Skip to content

පටුනට යන්න

 පාඨකයන් අසයි

පාස්කු ඉරිදා උත්සවයට තියෙන්නේ ක්‍රිස්තියානි පසුබිමක්ද?

පාස්කු ඉරිදා උත්සවයට තියෙන්නේ ක්‍රිස්තියානි පසුබිමක්ද?

“යේසුස්ගේ නැවත නැඟිටීම සමරන්න ක්‍රිස්තියානි පල්ලිවල පවත්වන ප්‍රධාන උත්සවය පාස්කුව” කියලා විශ්වකෝෂයක තිබුණා. (Encyclopædia Britannica) ඇත්තටම ඒක ක්‍රිස්තියානි උත්සවයක්ද?

යම් දෙයක් පුරාවස්තුවක්ද නැද්ද කියලා දැනගන්න නම් ඒකේ සුලමුල හොයන්න ඕනේ. ඒ වගේම, පාස්කු ඉරිදා උත්සවය ඒ කියන්නේ ඊස්ටර් කියලා හඳුන්වන උත්සවය ක්‍රිස්තියානි උත්සවයක්ද කියලා දැනගන්න නම් ඒකේ සුලමුලත් හොයන්න ඕනේ.

යේසුස් කිව්වේ ඔහුගේ මරණය සිහි කරන්න කියලා මිස නැවත නැඟිටීම සිහි කරන්න කියලා නෙමෙයි. යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල් ඒක හැඳින්නුවේ “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” කියලයි.—1 කොරින්ති 11:20; ලූක් 22:19, 20.

ඊස්ටර් උත්සවයේ “චාරිත්‍රවලට ක්‍රිස්තියානි පසුබිමක් නැති” නිසා යේසුස්ගේ නැවත නැඟිටීමට ඒවායේ “කිසිම සම්බන්ධයක් නැහැ” කියලා විශ්වකෝෂයක කියනවා. (Britannica) උදාහරණයකට, හුඟක් රටවල ඊස්ටර් උත්සවය පවත්වද්දී සංකේත හැටියට බිත්තර හා හාවුන්ව යොදාගන්නවා. තවත් විශ්වකෝෂයක තියෙන්නේ මේ වගේ අදහසක්. ‘බිත්තරවලින් සංකේතවත් වෙන්නේ අලුත් ජීවීන් බිහි වෙන එකයි. හාවුන් පැටවුන් හුඟක් බිහි කරන නිසා උන්ගෙන් සංකේතවත් වෙන්නේ සරු පලදාවයි. ඒ නිසා සාරවත් කාලයක් පවතින වසන්ත කාලය උදා වෙන එක ඒවායින් සංකේතවත් වුණා.’—The Encyclopedia of Religion.

මධ්‍යකාලීන යුගය ගැන හැදෑරුව මහාචාර්ය ෆිලිප් වෝල්ට, ඊස්ටර් උත්සවයට ඒ චාරිත්‍ර ඈඳුණ විදිහ විස්තර කළා. “මිථ්‍යා ආගම්වල චාරිත්‍ර ක්‍රිස්තියානි ආගමට ඈඳගත්තා.” උදාහරණයකට “ශීත කාලයේ මියැදුණු ජීවය, යළි පණගන්වන වසන්ත කාලය” මිථ්‍යා ආගම්වල අය උත්සවශ්‍රීයෙන් සැමරුවා. ඒ උත්සවය යේසුස්ගේ නැවත නැඟිටීමට සම්බන්ධ කරගත්තා. එතැන් පටන් මිථ්‍යා ආගමික උත්සව පවත්වපු දිනවලටම තවත් “ක්‍රිස්තියානි උත්සව” යොදාගන්න පසුබිම හැදුණා. ඒ විදිහට වෙනත් ආගම්වල අයව මහා පරිමාණයෙන් ක්‍රිස්තියානීන් කරගන්න පුළුවන් වුණා.

යේසුස්ගේ නියෝජිතයන්, මිථ්‍යා දේවල් ඈඳගන්න එක ‘මැඩපවත්වන්න ක්‍රියා කරපු’ නිසා ඔවුන් ජීවත් වෙලා හිටිය කාලයේදී ඒකට ඉඩක් ලැබුණේ නැහැ. (2 තෙසලෝනික 2:7) පාවුල් අනතුරු ඇඟෙව්වේ ‘මම ඔබෙන් සමුගත් පසු ඔබට උගන්වා ඇති හැම දෙයක්ම සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.’ (ක්‍රියා 20:29, 30) මුල් සියවසේ අගභාගයේදී නියෝජිත යොහන් කිව්වේ සමහරු දැනටමත් ක්‍රිස්තියානීන්ව මුළා කරමින් ඉන්නවා කියලයි. (1 යොහන් 2:18, 26) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමට බොරු චාරිත්‍ර ඈඳගන්න මඟ පෑදුණා කියන එකයි.

“දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.”—2 කොරින්ති 6:14

ඊස්ටර් උත්සවයේ චාරිත්‍ර යේසුස්ගේ නැවත නැඟිටීමේ වැදගත්කම තේරුම්ගන්න හේතු වෙන නිසා ඒවා වැරදි නැහැ කියලා සමහර අය හිතයි. හැබැයි ඒ අදහසට පාවුල් එකඟ වුණේ නැහැ. ඔහු රෝමය පුරා සංචාරය කරද්දී විවිධ බොරු චාරිත්‍ර වාරිත්‍ර දැක්කා. ඒත් යේසුස් ගැන මිනිසුන්ට තේරුම් කරන්න පාවුල් කොයිම වෙලාවකවත් ඒවා ඈඳගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු ක්‍රිස්තියානීන්ට මේ අවවාදය දුන්නා. “දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න. මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම අතර සම්බන්ධයක් තිබිය හැකිද? නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද? ‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”—2 කොරින්ති 6:14, 17.

අපි බලපු දේවලින් එන්න පුළුවන් නිගමනය මොකක්ද? පාස්කු ඉරිදා උත්සවය ක්‍රිස්තියානි එකක් නෙමෙයි කියන එක හොඳටම පැහැදිලියි.