Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

කටුක ළමා වියක් ගෙවූ කෙනෙක්ට දයාබර සැමියෙක් සහ පියෙක් වෙන්න පුළුවන් වුණේ කොහොමද? නරක පුරුදුවලට ඇබ්බැහි වී සිටි කාන්තාවක් යහපත් ජීවිතයක් ගත කරන්න පෙලඹුණේ ඇයි?

“මගේ කිසිම වටිනාකමක් නැහැ.”—වික්ටර් හියුගෝ එරේරා

  • උපත ලැබූ වසර: 1974

  • රට: චිලී

  • අතීතයේදී: බේබද්දෙක්

මගේ අතීතය:

මම ඉපදුණේ චිලී රටේ දකුණට වෙන්න තියෙන ලස්සන නගරයක් වන අංගෝල්වල. මම කවදාවත් මගේ තාත්තව දැකලා නැහැ. මගේ අම්මා මාවයි තව කසාදෙකින් ලැබුණු මගේ මල්ලිවයි අරගෙන සන්තියාගෝවලට ගියා. එහෙදී අපි ජීවත් වුණේ තාවකාලික පුංචි කාමරයක. අපි පාවිච්චි කළේ පොදු වැසිකිළියක්. වතුර ගත්තේ ගිනිනිවන බව්සරයකින්.

අවුරුදු දෙකකට පස්සේ රජයෙන් අපිට පුංචි ගෙයක් දුන්නා. හැබැයි ඒ වටපිටාවේ හිටියේ මත්කුඩුවලටයි මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහි වුණ අනාචාර ජීවිත ගත කරපු දුෂ්ට මිනිස්සු.

ටික කාලෙකට පස්සේ අම්මා තව කෙනෙක් එක්ක විවාහ වුණා. ඒ බාප්පා මත්පැන්වලට ඇබ්බැහි වුණ කෙනෙක් නිසා මමයි, අම්මයි හරියට ගුටි කෑවා. මගේ තාත්තා හිටියා නම් මට මෙහෙම වෙන්නේ නැහැනේ කියලා මට නිතරම හිතුණා. ඒ හැම වතාවකදීම අනිත් අයට පේන්නේ නැති තැනකට ගිහින් මම හොඳටම ඇඬුවා.

අපිට කන්න අඳින්න දෙන්න අම්මා හුඟක් මහන්සි වුණා. අපිට කොච්චර අඟහිඟකම් තිබුණද කිව්වොත් සමහර වෙලාවට බඩගින්නට කන්න තිබුණේ සීනියි, පිටියි විතරයි. මමයි මගේ මල්ලියි විනෝද වෙන්න කියලා කළේ TV බලන එක. අපි අල්ලපු ගෙදර ජනේලේ ළඟට ගිහිල්ලා හොරෙන් තමයි ඒකත් බැලුවේ. දවසක් ඒ ගෙදර හිටිය ගෑණු කෙනාට අපිව අහු වුණා. එදායින් පස්සේ TV බලන එකත් නතර වුණා.

අපේ බාප්පා බොන්නේ නැතුව ඉන්න වෙලාවට නම් හරිම හොඳයි. හැබැයි හරිම කලාතුරකින් තමයි එහෙම වෙන්නේ. ඒ වගේ වෙලාවට බාප්පා මටයි, මල්ලිටයි කන්න මොනවා හරි ගෙනත් දෙනවා. තව දවසක් බාප්පා අපිට පොඩි TV එකක් ගෙනල්ලා දුන්නා.

වයස 13දී මම ඉස්කෝලේ යන එක නතර කරලා රස්සාවක් කරන්න පටන්ගත්තා. වැඩ ඇරුණට පස්සේ මාත් එක්ක වැඩ කරපු අයත් එක්ක වෙරි වෙනකල් බොන්නත් මත්ද්‍රව්‍ය ගන්නත් පුරුදු වුණා. මම ඒවාට ඇබ්බැහි වෙන්න වැඩි කල් ගියේ නැහැ.

ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ මට වයස 20දී කැතීව මුණගැහුණා. අපි විවාහ වුණු මුල් කාලේදී සතුටින් හිටියත් මම ආයෙත් කලින්ටත් වඩා වැඩියෙන් මත්පැන්, මත්කුඩු ගන්න පටන් ගත්ත නිසා ඒ සතුට අපිටත් නොදැනීම ගිලිහී ගියා. මෙහෙම ගියොත් වැඩි කල් යන්නේ නැතිව මට හිරේ යන්න වෙයි, එහෙමත් නැත්නම් මම මැරිලා යයි කියලා මට හිතුණා. මම හැසුරුණු විදිහ නිසා මගේ පුතා වික්ටර් ගොඩක් දුක් වින්දා. මම පොඩි කාලේ දුක් වින්දා වගේ මගේ පුතාත් දුක් විඳිනවා නේද කියලා හිතෙද්දී මට  මාත් එක්කම කේන්ති ගියා. මගේ කිසිම වටිනාකමක් නැහැ කියලා මට හිතුණා.

ඔය අතරේදී තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවේ. කැතී ඒගොල්ලන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. එයා ඉගෙනගත්තු දේවල් ගැන මට කිව්ව නිසා මටත් ආස හිතුණා ඒ දේවල් ගැන ඉගෙනගන්න. කැතී බයිබලය ගැන ඉගෙනගන්න පටන් අරන් අවුරුදු දෙකකට පස්සේ ඒ කියන්නේ 2003දී එයා බව්තීස්ම වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු:

දවසක් මම බයිබලයෙන් රූත් 2:12 කියෙව්වාම දැනගත්තා යෙහෝවා දෙවිගේ පියාපත් සෙවණේ රැකවරණය සොයන අයට දෙවිගෙන් ආශීර්වාද ලැබෙනවා කියලා. ඒ නිසා මගේ නරක පුරුදු අත්හැරියොත් මටත් දෙවිගේ ආශීර්වාද ලැබෙයි කියලා මම හිතුවා. දෙවිව සතුටු කරන්න නම් 2 කොරින්ති 7:1 කියන විදිහට අපවිත්‍ර කරවන හැම දෙයකින්ම ඉවත් වෙලා අපිවම පවිත්‍ර කරගන්න ඕනේ කියලත් මම දැනගත්තා. ඒ නිසා බේබදුකම අත්හරින්න මම හුඟක් උත්සාහ කළා. හැබැයි මුල් කාලේදී ඒවා අත්හරින්න ලේසි වුණේ නැති නිසා මට මාත් එක්කම කේත්ති ගියා. ඒත් කැතී දිගටම මට උදව් කළා.

මම රස්සාව කරපු තැන හිටිය යාළුවෝ මත්පැන් බොන්නත් සිගරට් බොන්නත් මාව පොලඹවන නිසා මම රස්සාවෙන් අයින් වුණා. ඒ නිසා අපිට හුඟක් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් බයිබලය ගැන ඉගෙනගන්න මට වැඩි කාලයක් ලැබුණා. දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න මම ඒ කාලය යොදාගත්තා. අඟහිඟකම් ගැන කියලා කැතී කවදාවත් මට කරදර කළේ නැහැ. ඒ කාලේදී එයා මං වෙනුවෙන් කරපු දේවල් අදටත් මට මතකයි.

මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හුඟක් කිට්ටුවෙන් ඇසුරු කළා. ඒ අය නම් හරිම එකමුතු සෙනඟක්. ඊට කලින් කවදාවත් ඒ වගේ කට්ටියක්ව අපිට මුණගැහිලා නැහැ. මම ඒ තරම් උගත් කෙනෙක් නොවුණත් යෙහෝවා දෙවිට සේවය කරන්න මට තියෙන ආශාව දෙවි අගය කරන බව තේරුම්ගන්න ඒගොල්ලන් මට උදව් කළා. ටික කාලෙකට පස්සේ 2004 දෙසැම්බර් මාසයේදී මමත් බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු:

