Skip to content

කන්‍ය මරියා ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

කන්‍ය මරියා ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 බයිබලයේ ඒ ගැන කියන දේ

 මේ ලෝකේ කිසිම ස්ත්‍රියකට නොලැබුණු වරප්‍රසාදයක් මරියාට ලැබුණා. ඒ කන්‍යාවක්ව සිටියදීම යේසුස් ක්‍රිස්තුස්ගේ මව වෙන්න ඇයට ලැබුණ අවස්ථාවයි. යේසුස් කන්‍යාවකගෙන් උපත ලබනවා කියලා ඔහු ඉපදෙන්න අවුරුදු සිය ගාණකට කලින් යෙසායා පොතේ අනාවැකියක් සඳහන් වෙලා තිබුණා. මතෙව් සහ ලූක් සුවිශේෂවල ඒ අනාවැකියේ ඉටු වීම ගැන සඳහන් වෙලා තියෙනවා.

 යෙසායා පොතේ මෙසියස්ගේ උපත ගැන සඳහන් වෙලා තිබුණේ මෙහෙමයි. “තරුණිය ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය.” (යෙසායා 7:14) මරියා යේසුස්ව බිහි කළාම ඒ අනාවැකිය මරියා තුළින් ඉටු වුණා කියලා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් මතෙව් තම සුවිශේෂයේ වාර්තා කරනවා. එතන කියන්නේ මෙහෙමයි. “මේ සියල්ල සිදු වූයේ යෙහෝවා දෙවි තම අනාගතවක්තෘ ලවා පැවසූ මේ දේ ඉටු වීම සඳහාය. ‘කන්‍යාව a ගැබ්ගෙන පුතෙකු බිහි කරයි. ඔහුට එම්මානුවෙල් යන නම තබනු ඇත.’ එහි අර්ථය ‘දෙවි අප සමඟය’ යන්නයි.”—මතෙව් 1:22, 23.

 ඒ ගැන ලූක්ගේ සුවිශේෂයෙත් වාර්තා කරලා තියෙනවා. එතන කියන්නේ ‘ගාබ්‍රියෙල් දේවදූතයා ගියේ මරියා නම් කන්‍යාව හමු වීමටය. ඇය ඒ වන විට දාවිත්ගේ පෙළපතට අයත් යෝසෙප් නම් තැනැත්තෙකු හා විවාහ ගිවිසගෙන සිටියාය.’ (ලූක් 1:26, 27) යේසුස්ගේ මව විදිහට ඇයව තෝරාගෙන තියෙනවා කියලා දේවදූතයා ඇයට කිව්වාම මරියා දේවදූතයාගෙන් මෙහෙම ඇහුවා. “මම තවමත් පුරුෂයෙක් සමඟ එකට ජීවත් වී නැහැ. කොහොමද මට මේ වගේ දෙයක් වෙන්නේ?” (ලූක් 1:34) ඒ වෙද්දී ඇය කන්‍යාවක් කියලා ඇයම කිව්ව ඒ දෙයිනුත් පැහැදිලියි.

 කන්‍යාවකගෙන් දරුවෙක් ඉපදෙන්නේ කොහොමද?

 මරියා ගැබ්ගත්තේ දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය මාර්ගයෙන්. (මතෙව් 1:18) දේවදූතයා මරියාට මෙහෙම කිව්වා. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.” b (ලූක් 1:35) දෙවියන්, යේසුස්ගේ ජීවිතය ආශ්චර්යවත් විදිහට මරියාගේ කුස තුළ වැඩෙන්න සැලැස්සුවා.

 යේසුස්ව බිහි කරන්න කන්‍යාවක්ව තෝරගත්තේ ඇයි?

 යේසුස්ගේ උපතට මනුෂ්‍ය පියෙක් සම්බන්ධ වුණේ නැහැ. යේසුස්ගේ ජීවිතය මරියාගේ කුස තුළට මාරු කළේ දෙවියන් විසින්. ඒ වගේම මරියාගේ කුස තුළ වර්ධනය වුණ කලලය දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසා පාපයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වුණා. (ලූක් 1:35) ඒ හේතු නිසා යේසුස් පරිපූර්ණ කෙනෙක් විදිහට ඉපදුණා. මිනිසාව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න පුළුවන් වුණේ ඔහු පරිපූර්ණ කෙනෙක් නිසයි.—යොහන් 3:16; හෙබ්‍රෙව් 10:5.

 යේසුස් “කිසි පාපයක් නොකළේය” කියලා බයිබලයේ කියනවා. (1 පේතෘස් 2:22) යේසුස්ගේ ජීවිතය, ආදම් අහිමි කරගත්ත පරිපූර්ණ ජීවිතයට සමාන වුණා. ඒ නිසයි ආදම් නැති කරගත්ත ජීවිතය වෙනුවට තමන්ගේ ජීවිතය පූජා කරලා මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් ගලවාගන්න යේසුස්ට පුළුවන් වුණේ.—1 කොරින්ති 15:21, 22; 1 තිමෝති 2:5, 6.

 මරියා දිගටම කන්‍යාවක් වෙලා හිටියාද?

 මරියා දිගටම කන්‍යාවක් වෙලා හිටියා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට යේසුස් ඉපදුණාට පස්සේ ඇයට තවත් දරුවන් ලැබුණා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.—මතෙව් 12:46; මාක් 6:3; ලූක් 2:7; යොහන් 7:5.

මරියාට තවත් දරුවන් හිටියා කියලා බයිබලයේ සඳහන් වෙනවා

 මරියා ඉපදුණේ පාපය උරුම කරගන්නේ නැතුවද?

