Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

අම්මා හරි තාත්තා හරි මැරුණොත්

අම්මා හරි තාත්තා හරි මැරුණොත්

ප්‍රශ්නය

ඩේමිට අවුරුදු 6දී එයාගේ තාත්තා මොළය හා සම්බන්ධ රෝගයකින් මැරුණා. ඩෙරික්ට අවුරුදු 9දී එයාගේ තාත්තා හදවත් රෝගයකින් නැති වුණා. ජෙනීට අවුරුදු 7දී එයාගේ අම්මා පිළිකාවක් හැදිලා මැරුණා. *

ඔයාත් ඒ වගේ අද්දැකීමකට මුහුණ දීලා තියෙනවාද? එහෙමනම් මේ ලිපියේ කතා කරන තොරතුරු ඔයාට ගොඩක් උදව් වෙයි. *

දැනගන්න ඕන දේ

හැමෝම දුක් වෙන්නේ එකම විදිහට නෙමෙයි. තමන් ආදරය කරන කෙනෙක්ගේ මරණයකදී ඔයා දුක් වෙන විදිහට නෙමෙයි තව කෙනෙක් දුක් වෙන්නේ. “කාගෙ හරි මරණයකදී දුක් වෙන්න ඕන විදිහ ගැන නීතියක් නැහැ” කියලා එක පොතක සඳහන් වුණා. (Helping Teens Cope With Death) හැබැයි දුක හිතේ තද කරන් ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ ඇයි?

දුක හිතේ තද කරන් ඉන්න එකෙන් ඔයාගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. ලිපියේ මුල සඳහන් කරපු ජෙනී මෙහෙම කියනවා. “මම ඇඬුවොත් නංගිත් අඬයි කියලා මං හිතුවා. ඒ නිසා මම දුක හිතේ තද කරන් හිටියා. තාමත් මං එහෙමයි. දුක පෙන්නන්නේ නැහැ. ඒත් ඒක හොඳ දෙයක් නෙමෙයි.”

එක පොතක මෙහෙම සඳහන් වුණා. “දුක හැමදාටම හිතේ හංගන් ඉන්න බැහැ. කවදා හරි දවසක ඒක මොන ක්‍රමයකින් හරි පිට වෙනවා. ඒ නිසා ලෙඩ වෙන්නත් පුළුවන්.” (The Grieving Teen) දුක හිතේ තද කරන් ඉන්න කෙනෙක් අධික ලෙස මත්පැන් නැත්නම් මත්ද්‍රව්‍ය ගන්නත් පෙලඹෙන්න පුළුවන්.

දුක නිසා ඔයාගේ හැඟීම් සහ හැසිරීම් වෙනස් වෙන්න පුළුවන්. මැරුණ කෙනා තමන්ව දාලා ගියා කියලා හිතලා සමහර අය ඒ කෙනා ගැන වෛරයක් ඇති කරගන්නවා. තවත් අය දෙවියන්ට දොස් කියනවා. මැරුණ කෙනා ජීවතුන් අතර ඉද්දී එයාට කියපු, කරපු දේවල් ගැන හිතලා දුක් වෙන අයත් ඉන්නවා.

දුක කඳුළට විතරක් සීමා වුණ දෙයක් නෙමෙයි කියලා ඒ දේවල්වලින් පැහැදිලියි. ඒ වගේ තත්වයකින් ගොඩ එන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

 කරන්න පුළුවන් දේ

දුක කාට හරි කියන්න. ඔයා ආදරය කරන කෙනෙක්ගේ මරණයෙන් පස්සේ හැමෝගෙන්ම වෙන් වෙලා ඉන්න ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් හිතේ දුක පවුලේ කෙනෙක්ට හරි යාළුවෙක්ට හරි කිව්වොත් ඔයාගේ හිතට ලොකු සහනයක් දැනෙයි. ඒ ගැනම හිතලා ජීවිතය අඳුරු කරගන්න එපා.—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 18:24.