බයිබලයේ යෙසායා 48:17 මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් මමය.’ ඒක කොයි තරම් ඇත්තක්ද කියලා මම හොඳින්ම අද්දැක්කා. මම මගේ ජීවිතේ වෙනස්කරගත්තු හැටි දැකලා මගේ අම්මයි, මල්ලියි පුදුම වුණා. දැන් ඒ දෙන්නත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්නවා. ඒ විතරක් නෙවෙයි දැන් අපි හරිම සතුටින් පවුල් ජීවිතය ගත කරන එක ගැන අපේ අසල්වැසියනුත් ගොඩක් සතුටු වෙනවා.

කැතී යෙහෝවා දෙවිට ගොඩක් ආදරෙයි. ඒ වගේම එයා මටත් හොඳ යාළුවෙක්. මට මගේ තාත්තගේ ආදරේ ලැබුණේ නැහැ. හැබැයි මගේ පුත්තු තුන්දෙනාට ආදරණීය පියෙක් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒගොල්ලන් මටත් වඩා යෙහෝවා දෙවිට ආදරේ කරන එක ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්.

“මට මගේ තාත්තගේ ආදරේ ලැබුණේ නැහැ. හැබැයි මගේ පුත්තු තුන්දෙනාට ආදරණීය පියෙක් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා”

ළමා කාලයේදී වගේ නෙවෙයි මම දැන් ඉන්නේ හරිම සතුටින්. ඒක යෙහෝවා දෙවිගෙන් මට ලැබුණු ආශීර්වාදයක්!

 “පුංචි දේටත් මට කේන්ති ගියා.”—නාබිහා ලසරෝවා

  • උපත ලැබූ වසර: 1974

  • රට: බල්ගේරියාව

  • අතීතයේදී: මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක්

මගේ අතීතය:

මම ඉපදුණේ බල්ගේරියාවේ සොෆියාවල. මට වයස හයේදී තාත්තා අපිව දාලා ගියා. මට ඒක දරාගන්න හුඟක් අමාරු වුණා. මම කොච්චර මානසිකව වැටුණාද කියනවා නම් කිසිම කෙනෙක් මට ආදරේ නැහැ කියලා මම හිතුවා. ටිකෙන් ටික ලොකු වෙද්දී මම හැසිරුණේ හරිම දඩබ්බර විදිහට. තරුණ වයසේදී පුංචි දේටත් මට ඉක්මනින් කේන්ති ගියා.

මට වයස 14දී තමයි මම මුලින්ම ගෙදරින් පැනලා ගියේ. ඒ කාලේදී මම අම්මගෙනුයි, සීයාගෙනුයි හැම තිස්සේම වගේ සල්ලි හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා. මම ඉස්කෝලේදී කොච්චර රණ්ඩුවලට පැටළුණාද කියනවා නම් අවුරුදු දෙක තුනක් ඇතුළත ඉස්කෝල පහකටම මාරු වෙන්න සිද්ධ වුණා. අන්තිමේදී විභාගේ කරන්න අවුරුදු තුනකට කලින් මම ඉස්කෝලේ යන එක නතර කළා. ඊට පස්සේ මම ගත කළේ අනාචාර ජීවිතයක්. මරිජුවානා වගේ මත්ද්‍රව්‍යවලටත් සිගරට් බොන්නත් ඇබ්බැහි වෙලා හිටිය මම සමහර දවස්වලට වෙරි වෙනකල්ම බිව්වා. ඒ මදිවට මත්ද්‍රව්‍ය ජාවාරම්වලටත් හවුල් වුණා. මම හිතුවේ එදා දවස ගැන විතරයි. මොකද මිනිස්සු දුක් විඳලා මැරිලා යන විදිහ දැක්කම ජීවිතේට කිසිම තේරුමක් නැහැ කියලා මට හිතුණා.

