Skip to content

පටුනට යන්න

දෙවියන්ව දැන හඳුනාගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

දෙවියන්ව දැන හඳුනාගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

කලින් ලිපිවලින් දෙවියන්ගේ නම යෙහෝවා කියලත් ඔහුගේ ප්‍රධානම ගුණාංගය ප්‍රේමය කියලත් අපි දැනගත්තා. ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් සහ අනාගතයේදී කරන්න යන දේවල් ගැනත් දැනගත්තා. ඒ තොරතුරු දෙවියන්ව දැන හඳුනාගන්න ඔයාට උදව් වුණා කියලා කිසිම සැකයක් නැහැ. ඒ වුණත් දෙවියන් ගැන ඉගෙනගන්න තවත් ගොඩක් දේවල් තියෙනවා. දිගටම දෙවියන් ගැන ඉගෙනගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යෙහෝවා දෙවියන් ‘තමන්ගේ මඟ පෙන්වීම් පතන අයට උපකාර කරනවා’ කියලා පොරොන්දු වෙනවා. (1 ලේකම් 28:9) එහෙම කරනවා නම් ඔහුට ‘සමීප වෙන්න’ ඔයාටත් පුළුවන්. (ගීතාවලිය 25:14) දෙවියන්ට සමීප වෙද්දී ඔයාට ලැබෙන ආශීර්වාද මොනවාද?

නියම සතුට ලැබෙනවා. බයිබලයේ, දෙවියන්ව හඳුන්වන්නේ “ප්‍රීතිමත් දෙවි” කියලයි. (1 තිමෝති 1:11) දෙවියන්ට ළං වෙලා ඔහු කැමති විදිහට ජීවත් වෙද්දී ජීවිතේ නියම සතුට අද්දකින්න අපිට පුළුවන්. ඒක නිරෝගී මානසික සහ ශාරීරික සෞඛ්‍යයක් ඇතුව ඉන්න අපිට උදව් වෙනවා. (ගීතාවලිය 33:12) ඒ වගේම නරක පුරුදුවලින් ඈත් වෙන්නත් බැඳීම් ශක්තිමත් කරගන්නත් ඒක අපිට උදව් වෙනවා. “දෙවිට ළං වී සිටීම මට යහපතකි” කියලා බයිබල් ලේඛකයෙක් කිව්ව දේ මොන තරම් ඇත්තක්ද!—ගීතාවලිය 73:28.

දෙවියන්ගේ පෞද්ගලික සැලකිල්ල ලැබෙනවා. “මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි” කියලා දෙවියන් ඔහුගේ සේවකයන්ට කියනවා. (ගීතාවලිය 32:8) දෙවියන් තම සේවකයන් ගැන ගොඩක් සැලකිලිමත්. ඒ එක් එක් කෙනාට අවශ්‍ය මොනවාද කියලා ඔහු හොඳින්ම දන්නවා. (ගීතාවලිය 139:1, 2) දෙවියන්ට ළං වෙන තරමට ඔහු ඔයා ගැන කොච්චර සැලකිලිමත්ද කියලා ඔයාටම පැහැදිලි වෙයි.

දීප්තිමත් අනාගතයක් ලැබෙනවා. දෙවියන්ට ළං වෙද්දී දැන් විතරක් නෙමෙයි අනාගතයේදීත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. (යෙසායා 48:17, 18) බයිබලයේ කියනවා “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි” කියලා. (යොහන් 17:3) ප්‍රශ්නවලින් හෙම්බත් වුණ අපේ ජීවිත කුණාටුවකට අහු වුණ නැවක් වගේ. දෙවියන් අනාගතය ගැන දීලා තියෙන බලාපොරොත්තුව නැංගුරමක් වගේ ඒ ප්‍රශ්නවලට ‘ස්ථිරව’ මුහුණ දෙන්න අපිට උදව් වෙනවා.—හෙබ්‍රෙව් 6:19.

දෙවියන්ට ළං වෙන එකෙන් ඔයාට ලැබෙන තවත් ප්‍රයෝජන ගැන දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න. නැත්නම් jw.org වෙබ් අඩවියට පිවිසෙන්න.