 හුඟක් අය විශ්වාස කරනවා මරියා ඉපදුණේ පාපය උරුම කරගන්නේ නැතුව කියලා. එක විශ්වකෝෂයක (New Catholic Encyclopedia) මෙහෙම සඳහන් වෙනවා. “නිර්මල පිළිසිඳගැනීම කියන ඉගැන්වීමට අනුව මරියා ඉපදෙන්නටත් කලින් දෙවියන් ඇයව මේ විශේෂ කාර්යය සඳහා තෝරාගත්තා. ඒ නිසා කිසිම මිනිසකුට නොදුන් වරමක් දෙවියන් ඇයට දුන්නා. ඒ තමයි ජන්ම පාපයෙන් තොරව ඉපදීමේ වරප්‍රසාදය. ඒ කියන්නේ මරියා ඇගේ මවගේ කුසේ පිළිසිඳගත්ත වෙලාවෙම දෙවියන් ඇයව පාපයෙන් නිදොස් කළා.” c

 ඒත් මරියා ඉපදුණේ පාපය උරුම කරගන්නේ නැතුවයි කියලා බයිබලයේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. (ගීතාවලිය 51:5; රෝම 5:12) මරියාත් පාපය උරුම කරගත්ත කෙනෙක් කියලා ඇය කළ දේකින් පැහැදිලියි. මෝසෙස්ගේ නීතියට අනුව දරුවෙක් බිහි කළාට පස්සේ ස්ත්‍රියක් තම පව්කාර තත්වයට සමාව ලබාගන්න පාප පූජාවක් ඔප්පු කරන්න අවශ්‍යය වුණා. යේසුස්ව බිහි කළාට පස්සේ මරියාත් දෙවියන්ට පාප පූජාවක් ඔප්පු කළේ ඇයත් අනිත් මිනිසුන් වගේම පාපය උරුම කරගෙන හිටිය නිසයි. (ලෙවී කතාව 12:2-8; ලූක් 2:21-24) කලින් සඳහන් කළ විශ්වකෝෂයේ (New Catholic Encyclopedia) මෙහෙම කියනවා. “නිර්මල පිළිසිඳගැනීම කියන ඉගැන්වීම දේවවචනයේ සඳහන් ඉගැන්වීමක් නෙමෙයි. එය කතෝලික සභාවේ ඉගැන්වීමක්.”

 අපි මරියාට ගරුබුහුමන් දක්වන්න ඕනෙද?

 මරියා දෙවියන්ට ගොඩක් විශ්වාසවන්ත, ඔහුට කීකරුව වැඩ කරපු, නිහතමානී ස්ත්‍රියක්. ඒ වගේම ඇයගේ හිතේ දෙවියන් ගැන ගැඹුරු භක්තියක් සහ ආදරයක් තිබුණා. ඇත්තටම ඇය අපිට හොඳ ආදර්ශයක්.—හෙබ්‍රෙව් 6:12.

 ඒත් යේසුස්ව බිහි කළ නිසා ඇයට නමස්කාර කරන්න ඕනෙ කියලවත් ඇයට යාච්ඤා කරන්න ඕනෙ කියලවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. යේසුස් කවදාවත් මරියාට ගැඹුරු භක්තියකින් සැලකුවා කියලාවත් ඇයට විශේෂ ගෞරවයක් දුන්නා කියලාවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඔහු තමන්ගේ අනුගාමිකයන්ට එහෙම කරන්න කියලා කිව්වෙත් නැහැ. ඒ වගේම ශුභාරංචි පොත් හතරේ සහ ක්‍රියා පොතේ එක් තැනක හැර නව ගිවිසුම කියලා හඳුන්වන ඉතුරු පොත් 22 මරියා ගැන කිසිම තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ.—ක්‍රියා 1:14.

 පළවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් මරියාට නමස්කාර කළා කියලවත් ඇයට විශේෂ ගෞරවයක් දුන්නා කියලවත් බයිබලයේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒත් ක්‍රිස්තියානීන් නමස්කාර කරන්න ඕනෙ කාටද කියලා බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ එකම සැබෑ දෙවියන්ට විතරයි.—මතෙව් 4:10.

a යෙසායා 7:14 “තරුණිය” කියලා පරිවර්තනය කරලා තියෙන්නේ “ආල්මා” කියන හෙබ්‍රෙව් වචනයයි. ඒ වචනය කන්‍යාවක් වගේම කන්‍යාවක් නොවන කෙනෙක්ව හඳුන්වන්නත් පාවිච්චි කළා. ඒත් මතෙව් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ඒ අනාවැකිය උපුටා දක්වද්දී යොදාගත්තේ “පර්තිනෝස්” කියන ග්‍රීක වචනයයි. ඒ වචනය යොදාගත්තේ “කන්‍යාවක්ව” හඳුන්වන්න විතරයි.

b යේසුස්ව දෙවියන්ගේ පුත්‍රයා කියලා හඳුන්වන එකට සමහරු විරුද්ධ වෙනවා. මොකද ඒකෙන් දෙවියන් ස්ත්‍රියක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා කියන දේ ඇඟවෙනවා කියලා එයාලා හිතනවා. ඒත් ඒ වගේ අදහසක් බයිබලයේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. දෙවියන් විසින් මුලින්ම නිර්මාණය කළේ යේසුස්වයි. ඒ නිසයි බයිබලයේ ඔහුව “දෙවිගේ පුත්‍රයා” සහ “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” කියලා හඳුන්වන්නේ. (කොලොස්සි 1:13-15) බයිබලයේ ආදම්ව දෙවියන්ගේ පුත්‍රයා කියලා හඳුන්වලා තියෙන්නෙත් දෙවියන් ඔහුව නිර්මාණය කළ නිසයි.—ලූක් 3:38.

c Second Edition, Volume 7, page 331.