Skip to content

පටුනට යන්න

දෙවි මෙන් විවේක ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙවි මෙන් විවේක ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙවි මෙන් විවේක ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

“සබත් දවස මෙන් දෙවිගේ සෙනඟට විවේක ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඇත.”—හෙබ්‍රෙව් 4:9.

1, 2. උත්පත්ති 2:3හි සඳහන් දෙයින් අප ඉගෙනගන්නේ කුමක්ද? අප පිළිතුරු දැනගත යුත්තේ කුමන ප්‍රශ්නවලටද?

යෙහෝවා දෙවි දින හයක් ඇතුළතදී පොළොවේ සියලු දේවල් නිර්මාණය කළ බව උත්පත්ති පළමුවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එම දින හය පැය 24ක කාලපරිච්ඡේද නොව දිගු කාලපරිච්ඡේදයි. ඒ එක් එක් කාලපරිච්ඡේදවල අවසානය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සවස් විය. උදය විය.” (උත්. 1:5, 8, 13, 19, 23, 31) නමුත් හත්වන දවස ඊට වඩා වෙනස්. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. “දෙවි හත්වන දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේය. මන්ද දෙවි තමා පටන්ගත් වැඩ නිම කර හත්වන දවසේ සිට ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.”—උත්. 2:3.

2 දෙවි හත්වන දවසේ සිට විවේක ගත්තේය කියා සඳහන් වාර්තාවෙන් පැහැදිලි වන්නේ ක්‍රිස්තු වර්ෂ 1513දී මෝසෙස් උත්පත්ති පොත ලියන කාලයේදීත් දෙවි විවේක ගනිමින් සිටි බවයි. තම සෙනඟටත් තමා මෙන් විවේක ගත හැකි බව පසුකාලයේදී දෙවි බයිබලයේ අනික් පොත්වල සඳහන් කළා. දෙවි තවමත් විවේක ගනිමින් සිටිනවාද? ඔහු මෙන් අපටත් විවේක ගන්න පුළුවන් කොහොමද? ඊට පිළිතුරු දැනගැනීම ඉතා වැදගත්.

දෙවි තවමත් විවේක ගනිමින් සිටිනවාද?

3. හත්වන දවස යේසුස්ගේ කාලයේදීත් අවසන් වී නොතිබුණු බව යොහන් 5:16, 17හි සඳහන් දෙයින් පැහැදිලි වන්නේ කොහොමද?

3 යේසුස් හා මුල් ක්‍රිස්තියානීන් ජීවත් වූ කාලය වන විටත් දෙවි විවේක ගත් හත්වන දවස ක්‍රියාත්මක වෙමින් තිබුණා. එසේ පැවසීමට හේතු දෙකක් තිබෙනවා. යේසුස් ඔහුගේ විරුද්ධවාදීන්ට පැවසූ දෙයකින් ඊට එක් හේතුවක් වටහාගත හැකියි. සබත් දවසේදී යේසුස් කළ සුව කිරීම් ගැන ඔවුන් සිටියේ කෝපයෙන්. සබත් දවසේ සියලුම වැඩවලින් විවේක ගත යුතු බව නීතියේ සඳහන් වූ නිසා සුව කිරීම වැරදි බව ඔවුන් සිතුවා. නමුත් යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නා. “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා. මමත් දිගටම වැඩ කරනවා.” (යොහ. 5:16, 17) ඔහු ඉන් අදහස් කළේ මෙයයි. “මගේ පියා සහ මම වැඩ කරන්නේ එකම අරමුණක් සඳහායි. මගේ පියා හත්වන දවසේ සිට එනම්, ඔහුගේ සබත් දවසේ සිට අවුරුදු දහස් ගණනක් වැඩ කර තිබෙනවා. ඔහු තවමත් වැඩ කරමින් සිටිනවා. ඒ නිසා මම සබත් දවසේ වැඩ කළාට කිසිම වරදක් නැහැ.” ඉන් පැහැදිලි වන්නේ දෙවි පොළොවේ ඇති සියල්ල නිර්මාණය කිරීමෙන් විවේක ගත් හත්වන දවස යේසුස් පොළොවේ සිටි කාලය වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබූ බවයි. *

4. මුල් ක්‍රිස්තියානීන්ගේ කාලය වන විටත් දෙවිගේ විවේක ගැනීමේ දවස ක්‍රියාත්මක වෙමින් තිබූ බව පාවුල්ගේ වචනවලින් පැහැදිලි වන්නේ කොහොමද?

