Skip to content

පටුනට යන්න

දැන් ඉඳලාම දේවරාජ්‍යයට සහයෝගය දෙන්න

දැන් ඉඳලාම දේවරාජ්‍යයට සහයෝගය දෙන්න

ඔයා ඉන්න පළාතට දරුණු සුළිසුළඟක් එන්න යනවා කියලා ඔයාට දැනගන්න ලැබෙනවා. රජයෙන් අනතුරු අඟවනවා “ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යන්න” කියලා. එතකොට ඔයා කරන්න ඕනෙ මොනවාද? ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යන්න ඕනෙ නේද?

අපි ඉන්නේ භය උපදවන සිද්ධීන් පෙළක් ඉටු වෙන්න ආසන්න කාලයක. යේසුස් ඒ කාලය හැඳින්නුවේ “මහත් පීඩාව” කියලයි. (මතෙව් 24:21) අපි හැමෝටම ඒ මහත් පීඩාවට මුහුණ දෙන්නම වෙනවා. හැබැයි ඒකෙන් අපිට බේරෙන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කොහොමද?

ඒ ගැන කන්ද උඩ දේශනයේදී යේසුස් මෙහෙම කිව්වා. “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න.” (මතෙව් 6:33) ඒක කරන්න අපිට පුළුවන් කොහොමද?

දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න. “මුල් තැන දෙන්න” කියලා යේසුස් කියපු දෙයින් අදහස් කරන්නේ කිසිම දේකට වඩා අපි දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕනෙ කියන එකයි. (මතෙව් 6:25, 32, 33) එහෙම කරන්න ඕනෙ ඇයි? මොකද මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න විසඳන්න පාලකයන් කොයි තරම් වෑයම් කළත් ඒක කරන්න එයාලට පුළුවන් වෙලා නැහැ. ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ දේවරාජ්‍යයට විතරයි.

ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න. දෙවියන් දීලා තියෙන ධර්මිෂ්ඨ නීති සහ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. මොකද අපිට කැමති විදිහට හරි වැරැද්ද ගැන තීරණය කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ ලොකු විනාශයක්. (හිතෝපදේශ 16:25) දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙද්දී ඔහුව සතුටු කරන්න පුළුවන් වෙනවා වගේම සැබෑ සතුට අද්දකින්නත් අපිට පුළුවන් වෙනවා.—යෙසායා 48:17, 18.

දේවරාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් නොකඩවා මුල් තැන දෙන්න. යේසුස් ඒ දේ කිව්වේ පරෙස්සම් වුණේ නැත්නම් අපේ අවධානය වෙනතකට යන්න පුළුවන් කියලා අනතුරු අඟවන්නයි. උදාහරණෙකට කෙනෙක්, ආරක්ෂාවක් ලැබෙන්නේ සල්ලිවලින් කියලා හිතාගෙන සල්ලි පස්සේ ගියොත් නැත්නම් එදිනෙදා කරදර ගැන ඕනෑවට වඩා ළත වුණොත් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න එයාට කාලය ඉතිරි වෙන්නේ නැහැ.—මතෙව් 6:19-21, 25-32.

යේසුස් පොරොන්දු වුණා දේවරාජ්‍යයට සහයෝගය දෙන අයට මේ කාලේ ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්මත් ඉදිරියේ දේවරාජ්‍යය යටතේ ආශීර්වාද රැසකුත් අද්දකින්න ලැබෙනවා කියලා.—මතෙව් 6:33.

මුල් සියවසේ හිටිය යේසුස්ගේ ගෝලයන් දේවරාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දීලා කටයුතු කළා. එයාලගේ ජීවිත කාලෙදි දුක් කරදරවලින් සම්පූර්ණයෙන්ම සහනයක් ලැබුණේ නැති වුණත් එයාලට ලොකු ආරක්ෂාවක් ලැබුණා. ඒ කොහොමද?

එයාලා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වුණු නිසා දෙවියන්ට අකීකරු වුණු අයට අද්දකින්න වුණු දුෂ්කරතාවලට මුහුණ දෙන්න එයාලට සිද්ධ වුණේ නැහැ. කුණාටු වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී දේවරාජ්‍යය ගැන තිබුණු ස්ථිර බලාපොරොත්තුව එයාලට ලොකු හයියක් වුණා. ඒ වගේම දෙවියන්ගෙන් “සාමාන්‍යය ඉක්මවූ බලය” ලැබුණු නිසා ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න එයාලට පුළුවන් වුණා.—2 කොරින්ති 4:7-9.

ඔයාත් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කැමතිද?

මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කියලා යේසුස් දීපු ආඥාවට කීකරු වුණා. එයාලා හැම ප්‍රදේශයකම වගේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළා. (කොලොස්සි 1:23) අදටත් ඒ දේ කරන පිරිසක් ඉන්නවාද?

ඔව්. ඉතිරි වෙලා තියෙන්නේ තව ටික කාලයයි කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොඳින්ම තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා යේසුස් දීපු මේ අණ පිළිපදින්න එයාලා උපරිමයෙන් වෑයම් කරනවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

දැනගත්ත ඒ ශුභාරංචිය ගැන ඔයා කරන්න හිතන් ඉන්නේ මොනවාද? අපි කැමතියි මුල් සියවසේ මැසිඩෝනියාවේ ජීවත් වුණු බෙරීයවරුන්ව ආදර්ශයට ගන්න කියලා ඔයාට උනන්දු කරන්න. මොකද එයාලට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දැනගන්න ලැබුණාම එයාලා ‘මහත් උනන්දුවකින්’ ඒක පිළිගත්තා. තමන්ට අහන්න ලැබුණු දේවල් සත්‍යයද කියලා තහවුරු කරගන්න “ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කරලා” බැලුවා. ඊටපස්සේ ඒ දේවල් ජීවිතේට අදාළ කරගත්තා.—ක්‍රියා 17:11, 12.

ඔයාටත් පුළුවන් ඒ දේම කරන්න. දේවරාජ්‍යයට සහ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දුන්නොත් මේ කාලෙදි ලොකු ආරක්ෂාවක් ලබන්නත් අනාගතයේදී සාමය, සුරක්ෂිතභාවය පිරුණු කාලෙක හැමදාටම සතුටින් ජීවත් වෙන්නත් ඔයාට පුළුවන් වෙයි.