Skip to content

පටුනට යන්න

දෙවිගේ වචනය පවුලක් වෙනස් කරයි

දෙවිගේ වචනය පවුලක් වෙනස් කරයි

ඒ වර්ෂ 2005 අගෝස්තු 22වන සඳුදා උදෑසනයි. කෑම මේසේ වටා එක් වෙලා හිටිය අපේ පවුලේ හැමෝම බලන් හිටියේ මං දිහා. එදා මට ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක දවසක්. මගේ මොළේ ලොකු ගෙඩියක් තිබුණ නිසා එදා තමයි මට ශෛල්‍යකර්මයක් කරන්න ඉස්පිරිතාලෙට යන්න තිබුණේ.

මගේ මහත්තයා ක්‍රිෂ්නා යාච්ඤාවක් කළා. ඊට පස්සේ මං හැමෝටම මේ දේ කිව්වේ ඉකි ගහන හඬකින්. “මට කරන්න තියෙන ඔපරේෂන් එක ගොඩක් බරපතළයි. මොනවායින් මොනවා වෙයිද කියන්න බැහැ. මට මොනවා හරි වුණොත් මගේ මරණේ කටයුතු වෙන්න ඕනේ කොහොමද කියලා මම දැනටමත් ලියලයි තියෙන්නේ. මං කැමතියි ඕගොල්ලන් හැමෝම යෙහෝවා දෙවිට නමස්කාර කරන අය වෙනවට. දැනටමත් දෙවි ගැන ඉගෙනගන්න අයට මං කියන්නේ කවදාවත් දෙවිව අත්හරින්න එපා කියලා. මේ පොළොව පාරාදීසයක් වුණ දවසක මං නැවත නැඟිටිද්දී ඔයාලා හැමෝම මාව පිළිගන්න එතන ඉඳියි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ඊට පස්සේ සිද්ධි පෙළගැහුණේ කොහොමද කියලා කියන්න කලින් මං මගේ ළමා කාලය ගැනත් මට යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණේ කොහොමද කියලත් මං ඕගොල්ලන්ට කියන්නම්.

හින්දු පවුලක හැදී වැඩී

අම්මගේ තුරුලේ

අපි හිටියේ දකුණු අප්‍රිකාවේ වෙරළාසන්නව තිබුණු කඳුකර පළාතක් වන ඩර්බන්වල. අපේ ගේ තිබුණේ කන්දක් මුදුණේ. පඩි 125ක් නැඟලයි එතනට යන්න ඕනේ. පඩි පෙළ නැග්ග ගමන්ම හම්බ වෙන්නේ පඳුරුවලින් වට වෙච්ච පුංචි ගෙමිදුලක්. ඊට එහායින් තමයි අපේ ගේ තිබුණේ. ලී, තහඩුවලින් හදලා තිබුණු අපේ ගෙදරට ලොකු කොරිඩෝවක් තිබුණා. ඒ විතරක් නෙවෙයි දර පෝරණුවක් තිබුණු ලොකු කුස්සියකුත් නිදන කාමර හතකුත්, ඇනෙක්ස් එකකුත් තිබුණා. ආච්චියි, සීයයි, තාත්තාගේ මල්ලිලා තුන්දෙනයි, නංගි කෙනෙකුයි ඒ අයගේ පවුල්වල අයයි අපේ පවුලේ අයයි එක්ක ඔක්කොම 27ක් ඒ ගෙදර පදිංචි වෙලා හිටියා. අපේ ගෙදරට ඉස්සරහින් ආච්චි හදපු පුංචි කෝවිලකුත් තිබුණා. ඒකේ දේවතා රූපයි, පින්තූරයි පිරිලා. ආච්චි හිතන් හිටියේ ඒ දෙවිවරුන්ගේ පිහිටෙන් තමයි මාව හම්බ වුණේ කියලා. ආච්චි මට හින්දි භාෂාවෙන් “මන්දීර් කේ බච්චේ” (කෝවිලේ දරුවා) කියලා කිව්වේ ඒ හින්දා වෙන්න ඇති.