4 යේසුස් හා මුල් ක්‍රිස්තියානීන් ජීවත් වූ කාලය වන විටත් දෙවි විවේක ගත් හත්වන දවස ක්‍රියාත්මක වෙමින් තිබූ බවට තිබෙන දෙවන හේතුව මෙයයි. පාවුල් උත්පත්ති 2:2හි සඳහන් වචන උපුටා දැක්වීමට පෙර හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “විශ්වාසයක් ඇතුව සිටින අපට දෙවි මෙන් විවේක ගැනීමට අවස්ථාව උදා වේ.” (හෙබ්‍රෙ. 4:3, 4, 6, 9) ඉන් පැහැදිලි වන්නේ දෙවිගේ විවේක ගැනීමේ දවස පාවුල්ගේ කාලය වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබූ බවයි.

5. හත්වන දවසේදී දෙවි කළේ කුමක්ද? දෙවි තම අරමුණ ඉටු කර අවසන් කරන්නේ කවදාද?

5 තම විවේක ගැනීමේ හත්වන දවස යෙහෝවා දෙවි විශේෂ දවසක් ලෙස සැලකුවා. ඒ ඇයි? උත්පත්ති 2:3හි මෙසේ පවසනවා. “දෙවි හත්වන දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේය.” දෙවි එසේ කළේ පොළොව සඳහා වූ තම අරමුණ සම්පූර්ණයෙන් ඉටු කිරීම සඳහායි. ඔහුගේ අරමුණ නම් පොළොව රැකබලා ගනිමින් සදාකාලයටම එහි ජීවත් වීමේ අවස්ථාව කීකරු මිනිසුන්ට ලබා දීමයි. (උත්. 1:28) යෙහෝවා දෙවි සහ යේසුස් ‘මේ දක්වා වැඩ කරමින් සිටින්නේ’ පොළොව සම්බන්ධයෙන් එම අරමුණ ඉටු කිරීම වෙනුවෙනුයි. (මතෙ. 12:8) ඒ අනුව දෙවි විවේක ගැනීම යන්නෙන් අදහස් කරන්නේ පොළොව සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ ඉටු කිරීම සඳහා ඔහු ක්‍රියා කරන බවයි. එම විවේක ගැනීමේ දවස අවසන් වන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදියි.

‘අවාදර්ශය අනුගමනය කරමින් අකීකරු’ නොවන්න

6. අපට අනතුරු ඇඟවීමක් වන අවාදර්ශ මොනවාද? ඒවායින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

6 පොළොව සම්බන්ධයෙන් තම අරමුණ ගැන දෙවි ආදම් සහ ඒවට පැහැදිලිව පවසා තිබුණත් ඔවුන් ඊට විරුද්ධව ක්‍රියා කළා. ඔවුන්ගෙන් පැවත එන බොහෝදෙනෙක්ද එසේ කළා. දෙවිගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් පවා නැවත නැවත දෙවිට අකීකරු වුණා. පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ද දෙවිට අකීකරු වීමේ අවධානමට ලක් විය හැකි නිසා පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා. “විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.” (හෙබ්‍රෙ. 4:11) පාවුල් පැවසූ ලෙස අප දෙවිට අකීකරු වුණොත් දෙවි මෙන් විවේක ගැනීමට අපට හැකි වන්නේ නැහැ. දෙවි මෙන් විවේක ගැනීම යන්නෙන් අදහස් කරන්නේ දෙවිට කීකරු වෙමින් ඔහුගේ අරමුණට එකඟව කටයුතු කිරීමයි. කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන්ට දෙවි මෙන් විවේක ගැනීමට හැකි වුණේ නැහැ. ඊට හේතුව දැන් අපි සලකා බලමු.

“මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබෙන්නේය”

7. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව මුදවාගත්තේ ඇයි? ඔවුන් කළ යුතුව තිබුණේ කුමක්ද?

7 ක්‍රිස්තු පූර්ව 1513දී ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් තම අරමුණ ගැන දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවා. “මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි. ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙන යන්නෙමි.” (නික්. 3:8) දෙවි ආබ්‍රහම්ට පොරොන්දු කර තිබූ ලෙස ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් මුදවාගත්තා. ඔහු එසේ කළේ ඔවුන්ව තම සෙනඟ කරගැනීම සඳහායි. (උත්. 22:17) තමා සමඟ හොඳ මිත්‍රත්වයක් භුක්ති විඳීමටත් සාමය පවත්වාගැනීමටත් ඔහු ඊශ්‍රායෙල්වරුන්ට නීති ලබා දුන්නා. (යෙසා. 48:17, 18) දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම් සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි. මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.” (නික්. 19:5, 6) ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ විශේෂ සෙනඟක් බවට පත් වීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම දෙවිට කීකරු විය යුතු වුණා.

