Skip to content

පටුනට යන්න

මම මටම රිදවගන්න එක නතර කරන්නේ කොහොමද?

මම මටම රිදවගන්න එක නතර කරන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මම මටම රිදවගන්න එක නතර කරන්නේ කොහොමද?

“මගේ හිතේ වේදනාව දරාගන්න බැරුව ගියා. විසඳුමක් හැටියට මම මටම රිදවගන්නවා.”—ජෙනිෆර්, 20. *

“හිතට දුකක් දැනෙනකොට දුක නැති කරගන්න මම ඇඟ කපාගන්නවා. ඊට පස්සේ මට ලොකු සැනසීමක් දැනෙනවා.”—ජෙසිකා, 17.

“මම සති දෙකකට විතර ඇඟ කපාගෙන නැහැ. ඒක පුදුමයක්. මේ පුරුද්ද සම්පූර්ණයෙන්ම නවත්වන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ.”—ජේමි, 16.

ජෙනිෆර්, ජෙසිකා සහ ජේමි එකිනෙකාව හඳුනන්නේ නැහැ. ඒත් තුන්දෙනාටම පොදු සමානකම් බොහොමයක් තිබෙනවා. තුන්දෙනාම ඉන්නේ සිත්තැවුලෙන්. සිත්තැවුල නැති කරගැනීමට ගන්න ක්‍රියා මාර්ගයත් එක සමානයි. ඒ තමයි තමන්ටම හිංසා කරගැනීම. *

ශරීරයට හිංසා කරගැනීම අසාමාන්‍ය දෙයක්. ඒත් දැන් නව යොවුන් වියේ අය සහ තරුණ අය අතර මෙම ගැටලුව බහුලව දක්නට ලැබෙනවා. මෙම පුරුද්ද “දෙමාපියන්ව බියට පත් කරනවා. [පාසැල්] උපදේශකවරුන්ට මෙම ගැටලුව තේරුම්ගැනීමටවත් විසඳගැනීමටවත් බැරි වී තිබෙනවා. වෛද්‍යවරුන්ටත් මෙය ප්‍රශ්නයක්.” එසේ වාර්තා වුණේ කැනඩාවේ එක් පුවත්පතක. (එම පුවත්පත National Post) එහි තවදුරටත් පෙන්වා තිබුණේ ශරීරයට හිංසා කරගැනීම “පුරුදුවලින් දරුණුතම පුරුද්දක් වීමට ඉඩ තිබෙන බවයි.” ඔබට හෝ ඔබ දැන හඳුනන කෙනෙකුට මෙම පුරුද්ද තිබෙනවාද? එවැනි පුරුද්දක් තිබෙනවා නම් ඉන් මිදීමට මොනවාද කරන්න පුළුවන්?

මුලින්ම ඔබේ ශරීරයට හිංසා කිරීමට පෙලඹීමක් ඇති වෙන්නේ මන්ද කියා සොයා බලන්න. මෙය යම් කෙනෙකුට දැනෙන චකිතය නිසා කරන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අද්දකින මානසික පීඩනයට පිළියමක් ලෙසයි ශරීරයට හිංසා කරන්නේ. සිතේ වේදනාව අඩු කරගන්න ශරීරයට හිංසා කරගන්නවා. ඔබෙන් මෙසේ අසන්න. ‘මම ශරීරයට හිංසා කරන්නේ ඇයි? මගේ ශරීරයට හිංසා කරන්න පෙලඹීමක් එන විට මම මොකක් ගැනද සිතන්නේ?’ ඔබේ පවුලේ අය හෝ මිතුරන් නිසා ඔබට මානසික පීඩනයක් දැනෙනවාද?

ඔබ ගැන එවන් සෝදිසියක් කිරීමට ඔබ තුළ දිරියක් තිබිය යුතුයි. හැබැයි එසේ ආත්ම සෝදිසියක් කිරීමෙන් අවාසියක් වෙන්නේ නැහැ. බොහෝවිට මෙම පුරුද්ද නතර කිරීමට ගත යුතු පළමු පියවරත් එයයි. නමුත් එය ප්‍රමාණවත් නැහැ.

හිතේ තියෙන දේ කියන්න

ඔබට මෙම ගැටලුව තිබෙනවා නම් ඔබේ සිතට වද දෙන හැඟීම් විශ්වාසවන්ත හා මේරූ කෙනෙකුට පැවසීමෙන් යම් ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්. බයිබලයේ එක් හිතෝපදේශයක මෙසේ සඳහන් වෙනවා. “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.” (හිතෝපදේශ 12:25, නව අනුවාදය) ඔබේ සිතේ තිබෙන දුක තව කෙනෙකුට කීමෙන් කාරුණික, සැනසිලිදායක වදනක් ඔබට අසන්න ලැබෙයි.—හිතෝපදේශ 25:11.