අපේ ගෙදර

මෙච්චර ලොකු පවුලක් කොහොමද එකට හිටියේ කියලා ඕගොල්ලන්ට හිතෙනවා ඇති. ගෙදර වියහියදම් දරන එක ලේසි වුණේ නැහැ. ඒත් හැමෝම එකමුතුව සහයෝගෙන් වැඩ කරපු නිසා ඒ කාලේ ගැන අපිට අදටත් තියෙන්නේ සුන්දර මතකයන්. ගෙදර උයන පිහින වැඩ ටික අම්මයි, නැන්දලා ටිකයි එකතු වෙලා කරද්දී කෑම බීම ටික ගෙදරට ගෙනාවේ පවුලේ මූලිකයා විදිහට හිටපු අපේ සීයා. හැම බදාදාම ආච්චියි, සීයයි පොළට ගිහින් සතියටම ඕන කරන මස්, මාළු ටිකයි එළවළු, පලතුරු ටිකයි ගේනවා. පුංචි අපිටත් වැඩක් තිබුණා. කන්ද උඩට වෙලා බලන් හිටිය අපි සීයලා බස් එකෙන් බැස්ස ගමන්ම දුවලා ගිහින් ඒ බඩු ටික උස්සගෙන ගෙදරට එනවා.

පඩි 125 ළඟ

මට තිබුණේ සුන්දර ළමා වියක්. ගේ ඉස්සරහා පාම් ගහේ තිබුණු පුංචි කුරුලු කූඩුවේ කුරුල්ලන්ගේ කිචි බිචි හඬ මට අදත් ඇහෙනවා වගේ. පඩි පෙළ උඩ ඉඳගෙන ආච්චිගේ තුරුලට වෙලා අහපු කතන්දර මට තාමත් මතකයි. මට දැනුණේ  ආච්චිත් හරි හරියට කුරුල්ලෝ එක්ක කියවනවා වගේ. එකට සෙල්ලම් කරපු, එකට හැඬුව, එකට හිනා වුණු ඒ මිහිරි මතකයන් මට ගොඩක් වටිනවා. ඒ හැම එකටම වඩා මට වටින්නේ ඒ ගෙදර ඉන්නකොට යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් දැනගන්න ලැබුණ එකයි.

හින්දු ආගමික පසුබිමක් තිබුණු අපේ ගෙදර හැම දවසකම ආගමික වත්පිළිවෙත් පවත්වන්න අමතක කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි අවුරුද්ද පුරාම විවිධ ආගමික උත්සව සමරද්දී අපේ ගෙදර අමුත්තන්ගෙන් පිරුණා. ඒ වගේ උත්සව පවත්වන සමහර දවස්වලට ආච්චි නොපෙනෙන බලවේග එක්ක කතා කළා. ඒ අයව තරහ කරගන්න අකමැති නිසා ආච්චි රෑ 12ට බිලි පූජා ඔප්පු කරනවා අපි දැකලා තියෙනවා. අපේ සීයා ප්‍රසිද්ධ වෙලා හිටියේ ධානපතියෙක් විදිහට. පාසැල්, කෝවිල් වගේ දේවල් හදන්න එයා හුඟක් දේවල් පරිත්‍යාග කළා.

