Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරු සොයමු

ක්‍රිස්තියානීන් බව්තීස්ම වන්නේ ඇයි?

ක්‍රිස්තියානීන් බව්තීස්ම වන්නේ ඇයි?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

කෙනෙක් බව්තීස්ම වීමෙන් පෙන්වන්නේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට තමන් කැමති බවයි. එවැනි කෙනෙක් දෙවි ගැන දැනුම ලබාගෙන යේසුස්ගේ අනුගාමිකයෙකු විය හැකි වයසක සිටීම වැදගත්. (ක්‍රියා 8:12; 1 පේතෘස් 3:21) යේසුස්ගේ අනුගාමිකයෙක් සැමවිටම ඔහුගේ ආඥා පිළිපැදිය යුතුයි.මතෙව් 28:19, 20 කියවන්න.

පළමු ශතවර්ෂයේ බොහෝදෙනෙක් දෙවි ගැනත් යේසුස් ගැනත් ඉගෙනගැනීමට පෙලඹුණා. උදාහරණයකට යේසුස්ගේ ජීවිත පූජාව නිසා තමන්ට ගැලවීම ලබාගත හැකියි කියා දැනගත් මිනිසෙක් කල් නොදමා බව්තීස්ම වුණා. අද දිනත් දෙවි ගැන සත්‍යය ඉගෙනගන්නා බොහෝදෙනෙක් බව්තීස්ම වී යේසුස්ගේ අනුගාමිකයන් වීමට තීරණය කර තිබෙනවා.ක්‍රියා 8:26-31, 35-38 කියවන්න.

2. යේසුස් බව්තීස්ම වුණේ ඇයි?

යොහන් බව්තීස්ත යේසුස්ව යොර්දාන් ගඟේ ගිල්වා බව්තීස්ම කළා. ඒ වන විට යේසුස්ට අවුරුදු 30ක් පමණ වුණා. ඉන් ඔහු පෙන්නුවේ තමන්ට දෙවිගෙන් ලැබුණු පැවරුම ඉටු කිරීමට ඔහු සූදානමින් සිටි බවයි. (හෙබ්‍රෙව් 10:7) මිනිස් වර්ගයා වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමට යේසුස් කැමති බවත් ඉන් ඇඟවුණා. පොළොවට පැමිණීමට පෙර සිටම යේසුස්, යෙහෝවා දෙවිට කීකරුව සිටියා.මාක් 1:9-11; යොහන් 8:29; 17:5 කියවන්න.

3. ක්‍රිස්තියානීන් බව්තීස්ම විය යුත්තේ ඇයි?

අප සියලුදෙනාටම පව්කාරකම උපතින්ම උරුම වී තිබෙනවා. නමුත් යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළ නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට හැකියි. (රෝම 5:10, 12; 12:1, 2) දෙවිව පියාණන් ලෙස ඇමතීමේ වරප්‍රසාදයත් එමගින් අපට ලැබී තිබෙනවා. (2 කොරින්ති 6:18) දෙවිව එලෙස ඇමතීමට නම් අප ඔහුගේ කැමැත්ත කිරීමට කැප වන බව යාච්ඤාවෙන් ඔහුට පැවසිය යුතුයි. බව්තීස්ම වීමෙන් සිදු කරන්නේ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි.මතෙව් 16:24; 1 පේතෘස් 4:2 කියවන්න.

4. බව්තීස්ම වීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද?

දෙවි ගැන දැනුම ලබාගැනීමට ආශාවෙන් සිටින අයට බයිබලයෙන් ඒ පිළිබඳ තොරතුරු කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. බයිබලයේ ඇති දේවල් ඉගෙනගැනීමෙන් සහ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීමෙන් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් යහපත් පුරුදු, සිතුවිලි සහ ගතිගුණ වර්ධනය කරගැනීමටත් ඔබට හැකි වෙයි. දැනුත් සදහටත් දෙවි කැමති ආකාරයට ජීවත් වීමට එය ඔබට උපකාරවත් වන බවට සැකයක් නැහැ.යොහන් 17:3; හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 18වන පරිච්ඡේදය බලන්න.