නමුත් මේ වගේ දෙයක් කාටද කියන්නේ? ඒ සඳහා ඔබට වඩා වයසින් වැඩි, බුද්ධිමත්ව කටයුතු කරන, ඒ වගේම ඔබ කෙරෙහි අනුකම්පාව දක්වන කෙනෙකුව තෝරාගන්නවා නම් හොඳයි. ක්‍රිස්තියානීන්ට නම් සභා වැඩිමහල්ලෝ ඉන්නවා. ඔවුන් හරියට “මනුෂ්‍යයෙක් සුළඟින් සැඟවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි තැනක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණක් මෙන්ද වන්නේය.”—යෙසායා 32:2.

ඔබේ හිතේ තියෙන දේ තව කෙනෙකුට කියනවා කියන එක දෙසැරයක් හිතන්න ඕන දෙයක් බව ඇත්තයි. සමහරවිට ඔබටත් සාරා නමැති යෞවනියට හැඟුණ විදිහට හැඟෙන්න පුළුවන්. ඇය මෙසේ පැවසුවා. “මුලින් මට කවුරුවත් විශ්වාස කරන්න බැරුව ගියා. මම ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා මිනිස්සු දැනගත්තොත් මාව පිළිකුල් කරයි කියලා මම හිතුවා.” ඒත් සාරා කෙසේ හෝ තමන්ගේ හිතට වද දෙන දේ තව කෙනෙකුට කීමෙන් හිතෝපදේශ 18:24හි සඳහන් වදන්වල සත්‍යතාව අද්දැක්කා. “එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම් වූ මිත්‍රයෙක් ඇත.” සාරා මෙසේ පවසනවා. “මේරූ ක්‍රිස්තියානීන්ට මගේ පුරුද්ද ගැන කියද්දී මා දිහා වපර ඇහින් බැලුවේ නැහැ. එයාලා මට ප්‍රායෝගික යෝජනා දුන්නා.ඉවසිලිවන්තව බයිබලයෙන් කරුණු පෙන්වමින් මගේ හිතෙන් අනවශ්‍ය සිතුවිලි අහක් කරගන්න මට උදව් කළා.”

ඔබේ ගැටලුව ගැන තවත් කෙනෙකු සමඟ කතා නොකරන්නේ මන්ද? ඔබට මුහුණට මුහුණ දී කතා කරන්න බැරි නම් ලියුමකින් හෝ දුරකථනයකින් එය කරන්න. තව කෙනෙකුට කියන එක ඉතාමත් වැදගත් පියවරක් විය හැකියි. “මං ගැන කවුරු හරි සැලකිලිමත් වෙනවා මට ප්‍රශ්නයක් තියෙනකොට කතා කරන්න කෙනෙක් ඉන්නවා කියලා දන්න එක ඉතාමත් වැදගත් දෙයක්” කියා ජෙනිෆර් පැවසුවා. *

යාච්ඤාව වැදගත්

ඩොනා නමැති යෞවනියගේ ගැටලුව විසඳුණේ නැහැ. දෙවිගේ උපකාරය අවශ්‍යයි කියා ඇයට සිතුණා. ඒත් තමන් මේ පුරුද්ද අත් හරින තුරු දෙවි ඇයට උපකාරය පිරිනමන එකක් නැහැයි කියාත් ඇයට සිතුණා. ඇයට ඇගේ සිතුවිලි නිවැරදි කරගන්න උපකාරවත් වුණේ 1 ලේකම් 29:17වන පදය. එහි යෙහෝවා දෙවි “සිත් සෝදිසි කරන” බව සඳහන් වෙනවා. “මේ පුරුද්ද අත්හරින්න මගේ හිතේ තියෙන කැමැත්ත යෙහෝවා දකිනවා. මම උපකාරය ඉල්ලලා යාච්ඤා කළාට පස්සේ ලොකු වෙනසක් දැනෙනවා. මට ටිකෙන් ටික මාව පාලනය කරගන්න පුළුවන් වුණා.”