8. ඊශ්‍රායෙල්වරු දෙවිට කීකරු වුණා නම් ලබන්න තිබූ ආශීර්වාද මොනවාද?

8 ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරු වුණා නම් මොන තරම් ආශීර්වාද ලබන්න තිබුණාද! ඔවුන්ගේ කෙත්වතු සාරවත් වන බවත් සතුන් වැඩි වන බවත් දෙවි ඔවුන්ට පොරොන්දු වුණා. සතුරු ජාතීන්ගෙන් ආරක්ෂාව ලබා දෙන බවද දෙවි ඔවුන්ට පැවසුවා. (1 රාජාවලිය 10:23-27 කියවන්න.) ඔවුන් දෙවිට කීකරු වුණා නම් යේසුස් පොළොවට පැමිණි කාලයේදී රෝම අධිරාජ්‍යයට යටත් නොවී නිදහස් ජාතියක් ලෙස ජීවත් වීමේ අවස්ථාව තිබුණා. ජාතියක් හැටියට ඔවුන් අනිකුත් ජාතීන්ට හොඳ ආදර්ශයක් වීමත් දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. තමාට කීකරු වන අයට තමා ඇත්තෙන්ම ආශීර්වාද කරන බව වෙනත් ජාතීන්ට අවබෝධ කර දීම සඳහා ඊශ්‍රායෙල්වරුන්ව යොදාගැනීමටද දෙවිට අවශ්‍ය වුණා.

9, 10. (අ) ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවට නැවත හැරී යෑමට ආශා කිරීම වැරදි දෙයක් වුණේ ඇයි? (ආ) ඔවුන් නැවත ඊජිප්තුවට ගියා නම් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කිරීමට හැකි වෙයිද?

9 දෙවි තම අරමුණ ඉටු කිරීමට ඊශ්‍රායෙල් ජාතියව තෝරාගැනීම ඔවුන්ට මොන තරම් විශේෂ වරප්‍රසාදයක් වුණාද! එමගින් දෙවිගේ ආශීර්වාද ලබන්නත් එම ආශීර්වාද පොළොවේ සියලුම පවුල් සඳහා ලබා දීමටත් ඔවුන්ට අවස්ථාව තිබුණා. (උත්. 22:18) නමුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එය වරප්‍රසාදයක් ලෙස සැලකුවේ නැහැ. නැවත ඊජිප්තුවට හැරී යන්න තිබුණා නම් මීට වඩා හොඳයි කියා සිතන තත්වයට පවා ඔවුන් පත් වුණා. (ගණන් කතාව 14:2-4 කියවන්න.) ඔවුන් එසේ කළා නම් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කිරීමට සහ අනික් ජාතීන්ට ආදර්ශයක් වීමට හැකි වන්නේ නැහැ. ඊජිප්තුවේ නැවතත් වහලුන් ලෙස සේවය කිරීමට සිදු වුණා නම් දෙවිගේ නීතිවලට කීකරු වෙමින් පව්වලට සමාව ලබාගන්නද ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන් නැවත ඊජිප්තුවට යෑමට ආශා කළේ ඔවුන්ගේම ආශාවන් පිනවාගැනීමටයි. ඔවුන් දෙවි ගැනවත් ඔහුගේ අරමුණු ගැනවත් කිසි තැකීමක් කළේ නැහැ. දෙවි ඔවුන්ට මෙසේ පැවසුවේ ඒ නිසයි. “මට මේ පරම්පරාව ගැන පිළිකුලක් ඇති වී, ‘ඔවුහු නිතරම සිතින් මුළා වෙති. ඔවුහු මට පිටු පා මා පැවසූ දේවලට කීකරු නොවෙති’ කියා කීවෙමි. එහෙයින්, ‘මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබෙන්නේය’ කියා ඔවුන් ගැන උදහසින් දිවුරා කීවෙමි.”—හෙබ්‍රෙ. 3:10, 11; ගීතා. 95:10, 11.

