු අන් අය, මොනම තත්වයකදී වුවත් තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදී සිටිය හැකි බව ඒත්තුගත්තා.”

යේසුස් ක්‍රිස්තුස්ව ඔහුගේ ආගමික විශ්වාසය නිසා අත්අඩංගුවට ගෙන මරණයට පත් කළා වගේම ඔහුගේ අනුගාමිකයන්ටත් සිරගත වීම හා මරණයට පත් කරනු ලැබීම අමුතු දෙයක් නොවෙයි. (ලූක් 22:54; 23:32, 33) යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ්වත් මරා දැමුවා. පේතෘස්ව සිර කරනු ලැබූ අතර පාවුල්ට දරුණු ලෙස තලා කීප වරක්ම සිරගත කළා.—ක්‍රියා 12:2, 5; 16:22-25; 2 කොරින්ති 11:23.

එලෙසම 1930 ගණන්වල හා 1940 ගණන්වල යුරෝපයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවි කෙරෙහි තම ඇදහිල්ල වෙනුවෙන් විශිෂ්ට ආදර්ශයක් සැපයුවා. ඔවුන්ගේ එම අධිෂ්ඨානය ඖෂ්විට්ස්හි කෞතුකාගරයේදී ප්‍රදර්ශනය කිරීම පැසසිය යුත්තක්.

[පාදසටහන]

^ 3 ඡේ. ඖෂ්විට්ස්හි කඳවුරු තුනක් තිබුණා. ඒවා නම් ඖෂ්විට්ස් I (ප්‍රධාන කඳවුර), ඖෂ්විට්ස් II (බර්කනෞ) සහ ඖෂ්විට්ස් III (මොනෝවිට්ස්) කඳවුරුයි. කෲර මරණය සඳහා වූ ගෑස් කාමර වැඩිහරියක් තිබුණේ බර්කනෞවලයි.

[10වන පිටුවේ පින්තූරය]

එදා ඖෂ්විට්ස්වලදී බේරුණු තුන්දෙනෙක් ප්‍රදර්ශනයේ තේමාව සටහන් වූ පුවරුව අසල

[11වන පිටුවේ පින්තූරය]

ඩෙලිආන රාඩමාකර්ස් සිරේ සිටියදී ලියන ලද ලිපිය සමඟ

[හිමිකම් විස්තර]

Inset photos: Zdjęcie: Archiwum Państwowego Muzeum Auschwitz-Birkenau

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Tower: Dzięki uprzejmości Państwowego Muzeum Auschwitz-Birkenau