Skip to content

පටුනට යන්න

 පාඨකයන් අසයි

අසරණයන්ට පීඩා කරන්න බලපුළුවන්කාර අයට දෙවියන් ඉඩහරින්නේ ඇයි?

අසරණයන්ට පීඩා කරන්න බලපුළුවන්කාර අයට දෙවියන් ඉඩහරින්නේ ඇයි?

බලවත් අය අසරණයන්ට පීඩා කරපු අවස්ථා කීපයක් ගැන බයිබලයේ වාර්තා වෙනවා. නාබොත්ගේ සිද්ධිය ඉන් එකක්. * ක්‍රිස්තු පූර්ව 10වෙනි සියවසේ රජකම් කළ ආහබ් රජට නාබොත්ගේ මිදිවත්ත අයිති කරගන්න ආසාවක් ඇති වුණා. ඒ නිසා ආහබ් තමන්ගේ බිරිඳ වුණු යෙසබෙල්ට ඉඩ දුන්නා නාබොත්වයි එයාගේ පුතුන්වයි මරන්න. (1 රාජාවලිය 21:1-16; 2 රාජාවලිය 9:26) ඒ විදිහට බලය අනිසි ලෙස පාවිච්චි කරන්න දෙවියන් ඉඩහැරියේ ඇයි?

“කිසි බොරුවක් නොපවසන දෙවි.”—තීතස් 1:2

ඒකට උත්තරේ දැනගන්න නම් අපි මුලින්ම තේරුම්ගන්න ඕන දෙවියන් කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා. (තීතස් 1:2) ඒක කොහොමද අසරණයන්ව තළාපෙළා දාන එකට සම්බන්ධ වෙන්නේ? ඒදන් උයනේදී දෙවියන් ආදම්ට අනතුරු ඇඟෙව්වා අකීකරු වුණොත් මරණය අද්දකින්න වෙනවා කියලා. ආදම් දෙවියන්ට අකීකරු වුණ නිසා අපිටත් මරණය උරුම වුණා. දෙවියන් කිව්ව දේ ඒ විදිහටම වුණා. බලය අනිසි විදිහට පාවිච්චි කරලා කායින් ආබෙල්ව මරලා දාපු සිද්ධිය මිනිස් ඉතිහාසයේ පළවෙනිම මරණයයි.—උත්පත්ති 2:16, 17; 4:8.

එදා ඉඳලා මිනිසුන් අද්දැකලා තියෙන දේ ගැන දෙවියන් මෙහෙම කියලා තියෙනවා. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශනාකාරයා 8:9) ඒක ඇත්තද? ඔව්. දෙවියන් තෝරාගත් ජාතිය වුණු ඊශ්‍රායෙල්වරුන් ගැන හිතන්න. දෙවියන් කිව්වා ඒ අය රජවරුන් අතින් පීඩාවට පත් වෙන කාලයක් එයි කියලා. (1 සාමුවෙල් 8:11-18) ප්‍රඥාවන්ත සලමොන් රජුගේ පාලන කාලයේදී ඊශ්‍රායෙල්වරු බදු බරින් හුඟක් පීඩා වින්දා. (1 රාජාවලිය 11:43; 12:3, 4) ආහබ් රජ වගේ දුෂ්ට රජවරු ඊටත් වඩා කෲර දේවල් කළා. ඒ වගේ බලපුළුවන්කාර අය අසරණයන්ට පීඩා කරන එක දෙවියන් වැළැක්වුවා නම් ඔහු කියපු දේවල් බොරු වෙන්නේ නැද්ද?

“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9

මේකත් මතක තියාගමු. යක්ෂයා, දෙවියන්ට කියලා තියෙනවා මිනිසුන් තමන්ගේ වාසි ගැන විතරක් හිතලා දෙවියන්ට සේවය කරනවා කියලා. (යෝබ් 1:9, 10; 2:4) දෙවියන් අපිව හැම පීඩිත තත්වයකින්ම ආරක්ෂා කළොත් යක්ෂයා කියපු දේ ඇත්තක් වෙන්නේ නැද්ද? මේ කාරණයත් තේරුම්ගන්න. දෙවියන් කියලා තියෙනවා මිනිසුන්ට දෙවියන් නැතුව සාර්ථක පාලනයක් ගෙනියන්න බැහැ කියලා. (යෙරෙමියා 10:23) ඒත් හැම පීඩාවක්ම දෙවියන් නැති කළොත් මිනිසුන් හිතයි දෙවියන්ගේ පාලනය නැතුවත් සාර්ථක වෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් දෙවියන් කියපු දේ බොරුවක් වෙන්නේ නැද්ද? බලවත් අය අතින් අසරණයන් පීඩා විඳින එක නතර වෙන්න නම් මිනිස් පාලන වෙනුවට දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන්න ඕනේ.

අසරණයන් පීඩා විඳින එක ගැන දෙවියන්ට ගානක්වත් නැහැ කියලා ඒකෙන් අදහස් වෙනවාද? නැහැ. එහෙම කියන්න හේතු දෙකක් තියෙනවා. මුල්ම හේතුව අසරණයන්ට පීඩා කිරීම ගැන හැම තොරතුරක්ම දෙවියන් හෙළි කරලා තියෙන එක. උදාහරණයකට නාබොත්ව මරන්න යෙසබෙල් කරපු දුෂ්ට කුමන්ත්‍රණය ගැන හැම තොරතුරක්ම දෙවියන් බයිබලයේ වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ සැබෑ තත්වය වසං කරලා හැම දුෂ්ටකමකටම උල්පන්දම් දෙන්නේ මේ ලෝකයේ පාලකයා වන යක්ෂයා කියලත් දෙවියන් කියනවා. (යොහන් 14:30; 2 කොරින්ති 11:14) දුෂ්ටකම් ගැන ඔහු හෙළි කරලා තියෙන නිසා ඒවායින් වැළකිලා අනාගතයේදී සදාකාල ජීවනය ලබාගන්න අපිට අවස්ථාව තියෙනවා.

දෙවෙනි හේතුව අසරණයන්ව තළාපෙළා දාන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙන එක. ආහබ් හා යෙසබෙල්ටත් ඒ වගේ වැරදි කරපු තවත් අයටත් දෙවියන් දඬුවම් කරපු විදිහෙන් පැහැදිලි වෙන්නේ ඒ වගේ දුෂ්ටකම් කරන අයට දෙවියන් අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා කියලයි. (ගීතාවලිය 52:1-5) ඒ වගේම කිසිම අයුක්තියක් වෙන්නේ නැති කාලයක් තම විශ්වාසවන්ත අයට දෙන්න දෙවියන් පොරොන්දු වෙලා තියනවා. * ඒ කාලයේදී නාබොත් හා එයාගේ දරුවන් නැවත නැඟිටලා දුෂ්ටකම් නැති මේ පොළොවේ සදහටම ජීවත් වෙනවා.—ගීතාවලිය 37:34.

^ 8 ඡේ. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.