විපත් බොහොමයක් අද්දැක්ක කෙනෙක් තමයි ගීතිකාකරු දාවිත්. ඔහු මෙහෙම ලිව්වා. “ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය.” (ගීතාවලිය 55:22) ඔබේ වේදනාව යෙහෝවාට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි “ඔහු ඔබ ගැන සලකනවා.” (1 පේතෘස් 5:7) ඔබේ හදවත ඔබට දොස් පවරනවා නම් දෙවි ‘ඔබේ සිතට වඩා උතුම් වන අතර, ඔහු සියලු දේ දන්නවා’ කියන කාරණය අමතක කරන්න එපා. ඇයි ඔබ ශරීරයට හිංසා කරන්නේ සහ එය නැවැත්වීම එතරම් දුෂ්කර මන්ද කියාත් දෙවි තේරුම්ගන්නවා. (1 යොහන් 3:19, 20) ඔබ දෙවිට යාච්ඤා කර මෙම පුරුද්දෙන් ගොඩ ඒමට තිබෙන ඔබේ ආශාව ඔහුට පවසනවා නම් ඔහු ‘ඔබට පිහිට වෙයි.’—යෙසායා 41:10.

ඔබ නැවත වරක් ඒ පුරුද්දට වැටුණොත් ඔබට කවදාකවත් ගොඩ එන්න බැහැ කියලා එයින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ. හිතෝපදේශ 24:16හි කියන්නේ “මක්නිසාද ධර්මිෂ්ඨයා හත් වරක් වැටී නැවත නැඟිටින්නේය” කියායි. ඩොනා එම බයිබල් පදය එයාටම අදාළ කරගෙන පැවසුවේ මෙවැන්නක්. “මම හත් වතාවකට වඩා වැටුණා. ඒත් මම අත්හැරියේ නැහැ.” එක දිගටම උත්සාහ දැරීම වැදගත් බව ඩොනා තේරුම්ගත්තා. කැරන් නමැති යෞවනියත් ඊට සමාන දෙයක් පවසනවා. “මම ආයෙත් පරණ පුරුද්දට වැටුණොත් කොහොම හරි ගොඩ එනවා. මේක කරන්න බැරි දෙයක් කියලා මම අධෛර්යය වෙන්නේ නැහැ.”

අමතර උපකාර අවශ්‍ය නම්

‘වෛද්‍යවරයෙක් අවශ්‍ය වන්නේ රෝගියෙකුටයි’ කියා යේසුස් තේරුම්ගත්තා. (මාක් 2:17) සමහරවිට රෝගී තත්වයක් තිබෙනවාද කියා සොයා බැලීමට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යෑමට සිදු විය හැකියි. * ජෙනිෆර් වෛද්‍ය උපදෙස් පැතුවා. ඇය ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ උපකාරය වගේම වෛද්‍යවරුන්ගේ උපකාරයද ලබාගත්තා. ඇය මෙසේ පැවසුවා. “වැඩිමහල්ලෝ ඕනෑම උපකාරයක් පිරිනමනවා. නමුත් ඒ අය වෛද්‍යවරු නෙමෙයි. විටින් විට තවමත් මට රිදවගන්න ඕනෑකමක් ඇති වෙනවා. ඒත් යෙහෝවාගේ උපකාරයෙනුත් සභාවෙනුත් එම ගැටලුවට මුහුණ දෙන ආකාරය ඉගෙනගැනීමෙනුත් මට මාව පාලනය කරගන්න පුළුවන්.” *

ශරීරයට හානි නොවන ක්‍රමවලින් ඔබේ හිතේ දුක නිවාගන්න ඔබට පුළුවන්. ගීතිකාකරු යාච්ඤා කළ විදිහට යාච්ඤා කරන්න. “ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙව්ව මැනව. කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නෑරිය මැනව.” (ගීතාවලිය 119:133) ඔබ මෙම පුරුද්ද පාලනය කිරීමෙන් ඔබේ ජීවිතය තෘප්තිමත්ව හා ආත්ම ගරුත්වයකින් යුතුව ගත කිරීමට හැකි වන බව නිසැකයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් සැබෑ ඒවා නොවෙයි.

^ 6 ඡේ. ශරීරයට හිංසා කරගැනීම යනු කුමක්ද සහ ඊට හේතු මොනවාද කියා වැඩි තොරතුරු දැනගැනීමට “යෞවන අය අසති . . . ඇයි මම මටම රිදවගන්නේ?” යන 2006 ජනවාරි පිබිදෙව්! කලාපය බලන්න.