වැඩි කාලයක් මට මත්ද්‍රව්‍ය ජාවාරම්වල හවුල් වෙන්න පුළුවන් වුණේ නැහැ. මම නොහිතපු විදිහට 1998දී බ්‍රසීලයේ, සඕ පවුලෝ ගුවන් තොටුපොළේදී මාව අත්අඩංගුවට ගත්තා. එදා මාව අවුරුදු හතරකට හිරේ දැම්මා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු:

වර්ෂ 2000දී සාක්ෂිකරුවන් හැම සතියෙම මේ හිර ගෙදරට ඇවිත් අපිත් එක්ක කතා කළා. මරිනස් ඒ අතරින් එක සාක්ෂිකාරියක්. එයා කියපු දේවල් නිසා බයිබලය ගැන ඉගෙනගන්න මට ආස හිතුණා. ඊට කලින් සාක්ෂිකරුවන් ගැන අහලා තිබුණේ නැති නිසා මම හිරේ හිටිය අනිත් අයගෙන් සාක්ෂිකරුවන් ගැන ඇහුවා. හැබැයි ඒ කිසිම කෙනෙක් සාක්ෂිකරුවන්ට කැමති නැහැ. එක්කෙනෙක් මට කිව්වා මොන ආගමට ගියත් කමක් නෑ, සාක්ෂිකාරයන් එක්ක නම් හවුල් වෙන්න එපා කියලා. සාක්ෂිකරුවන්ට මිනිස්සු මේ තරම් අකමැති ඇයි කියලා දැනගන්න මට ලොකු කුතුහලයක් ඇති වුණා. ඒකට හේතුව ඒ අය හරි ආගම අදහන නිසා වෙන්න ඇති කියලා මට හිතුණා. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වෙන්න කැමති හැමෝටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙනවා කියලා බයිබලයේම සඳහන් වෙලා තියෙනවා.—2 තිමෝති 3:12.

හිරගෙදර පරිපාලන ගොඩනැඟිල්ලේ වැඩට මාව යැව්වෙත් ඒ කාලෙදීම වගෙයි. දවසක් ගබඩා කාමරයේ පෙට්ටිවල දාලා තිබුණු පරණ මුරටැඹ, පිබිදෙව්! සඟරා වගයක් මට හම්බ වුණා. මම ඒවා මගේ හිරකුටියට ගෙනියලා කියවද්දී මට දැනුණේ හරියට කාන්තාරයක ඇවිදගෙන යද්දී දිය දෝතක් ලැබුණා වගෙයි. මට ලැබුණු හැම වෙලාවකම, සමහර දවස්වල පැය ගාණක් තිස්සේ මම බයිබලය කියෙව්වා.

දවසක් හිරගෙදර කාර්යාලයට එන්න කියලා මට පණිවිඩයක් ලැබුණා. මම හිතුවේ මාව නිදහස් කරන්නයි කතා කරන්නේ කියලා. ඒ නිසා මම මගේ බඩු ටිකත් ඉක්මනින්ම ඔතාගෙන අනිත් අයටත් කියලා කාර්යාලයට ගියේ හරිම සතුටින්. ඒත්  සිද්ධ වුණේ මම හිතපු නැති දෙයක්. මං ළඟ ව්‍යාජ ලියවිලි වගයක් තියෙනවා කියලා මට චෝදනා කළා. ඒ නිසා මට සිද්ධ වුණේ තවත් අවුරුදු දෙකක් හිරේ ළඟින්නයි.

මගේ බලාපොරොත්තු සුන් වුණා. හැබැයි දවසක්, දෙකක් යද්දී මට හිතුණා එහෙම වුණ එක හොඳයි කියලා. මම බයිබලයෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තිබුණත් හිරෙන් නිදහස් වුණාට පස්සේ මම කලින් කරපු දේවල්ම ආයෙත් කරන්න මගේ හිතේ ආසාවක් නොතිබුණාම නෙවෙයි. ඒ නිසා මම හිතුවා මගේ ජීවිතය වෙනස් කරගන්න මට තව කාලයක් ලැබුණ එක හොඳයි කියලා.