දෙවිගේ පණිවිඩය ගෙමිදුලට

අපි හැමෝගේම හිත්වලට දුකක් එකතු කරමින් 1972දී සීයා අසනීප වෙලා මිය ගියා. කාලය ගෙවී යද්දී දවසක් අපේ ගෙදරට ආපු සාක්ෂිකරුවන් දෙන්නෙක්ගෙන් ඉන්ද්‍රවතී නැන්දා මුරටැඹ, පිබිදෙව්! සඟරා අරන් තිබුණා. ඒත් ගෙමිදුලටම ආපු ඒ අයව ගේ ඇතුළට ගත්තේ නැහැනේ කියලා නැන්දා දුක් වුණා. ඊට කලින් සාක්ෂිකරුවන් කොයි තරම් අපේ ගෙදරට ආවත් අපි ඒ අයව පිළිගත්තේ නැහැ. ඒත් ඊළඟ වතාවේදී නම් නැන්දා සාක්ෂිකරුවන්ව ගේ ඇතුළටම අරන් ඒ අයත් එක්ක කතා කළා. ඒ වෙනකොට මාමා බීමට ඇබ්බැහි වෙලා හිටිය නිසා නැන්දාගේ පවුල් ජීවිතේ හරියට ප්‍රශ්න තිබුණා. හැමෝම කිව්වේ එයාව දික්කසාද කරන්න කියලයි. ඒත් සාක්ෂිකරුවන් නැන්දට පෙන්නලා දුන්නේ විවාහය දෙවි ඉදිරියේ ගෞරවනීය දෙයක් නිසා ඒක රැකගන්න කියලයි. (මතෙව් 19:6) ඒ මඟ පෙන්වීම් ගැනත් අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව ගැනත් බයිබලයෙන් දැනගත්තම පුදුම වුණ නැන්දා දිගටම ඒ අය එක්ක බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණා. * ඒ විතරක් නෙවෙයි මාමව දික්කසාද කරන අදහසත් අත්හැරියා. නැන්දා සාලේ පාඩම කරද්දී අනිත් නැන්දලා ටික කළේ කාමරවලට වෙලා හොරෙන් කන් දීගෙන ඉන්න එකයි.

ටික දවසක් යන්න කලින් ඒ අයත් දෙවි ගැන ඉගෙනගන්න පටන්ගත්තා. ඉන්ද්‍රවතී නැන්දා අපිටත් සාක්ෂිකරුවන්ගේ පොතකින් ගොඩාක් කතන්දර කියලා දුන්නා. අපි හැමෝම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියේ හරිම සතුටින්. ඒ දේවල් මාමලාගේ කනට වැටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒ නිසා අපි හැමෝම මාමලාගෙන් බැණුම් ඇහුවා. ගුටිත් කෑවා. එක මාමා කෙනෙක් සාක්ෂිකරුවන්ගෙන් අපි ඉල්ලගෙන තිබුණු පොත් පත් විතරක් නෙවෙයි බයිබලයකුත් පුච්චලා දැම්මා. ඒත් අපේ තාත්තා නම් කවදාවත් අපිට විරුද්ධ වුණේ නැහැ. මොන විරුද්ධවාදිකම් තිබුණත් නැන්දලා රැස්වීම් යන එක නතර කළේ නැහැ.

ඉන්ද්‍රවතී නැන්දා 1974දී බව්තීස්ම වුණා. ඊට ටික කාලෙකට පස්සේ අම්මයි අනික් නැන්දලා ටිකයි බව්තීස්ම වුණා. කාලයක් යද්දී මගේ ආච්චිත් හින්දු චාරිත්‍ර නතර කරලා දැම්මා. ඔය කාලය පුරාම මමත් රැස්වීම්වලට ගියත් මම බව්තීස්ම වෙලා හිටියේ නැහැ. දවසක් සමුළුවකදී ශමීලා රාම්පසාද් කියන සහෝදරිය මගෙන් මෙහෙම ඇහුවා. “නාලිනී ඔයා කවදාද බව්තීස්ම  වෙන්නේ?” “කවුරුත් මට බයිබල් පාඩමක් කරලා නැහැනේ” කියලා මම කිව්වා. එතකොට ශමීලා කැමති වුණා මට බයිබල් පාඩමක් කරන්න. ඊළඟ සමුළුවේදී 1977 දෙසැම්බර් 16වෙනිදා මමත් දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. අන්තිමේදී අපේ පවුලේ හිටිය 27දෙනාගෙන් 18දෙනෙක්ම බව්තීස්ම වෙලා හිටියා. ඒත් මගේ ඔපරේෂන් එක කරන කාලේ වෙනකොටත් තාත්තා බයිබලය පාඩම් කරන්න පටන් අරන් තිබුණේ නැහැ.

‘කිසි දෙයක් ගැන කනස්සලු වෙන්න එපා’

මගේ මොළේ ගෙඩියක් තියෙනවා කියලා දැනගත්තම ඒ දුක දරාගන්න ෆිලිප්පි 4:6, 7 කියන මේ වදන් මට ලොකු උපකාරයක් වුණා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.” තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියලා අහන්න ලැබුණායින් පස්සේ ඒ ගැන ‘කනස්සලු නොවී’ ඉන්නේ කොහොමද? මම මුලින්ම ඇඬුවා. ඊට පස්සේ යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඒ නිසා “දෙවි ලබා දෙන සමාදානය” මම අද්දැක්කා.

