Skip to content

යේසුස් විවාහ වෙලා හිටියාද? යේසුස්ට සහෝදර සහෝදරියන් හිටියාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

යේසුස් ගැන බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ ඔහු විවාහ වෙලා හිටියේ නැහැ කියලයි. * ඒ ගැන තොරතුරු ටිකක් බලමු.

  1. යේසුස්ගේ පවුලේ අය ගැන, ඔහු එක්ක සේවයට හවුල් වුණ කාන්තාවන් ගැන හා ඔහුව මරණයට පත් කරපු අවස්ථාවේ එතන හිටිය කාන්තාවන් ගැන බයිබලයේ කීප වතාවක්ම සඳහන් වෙනවා. ඒත් කිසිම අවස්ථාවක ඔහුගේ භාර්යාවක් ගැන සඳහන් වෙන්නේ නැහැ. (මතෙව් 12:46, 47; මාක් 3:31, 32; 15:40; ලූක් 8:2, 3, 19, 20; යොහන් 19:25) බයිබලයේ ඒ ගැන සඳහන් කරලා නැත්තේ යේසුස් විවාහ වෙලා හිටියේ නැති නිසයි.

  2. දෙවියන්ට වැඩිපුර සේවයක් කරන අරමුණෙන් තනිකඩව ඉන්න ඉඩ සලසාගන්න පුළුවන් නම් එහෙම කරන්න කියලා යේසුස් ගෝලයන්ට දිරිගැන්නුවා. (මතෙව් 19:10-12) එහෙම කිව්වා විතරක් නෙමෙයි යේසුස් දෙවියන්ට වැඩිපුර සේවයක් කිරීමේ අරමුණෙන් තනිකඩව ඉඳලා එහෙම ඉන්න අයට කදිම ආදර්ශයක් තැබුවා.—යොහන් 13:15; 1 කොරින්ති 7:32-38.

  3. යේසුස් මිය යන්න ටිකකට කලින් ඔහුගේ අම්මාව රැකබලා ගන්න කියලා ගෝලයෙක්ට කිව්වා. (යොහන් 19:25-27) යේසුස් විවාහ වෙලා හිටියා නම්, ඔහුට දරුවෝ හිටියා නම් ඔහුගේම පවුලේ අයව බලාගන්න කාටවත් භාර නොදී ඉඳියිද?

  4. යේසුස් ස්වාමිපුරුෂයන්ට කදිම ආදර්ශයක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒත් ඔහු භාර්යාවකට සලකපු විදිහ ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.” (එෆීස 5:25) ඔහු විවාහ වෙලා හිටියා නම් ඒ බයිබල් පදයේ තම භාර්යාවට ආදරෙන් සලකපු පරිපූර්ණ ස්වාමිපුරුෂයෙක් හැටියට නෙමෙයිද ඔහුව විස්තර කරන්නේ?

යේසුස්ට සහෝදර සහෝදරියන් හිටියාද?

ඔහුට සහෝදර සහෝදරියන් හයදෙනෙක්වත් ඉන්න ඇති. යාකොබ්, යෝසෙප්, සීමොන් හා යූදස් ඔහුගේම සහෝදරයන්. ඔහුට අඩුම තරමින් සහෝදරියන් දෙන්නෙක්වත් ඉන්න ඇති. (මතෙව් 13:54-56; මාක් 6:3) ඒ අය මරියාටයි යෝසෙප්ටයි දාව ඉපදුණ දරුවන්. (මතෙව් 1:25) යේසුස්ව බයිබලයේ හඳුන්වන්නේ මරියාගේ “කුලුඳුල් පුත්‍රයා” කියලයි. ඒ කියන්නේ ඇයට තවත් දරුවන් හිටියා කියන එකයි.—ලූක් 2:7.

යේසුස්ගේ සහෝදරයන් ගැන තිබුණු වැරදි මත

මරියා ජීවිත කාලය පුරාම කන්‍යාවක් වෙලා හිටියා කියන එක ඔප්පු කරන්න සමහර අය යේසුස්ගේ සහෝදරයන් ගැන විවිධ අර්ථකථන දීලා තියෙනවා. උදාහරණයකට සමහර අය කියන්නේ යේසුස්ගේ සහෝදරයන් යෝසෙප්ගේ කලින් විවාහයේ දරුවන් කියලයි. ඒත් යේසුස්ට දාවිත්ගේ සිංහාසනයේ නීත්‍යනුකූල අයිතිය ලැබුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (2 සාමුවෙල් 7:12, 13; ලූක් 1:32) යේසුස්ට වඩා වැඩිමල් දරුවන් යෝසෙප්ට හිටියා නම් ඒ නීත්‍යනුකූල අයිතිය ලැබෙන්න ඕන යේසුස්ට නෙමෙයි වැඩිමල් දරුවාටයි.

සහෝදරයන් කියලා කියන්නේ යේසුස්ගේ ගෝලයන්ට හරි ඔහුගේ අනුගාමිකයන්ට හරි වෙන්න බැරිද? එහෙම වෙන්න බැහැ. බයිබල් පදයක පැහැදිලිවම මෙහෙම කියනවා. “ඇත්තෙන්ම ඔහුගේ සහෝදරයන්ට ඔහු කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැත.” (යොහන් 7:5) බයිබලයේ යේසුස්ගේ සහෝදරයන් හා ඔහුගේ ගෝලයන් අතර වෙනස පැහැදිලිවම පෙන්වලා තියෙනවා.—යොහන් 2:12.

යේසුස්ගේ සහෝදරයන් කියන්නේ ඔහුගේ ඥාති සහෝදරයන්ට කියලා තවත් අය හිතනවා. ඒත් පැරණි ග්‍රීක ලියවිලිවල “එක් කුසේ උපන් සහෝදරයන්” හා “ඥාති සහෝදරයන්” අතර වෙනස පැහැදිලිවම පෙන්වලා තියෙනවා. (ලූක් 21:16; කොලොස්සි 4:10) බයිබලයේ යේසුස්ගේ සහෝදර සහෝදරියන් හැටියට සඳහන් කරලා තියෙන්නේ ඔහුගේම පවුලේ අය කියලා බොහෝ බයිබල් විශාරදයන් පිළිගන්නවා. උදාහරණයකට පොතක (The Expositor’s Bible Commentary) මේ විදිහට සඳහන් වෙනවා. ‘යේසුස්ට හිටපු සහෝදරයන් මරියාට සහ යෝසෙප්ට දාව උපන් දරුවනුයි. තවත් විදිහකින් කියනවා නම් ඔවුන් එක කුසේ උපන් දරුවන්.’ *

^ 3 ඡේ. බයිබලයේ යේසුස්ව මනාලයෙකුට සමාන කරලා තියෙන අවස්ථා තියෙනවා. ඒත් ඒ වාර්තා සම්පූර්ණයෙන්ම කියෙව්වාම පැහැදිලි වෙනවා ඒ සංකේත අර්ථයකින් විතරයි කියලා.—යොහන් 3:28, 29; 2 කොරින්ති 11:2.

^ 13 ඡේ. මේ පොත්ද බලන්න. The Gospel According to St. Mark, Second Edition, by Vincent Taylor, 249 පිටුව සහ A Marginal Jew—Rethinking the Historical Jesus, by John P. Meier, 1වෙනි වෙළුමේ 331-332 පිටු.