10 නැවත ඊජිප්තුවට හැරී යෑමට දැක්වූ කැමැත්තෙන් පැහැදිලි වන්නේ ඔවුන් දෙවිගෙන් ලැබූ ආශීර්වාදවලට වඩා එහි රසවත් කෑම බීම අනර්ඝ කොට සැලකූ බවයි. (ගණන්. 11:5) ඔවුන්ද ක්‍රියා කළේ කෑම වේලකට තම කුලුඳුල්කම විකිණූ ඒසව් හා සමානවයි.—උත්. 25:30-32; හෙබ්‍රෙ. 12:16.

11. ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ අරමුණට එකඟව ක්‍රියා නොකළ නිසා ඔහුගේ අරමුණ වෙනස් වුණාද?

11 ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ අරමුණට එකඟව ක්‍රියා නොකළත් ජාතියක් ලෙස ඔවුන් කෙරෙහි දෙවිට තිබූ අරමුණ ඔහු වෙනස් කළේ නැහැ. කෙසේවෙතත් ඔවුන්ට පසුව සිටි පරම්පරාව දෙවිට කීකරු වුණා. පොරොන්දු දේශය හිමි කරගැනීමට ඔවුන්ට හැකි වුණේ ඒ නිසයි. ඒ ගැන යොෂුවා 24:31හි මෙසේ සඳහන් වෙනවා. “යොෂුවා ජීවත්ව සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළෝය. ඔහු මිය යෑමෙන් අනතුරුව ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවි ක්‍රියා කළ ආකාරය දැක තිබූ වැඩිමහල්ලන් ජීවත්ව සිටින තාක් කල් සෙනඟ දෙවිට විශ්වාසවන්තව සිටියෝය.”

12. අද සිටින ක්‍රිස්තියානීන්ටත් දෙවි මෙන් විවේක ගත හැකි බව අප දන්නේ කොහොමද?

12 දෙවිට විශ්වාසවන්තව සිටි එම පරම්පරාව මහලු වී මිය ගියා. නමුත් ඔවුන්ට පසුව සිටි පරම්පරාව “ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් දෙවි කළ කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති පරම්පරාවක්.” ඔවුන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරමින් “යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල්” කළා. (විනි. 2:10, 11) එම ඊශ්‍රායෙල්වරුන් දෙවිට අකීකරු වූ නිසා දෙවි සමඟ තවදුරටත් සමාදානයෙන් සිටීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. එමනිසා ඔවුන් පොරොන්දු දේශයට ගියත් ඔවුන්ට දෙවි මෙන් විවේක ගැනීමට හැකි වුණේ නැහැ. එම ඊශ්‍රායෙල්වරුන් ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “ඔවුන්ට විවේක ගැනීම සඳහා යොෂුවා යම් ස්ථානයක් වෙතට ඔවුන්ව ගෙන ගියා නම් දෙවි එහිදී වෙන දවසක් ගැන කතා කරන්නේ නැත. ඒ අනුව සබත් දවස මෙන් දෙවිගේ සෙනඟට විවේක ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඇත.” (හෙබ්‍රෙ. 4:8, 9) ඉහත පාවුල් සඳහන් කරන “දෙවිගේ සෙනඟ” වන්නේ ක්‍රිස්තියානීනුයි. යම් කලක් මෝසෙස්ට දුන් නීතිය පැවැත්වූ අයද කෙදිනකවත් එසේ නොකළ අයද ඊට ඇතුළත්. පාවුල් පැවසූ දෙයින් පැහැදිලි වන්නේ අද සිටින ක්‍රිස්තියානීන්ටත් දෙවි මෙන් විවේක ගැනීමට අවස්ථාව තිබෙන බවයි.

සමහර ක්‍රිස්තියානීන්ට දෙවි මෙන් විවේක ගැනීමට හැකි වුණේ නැහැ

13, 14. (අ) දෙවි මෙන් විවේක ගැනීමට මෝසෙස්ගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන් කළ යුතු වුණේ කුමක්ද? (ආ) පාවුල්ගේ කාලයේ සිටි ක්‍රිස්තියාන් දෙවි මෙන් විවේක ගැනීම සඳහා කළ යුතු වුණේ කුමක්ද?