මම ඉස්පිරිතාලේ හිටිය කාළේ පුරාම මට දැනුණේ යෙහෝවා දෙවි මගේ දකුණු අත අල්ලගෙන මං ළඟින්ම හිටියා වගේ. (යෙසායා 41:13). ලේ ගන්නේ නැහැ කියලා දොස්තරලාට නිර්භීතව කියන්නත් දෙවි මට ශක්තිය දුන්නා. (ක්‍රියා 15:28, 29) කොහොමහරි ශල්‍ය වෛද්‍යවරයයි නිර්වින්දක වෛද්‍යවරයයි දෙන්නම කැමති වුණා ලේ නැතුව සැත්කම කරන්න. ගෙඩිය සම්පූර්ණයෙන් අයින් කළා කියලා දොස්තර කියද්දී මට දැනුණේ පුදුම සතුටක්. ඒ එක්කම මේ වගේ බරපතළ සැත්කමක් කළාට පස්සේ මෙච්චර ඉක්මනට හොඳ අතට හැරුණු ලෙඩෙක්ව මම දැකලා නැහැ කියලා දොස්තර කිව්වා.

ගෙදර ගිහින් සති තුනකට පස්සේ මම ඇඳේ ඉඳලාම බයිබල් පාඩමක් කරා. සති හතකට පස්සේ මමම වාහනය එළවගෙන දේවසේවයේත් රැස්වීම්වලටත් ගියා. ඒ එක වතාවකදීවත් සාක්ෂිකරුවන් මට තනියම ගෙදර එන්න දුන්නේ නැහැ. පටිගත කරපු බයිබල් කියවීම්වලට සවන් දුන් නිසාත් නමස්කාර වැඩවලට මනස යොමු කරපු නිසාත් මට ඉක්මනටම යථා තත්වයට එන්න පුළුවන් වුණා.

මගේ සැත්කමට පස්සේ තාත්තා බයිබලය පාඩම් කරන්න කැමති වුණා කියලා දැනගත්තු එක මම මගේ ජීවිතේ ලබපු සතුටුදායකම ආරංචියයි. වයස 73දී බව්තීස්ම වුණු තාත්තා අදටත් දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා. තාත්තත් එක්ක දැන් අපේ පවුලේ ඔක්කොම 40දෙනෙක් යෙහෝවා දෙවිට සේවය කරනවා. මගේ වම් ඇහේ පෙනීම දුර්වලයි. සැත්කමේදී වෙන් කරපු මගේ හිස්කබල ආයේ එක් කරලා තියෙන්නේ ලෝහ තහඩු සවි කරලා. ඒත් දෙවි “සෑම දෙයක්ම අලුතෙන්” සාදන කාලෙදී මේ හැම දේම හොඳ අතට හැරෙයි කියලා දන්න නිසා මං දැන් ඉන්නේ සතුටින්.—එළිදරව් 21:3-5.

මගේ සැමියා (වමේ), දුව හා මගේ දෙමාපියන්

මට ගොඩක් ආදරේ කරන සැමියෙක් විතරක් නෙවෙයි ලස්සන දුවෙකුත් ඉන්නවා. එයාගේ නම ක්ලෙරිස්ටා. මගේ සැමියා වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. ඒ දෙන්නම මට පූර්ණකාලීනව සේවය කරන්න දෙන්නේ පුදුම සහයෝගයක්. යෙහෝවා දෙවිත් මට හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා හුඟදෙනෙක්ට දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කරන්න. ඒ අයගෙන් 30දෙනෙක්ම දැන් බව්තීස්ම වෙලා.

මං දැන් බලාපොරොත්තු පොදිබැඳගෙන ඉන්නේ මේ දුෂ්ට සමාජය ඉවත් කරලා යෙහෝවා දෙවි මේ පොළොව පාරාදීසයක් කරන කල්.

^ 12 ඡේ. මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ගැන තවත් දැනගැනීමට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 3වන පරිච්ඡේදය බලන්න.