පොතක ලියන්න. අම්මා හරි, තාත්තා හරි ජීවත් වෙලා හිටපු කාලය ගැන ඔයාට තියෙන මිහිරි මතකයන් ලියන්න. එයාගේ හොඳ ගතිගුණ ගැනත් ඒවායින් ඔයාගේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් ගතිගුණ ගැනත් ලියන්න.

අම්මා හරි, තාත්තා හරි ජීවත් වෙලා ඉද්දී එයාට කියපු කරපු දෙයක් නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? ඒක ඔයාගේ හිතට වධ දෙනවාද? එහෙමනම් ඒ ගැන ලියන්න. උදාහරණයකට ඔයාට මේ වගේ දෙයක් ලියන්න පුළුවන්. “තාත්තා මැරෙන්න කලින් දවසේ එයාත් එක්ක රණ්ඩු වුණ එක ගැන මම අද දුක් වෙනවා.”

ඊළඟට එහෙම දුක් වෙන එක ඇත්තටම සාධාරණද කියලා හිතලා බලන්න. “කරපු දේ ගැන සමාව ඉල්ලන්න ආයෙත් අවස්ථාවක් ලැබෙන එකක් නැහැ කියලා කෙනෙක් දැනන් හිටියා නම් එයා ඒ වැරැද්ද කරන්නේ නැහැ” කියලා එක පොතක සඳහන් වුණා. (The Grieving Teen) “සමාව ඉල්ලන්න හේතු වෙන දේවල් කොයි කාගේ අතිනුත් වෙන්න පුළුවන්.”—බයිබල් ප්‍රතිපත්තිය: යෝබ් 10:1.

ඔයාගේ සෞඛ්‍යය ගැන හිතන්න. හොඳට නිදාගන්න. ව්‍යායාම් කරන්න. ගුණදායක කෑම කන්න. කෑම වේලක් ගන්න ආසාවක් නැත්නම් ඇඟට පෝෂණයක් ලැබෙන කෙටි ආහාර විටින් විට කන්න. ඇඟට අහිතකර කෑම කාලාවත් මත්පැන් බීලාවත් දුක නිවාගන්න බැහැ. ඒකෙන් වෙන්නේ ඔයා ලෙඩ වෙන එක විතරයි.

දෙවියන්ට යාච්ඤා කරන්න. බයිබලයේ කියන්නේ “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න” කියලයි. (ගීතාවලිය 55:22) යාච්ඤාව ගැන සැහැල්ලුවට හිතන්න එපා. ඒකෙන් ඇත්තටම ඔයාට සහනයක් ලැබෙනවා. මොකද ඔයා යාච්ඤාවෙන් කතා කරන්නේ “සියලු පීඩාවලදී අපව සනසන” දෙවියන්ටයි.—2 කොරින්ති 1:3, 4.

දෙවියන්ට පුළුවන් ඔහුගේ වචනය වන බයිබලයෙනුත් ඔයාට සැනසීමක් දෙන්න. මිය ගිය අයගේ තත්වය ගැනත් එයාලාව ආයෙත් දකින්න පුළුවන්ද කියන එක ගැනත් බයිබලයෙන් දැනගන්න පුළුවන්. *බයිබල් ප්‍රතිපත්තිය: ගීතාවලිය 94:19.

^ 4 ඡේ. මේ තුන්දෙනා ගැන තවත් තොරතුරු ඊළඟ ලිපියෙන් දැනගන්න පුළුවන්.

^ 5 ඡේ. මේ ලිපියේ කතා කරන්නේ දෙමව්පියෙක්ගේ මරණය ගැන වුණත් මේ තොරතුරු ඔයාගේ සහෝදරයෙක්ගේ, සහෝදරියකගේ නැත්නම් කිට්ටු මිතුරෙක්ගේ මරණයකදිත් ඔයාට සහනයක් වෙයි.

^ 19 ඡේ. ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන පොතේ 16වෙනි පරිච්ඡේදය බලන්න. මේ පොත www.jw.org/si වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වෙබ් අඩවියේ ප්‍රකාශන යටතේ බලන්න.