දෙවියන් මාව ඔහුගේ සේවකයෙක් විදිහට පිළිගනියිද කියලත් සමහර වෙලාවට මම කල්පනා කළා. හැබැයි 1 කොරින්ති 6:9-11 තියෙන දේ මට ලොකු සහනයක් වුණා. එතන තියෙන්නේ මුල් සියවසේ හිටිය සමහර ක්‍රිස්තියානීන් අතරේ යෙහෝවා දෙවි ගැන දැනගන්න කලින් හොරු, බේබද්දන් වගේම අනුන්ගේ දේ අයුතු ලෙස ගත්ත අයත් ඉඳලා තියෙනවා කියලා. ඒ නරක පුරුදු අත්හරින්න ඒ අයට උදව් කරලා තියෙන්නේ යෙහෝවා දෙවි.

මට මත්ද්‍රව්‍ය ගන්න එක නතර කරන්න නම් අමාරු වුණේ නැහැ. හැබැයි සිගරට් බොන එක නතර කරන්න නම් අවුරුද්දක් විතර ගියා. සිගරට් බොද්දී අපේ ශරීරයට කොයි තරම් හානියක් වෙනවාද කියලා මම කල්පනා කළා. හැබැයි දිගටම යෙහෝවා දෙවිට යාච්ඤා කරපු නිසයි ඒක නතර කරන්න මට පුළුවන් වුණේ.

“ප්‍රේමණීය පියෙක් වන යෙහෝවා දෙවි මාව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා මම දන්නවා”

ඉස්සර මම හිතුවේ මට කිසිම කෙනෙක් ආදරේ නැහැ කියලා. හැබැයි දෙවි ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්නකොට ඒ හැඟීම ඉබේම නැති වුණා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත” කියලා ගීතාවලිය 27:10 සඳහන් වෙලා තියෙන දේ මගේ හිතට තදින්ම කාවැදුණා. ප්‍රේමණීය පියෙක් වන යෙහෝවා දෙවි මාව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා මම දන්නවා. දැන් මගේ ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවා. මම හිරෙන් නිදහස් වෙලා මාස හයකට පස්සේ ඒ කියන්නේ 2004 අප්‍රේල් මාසයේදී මම බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු:

මම ඇබ්බැහි වෙලා හිටිය නරක පුරුදු අත්හැරිය නිසා දැන් මම ඉන්නේ හුඟක් සතුටින්. මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. යෙහෝවා දෙවිත් එක්ක දැන් මට තියෙන්නේ කිට්ටු බැඳීමක්. මගේ පවුල් ජීවිතේ ගෙවෙන්නෙත් පුදුම සතුටකින්. ඒ විතරක් නෙවෙයි සාක්ෂිකරුවන් අතරේ අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් මට දැන් ඉන්නවා. (මාක් 10:29, 30) දෙවි මාව පිළිගන්න එකක් නැහැ කියලා මුලදී මම හිතුවත් ඒ අය නම් එහෙම හිතුවේ නැහැ. ඒ ගැන මම අදටත් ස්තුතිවන්ත වෙනවා.

මම ඉස්සර ගත කරපු ජීවිතය ගැන මතක් වෙද්දී දැනටත් මට දුක හිතෙනවා. ඒත් දෙවි පොරොන්දු වෙලා තියෙන විදිහට මේ පොළොව පාරාදීසයක් වුණාට පස්සේ “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ” නැහැ කියලා මම දන්නවා. ඒක මට ලොකු සහනයක්. (යෙසායා 65:17) මගේ අද්දැකීම නිසා මට පුළුවන් වෙලා තියෙනවා අනික් අයටත් උදව් කරන්න. උදාහරණයකට දේශනා සේවයේ යද්දී අපරාධකරුවන්, බේබද්දන් වගේ අයවත් මට මුණගැහෙනවා. ඒ අයත් එක්ක කතා කරන්න මම අදිමදි කරන්නේ නැහැ. මම දන්නවා යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්තොත් අනිවාර්යයෙන්ම ඒ අයගේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් වෙනවා කියලා.