13 පාවුල්ගේ කාලයේ සිටි සමහර හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් දෙවිගේ අරමුණට විරුද්ධව කටයුතු කරමින් සිටි නිසා ඔහු ඒ ගැන ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. (හෙබ්‍රෙව් 4:1 කියවන්න.) ඔවුන් දෙවිගේ අරමුණට විරුද්ධ වුණේ කොහොමද? ඔවුන් ඒ වන විටත් මෝසෙස්ට දුන් නීතියේ සඳහන් සමහර දේවල් පිළිපදිමින් සිටියා. දෙවිට පිළිගත හැකි ආකාරයෙන් ඔහුට නමස්කාර කිරීම සඳහා අවුරුදු 1,500ක පමණ කාලයක් පුරා ඊශ්‍රායෙල්වරුන් එම නීතියට කීකරු විය යුතු වුණ බව ඇත්තයි. නමුත් යේසුස් පොළොවට පැමිණ ජීවිතය පූජා කිරීමෙන් පසු තවදුරටත් එම නීතියට කීකරු වීම අවශ්‍ය වුණේ නැහැ. එය තේරුම් නොගත් සමහර ක්‍රිස්තියානීන් සිතුවේ මෝසෙස්ට දුන් නීතියේ සඳහන් සමහර නීති පැවැත්විය යුතු බවයි. *

14 එම නීතිය පිළිපැදීමේ ඇති නිෂ්ඵලකම ගැන පාවුල් ඔවුන්ට පැහැදිලි කළා. එදා සිටි ඕනෑම උත්තම පූජකයෙකුට වඩා යේසුස් පරිපූර්ණ උත්තම පූජකයෙක් බව ඔහු පැවසුවා. දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුමට වඩා අලුත් ගිවිසුම උසස් බවත් ඔහු පැහැදිලි කළා. ඒ විතරක් නොවෙයි එදා දෙවිට නමස්කාර කිරීම සඳහා ‘මිනිසුන් සෑදූ’ දේවමාලිගාවට වඩා නමස්කාර කිරීම සඳහා යේසුස් මාර්ගයෙන් දෙවි ඇති කළ සැලැස්ම වඩාත් ශ්‍රේෂ්ඨ බවත් ඔහු පෙන්වා දුන්නා. (හෙබ්‍රෙ. 7:26-28; 8:7-10; 9:11, 12) ඔහු ඊශ්‍රායෙල්වරුන් පැවැත්වූ සබත උදාහරණයක් ලෙස යොදාගනිමින් දෙවි මෙන් විවේක ගැනීමට ක්‍රිස්තියානීන්ට හැකි ආකාරය පැහැදිලි කිරීමට මෙසේ පැවසුවා. “සබත් දවස මෙන් දෙවිගේ සෙනඟට විවේක ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඇත. මන්ද යමෙක් දෙවි මෙන් විවේක ගන්නවා නම් දෙවි තම වැඩකටයුතුවලින් විවේක ගත් ලෙසම ඔහුද තම වැඩකටයුතුවලින් විවේක ගෙන සිටියි.” (හෙබ්‍රෙ. 4:8-10) ඒ අනුව ඔවුන් ‘තමන්ගේ වැඩකටයුතුවල’ යෙදීමෙන් එනම්, මෝසෙස්ට දුන් නීතිය පිළිපැදීමෙන් දෙවිගේ අනුමැතිය ලබන්න පුළුවන් කියා සිතීම වැරදි බව ඔවුන් තේරුම්ගත යුතු වුණා. පෙන්තකොස්ත 33 සිට දෙවිගේ අනුමැතිය ත්‍යාගයක් ලෙස ලැබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන අයටයි.

15. දෙවි මෙන් විවේක ගැනීමට නම් ඔහුට කීකරු විය යුතු බව අප දන්නේ කොහොමද?

15 මෝසෙස්ගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු දේශයට ඇතුල් වීමට නොහැකි වුණේ ඇයි? ඔවුන් දෙවිට අකීකරු වූ නිසයි. පාවුල්ගේ කාලයේ සිටි සමහර ක්‍රිස්තියානීන්ට දෙවි මෙන් විවේක ගැනීමට නොහැකි වුණේ ඇයි? ඊට හේතුවත් අකීකරුකමයි. තමන්ට නමස්කාර කිරීම සඳහා දෙවි, යේසුස් මගින් අලුත් සැලැස්මක් ඇති කර තිබෙන බවත් ඒ නිසා මෝසෙස්ගේ නීතිය තවදුරටත් පැවැත්වීම අවශ්‍ය නැති බවත් එම ක්‍රිස්තියානීන් තේරුම්ගත්තේ නැහැ.

