Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

සතුටින් ඉන්න විවාහ වෙන්නම ඕනෙද?

සතුටින් ඉන්න විවාහ වෙන්නම ඕනෙද?

සතුටින් ඉන්න නම් විවාහ වෙන්නම ඕනේ කියලා බයිබලයේ පවසා තිබෙනවාද? බැලූ බැල්මට බයිබලයේ සඳහන් ඇතැම් තොරතුරු එම අදහසට අනුබල දෙනවා කියා සමහර අය සිතනවා. ඒ ඇයි?

මුල්ම මිනිසා වූ ආදම් ‘තනිව සිටීම හොඳ නැහැ’ කියා පැවසූ දෙවි ඔහුට ‘සහකාරියක්’ ලෙස ඒවව ලබා දුන්නා. (උත්පත්ති 2:18) ඊට අමතරව විවාහය නිසා බොහෝ ආශීර්වාද ලැබූ අය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. රූත් ඒ අය අතරින් කෙනෙක්.

එම තොරතුරුවලට අනුව අද සිටින ක්‍රිස්තියානීන්ට සතුටින් ඉන්න නම් විවාහ වී දරුවන් ඇතිදැඩි කිරීම අත්‍යවශ්‍යයි කියා කීම සාධාරණද? නැහැ. මේ පොළොවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් වන යේසුස් විවාහ වුණේ නැහැ. ඒත් ඔහු “ප්‍රීතිමත් දෙවි” යෙහෝවා වගේ සතුටින් ජීවත් වුණා. (1 තිමෝති 1:11; යොහන් 14:9) අපි සතුටින් ඉන්න නම් කළ යුතු දේවල් ගැන යේසුස් කිව්වා. ඒ එක අවස්ථාවකදීවත් ඔහු විවාහය ගැන සඳහන් කළේ නැහැ.—මතෙව් 5:1-12.

විවාහය ගැන බයිබලයේ සඳහන් අදහස් පරස්පරවිරෝධීද? නැහැ. විවාහය ගැන දෙවිගේ අරමුණ තේරුම්ගැනීමෙන් ඊට පිළිතුරු ලැබේ. දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ආදම් හා ඒවට සතුටින්, සහයෝගයෙන් ජීවත් වීමට විතරක් නෙවෙයි එය පොළොව ගැන දෙවිගේ අරමුණ සම්පූර්ණ කිරීමටත් දායක වුණා. දෙවි ඔවුන්ට පැවසුවේ “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න” කියායි. (උත්පත්ති 1:28) ආදම් තනියම හිටියා නම් දෙවිගේ ඒ අරමුණ ඉටු වෙන්නේ නැහැ.

ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන්ද දෙවිට අරමුණක් තිබුණා. දෙවි තම සෙනඟ ලෙස ඔවුන්ව තෝරාගත්ත නිසා ඔවුන් විශාල සෙනඟක් වෙනවා දකින්න දෙවි කැමති වුණා. ඊට එක් හේතුවක් නම් එමගින් ඔවුන්ට සතුරන්ගෙන් ආරක්ෂාවක් ලැබීමයි. අනික් හේතුව මිනිසාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට නියමිත ගැලවුම්කරු පැමිණීමට තිබුණෙත් ඊශ්‍රායෙල්වරුන්ගෙන් වීමයි. (උත්පත්ති 49:10) ඒ නිසා එදා ඊශ්‍රායෙල් සෙනඟ අතර සිටි ස්ත්‍රීන් විවාහ වී දරුවන් සෑදීම ආශීර්වාදයක් ලෙස සැලකුවා.

‘මුළු පොළොවම පූර්ණ’ කරන්න කියා දෙවි ආදම්ට දුන් ආඥාව අද ඉන්න ක්‍රිස්තියානීන්ටත් අදාළද? නැහැ. (මතෙව් 19:10-12) හේතුව මිනිසුන්ව පාපයෙන් ගලවාගැනීමට දෙවි පොරොන්දු වූ ගැලවුම්කරු දැනටමත් පැමිණ අවසන්. එසේනම් අද ඉන්න ක්‍රිස්තියානීන් විවාහය හා තනිකඩභාවය සලකන්න ඕනේ කොහොමද?

ඇත්තෙන්ම විවාහ වීමත් තනිකඩභාවයත් දෙවිගෙන් ලද ත්‍යාගයන්. යම් අවස්ථාවලදී එක්කෙනෙකුට වඩාත් හොඳින් ගැළපෙන ත්‍යාගයක් තවත් කෙනෙකුට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. විවාහය සහ තනිකඩභාවයත් ඒ හා සමානයි. දෙවි ඇති කළ විවාහ සැලැස්ම තුළ ආදරය, සහයෝගය සහ දරුවන් හදා වඩා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම “විවාහ වන අයට තම ජීවිතයේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න” සිදු වෙන බව බයිබලයේ සඳහන් වෙනවා. කොහොමවුණත් තනිකඩව සිටීම ලැජ්ජාවට හේතුවක් හෝ දුක් විය යුතු දෙයක් ලෙස දෙවි සලකන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ සඳහන් වෙන්නේ දෙවිට සේවය කිරීමේදී විවාහකයන්ට වඩා වැඩි නිදහසක් තනිකඩයන්ට තිබෙනවා කියායි.—1 කොරින්ති 7:28, 32-35.

ඒ අනුව විවාහය සහ තනිකඩභාවය ගැන බයිබලයේ සමබර අදහසක් ඉදිරිපත් කර තිබෙන බව පැහැදිලියි. විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි කැමති වන්නේ විවාහකයන් මෙන්ම තනිකඩයන්ද සතුටින් ජීවත් වෙනවාටයි.