Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

මතෙව් 6:33 – ‘පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යය සොයන්න’

මතෙව් 6:33 – ‘පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යය සොයන්න’

 “එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.”—මතෙව් 6:33, ‘නව ලොව පරිවර්තනය.’

 “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.”—මතෙව් 6:33, ‘පැරණි අනුවාදය.’

මතෙව් 6:33 අදහස

 දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ දෙවියන්ගේ කැමැත්ත පොළොවේ ඉටු කරන්න යන ස්වර්ගයේ තියෙන ආණ්ඩුවකට. (මතෙව් 6:9, 10) ඒ රාජ්‍යය හොයන එකට මුල් තැන දෙන කෙනෙක් ඒක එයාගේ ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකනවා. a ඒ වගේ කෙනෙක් උනන්දුවෙන් දෙවියන්ගේ රාජ්‍යය ගැන ඉගෙනගන්නවා විතරක් නෙවෙයි ඒ රාජ්‍යයෙන් ඉස්සරහට කරන්න යන හොඳ දේවල් ගැන අනිත් අයටත් කියනවා. (මතෙව් 24:14) ඒ වගේම එයා ඒ රාජ්‍යය එන්න කියලා යාච්ඤාත් කරනවා.—ලූක් 11:2.

 දෙවියන්ගේ ධර්මිෂ්ඨකම කියන්නේ හරි වැරැද්ද ගැන ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට. (ගීතාවලිය 119:172) දෙවියන්ගේ ධර්මිෂ්ඨකම හොයන කෙනෙක් හැම වෙලාවෙම දෙවියන් අපේම ප්‍රයෝජනය වෙනුවෙන් දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා.—යෙසායා 48:17.

 ඔබට අවශ්‍ය සියලු දේම ඔබට දෙනු ලැබෙයි කියන්නේ දෙවියන්ගේ රාජ්‍යයටත් ඔහුගේ ප්‍රමිතිවලටත් ජීවිතේ මුල් තැන දෙන අයව බලාගන්නවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුවයි.—මතෙව් 6:31, 32.

මතෙව් 6:33 අවට පද

 යේසුස් ඒ වචන කිව්වේ මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවල වාර්තා වෙලා තියෙන කන්ද උඩ දේශනාවේදීයි. එතැන හිටපු හුඟක් අය දුප්පත්. එදා වේල හොයාගන්නත් එයාලට ගොඩක් මහන්සි වෙන්න වුණ නිසා දෙවියන්ගේ රාජ්‍යය ගැන හොයන්න එයාලට ලොකු වෙලාවක් ඉතුරු වුණේ නැහැ. හැබැයි යේසුස් එයාලට උනන්දු කළේ දෙවියන් ගස්, සතුන් වගේ ඔහුගේ නිර්මාණ රැකබලා ගන්න විදිහ දිහා බලන්න කියලයි. මොකද දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන අයවත් ඒ විදිහටම රැකබලා ගන්නවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—මතෙව් 6:25-30.

මතෙව් 6:33 ගැන තියෙන වැරදි අදහස්

 වැරදි අදහස: දෙවියන්ගේ රාජ්‍යය හොයන කෙනෙක් පොහොසත් වෙනවා.

 නිවැරදි අදහස: යේසුස් කිව්වේ දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන අයට කෑම, ඇඳුම් වගේ අත්‍යවශ්‍ය දේවල් ලැබෙනවා කියලයි. (මතෙව් 6:25, 31, 32) හැබැයි ඒ වගේ කෙනෙක්ට උතුරන්න සල්ලි ලැබෙනවා කියලවත් කෙනෙක්ට තියෙන දේවල්වලින් දෙවියන්ගේ ආශීර්වාදය මනින්න පුළුවන් කියලවත් යේසුස් කිව්වේ නැහැ. ඒ වෙනුවට යේසුස් ඔහුට ඇහුම්කන් දුන්න අයට අනතුරු ඇඟෙව්වේ පොහොසත් වෙන්න උත්සාහ කරන්න එපා කියලයි. මොකද එහෙම කළොත් දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන එක තවත් අමාරු වෙනවා. (මතෙව් 6:19, 20, 24) නියෝජිත පාවුල් කියන්නේ දෙවියන්ගේ රාජ්‍යය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. හැබැයි සමහර වෙලාවට එයාටත් අගහිඟකම් තිබුණා. යේසුස් වගේ එයාත් අනිත් අයට අනතුරු ඇඟෙව්වේ සල්ලි පස්සේ දුවන්න එපා කියලයි.—ෆිලිප්පි 4:11, 12; 1 තිමෝති 6:6-10.

 වැරදි අදහස: ක්‍රිස්තියානීන් ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕනෙ නැහැ.

 නිවැරදි අදහස: බයිබලේ කියනවා කෙනෙක් මහන්සි වෙලා වැඩ කරලා එයාගේ පවුලේ අයව රැකබලා ගන්න ඕනෙ කියලා. (1 තෙසලෝනික 4:11, 12; 2 තෙසලෝනික 3:10; 1 තිමෝති 5:8) යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වේ දෙවියන්ගේ රාජ්‍යය විතරක් හොයන්න කියලා නෙවෙයි. ඒ වෙනුවට ඔහු කිව්වේ දෙවියන්ගේ රාජ්‍යය හොයන එකට මුල් තැන දෙන්න කියලයි.

 කෙනෙක් දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන ගමන් එයාට අවශ්‍ය දේවල් හොයාගන්නත් මහන්සි වෙලා වැඩ කරනවා නම් එයාට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් ලබා දීලා එයාව රැකබලා ගන්නවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—1 තිමෝති 6:17-19.

a “සොයන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් දිගටම කරන ක්‍රියාවක් අදහස් වෙනවා. ඒ නිසා ඒ යෙදුම “දිගටම සොයන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන එක කෙනෙක් ඉඳලා හිටලාවත් ටික කාලෙකටවත් කරන්න ඕනෙ දෙයක් නෙවෙයි. එයා හැම වෙලාවෙම ඒක එයාගේ ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්න ඕනේ.