අපට දෙවි මෙන් විවේක ගත හැකි ආකාරය

16, 17. (අ) අද සිටින ක්‍රිස්තියානීන්ට දෙවි මෙන් විවේක ගත හැක්කේ කොහොමද? (ආ) අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක් ගැනද?

16 ගැලවීම ලබාගැනීම සඳහා දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් නීතියට අප යටත් විය යුතු නැහැ කියා අප දන්නවා. ඒ බව පාවුල් එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “විශ්වාසයක් ඇතුව සිටින ඔබ, ගැලවී ඇත්තේ එම මහත් කරුණාව නිසාය. නමුත් ඒ සියල්ල සිදු වන්නේ ඔබේ උත්සාහය නිසා නොවේ. එය දෙවි ලබා දෙන දීමනාවකි. එම ගැලවීම ඔබේ ක්‍රියාවන් හේතුවෙන් ලැබෙන දෙයක් නොවන නිසා කිසි කෙනෙකුට ආඩම්බර වීමට කිසිම පදනමක් නැත.” (එෆී. 2:8, 9) එසේනම් අද සිටින ක්‍රිස්තියානීන්ට දෙවි මෙන් විවේක ගත හැක්කේ කොහොමද? යෙහෝවා දෙවි හත්වන දවසේදී විවේක ගත්තේ පොළොව හා මිනිසුන් සම්බන්ධයෙන් වූ ඔහුගේ අරමුණ ඉටු කිරීමට බව අප සාකච්ඡා කළා. ඔහු එම අරමුණ ගැන හා ඔහු අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන ඔහුගේ සංවිධානය මගින් අපව හොඳින් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව අපත් දෙවි මෙන් විවේක ගැනීමට නම් දෙවිට කීකරු වී ඔහුගේ සංවිධානය සමඟ සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍යයි.

17 දෙවිගේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අප කීකරු වන්නේ නැත්නම් අප කීකරු වන්නේ අප කැමති දේවලට පමණක් නම් අප කටයුතු කරන්නේ දෙවිගේ අරමුණට විරුද්ධවයි. අප එසේ කරනවා නම් අපට දෙවිගේ මිතුරන් වීමට නොහැකියි. අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ දෙවිට දක්වන අපගේ කීකරුකම සෝදිසියට ලක් වන අවස්ථා කිහිපයක් ගැනයි. එම අවස්ථාවලදී අප ගන්නා තීරණවලින් අප දෙවි මෙන් විවේක ගෙන තිබෙනවාද නැද්ද කියා හෙළි වෙයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සබත් දවසේදී පූජකයන් හා ලෙවීවරුන් දේවමාලිගාවේ වැඩ කළා. නමුත් එය මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය කඩ කිරීමක් නොවෙයි. යේසුස් යෙහෝවා දෙවි පත් කළ අපේ උත්තම පූජකයායි. ඒ අනුව සබත් දවසේදී දෙවි ඔහුට පැවරූ වැඩ කිරීමේ කිසිම වරදක් නැහැ.—මතෙ. 12:5, 6.

^ 13 ඡේ. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසෙන් පසු පුරුද්දක් ලෙස සමඟි කිරීමේ දවසේදී හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් පූජා ඔප්පු කළාද නැද්ද කියා අප දන්නේ නැහැ. ඔවුන් එසේ කළා නම් යේසුස්ගේ ජීවිත පූජාවට ඔවුන් කළේ අගෞරවයක්. නමුත් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් මෝසෙස්ට දුන් නීතියේ සමහර චාරිත්‍රවලට ඇලී සිටි බව නම් ස්ථිරයි.—ගලා. 4:9-11.

සිතා බැලීමට ප්‍රශ්න

• හත්වන දවසේදී දෙවි කළේ කුමක්ද?

• හත්වන දවස තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අප දන්නේ කොහොමද?

• මෝසෙස්ගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට හා පාවුල්ගේ කාලයේ සිටි සමහර ක්‍රිස්තියානීන්ට දෙවි මෙන් විවේක ගැනීමට නොහැකි වුණේ ඇයි?

• දෙවි මෙන් විවේක ගැනීමට අපට පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිට කීකරු වෙනවා නම් සහ ඔහුගේ සංවිධානය සමඟ සහයෝගයෙන් වැඩ කරනවා නම් අපටත් දෙවි මෙන් විවේක ගත හැකියි

[26, 27වන පිටුවල පින්තූර]

දෙවි මෙන් විවේක ගැනීම සඳහා දෙවිගේ සෙනඟ කළ යුත්තේ කුමක්ද?