^ 14 ඡේ. සමහර වෙලාවට ඔබට හැඟෙන දේ පොතක ලියන්න පුළුවන්. බයිබලයේ ගීතිකා ලියූ රචකයන්ද බලවත් හැඟීම් තිබූ අය. ඔවුන් තමන්ට දැනුණ දුක් සන්තාප, කෝපය, අධෛර්යය වැනි හැඟීම් වචනවලින් ප්‍රකාශ කළා. ඔබට පුළුවන් ගීතාවලිය පොතේ 6, 13, 42, 55 සහ 69වන ගීතිකා කියවා බලන්න.

^ 20 ඡේ. සමහරවිට ශරීරයට හිංසා කරගන්නේ මානසික අවපීඩනය, උන්මාදය හා විෂාදය, ආහාර ගැනීමේ අක්‍රමිකතා වැනි රෝගී තත්වයන් නිසයි. පිබිදෙව්! සඟරාව යම් ප්‍රතිකාරයක් හඳුන්වා දෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රිස්තියානීන් තමන් ගනු ලබන ඕනෑම ප්‍රතිකාරයක් බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ නැති බවට ස්ථිර විය යුතුයි.

^ 20 ඡේ. පසුගිය පිබිදෙව්! කලාපවල ශරීරයට හිංසා කරගැනීමට බොහෝවිට හේතු වන කාරණා පෙන්වා තිබෙනවා. උදාහරණයකට “පීඩා විඳින මනස්” (2004 ජනවාරි 8), “යොවුන් වියයි මානසික අවපීඩනයයි” (2001 සැප්තැම්බර් 8), “ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති අයට උපකාර කිරීම” (1992 ජූනි 8) සහ “බීමට ඇබ්බැහි වූවන්ගේ වැඩිහිටි දරුවන් සඳහා උපකාරය” (1992 ඔක්තෝබර් 8) යන ලිපි බලන්න.

සිතා බලන්න

▪ ඔබේ හිතට දුකක් දැනෙනකොට මොනවද කරන්න පුළුවන්?

▪ ශරීරයට හිංසා කරගැනීමේ පෙලඹීම තිබෙනවා නම් කාටද ඒ ගැන කියන්න පුළුවන්?

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

හිංසා කරගන්නෙකුට උපකාර කිරීම

ශරීරයට හිංසා කරගැනීමේ ගැටලුව තිබෙන ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට ඔබ උපකාර කරන්නේ කොහොමද? මුලින්ම ඔබ හොඳ සවන් දෙන විශ්වාසවන්ත මිතුරෙක් වෙන්න. ඒ කියන්නේ ‘විපත්තියේදී ආධාර පිණිස ඉපදී සිටින මිත්‍රයෙකු වෙන්න.’ (හිතෝපදේශ 17:17) ඔබට මේ ගැන කියූ විගස ඔබ තිගැස්සී වහාම එම පුරුද්ද නතර කරන්න කියා ඔහුට හෝ ඇයට පැවසීමට ඉඩ තිබෙනවා. නමුත් එවැන්නක් පැවසීම පීඩා විඳින්නාව අසරණ තත්වයට පත් කළ හැකියි. ඒ වෙනුවට ඇයව හෝ ඔහුව තේරුම්ගෙන එම ගැටලුව සමඟ සාර්ථකව කටයුතු කරන ආකාරය පෙන්වා දෙන්න. (හිතෝපදේශ 16:23) ඊට කාලයද අවශ්‍ය වෙයි. එමනිසා ඉවසීමෙන් කටයුතු කරන්න. “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය.”—යාකොබ් 1:19.

ඔබ යොවුන් වියේ පසුවන කෙනෙකු නම් තනිවම ඔබට උපකාරය පිරිනැමිය හැකියි කියා සිතන්න එපා. සමහරවිට වෙනත් හේතුවක් හෝ රෝගයක් නිසා ගැටලුව ඉස්මතු වී තිබෙන්න පුළුවන්. ඒ වගේම හිංසා කරගන්නාට ජීවිතය නැති කරගැනීමට වුවමනාවක් නොතිබුණත් ශරීරයට හිංසා කිරීම ජීවිතයට තර්ජනයක් විය හැකියි. එමනිසා හිංසා කරගන්නෙකුව මේරූ වැඩිහිටි කෙනෙකු වෙත යොමු කිරීම නුවණට හුරු දෙයක්.

[19වන පිටුවේ පින්තූරය]

ගැටලුව ගැන තව කෙනෙකු කීමත් යාච්ඤාවත් සුළු දෙයක් ලෙස සලකන්න එපා